උමාඔයට කඩිනම් විසඳුම් කෝ? මකුල්ඇල්ල වීදි බසී

 

අසාර්ථක උමාඔය ව්‍යාපෘතියෙන් විපතට පත් ජනතාවට කඩිනමින් වන්දි ලබාදීම පිළිබඳ වූ මැතිවරණ පොරොන්දුව මේ වන විට පුස්සක් වී ඇත. යහපාලන රජයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ මැතිවරණ පොරොන්දුව මෙන්ම හිටපු ඌව පළාත් මහ ඇමැතිවරයාගේ මැතිවරණ පොරොන්දු ලැයිස්තුවේ ප‍්‍රමුඛතාව මෙයට හිමි වී තිබුණි. සත්‍යය වන්නේ අද වන තෙක්ම කිසිදු විසඳුමක් නොමැතිව පුරා මාස 10ක්ම මේ ප‍්‍රශ්නය නිසා ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙමින් සිටීමයි. පසුගිය

ඔක්තෝබර් 03 වැනිදා මකුල්ඇල්ල විදුහල අසලට ප‍්‍රදේශයේ ජනතාව එක්රැුස් වූයේ ඊට විසඳුමක් ලබාගැනීමටයි. මකුල්ඇල්ල ප‍්‍රදේශයේ ජීවත් වන 500කට වැඩි පිරිසක් මෙයට සහභාගි වී තිබිණි.

පසුගිය 2015 අපේ‍්‍රල් වන විට ලබාදීමට පොරොන්දු වූ පළමු පියවරේ වගා වන්දියවත් මෙතෙක් ලබාදී නැත. මේ වන විට වගාකන්න තුනක්ම ගෙවී ගොස් තිබුණද ඊට කිසිදු සහන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක නොකරන්නේ ඇයි? නිවාස හානිය ආරම්භයේ සිට අද වන විට තව තවත් වැඩි වෙමින් තිබේ. ඒ නිවාස හානි සඳහා දෙන විසඳුම කුමක්ද? ගිලාබැසීමට ලක්වී ඇති නිවාස මෙන්ම පැලූම් සහ පුපුරායාම්වලට ගොදුරු වූ ඉඩම් වෙනුවට සුදුසු ඉඩම් හා නිවාස ලබානොදෙන්නේ ඇයි? මේ ව්‍යාපෘතිය නිසා සිදුවන ව්‍යසනය මෙතෙක් තක්සේරු නොකළේ ඇයි? ආදී වූ ප‍්‍රශ්න රැුසකට විපතට පත් ජනතාවට මුහුණ දීමට සිදු වී ඇත. ඒ පිළිබඳ උල්පතවත්ත, මකුල්ඇල්ලේ පදිංචි එච්.එම්. නිශාන්ත අප සමඟ කීවේ ”මේක පටන් ගත්ත දවසේ ඉඳලා උද්ඝෝෂණ 10ක් විතර අපි කළා. ඊට පස්සේ නව ජනාධිපතිතුමාත් මාධ්‍යයට කීවා මේකට කඩිනම් විසඳුම් දෙනවා කියලා. අසාර්ථක උමාඔය  ව්‍යාපෘතියෙන් විපතට පත් අයට සියලූ වන්දි දීලා ඒ ගැටලූ විසඳලා ව්‍යාපෘතිය 2017 වෙද්දි අවසන් කරලා භාරදෙනවා කියලා කිව්වා. ඒත් අපිට තියෙන ගැටලූව තමයි ජනාධිපතිතුමා මාධ්‍යයට එවන් ප‍්‍රකාශයක් කරලා තියෙද්දිත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ කටයුතු අකුරටම ඉෂ්ට නොකරන්නේ ඇයි කියන එක. මේ ප‍්‍රශ්නයේදී වී බුසල් 100ක තරම් වූ වගාබිම් ප‍්‍රමාණයක් පාළු වෙලා ඉවරයි. ඒවාට නිසි වන්දියක් තාම නෑ. වගා හානිවලට වන්දියක් දෙන්නත් මෙච්චර කල් යනවනම් නිවාස 2000කට විතර වෙලා තියෙන ආපදා තත්වය අවසන් කරන්න තව කොච්චර කාලයක් යයිද? මේ ගම්වල ඉන්න පුළුවන්ද බැරිද කියන දේවත් තාම දැනුම් දීලා නෑ” යනුවෙනි.

