ළමයින් වෙනුවට රොබෝවරු

childrenළමයා මිනිසාගේ පියාය’ යනුවෙන් කියමනක් ඇත. ඒ මිනිසකු බිහිවන්නේ ළමයකු තුළින් වීම නිසාය. අපටද ළමා වියක් විය. ජීවිතය ගැන ආපස්සට හැරී විමසුවොත් අපේ මනසේ ජීවිතය පිළිබඳ වඩාත් මතකයන් ඇත්තේ ළමා වියේය. ඒ මතක විචිත‍්‍රය. විසිතුරුය. විවිධත්වයෙන් අනූනය. ළමා දිනයක් හා ළමා වැඩසටහන්, විශේෂාංගයන්ගෙන් පිරී ඔක්තෝබර් මාසයකම ළමයින් ගැන ඇසූ පුවත්ද මනස රිදවනසුලූ විය. කාලය ගතවෙමින්ද ලෝකය කැරකැවෙමින්ද ජීවිත වෙනස් වෙමින්ද තිබේ. එය ළමයින්ටද අදාළය. ආසියාතික ජීවන පැවැත්මක මාපිය දූදරු නෑ හිතමිතුරු බැඳීම් ගොන්නක සිටි ‘ළමයා’ වෙනුවට අද සිටින්නේ තනි තනි හුදෙකලා පවුල් ඒකක තුළත් හුදෙකලා වූ, ධනේශ්වර ගති සිරිත් අනුව කයක් මනසක් සැකසුණු ළමයින්ය. ඔවුන් ආසියාතික ජීවන සිරිත් විරිත් අනුව ගොඩනැඟුනු දරුවන්ට වඩා බොහෝ සේ වෙනස්ය. ”අපේ ළමයා ගැන නම් මට තියෙන්නේ හරිම වේදනාවක්. මොන විදියකට හැදුන ළමයෙක්ද මන්දා… කියන කිිසිම දෙයක් අහන්නේ නෑ. ඉල්ලූවොත් ඉල්ලපු දේ කොහොම හරි  ඕනෙ. නැති වුණොත් අපිටත් බනිනවා ගහනවා. කතා කරන්නෙත් කොච්චරවත් කේන්තියෙන්. ලොකු වුණාම අපිට පයින් ගහලා එළියට දායි.”

මෙවැනි ප‍්‍රකාශ අද බොහෝ පවුල්වල මව්පියන්ගෙන් ඇසේ. තරුණ වියට පා තැබූ දරුවන් අතර – පේ‍්‍රමය නොලැබු නැයි ගැහැනු ළමයාට පිහියෙන් ඇන මරා දමන පිරිමි ළමයින්ද පෙම්වතියට තෑගි දීමට මවගෙන් සල්ලි ලබාගත නොහුණු තැන මව මරා දමන පුතුන්ද පියවරුන්ට පොලූවලින් ගසා මරන දරුවන්ද අධික සේ කෝපයට, ඉච්ඡුා භංගත්වයට පත්ව හෝ පළිගැනීමේ අදහස සහිතව සියදිවි හානි කරගන්නා ළමයින් ගැනද අප ඇති තරම් අසා ඇත්තෙමු. එසේම පොඞ්ඩ එහෙ මෙහෙ වූ තැන කලහ කරගැනීමට පෙලඹෙන දරුවන් ගැනද අපට අසන්නට ලැබේ.

දරුවකු සමාජය තුළ ක‍්‍රියාකාරී වීමට උගන්නේ උපතේ සිට ඔහු හැසිරෙන අතපතගාන පරිසරයෙන් හා අධ්‍යාපන ආයතන තුළින්ය.

