සිරුරේ දුවන ලේ පැකට් කර විකුණන දිනය ළංවනු ඇත…

blood in showcase

මෑතකදී ඉදිරිපත් වූ ඖෂධ නියාමන අධිකාරි පනතද ඊට පෙර ඉදිරිපත් වූ ජාතික රුධිර පාරවිලයන පනත ද ප‍්‍රමාණවත් සමාජ අවධානයකට ලක් වූයේ නැත. සෞඛ්‍ය සේවාවට සම්බන්ධ නෛතික හා ආයතනික ව්‍යුහයන් තුළ පවතින සීමාවන් බිඳ දමා පෞද්ගලික අංශයට ජාතික සෞඛ්‍ය සේවාව ආක‍්‍රමණය කිරීමට ඉඩකඩ සැලසීමත් දැනට පවතින නීති එම ආක‍්‍රමණයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමත් එමඟින් අපේක්ෂා කරයි.

සන්ධාන ආණ්ඩුවෙන් රුධිර පාරවිලයන පනතක් ඉදිරිපත් කෙරුණේ පෞද්ගලික ලේ බැංකු නීතිගත කරමින් රුධිරය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ අවශ්‍යතාව සඳහායි. ඖෂධ අධිකාරි පනත හරහා යහපාලන ආණ්ඩුව කටයුතු කළේ බහුජාතික සමාගම්වලට

ඖෂධ වෙළෙඳාමෙන් අධික ලාභ ඉපැයීම නීතිගත කිරීමටයි. මෙවැනි පනතක් 2001 පොදුපෙරමුණු ආණ්ඩුව විසින්ද ඉදිරිපත් කරන ලදි. ජාතික සෞඛ්‍ය සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීම අරමුණු කරගෙන එම පනත ඉදිරිපත් කෙරුණේද පවතින සෞඛ්‍ය සේවා ව්‍යුහය බිඳ දමා පෞද්ගලික අංශයට වැඩි ඉඩක් ලබාදීමේ ව්‍යූහාත්මක වෙනස්කම් සඳහාය. ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳ රජයේ වගකීමෙන් නිදහස් වී එය පෞද්ගලික අංශයට පැවරීම අවසන් අරමුණ විය. ජවිපෙ-චන්ද්‍රිකා පරිවාස ආණ්ඩුවෙන් පරාජයට පත් වූ නිසා එජාප පනත ක‍්‍රියාත්මක කිරීමට නොහැකි විය.

නවලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා වඩා වැඩි ඉඩකඩක් හා ස්වර්ණමය අවස්ථාවක් හිමිකර දෙන කාලවකවානුවක් උදාවෙමින් තිබේ. සමාජ වෙළඳපොළ ආර්ථීක සළුපිළි හැඳ සමස්ත ආර්ථිකයම පරාධීන කිරීමේ වෑයමක් යහපාලන කාලසීමාවේදී සිදුවෙමින් තිබේ. ජාතික සෞඛ්‍ය සේවා අධිකාරියක් පිහිටුවා සෞඛ්‍ය සේවයේ සියලූ දොස් නිවාරණය කරන බව එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශය අපට කියයි. එහෙත් ඒ හරහා ඇත්තෙන්ම සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳ කරුණු සඟවනු ලබයි. අධිකාරියක් වූ සැණින් සෞඛ්‍ය සේවකයා විශ‍්‍රාම වැටුප් සහිත තත්වයකට ඇද වැටෙයි. එසේම ලබාදෙන සෞඛ්‍ය සේවාවන්ට මිල නියම කිරීමේ බලයද එම අධිකාරියට හිමි වේ. යෝජිත සෞඛ්‍ය අධිකාරිය සෞඛ්‍ය සඳහා වන රජයේ වගකීමෙන් නිදහස් වීමේ උපක‍්‍රමයක් බව අප කියන විට එය එවැනි නිගමනයකට ඒමට ඉක්මන් වීමක් ලෙස කෙනකුට තර්ක කළ හැකිය. එහෙත් යහපාලන උතුරුසළුව දවටාගෙන මැතිවරණයකට පෙරාතුව මෙම පනත ගෙන එන්නේ කුමටදැයි අසන්නට සිදුව තිබේ. ගොනා හැරෙන්නේ සමාජ සුබසාධන පොල් පැලය දෙසට බව කීම ඉක්මන් වීමක් නොවේ.

මැතිවරණ ක‍්‍රියාවලිය අතරතුරම සෞඛ්‍ය සේවාව පෞද්ගලිකකරණය කිරීමේ කටයුත්තට යහපාලන ඇමැති මණ්ඩලය අත ගසා තිබේ. එය හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා වෙත ඇති ප‍්‍රමුඛතාවක් ලෙස හඳුනාගත හැකිය. සමාජ අවධානයට නොදැනී හොර රහසේ රුධිර ප්ලාස්මා වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ නීති සංශෝධනය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යහපාලන ඇමැති මණ්ඩලය අනුමැතිය දීමේ තේරුම එයයි.

රුධිරය යනු මෙරට සාමාන්‍ය ජනතාව සද්භාවයෙන් නොමිලේ පරිත්‍යාග කරන සම්පතකි. එමඟින් මරණාසන්නව සිටින රෝගීන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමේ

හැකියාවක් තිබේ. මිනිස් රුධිරය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම අප රටේ පමණක් සිදුවන්නක් නොවන බවටද තර්ක මතු වේ. එහෙත් වෙනත් ශරීර අවයව වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීමේ ප‍්‍රතිඵල අපට ලෝකය පුරාම අසන්නට ලැබේ. මිනිස් අවයව ජාවාරම් සිදුවන්නේද අවයව ලබාගැනීමට

මිනිසුන් පැහැරගෙන යාම සහ මරාදැමීම සිදුවන්නේද අප වසන ලෝකයේමය. එතරම් අනතුරුදායක තත්වයකට අප පැමිණ නැතත් මිනිස් ශරීරාංග අලෙවි භාණ්ඩ බවට පත් කිරීමෙන් ඇති වන විනාශකාරී ප‍්‍රතිඵල අනුමාන කරන්නට හැකිය.

