ඇත්ත ප‍්‍රශ්න යටපත් වෙන්නෙ ජාතිවාදය නිසයි – සාමිනාදන් විමල්

SAMINATHAN-WIMALමහ මැතිවරණය තුළ බොහෝ දේ සාකච්ඡා කෙරුණත් උතුරේ දේශපාලනය පිළිබඳ කරුණු ප‍්‍රධාන දේශපාලන ක‍්‍රියාදාමයෙන් වෙන්කර තැබීමේ තත්වයක් තිබෙනවා. එහෙත් යුද්ධයෙන් පසු වෙනස්කම් ඉල්ලා සිටින උතුරේ පීඩිතයාගේ හ`ඩ ඉදිරිපත් කරන්නේ වාම දේශපාලනය විසින්. මෙවර ‘ජනරළ‘ සංවාදය සඳහා අපි සම්බන්ධ කරගත්තෙ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරන සාමිනාදන් විමල්.

  • මහ මැතිවරණය ඉදිරියේ උතුර තුළ දේශපාලන තත්වය ගැන ඔබේ අදහස කියන්න.

මේ මැතිවරණය උතුර තුළ මීට පෙර පැවැති මැතිවරණයට වඩා විශේෂත්වයක් ගන්නවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසුව ඇති වුණ වෙනස්කම් එක්ක පවත්වන මැතිවරණයක් වශයෙන් මේ මැතිවරණය දැකිය හැකියි.

මේ තත්වය යටතේ උතුර සඳහා ඡුන්දයට ඉදිරිපත් වී ඇති අපේක්ෂක සංඛ්‍යාව ඉතාමත්ම වැඩියි. ඒ වගේම තමයි ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ රාශියක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම මීට පෙර පැවැති මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණ උණුසුම අඩුයි. ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන පක්ෂ විශාල ප‍්‍රමාණයක් මැතිවරණයට පෙනී සිටින නමුත්, විශේෂයෙන්ම සිවිල් සංවිධානවල හැසිරීම දෙස බලන විටත් මැතිවරණය සඳහා ඇති උනන්දුව එතරම් බලවත් ලෙස පෙනෙන්නට නැහැ.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආදිය කිරීමට හැකි වාතාවරණයක් තිබුණට පෙර මැතිවරණ වලට සාපේක්ෂව මෙම මැතිවරණය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර එතරම් උනන්දුවක් හෝ උද්යෝගයක් නැහැ. මීට ඉස්සර තිබුණෙ එල්.ටී.ටී.ඊ. විරෝධී සහ එල්.ටී.ටී.ඊ හිතවාදී කියන ප‍්‍රධාන ධාරා දෙක අතර තරගයක්. නමුත් මේ වෙනකොට තත්වය ඊට වඩා වෙනස් වෙලා තියෙනවා.

  • මහ මැතිවරණයට තරග කරන පාර්ශ්ව පිළිබඳ තත්වය මොකක්ද?

මීට පෙර පැවැති මැතිවරණවලට සාපේක්ෂව මෙවර තිබෙන වෙනස්කම තමයි ඍජු නියෝජිතයෝ හැටියට පෙනී ඉන්න අය කවුරුත් නොමැති වීම. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා හැටියටත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැටියට සිටින රජයේ ඍජුු කොටස්කරුවෝ හැටියටත් පෙනී ඉන්න පිරිසක් දේශපාලනයේ නිරතව නැහැ. ඒ නිසා රාජ්‍ය බලය එක් පිරිසක් සඳහා යොදාගැනීම කියන කාරණය සිද්ධවෙන්නෙ නැහැ.

උදාරණයකට ඊපීඞීපි සංවිධානය මීට පෙර ඇමැති ධූර දරමින් රජයත් සමඟ සිටි පිරිසක්. නමුත් මේ මැතිවරණයේදී ඔවුන් ඉදිරිපත් වෙන්නේ එසේ නෙවෙයි. ඒ නිසා ඍජුවම ආණ්ඩු පක්ෂයට සම්බන්ධ යැයි කිව හැකි පිරිසක් නොමැති නිසා රාජ්‍ය බලය හෝ ආණ්ඩු බලය යොදාගැනීමක් දක්නට ලැබෙන්නේ නැහැ.

  • දෙමළ ජාතිකවාදී දේශපාලනය තවමත් උතුරේ බලවත් නේද?

