ජලය විකුණන පනත අලූත් පාර්ලිමේන්තුවට

water-as a commodity

මේ දිනවල කාගේත් අවධානයට යොමු වී ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය දෙසටයි. එනිසා පසුගිය දිනවල කැබිනට් මණ්ඩලය රැස්වී ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව සමාජයේ එතරම් අවධානයක් නොවීය. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණද කැබිනට් මණ්ඩලය රැස්වීම හෝ එමඟින් නව තීන්දු තීරණ ගැනීම හෝ ඇමැති ධුර ක‍්‍රියාත්මක වීම හෝ නතර වන්නේ නැත. ඒ අනුව මැතිවරණයට පෙර පසුගිය සතියේ අවසන් කැබිනට් මණ්ඩල රැුස්වීම පැවැත්වෙන තෙක්ම සතිපතා කැබිනට් මණ්ඩලය රැුස්වී ලාංකේය සමාජයේ ජන ජීවිතයට බලපාන වැදගත් තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇත. ඒ අතර ප‍්‍රධානතම තීරණයක් වන්නේ ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමට ගනු ලැබූ තීරණයයි. මේ පිළිබඳ කැබිනට් පත‍්‍රිකාව නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලප‍්‍රවාහන ඇමැතිවරයා වන රවුෆ් හකීම් ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදීය. නමුත් එම කැබිනට් පත‍්‍රිකාව මෑතකදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි රාවයක් පවතී. එය නිවැරදි නම් මේ පිළිබඳ පනත අලූත් පාර්ලිමේන්තුවට කඩිනමින් රැුගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකිය. මෙය ජලයට මිලක් නියම කිරීම සඳහා ජලමූලාශ‍්‍ර අත්පත් කරගැනීමේ බලගතු පියවරක් වනු ඇත.

මෙම කැබිනට් පත‍්‍රිකාව රවුෆ් හකීම් ඇමැතිවරයා ඉදිරිපත් කළ වහාම එම පත‍්‍රිකාවේ අඩංගු කරුණු සහිතවම විස්තරාත්මක විවරණයක් අප පුවත්පත විසින් හෙළිදරව් කරන ලදී. කෙසේවෙතත් නැවත මෙම මාතෘකාව කරළියට පැමිණ ඇත්තේ එම කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි යන තොරතුරක් සහිතවය. එසේ නම් එය භයානක තත්වයකි. එය භයානක වන්නේ එමඟින් යාවූ ලෙසම ස්වාභාවික ජල මූලාශ‍්‍රවල හිමිකාරීත්වය යෝජිත ගංගා ද්‍රෝණිවලට හාකර, අධිකාරිය වෙත පවරාගනු ලබන හෙයිනි. එතැන් පටන් මෙතෙක් මෙම ජල මූලාශ‍්‍රවල හිමිකාරීත්වයට මෙන්ම පරිහරණයටද ජනතාවට තිබූ අයිතිය වියැකී ගොස් ඒ පිළිබඳව සියලූ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනතාවට වග නොකියන අධිකාරීත්වයක් වෙත හිමි වීම අතිශය භයානක පියවරක් වන හෙයිනි.

නමුත් කැබිනට් පත‍්‍රිකාවේ ප‍්‍රකාශිත අරමුණ වෙන එකකි. එහි සඳහන් වන්නේ ලංකාවේ ජලාප‍්‍රවාහන හා ජලසම්පාදන අමාත්‍යාංශයේ මූලික වගකීම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම වුවත් ඒ සඳහා ඇති ජල මූලාශ‍්‍ර බොහොමයක් දූෂිත වී ඇති බවත් එය වැළැක්වීම සඳහා යෝජිත ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරිය පිහිටුවන බවත්ය. මෙහි සත්‍යතාවක් පවතී. නමුත් ජල මූලාශ‍්‍ර දූෂණය වීම වැළැක්වීමේ වගකීම මේ වන විටත් පොදු වශයෙන් පරිසර අමාත්‍යාංශයට පැවැරී ඇති අතර ඒ සඳහා විධිමත් ආයතන ව්‍යුහයක් එම අමාත්‍යාංශයට ඇත. එසේ තිබියදී ජල මූලාශ‍්‍ර දූෂණය වන්නේ නම් එය නිවැරදි කළ යුත්තේ එම අමාත්‍යාංශය විසින් බලාත්මක කරන නීති රීති සහ එහි ක‍්‍රියාකාරීත්වයයි. ඒ සඳහා වෙනත් අධිකාරියක් පිහිටුවන්නේ ඇයිද යන ප‍්‍රශ්නය නිතැතින්ම පැන නඟී. ඒ නිසා මෙම ප‍්‍රකාශිත අරමුණට ඔබ්බෙන් වන සැඟවුණු වෙනත් අරමුණක් සහිතව මෙම කැබිනට් පත‍්‍රිකාව නිකුත් කර ඇති බව පැහැදිලිය.

