යුද අපරාධ කවුරුන් කළ ඒවාද?

Janarala-poster-2මේ දවස්වල වැඩිම කතාබහ යන්නේ යුද අපරාධ පිළිබඳව කෙරෙන පරීක්ෂණ ගැන. ඒ ජිනීවා නගරයේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයත් සමඟ. එහිදී ලංකාවේ යුද්ධයේදී ජාත්‍යන්තර මානුෂීය නීති කඩවීමක් සිදු වුණාද කියලා සොයන්න ලංකාව කරන අභ්‍යන්තර පරීක්ෂණයකට සහය දෙන්න අමෙරිකා එක්සත් ජනපදය ගෙනා යෝජනාව ඡුන්ද විමසීමකින් පවා තොරව සම්මත වුණා. එක පිරිසක් මේ පරීක්ෂණ හරහා යුද්ධයේ ඇත්ත හෙළිවන තුරු බලාගෙන ඉන්නවා. තවත් පිරිසක් මේක අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් කියලා පාරට බහින්න යනවා. ඒ අය කුමන හෝ වර්ගයක පරීක්ෂණයකට විරුද්ධයි. තව කට්ටියක් කියන්නේ යුද්ධයේදී කිසිම අපරාධයක් සිදුනොවූ බව. මේ කලබගෑනි මැද අපිත් ඒ ගැන යමක් කියන්න මෙවර කතුවැකිය වෙන් කරනවා.
ඒකෙදි පළමුවෙන් ඇසෙන ප‍්‍රශ්නයට අපි උත්තර දෙමු. ලංකාවේ යුද්ධයේදී මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සිදු වුණාද? උත්තරය පැහැදිලියි. සිදු වුණා. යුද්ධය ඒ දිනවල රූපවාහිනී නාළිකාවල පෙන්නුවා වගේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් මෙන් සෞම්‍ය සංසිද්ධියක් නෙවෙයි. ඒ වගේම ඒක එක සිවිල් පුරවැසියෙක්වත් නොමැරෙන ආකාරයට කළ සූක්ෂ්ම මානුෂික මෙහෙයුමකුත් නෙවෙයි. යුද්ධයේදී යුද මුක්ත කලාපවලට ප‍්‍රහාර එල්ල වුණා. අත්අඩංගුවට ගත් අය මරා දැමුවා. ජනතාව වෙසෙන ගම්මානවලට ගුවන් ප‍්‍රහාර එල්ල කළා. බර අවි ප‍්‍රහාර එල්ල කළා. කුඩා ළමුන් මැරුවා. පළිගැනීමේ
ආයුධයක් ලෙස සහ ආධිපත්‍යය ප‍්‍රදර්ශනය කිරීමේ ක‍්‍රමයක් ලෙස ලිංගික හිංසන භාවිත කළා. ඒ හැම දෙයක්ම සිදු වුණා. ඒවා තනි හුදෙකලා සිදුවීම් ලෙස නොව යුද්ධයේ ප‍්‍රධාන මූලෝපායන් ලෙස භාවිත වුණා. නිතරම ඇසෙන දෙවැනි ප‍්‍රශ්නය, මේවා ගැන පරීක්ෂණයක් අවශ්‍යද? නිශ්චිතවම ඔව්. යුද්ධයේදී හමුදාව අතින් තමන්ගේ ඥාතියාට හිතවතාට අසල්වැසියාට සිදු වූ දේ දැනගන්න උතුරේ ජනතාවට අයිතියක් තිබෙනවා. යුද්ධයේදී එල්.ටී.ටී.ඊ.ය කළ දේ දැනගන්න දකුණේ ජනතාවටත් අයිතියක් තියෙනවා. ඒ වගේම යුද්ධයේ සිදු වූ දේ දැනගන්න සමස්ත සමාජයටම අයිතියක් තිබෙනවා. යළි එවැනි විනාශයන් සිදු නොවන අධිෂ්ඨානයකට සමාජය ගෙන එන්න නම් සිදු වූ විනාශය ගැන තොරතුරු සහ දත්ත අවශ්‍යයි. ඒ කෲරත්වය හරියටම දැනගත්තොත් තමයි අපි සමාජයක් ලෙස ඒ ගැන කම්පනය වෙන්නේ. සැබෑ ප‍්‍රතිසන්ධානයක් සඳහා එවැනි සමාජමය කම්පනයක් අවශ්‍යයි. ඒ නිසා සියල්ල හෙළි කරන පරීක්ෂණයක් අවශ්‍යයි.
නමුත් මානව හිමිකම් කොමිසමේ යෝජනාවට අනුව සිදු වන්නේ ඒකද නැත්නම් වෙන දෙයක්ද? මූලිකව ගත්තොත් මේ පරීක්ෂණයට මැදිහත්වෙන ලංකාවේ ආණ්ඩුවට වගේම අධිරාජ්‍යවාදී රටවල් සහ ඔවුන්ගේ රූකඩ බවට පත්ව තිබෙන ඊනියා ජාත්‍යන්තර සංවිධානවලටත් තමන්ගේම දේශපාලන න්‍යායපත‍්‍ර තිබෙනවා. ඔවුන් මේ පරීක්ෂණයට එළඹෙන අරමුණ සිංහල සහ තමිල් ජාතික ජන කොටස් අතර ඇති වී තිබෙන දුරස්ථභාවය, සැකය සහ විරසකභාවය තවදුරටත් අඩුකිරීම නෙවෙයි. ඒ සමාජයන් අතර පරතරය අඩුකිරීමත් නෙවෙයි. එයට ප‍්‍රමුඛ වී තිබෙන්නේ තම තමන්ගේ බල අරමුණු සහ දේශපාලන ව්‍යාපෘති. එවැනි පරීක්ෂණ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලය විය හැක්කේ ඒ පරතරය තවත් වැඩිවීම. මේ ගැන පුළුල් සමාජ අනුමැතියක් කෙසේ වෙතත් පතුළටම විහිදුණු සංවාදයක්වත් නැති තත්වයක් තුළ බොරදියේ මාළු බාන ජාතිවාදී කොටස්වල ශක්තිමත් වීමකුත් වෙන්න පුළුවන්. ඒ නිසා යුද්ධයේදී සිදු වූ කවර හෝ අපරාධයක් සම්බන්ධ පරීක්ෂණ අවශ්‍ය බව පිළිගන්නාමුත් අපට මේ පරීක්ෂණ යෝජනාවට අත ඔසවන්න හෝ උද්දාමයට පත්වෙන්න බෑ. මේ පරීක්ෂණවලින් සිංහල සහ තමිල් ජන කොටස් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති නොවනවා පමණක් නොව සැබෑ අපරාධකරුවන් හෙළිදරව් කර ගන්නත් බෑ.
මේ සිදු කරන පරීක්ෂණ ඉලක්ක කරන්නේ තනි තනි සිදුවීම් සහ ඒවායේ වගඋත්තරකරුවන්. මේ ආකෘතියේ පරීක්ෂණවලදී අවසානයේදී වරදකරු වන්නේ කවුරුන් හෝ සොල්දාදුවෙක්. සිදු වූ අපරාධවලට වගකිව යුත්තන් ලෙස හමුදාවේ පහළ ස්තරයක් නම් කර ඔවුන්ට දඬුවම් දීමේ ක‍්‍රියාවලියේ සැබෑ අරමුණ මේ විනාශයේ ඇත්තම අපරාධකරුවන් සහ විනාශයේ නිර්මාපකයන් නිදහස් කිරීම. යුද අපරාධ ගැන පරීක්ෂණ ඉල්ලා සිටින කවුරුත් එහි දේශපාලන සහ මිලිටරි නායකත්වය ගැන කතා කරන්නේ නෑ. යුද්ධය පැවැති කාලයේදී මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා ආදීන් සාමාජිකයන්ව සිටි ආරක්ෂක මණ්ඩලයේ ගත් තීරණ සහ ඒවායේ වාර්තා ගැන පරීක්ෂණයක් අවශ්‍යයි. ගම්මානවලට උඩින් ගිහින් බෝම්බ දාන්න, ජනතාව වාසය කරන ප‍්‍රදේශවලට බර අවි ප‍්‍රහාර එල්ල කරන්න, අත්අඩංගුවට ගත් අය මරා දමන්න, විශේෂයෙන් යටත් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මරා දමන්න තීරණ ගත්තේ තනි තනි සේනාංක හෝ ඒවායේ සිටි සොල්දාදුවන් නෙවෙයි. ඒ තීරණ ගත්තේ ඉහළින්. නියෝග නිකුත් කළේ ආරක්ෂක මණ්ඩලය. මේ කරන්න හදන්නේ නියෝග දුන් අය බේරලා, නියෝග පිළිපැදි අයව දඬුකඳේ ගහන එක. ආණ්ඩුවේ ලොක්කෝ තමන්ගේ පන්තියේ සාමාජිකයෝ බේරලා පහත් තැනින් ජලය යවන්න සූදානම්. ඒ වගේම මේකෙන් තව දෙයක් වෙනවා. ඒ දයාන් ජයතිලක කියන දේ තහවුරු වීම. දයාන් කියන්නේ මෙහෙම දෙයක්. ”හැම තැනම නරක මිනිස්සු ඉන්නවා. ගමක උනත් නරක අය කිහිප දෙනෙක් ඉන්නවා. හමුදාවේත් එහෙමයි. යුද්ධය සමස්තයක් විදියට ගත්තාම ප‍්‍රශ්නයක් නෑ. ඒකෙදි මානව හිමිකම් කැඩුණේ නෑ. ඒත් හමුදාවේ නරක අය සුළුතරයේ සමහරු නරක වැඩ කරලා ඇති. ඒවා දේශීය පරීක්ෂණයක් මඟින් සොයලා ඒ අයට දඬුවම් දිය යුතුයි. ඒත් යුද්ධය ඉතා විශිෂ්ට මානුෂික ක‍්‍රියාවලියක් බව පිළිගත යුතුයි.” මේ පරීක්ෂණ අවසානයේදී කරන්නේ ක‍්‍රියාවලිය නිදොස් කරලා, පුද්ගලයන් කිහිපදෙනෙක් වැරදිකරුවන් කරලා, ඇත්ත වරදකරුවන් වගේම ඇත්ත වැරැුද්දත් සඟවන එක.
මේ උත්සාහයට අපිට එකඟ වෙන්න බෑ. ඒත් මේ හරහා හෝ යුද්ධයේ විනාශකාරීත්වය තොරතුරු සහ දත්ත මඟින් තහවුරු වීම නරක නෑ. නමුත් අපේ අරමුණ යුද්ධයේ තුවාල සුවකර සිංහල සහ තමිල් ජනතාව අතර සැබෑ ප‍්‍රතිසන්ධානයක් නම් එවැන්නකට ලංකාවේ පාලකයන් හෝ අධිරාජ්‍යවාදීන් මත විශ්වාසය තබන්න බෑ. ඒ සඳහා ජන සහභාගී ක‍්‍රියාවලියක් අවශ්‍යයි. සිදු වූ දේ සහ එහි දේශපාලන පදනම් ගැන පුළුල් සමාජමය සංවාදයක් ආරම්භ කිරීම එවැනි උත්සාහයක පළමු පියවර වෙනවා. අපි බර තබන්නේ එවැන්නකට.