මෙවර මැතිවරණය තුළ දකින්නට ලැබෙන විශේෂම දේ නම් දෙමළ ජාතිකවාදී දේශපාලන ස්ථාවරය තුළම තරගය පැවතීමයි. ඇත්ත වශයෙන්ම මේ වන විට ප‍්‍රධාන තරගය පවතින්නේ ටී.එන්.ඒ. එක සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් කොංග‍්‍රස් එක අතර. මේ දෙගොල්ලම දෙමළ ජාතිකවාදී ප‍්‍රවාහය නියෝජනය කරන අය.

නමුත් මේ දෙගොල්ල අතර පවතින මතවාදීමය බෙදීම තමයි වඩාත් පැහැදිලිවම දකින්නට ලැබෙන්නෙ. ඊට අමතරව දෙමළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් ඡුන්දය ඉල්ලන බහුතරය පවා මීට පෙර පැවැති මැතිවරණවලදී ටී.එන්.ඒ. එකත් එක්ක හිටපු අය. ඒ නිසා ටී.එන්.ඒ. එකට ලොකු අභියෝගයක් තියෙනවා මෙම මැතිවරණයේදී. මම හිතන්නේ මේ තත්වය දෙමළ ජාතිකවාදී ස්ථාවරය තුළ ඇතිවෙලා තිබෙන මතවාදීමය බෙදීම් තත්වයක ප‍්‍රතිඵලයක්.

  • යාපනය දිස්ත‍්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම්වල විශේෂත්වයක් තිබෙනවා නේද?

ස්වාධීන කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් අපේක්ෂකත්වය ලබාගෙන තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන කණ්ඩායම් විස්සකට ආසන්න ප‍්‍රමාණයක් යාපනයේ තරග වදිනවා.

සමස්තයක් හැටියට එල්.ටී.ටී.ඊ. එකේ සාමාජිකයන්ව ඉඳලා පසුව පුනරුත්ථාපනය ලැබූ තරුණයන්ගේ සමස්ත දේශපාලන අභිලාෂයන් එතැන නියෝජනය වෙනවද එහෙම නැත්නම් මැතිවරණය ජයග‍්‍රහණය කරගැනීම සඳහා මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හැටියට සිටි පිරිසට සමාජය තුළ තියෙන්නා වූ යම්කිසි පිළිගැනීම මැතිවරණය සඳහා යොදාගන්නවාද කියන කාරණය සම්බන්ධව ප‍්‍රශ්නයක් තියෙනවා. මොකද මෙය එකපාරම මතු වූ ක‍්‍රියාකාරීත්වයක් නිසා සහ ඒ අයට නියෝජනයක් ටී.එන්.ඒ. එක තුළ ලබාගැනීමට නොහැකි වීම නිසා.

ඇත්ත වශයෙන්ම ඔවුන් වෙනම ඉල්ලීමට තීරණය වෙන්නෙ ටී.එන්.ඒ. එක ඒ අයට නාමයෝජනා දීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා. එතකොට ටී.එන්.ඒ. එකට, නැත්නම් ටී.එන්.ඒ. එකෙන් නියෝජනය කරන යාපනයේ දෙමළ ප‍්‍රභූ පන්තියේ දේශපාලනයට වෙනස්ව යන විකල්ප දේශපාලන අදහසක් මේ අයට තිබුණද එහෙම නැත්නම් ටී.එන්.ඒ. එක තුළින් බලයට පැමිණීමේ අදහසද තියෙන්නෙ කියන ගැටලූව තියෙනවා.

  • පුනරුත්ථාපනය වූවන්ගෙ ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කරන අදහස් මොනවද?

යුද්ධය ඉවරවෙලා ගොඩක් කල් මේ පිරිස ඔවුන්ගේ මතය, ඔවුන්ගේ හඬ සමාජය තුළ දිගටම අරගෙන ආවේ නැහැ. විශේෂයෙන්ම මේ අය ඉදිරිපත් කරන මතය තමයි පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ අවශ්‍යතාවන් ඉටු නොවී තිබීම සහ ඔවුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබී නොමැත කියන කාරණය. එසේම ඔවුන්ගේ ජීවන ගැටලූවලට විසඳුමක් ලැබී නැහැ යන්න මෙන්ම විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ.ය දේශපාලන කාරණාවක් වශයෙන් භාවිත කළත් එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් සටන් කළ සටන්කාමීන් අමතක කළා කියන කාරණය. ඒ කරුණු මත යම්කිසි ස්වාධීන බවක් තිබුණත් අඛණ්ඩව යම්කිසි හඬක් නොතිබීම සහ යම්කිසි වැඩපිළිවෙළක් නොමැතිව පැමිණ එක්වරම ටී.එන්.ඒ. එක තුළින් තමන්ට නියෝජනයක් පමණක් බලාපොරොත්තු වීම නිසා ඔවුන්ට විකල්ප දේශපාලනයක් තිබුණා කියන කාරණය පෙනෙන්නට නැහැ.