ජලය යනු ස්වාභාවික සම්පතකි. ඊට අයිතිකරුවකු සිටිය හැකිද? එය හරියටම ඉරට, හඳට, ග‍්‍රහලෝකයට, තාරකාවලට අයිතිකරුවකු නම් කිරීම වැනිය. නමුත් නවලිබරල් ධනවාදය සෑම ස්වාභාවික සම්පතක්ම ආර්ථික වටිනාකමක් සහිත වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරමින් සිටී. මෙහි ප‍්‍රාථමික පියවර වන්නේ ඒ සඳහා අයිතිකරුවකු නම් කිරීමයි. ජලය විකිණීමට නම් ජලමූලාශ‍්‍ර අයිති කර ගත යුතුය. ඒ සඳහා අයිතිකරුවකු හෙවත් හිමිකරුවකු හෝ එහි හිමිකාරීත්වය පැවැතිය හැකි ආයතනයක් හෝ තිබිය යුතුය. යෝජිත ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරිය යනු එම අවශ්‍යතාව සපුරා ගැනීමයි. අයිතිකරුවකු ඇති තැන එය විකිණිය හැකිය. එනිසා සම්මත වූ මෙම කැබිනට් පත‍්‍රිකාව ජලය විකිණීමේ ප‍්‍රාථමික පියවර ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව අලූත් පාර්ලිමේන්තුව තුළ දැනටමත් කැබිනට් මණ්ඩලය අනුමත වී ඇති යෝජිත ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරිය පනතක් ලෙස සම්මත වුවහොත් එතැන් සිට ලංකාවේ සෑම ගංගාවකම, ඇළක දොළක මෙන්ම වැව් හා ජලාශ සම්බන්ධයෙන්ද සියලූ තීන්දු තීරණ ගැනීමේ අයිතිය එම අධිකාරියට හිමි වේ. ඒවා වෙනත් පුද්ගලයන්ට හෝ ආයතනවලට පැවැරීමේ අයිතියද එම අධිකාරිය සතුවනු ඇත. නිදසුනක් ලෙස කිසියම් ජලමූලාශ‍්‍රයක් වතුර බෝතල් කරන සමාගමකට ඔවුහු පහසුවෙන් විකුණා දැමිය හැකිය. එය ජලය විකිණීමේ විධිමත් සැලැස්මක් වන්නේ ඒ නිසාය.

ලංකාවේ ජලය විකිණීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ අද ඊයේ සිට නොවේ. එය 2000 වසර තරම් ඈතට දිවයයි. ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් මේ සඳහා නිරන්තරයෙන් මැදිහත් වෙමින් පවතී. එම ආයතන විසින් එක් පැත්තකින් අනාගත ලෝකයේ ජල සම්පත හීනවීමේ තර්ජනය පෙන්වා දෙන ගමන්ම ඒ නිසා ඊට හිමිවන වාණිජ වටිනාකම් පිළිබඳවද අවධාරණය කරයි. නමුත් ඔවුන්ට සැබැවින්ම අවශ්‍ය වී තිබෙන්නේ ලෝකය පුරාම පිහිටි ස්වාභාවික සෑම ජල මූලාශ‍්‍රයක්ම බහුජාතික සමාගම්වල අයිතියට පවරා ගැනීමත් එමඟින් ජලය වෙළෙඳ භාණ්ඩයක් බවට සම්පූර්ණ වශයෙන් පත්කර ගැනීමත්ය. ඒ සඳහා මවන බිල්ලා වන්නේ ජලසම්පතේ ඌනතාවය සහ ජලමූලාශ‍්‍ර දූෂණය වීමයි. නමුත් මෙම බිල්ලාට වඩා භයානක බිල්ලා වන්නේ ජලමූලාශ‍්‍ර බහුජාතික සමාගම් සතු වීමයි. එනිසා එය පරාජයට පත් කළ යුතුය.