මකුල්ඇල්ලේ මිනුවන් උල්පත වැවට ඉමහත් හානියක් සිදු වී තිබේ. මහ වැසි වැටුණද වැසි ජලය නොරැුඳී නිසා වැව පුරු පිට්ටනියක් බවට පත්ව ඇත.

”මහ වැහි හතරක් වැස්සා.

මේ වැව පිරෙන්නෙ නෑ

මේක හිල් වෙලා

මේකට එන පොට්ටයන්ට

මේක තේරෙන්නෙ නෑ”

යනුවෙන් ප‍්‍රදර්ශනය කර ඇති සුදු ඉටිරෙදි බැනරයෙන් කියෙනුයේ ස්වාභාවික ව්‍යසනයේ ඛේදවාචකයයි.

එමෙන්ම 69/සී පල්ලපේරුව වසමේ පදිංචි එම්.අයි. නසාර් කීවේ ”පායන කාලයට එදා ඉඳලා අපි නෑවා. දවසට හාරසීයක් විතර නාන පිහිල්ලක් තිබුණා. ඒ පිහිල්ල 2014 දෙසැම්බර් 28 ඉඳලා අද වෙනකල්ම හිඳිලා. හැම කුඹුරක්ම ඉරිතැළුණා. ඔයත් ඉරිතළලා. ඒක පේන්නෙ නෑ. දැනට මේ ප‍්‍රදේශයේ පල්ලෙපේරුව ගම්මානයට අයත් ළිං 48ක් විතර හිඳිලා. දැනට බවුසර්වලින් වතුර දෙනවා. ඒක ප‍්‍රමාණවත් නෑ. මේ ගමේ පවුල් 135කට සම්පූර්ණයෙන්ම ජලය අහිමි වුණා. ඔවුන්ගේ වගාකටයුතු සහ ආදායම් අඩු වුණා. ඒ වගේම පහුගිය

කාලයට වඩා ඉරිතැළීම් වැඩි වුණා. ඒ හින්දා මේ වැහි කාලය වුණත් අපේ ඉඩම්වල වතුර රැුඳෙන්නෙ නෑ. ජීවත් වීම බොහොම අමාරුයි. අපි මේකට මැදිහත් වුණා. උද්ඝෝෂණ කළා. පළාත් සභාව ඉස්සරහට ගියා. හරීන් ප‍්‍රනාන්දු මහත්තයටත් කිව්වා. ඊට පස්සෙ අපි 2015 මාර්තු 21 ජනාධිපතිතුමාගෙන් ලැබුණ සාකච්ඡුාවකට ගියා. ඒකෙන් පස්සෙ මේ ප‍්‍රශ්නය විසඳන්න කැබිනට් අනුකමිටුවක් පත් කළා. ඒ කට්ටියත් තාම නෑ. එයාලා කිව්වා ගමට ජලනල පද්ධතියක් දෙනවා කියලා. සාකච්ඡුාවෙදි එහෙම කිව්වට ක‍්‍රියාත්මක වුණේ නෑ. මේ තද වැහි කාලෙට ගෙවල්වල ඉරිතැළීම් තවත් වැඩි වෙනවා” යනුවෙන් ඔහු අප වෙත අදහස් පළ කළේය.

ඉන්පසු අපට හමුවූයේ උද්ඝෝෂණය පැවැති මකුල්ඇල්ල ග‍්‍රාමයට ආසන්නයේ ජීවත් වූ එම්. එම්. ජයරත්නයි. ඔහු අප හා කීවේ ”මගේ අක්කර භාගයක් විතර කුඹුර ගිලා බැහැලා. මුලින්ම තිබුණෙ අඩි තුනක විතර බැස්මක්. වෙන කරන්න දෙයක් නැති නිසා අපි දිගටම මේ කුඹුරේ වගා කටයුතු කරනවා. මේක ඇර වෙන ඉඩම් මට නෑ. වෙන ආදායම් මාර්ගයකුත් Protesting-Victims-of-Umaoya-Projectනෑ. මේකට වතුර දැම්මම වතුර තියෙන්නෙ දාන වෙලාවට විතරයි. රොන්මඩ දැම්මම කලින් මේ කුඹුරු එරෙනවා. දැන් එහෙම නෑ. පොළොව තද වෙලා. දැන් මාස දහයක් වෙනවා. කට්ටිය එනවා. විස්තර ගන්නවා විතරයි. ඒ ඇර කිසිම සහනයක් තාම ලැබුණෙ නෑ” යනුවෙනි.