  • විකල්ප දේශපාලනයක සාකච්ඡුාව වාම දේශපාලනයෙන් වෙන් කරන්න අමාරුයි. උතුරේ එවැනි විකල්ප දේශපාලන නැඹුරුවක් තිබෙනවද?

විශේෂයෙන්ම වාමාංශික කි‍්‍රයාකාරීන් හැටියට අපි බලාපොරොත්තු වන වෙනස්වීම් ඇත්තවශයෙන්ම කොයිතරම් යථාර්ථයක්ද කියන එක කියන්න බැහැ මේ තියෙන තත්වයන් මත. මොකද තවම මේ තියෙන තත්වයන් පාලනය කිරීම හෝ බලපෑම් කිරීම කෙරෙහි වාමාංශිකයන්ට, වාමාංශික මත දරන්නන්ට සහ වාමාංශික පක්ෂවලට ඇති හැකියාව ඉතාම අඩුයි. ඒ වෙනස්කම් අඛණ්ඩව කරගෙන යන වැඩපිළිවෙළක් තුළින් දිනාගත යුතු දෙයක් මිස ඒවා ඉටු වෙලා කියල මම හිතන්නෙ නැහැ.

අපිට බලාපොරොත්තු විය හැකි එකම දේ තමයි තවදුරටත් ජාතිවාදය වර්ධනය වීමට අවශ්‍ය අවකාශය ටිකක් අඩුවෙලා තිබීම. ඒ අවකාශය නැත්තමට නැතිවෙලා නැහැ. විශේෂයෙන්ම මෙවර මැතිවරණයේදි තමයි රාජ්‍ය අනුග‍්‍රහය ලබන ජාතිවාදී ප‍්‍රචාරණයන් දක්නට නොලැබෙන්නෙ. නමුත් තියෙන තත්වයන් කොයි විදිහට වෙනස් වෙයිද කියන එක දැන්ම අපට කියන්න බැහැ. මම හිතන්නෙ නැවත පදිංචිකිරීම් වැනි දේවල් දිගින් දිගටම කෙරෙන්නා වූ බලපෑම්, සාකච්ඡුා සහ සම්මුති තුළින් ඉදිරියට යා යුතු දේවල් මිසක් මැතිවරණයෙන් පසුම ඉබේ ඇතිවෙයි කියල හිතන්න බැහැ.

  • යුද්ධයෙන් පසුව සිදු වියයුතු වෙනස්කම් නියෝජනය නොකළ පසුබිමක උතුරේ පවතින ප‍්‍රධාන දේශපාලන ධාරාවන් පිළිබඳ විවේචනයක් මතු වී තිබෙනවාද?

මට දැඩි විවේචනයක් තියෙන්නෙ. මොකද හැමෝම මේ ප‍්‍රශ්න තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය සඳහා භාවිත කළා මිසක් මේ ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබාගැනීමට උත්සාහ කළේ නැහැ. විශේෂයෙන්ම බලවත්ම දේ තමයි 2009 එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමත් සමඟ ඇති වූ තත්වයත් එක්ක දකුණේ සමාජයට අවබෝධ කළ යුතු ප‍්‍රශ්න, ඒ ප‍්‍රශ්න කොහොමද විසඳාගත යුත්තේ, ඒ සඳහා මොකක්ද කළ යුතු වන්නේ කියන කාරණා ගැන මෙන්ම දකුණේ සමාජය තුළ පවතින ජාතිවාදී බලවේග සහ ජාතිවාදී මතවාදයන් පරාජය වන විදිහට ක‍්‍රියාකාරී වැඩකොටසක් කළේ නැහැ.

මූලිකවම ‘ජාත්‍යන්තර ප‍්‍රජාව’ කියන මිථ්‍යාව ඇතිකිරීම සහ වර්ධනය කිරීම තමයි දෙමළ දේශපාලනය විසින් විශේෂයෙන්ම කළේ. අනිත් කාරණය වන්නේ දෙමළ ඡුන්ද දායකයා ඉන්නේ තමන් සතුව තමයි යන ‘කංකානි දේශපාලනයක්’ ඒ කියන්නේ තමන් හරහා රජය දෙමළ ජනතාව සමඟ ගනුදෙනු කළ යුතුයි යන ස්ථාවරය. මේ ස්ථාවරයන් දෙක තුළින්ම ජනතාවගේ විසඳිය යුතුව තිබෙන ප‍්‍රශ්න පිළිබඳව යහපත් සංවාදයක් සමාජය තුළ ඇති වුණේ නැහැ. විශේෂයෙන්ම දකුණේ සමාජය තුළ.