අපේ දරුවෝ දැන් වයස 2 1/2 – 3 සිට යොවුන් විය දක්වාම ආයතන තුළ අධ්‍යාපනය ලබති. එම ආයතනගත අධ්‍යාපනය කෙබඳුද? රටක අධ්‍යාපන ප‍්‍රතිපත්ති සැකසෙන්නේ එහි ආර්ථික සැලසුම්වලට අනුකූලවය. ඒ අනුව රට තුළ ක‍්‍රියාත්මක නවලිබරල් ධනවාදයට අවශ්‍ය වන මිනිසා, බුදධියෙන්, තර්ක ඥානයෙන් අනූන, තනිව යමක් නිපදවා ගත හැකි, මානව දයාවෙන් හා සාමූහිකත්වයෙන් යුතු මිනිසකු නොවන්නේය. ඒ වෙනුවට පෞද්ගලික කම්හලක උපදෙස් දී පුහුණු කළ පරිදි වෙළෙඳ භාණ්ඩයක කොටසක්  පමණක් ගැන දන්නා, වඩා දුරදිග  නොහිතන, තමන් ගැන පමණක්ම හිතන, සාමූහිකත්වය ගැන බිඳක් හෝ නොහිතන පුද්ගලයකු බිහිකර ගැනීම මෙම ආර්ථික රටාවට අවශ්‍ය වේ. එකෙකු එළියට ඇද දැමූ විට ඒ වෙනුවෙන් හඬ නොනඟා එය තමන්ට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස සිතා කම්හල් තුළට පැන ගැනීමට පොරබදන තරුණ තරුණියන් අවශ්‍යය. මිනිස් ශ‍්‍රමයේ වටිනාකම තක්සේරු නොකොට තුට්ටුවට දෙකට හෝ ශ‍්‍රමය වැගිරීමට කැමති පරපුරක් අවශ්‍යය. අපගේ අධ්‍යාපන රටාව සැකසී ඇත්තේ එබඳු පරමාර්ථ සාධනයට මිස මිනිස් යහපත උදෙසා නොවන බව සැබෑය.

උදාහරණයක් ලෙස ශිෂ්‍යත්ව විභාගය ගැන සිතන්න. වයස අවුරුදු 7 සිට පාසලෙන් බාහිරව ශිෂ්‍යත්ව ඉලක්ක සහිතව ටියුෂන් යවා ජීවිතය එපා කරවන තරම්ම දරුවන් හෙම්බත් කරවන්නේ එවන් පීඩනයක් දරාගැනීමට උචිත වයසක පසුවන දරුවන් නොවේ. එසේ අධික මහන්සියකින් පසු දරුවා එක් ප‍්‍රශ්න පත‍්‍රයකට ලකුණු 75 බැගින් ලැබුවද ශිෂ්‍යත්වයෙන් සමත් නොවේ. එහෙත් සාමාන්‍ය විභාගයකදී ලකුණු 75ක් යනු විශිෂ්ට සාමාර්ථයකි. ඉතාම ළපටි වයසේදී ඉතාම අසාධාරණ විභාගයකට පෙනී සිටීමට දරුවන්ට සිදු වේ. ප‍්‍රශ්න පත‍්‍රයකට ලකුණු 80ක් ගත් දරුවකුට උපරිම හිමිවන්නේ ලකුණු 160ක් පමණි. එබඳු දරුවකු ඇතුළත් කරගන්නට ජනප‍්‍රිය කිසිදු පාසලක් නොනැමේ. පාසල්වල ලකුණු සිමාද වසරින් වසරට ඉහළ යන්නේ දරුවන් උස්සා පොළොවේ ගසන තරම්ම අමානුෂිකත්වය. ඉතාම ළාබාලම වයසේදී ජීවිතයේ උග‍්‍රම තරගයට ඇද දැමෙන දරුවෝ ඔවුහුය. මව්පියන්ද පාසල්ද ගුරුවරුන්ද ටියුෂන්ද එක්වූ කළ මේ තරගයෙන් දරුවන් තුළ කිසිදු යහගුණයක් මානව දයාවක්, අන්‍යෝන්‍ය සුහදතාවයට, උපකාරයට හැඟීමක් ඉතිරි නොකරම යන්ත‍්‍ර බවට පත්කිරීම සිදුකරයි. තමන් පෙළන මව්පියන් ගුරුවරුන් කෙරෙහි සියුම් වෛරයක්ද තමන්ට වඩා ලකුණු ගන්නා සහෝදර සිසුන් ගැන ද්වේශයක්ද ඔවුන් තුළ නිරායාසයෙන් ගොඩනැ‍ෙඟ්.