බොහෝ ප‍්‍රදේශවාසීන් උල්පත් සිඳීගිය ළිඳට වැසි ජලය හරවා තිබේ. වහළින් වැටෙන වැසිදියවලින් ළිඳ පිරී ගියද මඳවේලාවකින් එම ජලය පොළොව අභ්‍යන්තරයට කාන්දු වී යයි. සැබැවින්ම මෙම ප‍්‍රදේශවල ජලය රඳවා තබා ගැනීමට හැකියාවක් නැත. ප‍්‍රදේශයේ කුඩා වැව් සහ උල්පත් කුඹුරු සියල්ල වියළී පොළොව දෙදරා ගොස් තිබේ. දිනෙන් දින මෙම තත්වය ව්‍යාප්ත වීම නිසා පොළොවේ නිසරු බව තව තවත් වැඩි වනු ඇත.

”සාමාන්‍යයෙන් ඉරිතළලා තිබුණට වඩා මේ වෙන කොට ගෙවල්වල පිපිරුම් වැඩි වෙලා. ඉරි වැඩිවෙලා. අත්තිවාරම් බැහැලා. වාටේට භූ පැළීම් විශාල විදියට වැඩිවෙලා. අඟල් හතර පහ පළල, ගැඹුරට කොච්චර තියෙනවද දන්නෙ නැහැ. වැහි කාලෙ මේ වතුර යටට බැස්සම ගිලා බැසීමකට, නායයෑමකට කොයිවේලෙ මුහුණ දෙන්න වේද කියලා බියෙන් තමා මිනිස්සු ඉන්නෙ. දැන් මේක වෙලා මාස දහයකුත් ගත වෙලා. වගා කන්න තුනක් විතර පහු වුණා. ඒත් එක කන්නයකටවත් වන්දියක් ලැබුණෙ නෑ. ඉස්සෙල්ලම පොරොන්දු වුණේ අපේ‍්‍රල් වෙන කොට පළවැනි වගා වන්දිය දෙනවා කියලා. මම දිගින් දිගටම ඉල්ලීම් කළා ප‍්‍රදේශයේ භූගත පරිසරය ගැන පරීක්ෂණයක් කරන්න කියලා. මේ ගෙවල්වල ඉන්න පුළුවන්ද? බැරිද? අපට කියන්න කියලා. ඒත් ඒකට තාම විසඳුමක් නෑ. අනිත් පැත්තෙන් තාම මේ ලීක් එක වහලා නෑ. තාම ජල කාන්දුව සිද්ද වෙනවා. මිනිස්සු නිරන්තරයෙන්ම කියනවා පාරට බහිමු කියලා. අපි බලනවා මේක සාකච්ඡුා මාර්ගයෙන් විසඳගන්න. අපේ ඉල්ලීම් ගැන කිසිදු වැඩපිළිවෙළක් නෑ. දැන් ගමේ අයට ආදායම් මාර්ගයක් නෑ. ගොවිපොළවල්වල වැඩකරපු ගොවිකම්කරුවන්ට ප‍්‍රශ්නයක් තියෙනවා. නොයෙකුත් නිලධාරිනුත් එනවා. කතා කරනවා. ඒත් වැඩ සිද්ධ වෙන්නෙ ඉතාමත් මන්දගාමී විදියට. ජනවාරි 15 අපිට පොරොන්දු වුණා රුපියල් 8,000ක මාසික දීමනාවක් දෙනවා කියලා. අපේ‍්‍රල් මාසයේදී වගා හානියට වන්දි ලබාදීම පටන් ගන්නවා කියලා. මාස හයක් යන විට ස්ථීර පානීය ජල යෝජනා ක‍්‍රමයක් දෙනවා කියලා පොරොන්දු වුණා. ඒත් ඒ කිසිවක් මේ වෙනකල් ක‍්‍රියාත්මක වුණේ නෑ.” යනුවෙන් අප හට අදහස් කීවේ එච්.ඒ. බෝධිපාල විසිනි.