නිදසුනක් ලෙස අදවන විට නිස්සරණාධ්‍යාශයෙන් රුධිරය ලබාදෙන තත්වය එවැනි තත්වයකදී වෙනස් වේ. එවිට රුධිරය පරිත්‍යාග කරන්නේ පුණ්‍ය චේතනාවෙන් නොවේ. රුධිරය වෙළෙඳ භාණ්ඩයක් වූ තත්වයේදී එසේ රුධිරය ලබාදීමෙන් ආදායමක් උපයාගත හැකිය. ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වීමේ අරමුණින් රුධිරය විකුණන්නට ජනතාවට සිදු වන තත්වයකදී මිනිස් සමාජය ඇද වැටෙන්නේ කෙබඳු තත්වයකටද? ආදායම් මාර්ගයක් අහිමි ජනයා නඩත්තු කිරීම සමාජයේ වගකීමක් බව වර්තමාන සමාජයේ අවධානයට ලක්ව නැත. ඒ නිසාම එය රජයේ වගකීමක් ලෙස සාකච්ඡුාවට ගැනෙන්නේම නැත. එහෙත් දැන් රුධිරය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම රජයේ තීරණයක් වී තිබේ.

එම තීරණය ගැනේනේ කෙබඳු පසුබිමකද? ලංකාවේ රුධිර පාරවිලයන අවශ්‍යතාවලට වඩා වැඩි ප‍්‍රමාණයකින් පරිත්‍යාග කිරීම සිදු වේ. එසේ ඉතිරිවන රුධිර ප්ලාස්මා ප‍්‍රමාණය අලෙවි කිරීමට යහපාලන ඇමැතිවරු අනුමැතිය ලබා දී ඇත. මෙසේ රුධිර ප්ලාස්මා විකිණීමෙන් ලැබෙන ආදායම එහිම නිෂ්පාදනයක් වන ප්ලාස්මා ප්‍රෝටීන මිලදී ගැනීමට භාවිතා කළ හැකි බවට තර්ක ගෙන එනු ලැබේ. එමඟින් රජයේ වියදම් අවම කිරීම කළ හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයාගෙන්

නිදහසට කරුණු දැක්වීමක් ලෙස අසන්නට ලැබේ. මෙය පැරණි සහ බොළඳ තර්කයකි. අමුද්‍රව්‍ය විකුණා ආදායම් ඉපදවීමත් එම ආදායමෙන් නිමිභාණ්ඩ මිලදී ගැනීමත් කළ හැකි බව එම තර්කය වේ. මිදුණු රබර් විකුණා ටයර් ආනයනය කිරීමත් මිනිරන් විකුණා පැන්සල් ආනයනය කිරීමත් නිදසුන් ලෙස ගත හැකිය. එම සෑම උදාහරණයකදීම හර බැර ගිණුම් සලකා බැලූ විට එය අවාසිදායක බව සනාථවේ. එම තර්කයට අනුව අමුද්‍රව්‍ය රුධිර ප්ලාස්මාවයි. නිමිභාණ්ඩය ප්ලාස්මා ප්‍රෝටීනයයි. රුධිර ප්ලාස්මා අලෙවි කර ප්ලාස්මා ප්‍රෝටීන මිලදී ගැනීමේදී හරබැර තුලනය සමාජයට වාසිදායක බව පිළිගන්නැයි යහපාලන ආණ්ඩුව අපට යෝජනා කරයි. එහෙත් එය කිසිසේත්ම සමාජමය වශයෙන් වාසිදායක නොවේ.

ජෝර්ජ් මිලර් නමැති සිනමාකරුවා විසින් නිර්මාණය කළ ත්‍මරහ ඍද්ා සිනමා කාතියෙන් කියැවෙනුයේ අනාගතයේ දිනක මිහිතලය ස්වභාවික සම්පතින් පිරිහී ගිය කාලයක තේමාවකි. මුඩු බිමක් ලෙස ලෝකයේ රුධිරය මිල අධික වෙළෙඳ භාණ්ඩයක් වීම ගැන එහි කියැවේ. සැබැවින්ම එවැනි යුගයක් උදා කරනුයේ නවලිබරල්වාදී සමාජ ආර්ථික සැලසුම් සකස් කරන පාලක පන්තිය විසිනි.

රුධිරය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමට මුලින් උත්සාහ කළේ මහින්ද රාජපක්ෂගේ සන්ධාන ආණ්ඩුවයි. එම පාලනය විවේචනය කර බලය ලබා ගත් මෛත‍්‍රීපාල සිරිසේනගේ යහපාලන ආණ්ඩුව එම උත්සාහය සාර්ථක කර ඇත. එළඹෙන මැතිවරණයේදී තීරණාත්මක තරගය ඇත්තේද එම පාර්ශ්ව දෙක අතරය. රුධිරය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ අරමුණ මෙම මැතිවරණ කාලයේ ප‍්‍රමාණවත් සාකච්ඡුාවකට ලක්වී නැත. එහෙත් මැතිවරණයෙන් පසුව හෝ මෙය සමාජ අවධානයට ලක් කරමින් එම වුවමනාව පරාජය කිරීම සමාජ අවශ්‍යතාවක් ලෙස අවධාරණය කළ යුතුව තිබේ.

වෛද්‍ය ගිෂාන්ත දසනායක