ප‍්‍රගීත් සහ තාජුඞීන් – ඡන්ද සූදුවෙන් ඔබ්බට

prageeth_thajudeenප‍්‍ර ගීත් අතුරුදන් කිරීමේ සිදුවීම වූයේ 2010 ජනවාරි 24 වැනිදාය. ඉන් දෙදිනකට පසුව ලංකාවේ මෙතෙක් පැවැති ආන්දෝලනාත්මක ජනාධිපතිවරණයක් පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පොදු අපේක්ෂකයකු ලෙස විපක්ෂ සන්ධානයක් විසින් සරත් ෆොන්සේකා ඉදිරිපත් කරන ලද්දේ එම ජනාධිපතිවරණයටයි. එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ නැවතත් බලය තහවුරු කරගත්තේය. ඉන්පසුව විරුද්ධ මතධාරින් දඩයම ආරම්භ කෙරිණි. නමුත් ප‍්‍රගීත් එක්නැළිගොඩ දඩයමට ලක්වූයේ ජනාධිපතිවරණයට පෙරාතුවමය. ඉන් පෙර දිනකද ප‍්‍රගීත් පැහැරගෙන ගොස් හිරිහැර කොට නිදහස් කරන ලදී. දෙවැනි වරට ඔහු පැහැරගෙන ගියේ හිතවතකුගේ වේශයෙන් ඔහු සමඟ ගනුදෙනු කළ අයකුගේ සහාය ඇතිව බව ප‍්‍රසිද්ධ විය. එවකට ඔහු සම්බන්ධ වී සිටි ඊ නිව්ස් වෙබ් අඩවියේ ලියූ ලිපියක් මෙම පැහැරගෙන යාමට හේතු වී යැයිද චම්පික රණවක ඔහු හා උදහස් වී ඇතැයිද ප‍්‍රචාරය විය. කෙසේ වෙතත් ඊ නිව්ස් වෙබ් අඩවියේ ඒ පිළිබඳ සඳහන් වූ කරුණු විවාදාත්මක විය. වෙබ් අඩවියේ හිමිකරු වූ සඳරුවන් සේනාධීර මාධ්‍යවේදියකු වුවත් ප‍්‍රගීත් මාධ්‍යවේදියකු ලෙස පිළිගෙන මෙම බිහිසුණු සිදුවීම සම්බන්ධව වගකීමෙන් මැදිහත් වීමට ඉදිරිපත් නොවීය. ඇතැම් අවස්ථාවලදී ප‍්‍රගීත් කාටූන් ශිල්පියකු ලෙස හෝ නිදහස් මාධ්‍යවේදියකු ලෙස දක්වමින් ප‍්‍රගීත්ගේ සිදුවීම ‘ඊ නිව්ස්’ වෙබ් අඩවියේ වගකීමෙන් නිදහස් කිරීමට සඳරුවන් කරුණු දක්වා තිබිණි.

මේ නිසාම ලියුම්කරු ඇතුළු මාධ්‍ය සංවිධාන ක‍්‍රියාකාරීන්ට ප‍්‍රගීත් වෙනුවෙන් පාරට බසින්නට සිදු වූයේ ප‍්‍රගීත් මාධ්‍යවේදියකු බව තහවුරු කරන අර්ථයද සමඟය. මාධ්‍යවේදියකු යනු ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය හැඳුනුම්පත හිමි අයකු පමණක් නොවන බවට ජනමාධ්‍ය සමාජය තුළ අදහස් මතුවූයේද මෙවැනි පසුබිමකය.

අද දක්වාම ප‍්‍රගීත් අතුරුදන් වීම පිළිබඳ විවිධ විකෘති කිරීම් හා අවලාද නඟමින් ප‍්‍රගීත් නමැති සුවිශේෂී මාධ්‍යකරුවා සහ සමාජ කි‍්‍රයාකාරිකයා අතුරුදන් කිරීම ඍජු ලෙසත් වක‍්‍ර ලෙසත් සාධාරණිකරණය කිරීමේ උත්සාහයන් පවතී. ප‍්‍රගීත් පළ කළ අදහස්වලට විරුද්ධ අදහස් තිබිය හැකිය. එහෙත් ඔහුගේ භූමිකාව අතුගා දැමීම සහ ඔහු අතුරුදන් කිරීම සාධාරණිකකරණය කිරීම කිසිවකුට කළ නොහැකිය.

