ඔබ නැතුව ඔබ එක්ක මට පෙනෙන හැටි

withstillප‍්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ ’ඔබ නැතුව ඔබ එකක’ සිනමා කෘතිය පිළිබඳ විචාර සම්මන්ත‍්‍රණයක් පසුගිය දා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණ. ’සවර්ණ සංඛ’ පදනම විසින් සංවිධානය කෙරුණු එම අවස්ථාවේදී ප‍්‍රවීණ විචාරකයන් ලෙස ගුනසිරි සිල්වා, අරුන ලොකුලියන, බූපති නලින් වික‍්‍රමගේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ විසින් අදහස් දක්වන ලදී. එහිදී පුබුදු ජයගොඩ විසින් දැක්වූ අදහස් මෙසේ පළ කරමු.

 

කලාව සම්බන්ධයෙන් සමකාලීන සමාජයේ විශාල වශයෙන් සංවාද ඇති වන බවක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ප‍්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඔබ
නැතුව ඔබ එක්ක’ සිනමා කෘතිය ගැන සංවාදයක් කරන්න අවස්ථාව ලබා දුන් ස්වර්ණ සංඛ පදනමට මුලින්ම ස්තුතිවන්ත විය යුතුයි. මං මෙතනදි අදහස් දක්වන්නෙ විචාරකයෙක් හැටියට නෙවෙයි. මේ චිත‍්‍රපටය විඳපු ආකාරය ගැන කතාකරන්න මම කැමතියි. විශේෂයෙන් දේශපාලනය කරන කෙනෙක් වශයෙන් මේ චිත‍්‍රපටිය දකින ආකාරය ගැන කතා කරන්න කැමතියි.

මේ චිත‍්‍රපටය හැදෙන්නේ 1976 වසරෙදි ප‍්‍රකාශයට පත්වෙන කෙටි නවකතාවක් ඇසුරෙනුයි. මේ නවකතාව ඇසුරින් චිත‍්‍රපට කිහිපයක් බිහිවෙනවා. නමුත් මා නරඹා තියෙන්නේ මේ චිත‍්‍රපටය පමණයි. ඒ නිසා මගේ අදහස් දැක්වීම කරන්න වෙන්නේ සාහිත්‍ය කෘතිය හා මේ චිත‍්‍රපටය ඇසුරෙනුයි. මේ නිර්මාණ දෙකේම චරිත ගත්තොත් සමානකම් තියෙනවා. දෙමහල් නිවසක් යට උගස් බඩු කඩයක කතාව දිගහැරෙන්නෙ. උඩ තමයි ව්‍යාපාරිකයා පදිංචි වෙලා ඉන්නෙ. උගස් බඩු ගන්න පුද්ගලයා, ඔහුගේ තරුණ බිරිඳ, ඔවුන් අතර ඇතිවෙන ගැටීම්, ආදරය මේ වගේ දේවල් ඇසුරෙන් තමයි සාහිත්‍ය කෘතිය ගලාගෙන යන්නෙ. ඒ කෘතියත් අවසන් වෙන්නේ ඛේදවාචකයකින්, තරුණිය සියදිවි නසාගෙන තමයි ඒකත් අවසන් වෙන්නෙ.

යුද්ධයෙදි උතුරෙ ජනතාවට මුහුණ දෙන්න සිදුවුණේ ඛේදවාචක රැුසකට. යුද්ධය අවසන්වීම බොහෝ දෙනා සලකන විදියෙ සුවපහසු, සුන්දර දෙයක් වුණේ නෑ. අපේ ඉතිහාසයෙ දීර්ඝ සමාජ අරගලයක් සුඛාන්තයකින් අවසන් නොවීම තමයි මං හිතන්නේ මේ සිනමා කෘතියෙන් අප කම්පනයට පත්කරවන්න යොදාගන්න ක‍්‍රමවේදය. ඒ වගේ ඛේදවාචකයක් තිබීම, සමනය කරගන්න බැරි සංකීර්ණත්වයක් තිබීම තමයි මේ වෙලාවෙ සමාජයක් විදිහටත් අපේ ජීවිත ඇතුළෙත්  තියෙන්නෙ. පී‍්‍රතිදායක අවසානයකට ගිහින් අපේ සිත් සතන් සතුටු කරගන්නවට එහා ගිය ප‍්‍රශ්නයක්, කියැවීමක් මේ චිත‍්‍රපටය අප තුළ ඉතිරි කරනවා. චිත‍්‍රපටය ආරම්භයේදී අපට මූලිකව පෙනෙන්නෙ ස්තී‍්‍ර පුරුෂ සබඳතාව සම්බන්ධ කාරණයක් විදිහට. ඒත් එක තැනකදි මේක තවදුරටත් පෞද්ගලික ප‍්‍රශ්නයක් නෙවෙයි, එතැනින් එහාට ගිය දෙයක් තියෙනවා කියල දැනෙනවා. මෙම චිත‍්‍රපටයෙදි මට එහෙම දැනෙන තැන තමයි, ඔවුන් දෙදෙනා විවාහ වෙලා නිවසට එන අවස්ථාව.

ඔවුන් නිවසට ඇවිත් රූපවාහිනී යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරනකොට යුද්ධය අවසන් වෙලා කියන ප‍්‍රවෘත්තිය තමයි විකාශනය වෙන්නේ. එය විකාශනය වෙනකොට තමන්ගෙ ඇඳුම් ටික විතරක් සූට් කේස් එකක දාගෙන ඉන්න තරුණියක් අපිට පෙනෙනවා. ඊට සමාන්තරව නන්දිකඩාල් කලපුව හරහා ලක්ෂ ගාණක් මිනිස්සු ඇඳුම් බෑග් එකක් විතරක් අරන් සමහරු ඒකවත් නැතුව එනවා සිංහල ජනතාවගෙ පාලනය යටතේ පවතින ප‍්‍රදේශයට. ඔවුන් දෙදෙනා විවාහ වෙන මොහොතයි, නන්දිකඩාල් කලපුවෙන් දහස් ගණනක් මේ පැත්තට එන එකයි සිනමා කෘතියෙදි එකම මොහොතෙ නිරූපණය වෙන්නෙ. අන්න ