විෂම චක‍්‍රය කැඞීම

ජනවාරි 8 වැනිදා සිදු වූ දේ පිළිබඳ ජනතාවගේ උද්දාමය ක‍්‍රමයෙන් වියැකෙමින් තිබෙන වකවානුවක තවත් සතියක් ගෙවී ගියේය. උද්දාමය පමණක් නොව ඒ ගැන තිබූ බලාපොරොත්තුද කඩවී ගොසිනි. මහින්දට විකල්පය තමන් යැයි හුවා දැක්වූ මෛත‍්‍රීද මහින්දගේම
තවත් රූපාකාරයක් බව තහවුරු වෙමින් තිබේ. හුදු මුහුණු මාරුවකින් සිය සැබෑ ජීවිතයේ ප‍්‍රශ්න නොවිසඳෙන බව ජනතාවට වැටහෙමින් තිබේ. එක් පැත්තකින් රුපියලේ අගය අවප‍්‍රමාණ වීම නිසා සිදු වන භාණ්ඩ මිල ඉහළ යාමෙන්ද අනෙක් පැත්තෙන් තේ, රබර් ඇතුළු අපනයන වැවිලි වල මිල පහත වැටීමෙන්ද යන දෙආකාරයෙන්ම ජනතාවගේ ජීවන මට්ටම දරුණු බිඳ වැටීමකට හසුවෙමින් තිබේ. ජනතාව මුහුණු මාරුව ගැන දේශපාලන අධ්‍යාපනයක් ලබා තිබේ යැයි පැවැසිය නොහැකි වුවද ජනතාවට පවතින අර්බුදය සහ එය තමන්ට බලපාන ආකාරය පිළිබඳ වැටහීමක් ලැබෙමින් පවතී. සමාජය, විශේෂයෙන් පහළ පාන්තික ජන කොටස් අතර උණුසුමක් වර්ධනය වෙමින් තිබේ. මාධ්‍ය නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ දේශපාලන උනන්දුව පහළ වැටෙමින්, දේශපාලන වේදිකාව සීතල වෙමින් පවතින බව වුවත් පතුලෙන් ගත් විට එය රත් වෙමින් තිබේ. මෛත‍්‍රී සහ රනිල් උත්සාහ කරන්නේ එය නිවීමටය. විවිධාකාර සන්දර්ශන කරළියට එන්නේ ඒ නිවා දැමීමේ සහ දියාරු කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙසිනි. අපේ ව්‍යාපෘතිය ඊට එරෙහි ව්‍යාපෘතියයි. එනම් මේ අතෘප්තිය, කලකිරීම සහ අපේක්ෂා භංගත්වය කාගේ හෝ බල ව්‍යාපෘතියක සරල වලිගයක් වීමට ඉඩ නොදී එයට දේශපාලන ප‍්‍රකාශනයක් ලබා දීමේ ව්‍යාපෘතියයි.

  • වාසිය කාටද?
    ‘මහින්ද පැරදවීම’ යනු මහින්ද රාජපක්ෂ නමැති උඩු රැුවුල වවා ඇති සාටකයක් පැලඳි කෙනා ගෙදර යැවීමට එහා ගිය බරපතළ දේශපාලන පරිවර්තනයක් බව අපි දිගින් දිගටම පැවසුවෙමු. එසේ නොවුනොත් සිදුවිය හැක්කේ දෙවැනි මහින්ද කෙනකු සිංහාසනාරූඪ වීම හෝ පළමු වැනි මහින්දම යළි ඔටුනු පැලඳීම බව අප පුනපුනා කීව බව පාඨක ඔබට අමතක විය නොහැක. දැන් සිදුවෙමින් පවතින්නේ එයයි. මහින්ද නමැති පුද්ගලයා ජනවාරි මාසයේදී ජනාධිපති පුටුවෙන් බැස ගිය අතර මෛත‍්‍රී කරළියට පැමිණියේය. මේ ගෙවෙන්නේ මෛත‍්‍රී ක‍්‍රමානුකුලව සිය බලය තහවුරු කරගෙන යාමේ අවධියයි. මෛත‍්‍රී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද එක්සත් ජනතා සන්ධානය තුළද බලය තහවුරු කරගන්නා අතර ආණ්ඩුව තුළද බලය තහවුරු කර ගනිමින් සිටී. එහෙත් ඒ ජනාධිපතිවරණයට පෙර පැවසූ ප‍්‍රමිතියට අනුකූලව නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, ඥාති සංග‍්‍රහය ගැන, පසුගාමී සන්දර්ශනවාදය ගැන මෙන්ම යහපාලනය ගැන හා බලය අයුතු ලෙස භාවිත කිරීම ගැනත් සාකච්ඡුා වූ ප‍්‍රමිතීන් අමු අමුවේම කඩ කරමින් තිබේ.