  • ඒ කියන්නෙ තේරී පත්වන ධනපති දේශපාලන නියෝජිතයන්ගෙන් මෙම තත්වයේ වෙනසක් සිදු කළ හැකි යැයි අපේක්ෂාවක් ඉතිරි වී නැද්ද?

අනිවාර්යෙන්ම එවැනි බලාපොරොත්තුවක් තියන්න බැහැ. මොකද එසේ බලාපොරොත්තු තිබිය හැකි නම් අවුරුදු 30ක යුද්ධය ඒ තරම් දුරට වර්ධනය වන්නෙත් නැහැ. යුද්ධය ඉවර වුණාටත් පසුවවත් ඒ යුතුකම ඉටු වුණේ නැහැ. මං හිතන්නෙ එය කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකියි. නමුත් සිංහල සහ දෙමළ යන ජනකොටස්වලට අයත් ඡුන්දදායකයන් පසුගිය පැවැති රජයට දැඩිලෙස විරුද්ධ වීමට හේතු තිබීමයි වැදගත් වෙන්නෙ.

ඇත්ත වශයෙන්ම එවැනි විරෝධයක් පැමිණීමට බලපෑවේ ජනතාව විශාල ලෙස පීඩාවට පත්වීමයි. එහිදි සිංහල සහ දෙමළ ජනතාව හිටියේ ආණ්ඩු විරෝධී ස්ථාවරයක. එවැනි ආණ්ඩු විරෝධී ස්ථාවරයකට යෑමට දකුණෙදි හොරකම වැනි දේවල් හේතු වුණත් උතුරෙදි හේතු වුණේ සුළු ජන කොටස්වල අයිතිවාසිකම් සහ ආරක්ෂාව කියන කාරණය. අයිතිවාසිකම්වලටත් වඩා ආරක්ෂාව කියන කාරණය තමයි මූලික වුණේ. එනිසා ඇති වුණ ප‍්‍රවණතාවක් හැටියට තමයි ඡුන්දය භාවිත කිරීම සිදුවුණේ. ඇත්ත වශයෙන්ම එය අනාරක්ෂිත බව පිළිබඳව විරෝධය පළකිරීමක්. නමුත් ඒ තත්වය වෙනස් වුණා කියල ආරක්ෂාව ඇතිවෙලා කියල කියන්න බැහැ. මහින්ද රාජපක්ෂගෙ පරාජය වීම ජාතිවාදය පරාජය කිරීමට හේතු වුණා කියල කියන්න බැහැ. මොකද දකුණ තුළ ඇති කරල තියෙන මතය තමයි දෙමළ-මුස්ලිම් ජාතිවාදය විසින්, දෙමළ-මුස්ලිම් ජනතාව විසින් තමයි මහින්ද පරාජය වුණේ කියන එක. ඒ නිසා දකුණෙ සමාජය තුළත් ජාතිවාදය නැතිවීමට තිබෙන අවකාශය අඩුයි.

  • මෙවර මහ මැතිවරණය තුළ හෝ උතුරේ ජනතාවගේ ගැටලූ සම්බන්ධ කතිකාව පසුගිය ජනාධිපතිවරණ ක‍්‍රියාදාමයට වඩා ඉදිරියෙන් තිබෙනවාද?

මැතිවරණය ප‍්‍ර‍්‍රකාශ කිරීමට පළමුවෙන් මුළු මහත් මාධ්‍යයම කතා කළේ යාපනය තුළ අතිවිශාල ලෙස පැතිරෙමින් තිබෙන මත්ද්‍රව්‍ය පිළිබඳව, විද්‍යා කියන පාසල් ශිෂ්‍යාව දූෂණය කිරීම තුළින් මතු වුණ සමාජ ප‍්‍රශ්න පිළිබඳව, ඒ වගේම චුන්නාකම්වල ජලය අපවිත‍්‍ර ජලය බවට පත් වීම පිළිබඳව තමයි කතා කළේ. නමුත් එකවරම ඡුන්දය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ ඒ සියල්ල යටගිහින් ඊට එහා ගිය ජාතිකවාදය සහ ජාතිවාදී අදහස්වලට තමයි නැවත තැන ලැබිලා තියෙන්නේ. ඒ නිසා මැතිවරණයක් කියන්නේ ඇත්ත වශයෙන්ම මිනිසුන්ගේ ප‍්‍රශ්න දේශපාලන කරළියට ගේනවට වඩා දේශපාලකයන්ගේ ප‍්‍රචාරණයන් මිනිසුන් අතරට ගෙනයන කාලයක්. අපි ඒ කාරණය අවබෝධ කරගත යුතුයි. දේශපාලකයෝ ඉන්නේ ප‍්‍රශ්න මොනවද කියල ප‍්‍රකාශ කරන්න නොවෙයි.