එමෙන්ම වෙහෙරගල තැන්න 66/එෆ් ගම්මානයේ සිය නිවස මුළුමනින්ම ඉරිතැළී ඇති ආර්.එම්. අනුලාවතී කියා සිටියේ ”අපිට හිතා ගන්න බෑ. අපි වෙනුවෙන් තාම මොකුත් කරලා නෑ. දවසකට ලීටර 250ක වතුර සලාකයක් දෙනවා. දවස් 4කට ලීටර් 1,000ක්. චූටි ළමයි සෝදන්න, රෙදි සෝදන්න වතුර මදි. නාන්න අපි ඈත පිහිල්ලකට ගියා. ඒකත් දැන් හිඳිලා. අපිට ඉතින් හිතන්න තියෙන්නෙ මේ මිනිස්සු අපි කෑවා. අපි මේක ජනාධිපති ළඟටත් ගෙනිච්චා. අලූත් රජයත් ඇවිල්ලා පොරොන්දු වුණේ හෙට දෙන්න වගේ. අපිට නම් මේ රජය ගැනත් කිසිම විශ්වාසයක් නෑ මේකට සේවයක් වෙයි කියලා. තාම මේ ප‍්‍රශ්නයට වන්දියක්වත් ගෙයක් හදා ගන්න විදියක්වත් ලැබුණෙ නෑ. අපට සාධාරණ විසඳුමක්  ඕනි. අපිට හොඳ පරිසරයක් තිබුණා. අපි හිටපු තත්වය අපිට ඇති. මේ ගම්වල මිනිස්සු කිසි කෙනකුට යටත් නොවී හිටියා. කුලී වැඬේ කරපු මිනිහටත් අභිමානයක් තිබුණා. ඒත් ඒ ඔක්කොම මේ ව්‍යාපෘතිය නිසා අවුල් වෙලා තියෙන්නෙ.” යනුවෙනි.

මකුල්ඇල්ල විහාරාධිපති කහත්තේවෙල ධම්මසිරි හිමි කියා සිටියේ ”මේකෙ උල්පත් හිඳිලා තියෙන එක ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. පොළොවෙන් ලැබුණු දෙයක් තමයි අපට නැති වුණේ. මේකෙන් එන අවධානම කොච්චරද කියලා හිතාගන්න

බෑ. සාමාන්‍ය ජන ජීවිතයට ඉදිරියට මොකක්ද වෙන්නෙ කියන එක ලොකු ගැටලූවක්. ඉදිරියේදී මිනිස්සුන්ට ඉඩම් ලැබෙයිද? කෘෂිකර්මාන්තය කරගෙන යන්න පුළුවන් වෙයිද? මේ නිලධාරීන්ට රජයට ඒ ගැන කිසි සැලසුමක් නෑ.” යනුවෙනි.

මේ අනුව අධික වැසි සහිත ඉදිරි කාලය තුළ ඉහත තත්වයේ ආපදාවන් අවම වේ යැයි සිතිය හැක්කේ කා හටද? අසාර්ථක ව්‍යාපෘතිය හේතුවෙන් ඊට අදාළ කර නොගත් ජනතාවට භාරගැනීමට සිදු වන අවධානම පිළිබඳ නිශ්චිත තක්සේරුවක් මෙතෙක් සිදුකර නොමැත. එහෙත් විශාල ජලකාන්දුවක් තිබියදීම මේ වන විට ව්‍යාපෘතිය සිය වැඩ ආරම්භ කර ඇත. එනිසාම හෙට දවසේ සිදු වන ව්‍යසනයට වගකිව යුත්තෙක්ද නොමැත.

ඉන්දුමතී විද්‍යාරත්න