බලය තහවුරු කිරීමේ ක‍්‍රියාවලියේ බොහෝ ස්ථානවලදී මෛත‍්‍රී භාවිත කරන්නේ මහින්දගේම ක‍්‍රමයි. කටවුට්- බැනර් සංස්කෘතිය තුරන් කරන බවට පොරොන්දු අහසේ පාවී ගොස් තිබේ. මේ සටහන ලියන මොහොත වන විටත් රට පුරා මෛත‍්‍රීගේ රුව සහිත බැනර් සහ කටවුට් එසවී තිබේ. ඒ මහින්ද යුගය සිහිකරමිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය වගකීම යටතේ දමා ඇති බැනරයක ජනාධිපතිවරයාට සුභපතා තිබෙන්නේ ‘රණවිරුවන් බේරා ගැනීම’ සම්බන්ධයෙනි. ජනවාරියේ තමිල් ජනතාවට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වෙමින් උතුරේ සහ නැෙඟනහිර ඡුන්දවලින් බහුතර බලය තහවුරු කරගත් මෛත‍්‍රී ඔක්තෝබර් මාසයේදී රණවිරුවන් බේරාගත් විරුවා ලෙස තමන්වම බෞතීස්ම කරගැනීම ගැන වෙනම ලිපියක් ලිවිය යුතුය. ඒ අතර ඥාති සංග‍්‍රහය ගැන කියූ කතා හුදු දේශපාලන ප‍්‍රචාරක උපක‍්‍රමවලට වඩා වැඩි යමක් නොවන බව මෛත‍්‍රීම ඔප්පු කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ සමුළුවට සිය පුත‍්‍රයා විශේෂ සාමාජිකයකු ලෙස සහභාගී කළ මෛත‍්‍රී සිය සොහොයුරාට බස්නායක නිලමේ තනතුරක් ලබා දී ඇති බවට එල්ලා ඇති බැනර් දෙස් දෙයි. මේවා මහින්දගේ වැඩ ශෛලියෙන් වෙනස් වන්නේ කොතනින්ද? මේ අතර මහින්ද විසින් එපාවන තුරු කළ සන්දර්ශනයක් වන පණ්ඩිත අමරදේව හමුවී මාධ්‍ය ඉදිරියේ ඔහුගේ සැපදුක් විමසීමේ රංගනයද පසුගිය දා මෛත‍්‍රී විසින් සිදු කිරීමත් සමඟ ඔහු කෙතරම් දක්ෂ අනුකාරකයකුද යන්න තහවුරු වී තිබේ. රටේ ජනතාවට මහින්ද පැරදවීමට සිදුවුයේ ඔහුගේ මේ දේශපාලන භාවිතාව නිසා මිස ඒ පුද්ගලයාට විරුද්ධ නිසා නොවේ. දැන් සිදුවන්නේත් එයම නම් මහින්ද එළවීමෙන් සමාජයට සිදු වූ වාසිය කුමක්ද යන ප‍්‍රශ්නය මතු වේ.