  • සිවිල් සමාජ මැදිහත්වීම නිසා ජනාධිපතිවරණයේ ඉටු කළ කාර්යභාරයක් තිබුණා. පසුගිය කාලයේ එම මතවාදී බලපෑම දේශපාලන බලය විසින් යටපත් කෙරුණා. ඒ ගැන ඔබේ ඇගයීම මොකක්ද?

ඔය තත්වය අපි දිගින් දිගටම දැකල තියෙනවා. 1994 ඇති වුණ දේශපාලන වෙනස වෙනුවෙන් පෙනී සිටි අය ඉන්පසුව කළේ බලාධිකාරිය සමඟ යම් යම් සබඳතාවන් ඇතිකර ගැනීම. පිරිසක් පිළිබඳව සම්පූර්ණයෙන් විශ්වාස තබනවාට වඩා මැතිවරණයකින් පසුව අපි අරමුණු ඉටුකරගන්නේ කොහොමද කියන එක වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරගැනීම තමයි වැදගත් වෙන්නේ. හැමෝම කියන්නෙ අපි යම්කිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් දිනාගෙන තියෙනවා කියලනෙ. නමුත් මම හිතන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම සඳහා වන අරගලයට සුදුසු අවකාශයක් මිසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් නොවෙයි දිනාගෙන තියෙන්නෙ. ඒ නිසා වැදගත් වෙන්නේ ඒ අරගලය ඉදිරියට ගෙන යාමයි.

  • කාලාන්තරයක් ජාතිවාදය පරාජය කිරීමේ වුවමනාව සමඟ බැඳුණු දේශපාලන අවකාශය පුළුල් තලයකට ගෙන ඒමත් අවශ්‍යයි නේද?

අපේ ජීවිත කාලයෙන් වැඩිපුරම කාලයක් ගතකරන්න සිද්ධ වුණේ ජාතිවාදය පරාජය කිරීම කියන කාරණය මත. එනිසා බොහෝ විට දේශපාලනික වශයෙන් අපට කටයුතු කරන්න සහ ගනුදෙනු කරන්න සිදු වුණේ ජාතිවාදයට ඒ ඒ මොහොතේදී විරුද්ධව පෙනී සිටින අයත් සමඟ. නමුත් ඉතින් ඇත්ත වශයෙන්ම ලංකාවේ සමාජයේ ලොකු වෙනසක් ඇතිකිරීම සඳහා ජාතිවාදය ප‍්‍රධාන මාතෘකාව බවට පත් නොවන තත්වයක් ඇතිකර ගැනීම අනිවාර්යයි.

නමුත් ජාතිවාදය පමණක් නෙවෙයි ලංකාවේ සමාජය මුහුණ දී ඇති අර්බුදවලට හේතුව. විශේෂයෙන්ම ආර්ථික අසමානතාව සහ සංවර්ධන ක‍්‍රමය තුළ පවතින්නා වූ ඉතාමත් දුක්ඛදායක තත්වයන්. විශේෂයෙන්ම නොදියුණු චින්තනය, සංස්කෘතික වශයෙන් ඇති නොදියුණුකම ආදිය ද එයට හේතු වෙනවා.

අපි හැමදාම මැතිවරණයකදී ඡුන්දයක් දෙනකොට තීරණාත්මක හැටියට බැලූවේ මෙයින් ජාතිවාදය වර්ධනය වෙනවද පරාජය වෙනවද කියන කාරණය. ජාතිවාදය පිළිබඳ කාරණය ප‍්‍රධාන තීරකය බවට පත් වන අවසාන මැතිවරණය බවට මෙම මැතිවරණය පත්කරගත හැකි නම් වටිනවා. අනෙක් ප‍්‍රශ්නවලට වඩා මෙම ප‍්‍රශ්නය තමයි වඩාත් වැදගත් ප‍්‍රශ්නය කියල හිතෙන මතයක් තියෙන තාක් දුරට අනෙක් ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුාවක් පවා ඉහළට ගැනීමට හරි අමාරුයි. එනිසා හැමෝම එකතු වී ජාතිවාදය පරාජය කිරීම ඉතා වැදගත් වෙනවා. එහෙම වුවහොත් පමණයි අනෙකුුත් ප‍්‍රශ්න ඉදිරියට ගන්න පුළුවන් වෙන්නෙ.

සංවාද සටහන – චන්දන සිරිමල්වත්ත