එදා මෙදා තුර ප‍්‍රගීත් නිහ`ඩ කිරීමේ උත්සාහය පිළිබඳ ප‍්‍රධාන අදහස් විවිධ ජනමාධ්‍ය තුළ සංසරණය වේ. මුලින්ම ප‍්‍රගීත් අතුරුදන් කිරීමේ චෝදනා චම්පික රණවකට එල්ල වුවද පසුව එය ගෝඨාභය රාජපක්ෂගේ වැඩක් බවද කියැවිණි. ප‍්‍රගීත් විසින් යුද සමයේ කරන ලද මානව හිමිකම් අපරාධ සහ රසායනික අවි යෙදවීමක් ගැන විමර්ශනය කරමින් සිටි බවත් කියැවෙන අදහස් එහිදී පළ විය. ප‍්‍රගීත්ට හඳුන්වා දුන් නාවික හමුදා සොල්දාදුවකුගේ සම්බන්ධයකින් එවැනි හෙළිදරව් කිරීමක් සඳහා ත‍්‍රිකුණාමලයට ගිය අවස්ථාවේ ඔහු අතුරුදන් වූ බවත් කියැවිණි. ඒ මතය තිබියදීම මහින්ද රාජපක්ෂ පාලනයේ බල දේශපාලනය ව්‍යාප්ත කෙරෙන ආකාරය පිළිබඳ ප‍්‍රගීත් විසින් ලියන ලද ලේඛනයක් නිසා ඔහු පැහැරගෙන ගිය බවටද අදහස් පැවතුණි. මේ වන විට ප‍්‍රගීත් සම්බන්ධව ඊ නිව්ස් වෙබ් අඩවියෙන් තොරතුරු හෙළිකරන සඳරුවන් සේනාධීර ප‍්‍රකාශ කරන්නේ ‘රාජපක්ෂ පවුල් ගස’ නමැති පොතක් ලිවීම හේතුවෙන් ප‍්‍රගීත් පැහැරගෙන ගියේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් බවයි. මේ අතර තවත් පිරිසක් පවසන්නේ ප‍්‍රගීත් පැහැරගෙන ගියේ ඔහු හා සබඳතා පැවැත්වූ දෙමළ සන්නද්ධ දේශපාලනයේ යෙදී පසුව හමුදාවට භාර වූ කරුණා පාර්ශ්වයට අයත් සාමාජිකයන් බවයි. එම දෙපාර්ශ්වයම පවසන්නේ ගිරිතලේ හමුදා කඳවුරට ප‍්‍රගීත් ගෙනයන ලද බවයි.

කෙසේවෙතත් මෙවැනි තොරතුරු පවසනු ලබන්නේ මහ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළය. පසුගිය මාස හයක කාලය තුළ මෙවැනි පුවත් සංසරණය වූයේ නැත. කිසිවකුට ප‍්‍රගීත් ගැන අසන්නට අවශ්‍යතාවක් නොවිණි. ප‍්‍රගීත් අතුරුදන් කිරීම මෙන්ම තාජුඞීන් ඝාතනයත් දැන් මහා මාධ්‍ය ඝෝෂාවක කේන්ද්‍රයකි.

තාජුඞීන්ගේ මළසිරුර හමුවූයේ දැවී ගිය මෝටර් රථය තුළය. නිවසක තාප්පයක හැපුණු මෝටර් රථයේ රියැදුරු අසුනේ වූ මළසිරුර ගැන ප‍්‍රමාණවත් පරීක්ෂණයක් නොකොටම එය රිය අනතුරකින් සිදු වූ ඝාතනයක් බවට පළ කෙරුණේ අද තාජුඞීන් ඝාතනය ගැන ඝෝෂා නඟන ප‍්‍රධාන ජනමාධ්‍ය ධාරාව තුළමය. එදා තාජුඞීන්ගේ මරණය ගැන විවිධ අදහස් ප‍්‍රකාශ වූයේ වෙබ් අඩවි හෝ වෙනත් විකල්ප ජනමාධ්‍ය තුළය. තාජුඞීන් ඝාතනය කළ බවත් ඊට හේතුව රාජපක්ෂ පුත‍්‍රයකුගේ පෙම්වතිය සම්බන්ධ ප‍්‍රශ්නයක් බවත් එදා විවිධ වෙබ් අඩවි තුළ පතළ විය.

අද තාජුඞීන් වෙනුවෙන් පෙනී සිටින කිසිවකු එම පුවත ගැන ප‍්‍රමාණවත් හ`ඩනැගීමක් කළේ නැත. අද වන විට මහ මැතිවරණ වේදිකාවේ අවශ්‍යතා වෙනුවෙන් තාජුඞීන්ගේ මළසිරුර නැවත ගොඩ ගෙන ඇත. ඉස්ලාම් දහමට ගරුකරමින් ජීවත්වන මුස්ලිම් ජනයා මිය ගිය අයකුගේ සිරුර නැවත ගොඩ ගන්නේ මහත් අකමැත්තෙනි. දැන් එවැනි සිදුවීමක් සිදු වූ බව කියන ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන එදා තාජුඞීන් කෙනකු සිටියාද යන්න පවා සොයා නොබැලූ බව සත්‍යයකි. අද ඔවුන් විසින් මිය ගිය මිනිසාට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ගොස නගති. එය යුක්තිය ඉල්ලීමක් නම් එම ඉල්ලීම තාජුඞීන්ට හෝ ප‍්‍රගීත් කෙරෙහි පමණක් සීමා නොවිය යුතුය. මේ නිසා තාජුඞීන්ගේ මළසිරුරද මැතිවරණ වේදිකාවේ තොරොම්බල් කිරීමෙන් මේ කතාව අවසන් නොවේ.

චන්දන සිරිමල්වත්ත