මහින්දගේ පරාජයේ වාසිය මුළුමනින්ම පාහේ හිමි කරගෙන සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය ප‍්‍රමුඛ ගෝලීය බලවතුන් ලෙස හඳුන්වනු ලබන අධිරාජ්‍යවාදීන්ය. ලෝක දේශපාලන බල තුලනයෙදී ඉන්දියානු සාගරයේ බල ආධිපත්‍යය අතිශය වැදගත් වේ. ඒ සඳහා අමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ කඳවුරත් චීනය ප‍්‍රමුඛ කඳවුරත් අතර ප‍්‍රතිවිරෝධයක් පැවතිනි. විටෙක ඒ ප‍්‍රතිවිරෝධය සීතල යුද්ධයක හෝ වාග් සංග‍්‍රාමයක හැඩය ගත් අතර තවත් විටෙක ඍජු යුදමය ගැටුමක හැඩය ගත්තේය. ලංකාවේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය මඟින් සිදු වූයේ එම ප‍්‍රතිවිරෝධයේ එක කඳවුරක් ශක්තිමත් වීමයි. ඒ බව මෑතකාලීන ලෝක දේශපාලන අත්දැකීම්වලින් තහවුරු වේ. පසුගිය සතියේ අගමැතිවරයා ජපානයේ සංචාරයක් ගිය අතර ජපානය ඉන්දියානු සාගරයේ බලය පිළිබඳ ප‍්‍රශ්නයේදී චීනයේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදියෙක්ද කලාපයේ අධිරාජ්‍යවාදී ඉත්තෙක්ද වේ. එනිසා ජපන් සංචාරය හුදු රාජතාන්ත‍්‍රික කටයුත්තකින් ඔබ්බට ගිය ජාත්‍යන්තර දේශපාලනයේ තීරණාත්මක ඇඟවුමකි. මෙසේ මහින්ද පරාජය කිරීමේ වාසිය අධිරාජ්‍යවාදීන් සහ ඒකාධිකාර සමාගම් ඇතුළු ගෝලීය ප‍්‍රාග්ධනය ලබා ගන්නා අතර ලංකාවේ සමාජයට එමඟින් ලැබිය යුතු අවම වාසියවත් ලැබී නැත. ඇත්තටම කියන්නේ නම් වාසියක් ඇති-නැති ගානය. ඒ නිසාම දැන් මෛත‍්‍රීට සහය දුන් කෙනෙක් සොයාගැනීමත්
පහසු නැත. යහපාලන නියෝජිතයන් ඔළුව පාත් කරගෙන සිටී. මහින්ද සිටියා නම් මීට වඩා හොඳ බවට සමාජ මතයක් ඇතැයි පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රී වෙනුවෙන් කඬේ යාමට සිය ප‍්‍රතිපත්ති පවා පාවාදුන් ජනතා විමුක්ති පෙරමුණත් පැවැසීම මෙයට හොඳම නිදසුනයි. එමෙන්ම එය ලජ්ජා නැතිකමේද නිදසුනක් බව පැහැදිලිය.

  • මෙතනින් කොතැනටද?
    මෙසේ මෛත‍්‍රී සහ රනිල් අනාගන්නා අතර මහින්දගේ ව්‍යාපෘතිය අළු යට ගිනි මෙන් ක‍්‍රමානුකූලව සක‍්‍රීය වෙමින් පවතී. වීරවංශ සහ දිනේෂ් වැන්නන් හැමදාම පාර්ලිමේන්තුව