අධ්‍යාපනය කොතරම් තරගයක් බවට පත්ව ඇත්දැයි පෙනෙන්නේ ටියුෂන් ක්ෂේත‍්‍රය දෙස විමසිලි බැලූම් හෙළුෑ විටය. 1 වසර සිට 13 වසර දක්වාම ළමයාගේ පාසල් කාලයෙන් පසු කාලය වැඩියෙන්ම ගෙවන්නේ ටියුෂන් පන්තිවලය. සති අන්තයක් හෝ නිවාඩු කාලයක් දරුවන්ට නැත. පාසලේත් ටියුෂන් පන්තියේත් ගෙදර වැඩ නිමකොට ඉතිරි වන ඉතා සුළු කාලය ගෙවෙන්නේ කාටූන් ලෝකයේ හෝ ඉන්ටර්නෙට් කම්පියුටර් හෝ හෑන්ඞ් ෆෝන් ගේම්ස්වලය. ඒවා ළමා මනසට කරනු ලබන බලපෑම වෙනම සඳහා බැලිය යුතුව ඇත. අප කුඩා කල මව හෝ මිත්තනිය විසින් රසට ගැල පූ අමල්බිසෝ කතාව, රාස්සයන් කන පරාස්සයාගේ කතාව අසන්නට හැකි විය.  පොත පතින් මහදැනමුත්තා, හත්පෙති මල, මායා බෝංචි වැල ආදිය කියවා පරිකල්පනයෙන් ඒවායේ තවත් දුර පියමැන්නෙමු. දැන් එම හිඩැස පියැවී ඇත්තේ කාටූනයෙනි. ළමා මනස හඳුනාගෙන එය ආනන්දයෙන් ප‍්‍රඥාවෙන් පුරවන්නට සමත් කාටූන්, ලෝකයේ බිහිවේ. එහෙත් ඒ අතර ළමා වෙළෙඳපොළක් ඉලක්ක කොටගත් කාටූනද බොහෝ විට දක්නට ලැබේ. අපේ සුරංගනා කතාවල වීරයා අතිශය සැහැසි නැත. එහෙත් සමහර කාටූන්වල වීරයා සතුරන් පරදවන්නේ ලේසර් තුවක්කුවෙන් හෝ වෙනත් විද්‍යුත් උපකරණයකින් හෝ තමාගේ මායාබලයෙන් උපද්දන අද්භූත බලයන්ගෙන් කුඩුපට්ටම් කර දමමිනි. ඒවා කරන්නේ කෙසේද? ශරීර ඉරියව් උපකරණ භාවිතය යන්තම් බහතෝරන දරුවන් පවා අනුකරණය කරන ආකාරය පෙනේ. ඊට අමතරව පොඩිවුන්ට කාටූන ප‍්‍රදර්ශනය කරන විට හඬ කවන මාමලා, මීමලාගේ දෙබස්ද කාටූනවලට ඇතුළත් කරයි. වැඩිහිටි සමාජයේ ඇති නොමනා ආකල්ප අතින් දමා හඬ කවන මාමලා ඒවායෙන් ආතල් ගනිති. දරුවෝ එබස් ගිරවු මෙන් පුනරුච්චාරණය කරති.

කාටූනය එපා වූ කල දරුවන් කරන්නේ ගේම් ගැසීමය. ඒවායේද ඇත්තේ සතුරන් සමඟ කරන වෙඩි හුවමාරුය. නැතිනම් මුදල් එකතු කිරීම්ය. එසේත් නැත්නම් හොල්මන් සමඟ සටන්ය. ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමත් කඩිනමින් අවශ්‍ය දේ තෝරාගැනීමත් දරුවන්ට හුරු වූවද දරුවන්ගේ ලෝකය පසමිතුරුතාවයන්ගෙන් පිරුණු සටන් පමණක් ඇති, තනිව සියයකට වුව නෙළන්නට හැකි යැයි සිතෙන මානසිකත්වන්ගෙන් පිරේ.

පාසල, ටියුෂන්, කාටූන් සහ ගේම් අතර ජීවිතයේ දරුවාට බොහෝ දේ මඟහැරේ. තමන් ජීවත් වන පරිසරයේ ගහකොළ දරුවා නොහඳුනයි. ඇළ දොළ, වෙල් ඉපනැල්ල නොදකී. තමන්ගේ මව පියා තමන් වෙනුවෙන් වෙහෙසෙනු දුක්විඳිනු නොදකී. තමන් අවට මිනිස් සමුහයාගේ විවිධ සමාජ හැසිරීම්, සමාජ ප‍්‍රශ්න දුක, වේදනාව, සතුට නොදකී. තමන්ගේ ළඟම සිටින කෙනාට හැෙඟන්නේ දැනෙන්නේ මොනවාදැයි නොදනී. කෙටියෙන් කිවහොත් සියලූ මිනිස් සබඳතාවල යථාර්ථය ඔහුට මඟහැරේ. ඔහුගෙන් ගොඩනැෙඟන්නේ තනි හුදකලා මිනිසෙකි.

එසේනම් අප මෙසේ කියමුද? ”මීට දශක දෙකතුනකට පෙර සිටි ළමයා ඉතා සුවච කීකරු ළමයෙකි. එහෙත් අද ළමයින් ඉතා නරකය.” නැත. ළමයින්ගේ කරපිට වරද පටවා දෑත් පිසදා ගන්නට වැඩිහිටි අපට නොහැකිය. මන්ද ළමයින්ගේ අධ්‍යාපනයේත් ඔවුන් ඇසුරු කරන සමාජ වපසරියේත් කොටස්කරුවන් අප වන බැවිනි.

කුමුදු පී. මුණසිංහ