2000 වසරේදීද එවකට පැවැති කැබිනට් මණ්ඩලය විසින් මෙවැනි කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කරන ලදී. නමුත් එය නීතිමය තත්වයක් බවට පත් කර ගැනීමට නොහැකි විය. එම කැබිනට් පත‍්‍රිකාවට අනුව ලංකාවේ මතුපිට ජලය මෙන්ම භූගත ජලය පවා එහි හිමිකාරීත්වය මෙවැනිම ආයතනයකට පවරා ගැනීමටත් ඉන් පසු පෞද්ගලික අයිතියට බලපත‍්‍රයකින් ලබාදීමටත් යෝජනා කර තිබුණි. එනිසා එමඟින් කිසියම් පුද්ගලයකු පෞද්ගලික ළිඳක් කැපීමට පවා බලපත‍්‍රයක් ලබා ගත යුතු භයානක අනතුරක් ඇති විය. ජනතා විරෝධය නිසා එවැන්නක් නීති ගත කිරීම පහසු නොවුණත් දැන් එය කොටස් වශයෙන් නීතිගත කිරීමට උත්සාහ ගන්නා බව පෙනේ. යෝජිත ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරිය පිහිටුවීම එහි ආරම්භක පියවර වන්නේ ඒ අනුවය. අනෙක් අතට ඉහත 2000දී අනුමත කැබිනට් පත‍්‍රිකාව අනුව ලංකාවේ භූගත ජල මූලාශ‍්‍ර දැනටමත් සිතියම්ගත කර ඇත. අවශ්‍ය ඕනෑම මොහොතක ඒවාද මෙවැනි අධිකාරියකට යටත් කිරීමටත් එතැන් සිට ඒවායේ හිමිකාරීත්වය විකුණා දැමීමටත් කටයුතු කළ හැකිය. නමුත් ගංගා ද්‍රෝණි කළමනාකරන අධිකාරියට යටත් කර ඇත්තේ මෙහි සිට පවතින ජල මූලාශ‍්‍රයයි. මේවා දැනටමත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් හෝ පළාත් පාලන ආයතන මඟින් හෝ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හෝ පාලනය වේ. යෝජිත ගංගා ද්‍රෝණි කළමණාකරණ අධිකාරිය මඟින් සිදු කර ගැනීමට උත්සාහ ගන්නේ ඒවායේ අයිතිය තනි ආයතනයක් වෙත අත්පත් කරගැනීමත් ඒ සඳහාම වූ ජනාධිපති කාර්යසාධක බලකායක උපදෙස් මත එම අධිකාරිය විසින්. ඒවා පරිහරණය කිරීමේ සහ පැවැරීමේ තීන්දු තීරණ ගැනීමත්ය. එනිසා යෝජිත ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරිය විසින් ගංගා ද්‍රෝණි හෝ වැව් විකුණා නොදමනු ඇතැයි සිතිය නොහැකිය.

ඒ අනුව ඇත්ත භයානක අනතුරක් මෙහි ඇත. නමුත් අද වන විට ජලය විකිණීමට එරෙහි සටන් පාඨය මැතිවරණ වේදිකාවට යොදාගනිමින් සිටින්නේ හුදෙක් පටු දේශපාලන වාසි අත්පත් කරගැනීම සඳහාය. 2000 වසරේ සිටම විශේෂයෙන් පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේදීත් ජලය විකිණීම සඳහා වූ යටිතල පහසුකම් නිර්මාණය කරගැනීමේ සැලසුම් අභ්‍යන්තරික වශයෙන් ක‍්‍රියාත්මක විය. ඒ සඳහා ලොකු ප‍්‍රසිද්ධියක් නොලැබුණද මෙම ලිපියේ ඉහතින් සඳහන් කර ඇති භූගත ජල මූලාශ‍්‍ර සිතියම්ගත කිරීම මෙන්ම ජල කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් පවා ඇති කරන ලදී. නමුත් අද මහින්ද රාජපක්ෂ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය ජලය විකිණීමට එරෙහි සටන් පාඨය තම මැතිවරණ ව්‍යාපාරය සැරසිල්ලක් බවට පත් කරගෙන ඇත. එය සැබැවින්ම ජුගුප්සාජනකය. කෙසේවෙතත් ඉදිරි මහ මැතිවරණයෙන් කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද ජලය විකිණීමේ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත. එහිදී ඊට එරෙහිව මහ පාරේ අරගල කිරීමට මෙරට ජනතාවට සිදු වනු ඇත. එය එක්සත් ජාතික පෙරමුණ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ජාතික ආණ්ඩුවක් යටතේවත් වෙනස් නොවනු ඇත.

චන්ද්‍රසිරි ලන්දගේ