    රැුස්වූ අවස්ථාවලදී සටන්කාමී විපක්ෂයක හිස්තැන පිරවීමට උත්සාහ කරමින් සිටී. පාර්ලිමේන්තුව රැුස්වන සෑම දිනකම රාත‍්‍රී රූපවාහිනියෙන් දකින්නට ලැබෙන්නේ මහින්දවාදීන් ආණ්ඩු විරෝධයේ ප‍්‍රකාශකයන් වීමට තැත් කරන ආකාරයයි. දැනට පවතින අර්බුදය තව තවත් මෝරා ගොස් සමස්ත පාලක තන්ත‍්‍රයම කුණුවන අවස්ථාවක, රනිල්ට මිනී මරන්නට සිදු වන සහ රනිල් ජනතාවට වෙඩි තබන්නට තීරණය කරන අවස්ථාවක සිදු වන දේ අපට දැන්ම අනුමාන කිරීම අපහසු නැත. මෙවර යහපාලනය සහ මහින්ද විරෝධය ගැන තොරතෝංචියක් නැතිව බෙරිහන් දුන් ඊනියා විද්වතුන්, කලා ශ‍්‍රමිකයන්, මාධ්‍ය මුදලාලිලා ඇතුළු සිවිල් සමාජය මෙවර ඔසවාගෙන ආ මෛත‍්‍රී වෙනුවට එම ජනාධිපතිවරණයේදී මහින්ද හෝ නාමල් ඔසවාගෙන එනු ඇත. සමස්ත සමාජයම ඒ උගුලට හසුවන බවට සැකයක් නැත්තේ සමාජය මහින්ද-මෛත‍්‍රී ද්වී පුද්ගල ධ‍්‍රැවීකරණය ලෙස මතුපිටින් පෙනෙන ශ‍්‍රී.ල.නි.ප. – එ.ජා.ප. ද්වී පක්ෂ ධ‍්‍රැවීකරණයේ ගොදුරක් බවට පත්ව සිටින නිසාය. මහින්ද එපා වන විට මෛත‍්‍රී ගෙන ඒම මෙන්ම මෛත‍්‍රී එපා වන විට තවත් මහින්ද කෙනකු (සමහරවිට පරණ මහින්දම) ගෙන ඒමට සකලවිධ දෘෂ්ටිවාදී ඒජන්තයන් පෙළගැසෙනු
    ඇත. මේ විෂම චක‍්‍රයට නැවතීමේ තිත තියන්නේ කෙසේද? මේ මොහොතේ වාමාංශිකයන් සහ ප‍්‍රගතිශීලීන් මුහුණ දෙන සැබෑ අභියෝගය සහ වහාම පිළිතුරු සෙවිය යුතු ප‍්‍රශ්නය එයයි.

දැනටමත් වමේ ව්‍යාපාරය ඉදිරිපත් කළ කරුණු සහ ඉදිරි දර්ශනය තාර්කිකව නිවැරදි බව තහවුරු වී ඇත. මූණු මාරුවක් හරහා ජනතාවගේ ඉරණම වෙනස් කළ නොහැකි බවටත් සැබෑ වෙනසක් ඇති කළ හැක්කේ වමේ බලයක් මඟින් පමණක් බවටත් වමේ ව්‍යාපාරය ඉදිරිපත් කළ අදහස ඕනෑවටත් වඩා ශක්තිමත් ලෙස අපේම දෛනික අත්දැකීම් හරහා ඔප්පු වී තිබේ. එහෙත් තවමත් සමාජය කොටු වී සිටින්නේ අප කලින් කියූ විෂම චක‍්‍රයේමය. වමට තවමත් සැලකිය යුතු දේශපාලන බලයක් හිමි නොවීමද මේ සඳහා බලපාන්නට ඇති බවට සැකයක් නැත. විෂම චක‍්‍රය කැඞීම සඳහා තත්වය වෙනස් කළ යුතුය. ඒ සඳහා අප කලින් සතියේ සටහන් කළ පරිදිම වම බුද්ධිමය සහ ආචාරධාර්මික ක්ෂේත‍්‍රවලට අමතරව දේශපාලන ව්‍යවහාරයක් තුළ වැඩකරන ජනතාවට සමීප විය යුතුය. එය ආරම්භ කළ හැක්කේ දැනටමත් එම ප‍්‍රජාව පිවිසී ඇති සමාජ ක‍්‍රියාකාරීත්වයට මැදිහත්වීම තුළිනි. ජනතාවගේ අරගල සඳහා ඉතිහාසයට දරා ගත නොහැකි ප‍්‍රමිතීන් නියම කිරීමෙන් පලක් නැත. ඒ අරගලවල ප‍්‍රමිතිය සහ දේශපාලන මට්ටම සෑමවිටම නිශ්චිත වකවානුව සහ දේශපාලන ප‍්‍රතිවිරෝධයන්ගේ මේරීමේ මට්ටම සමඟ සංයුක්තය. කළ යුත්තේ ජනතා ක‍්‍රියාකාරීත්වයන්ට මනෝරාජික ප‍්‍රමිතීන් බලහත්කාරයෙන් පැටවීම නොව ඒවාට මැදිහත් වී, ඒවා තුළ ක‍්‍රියාකාරී වී, ඒවායේ දේශපාලන මට්ටම ඉහළ නැංවීමය. විෂම චක‍්‍රය කඩා දැමීමට පළමුව පහර දිය යුතු තැන එයයි.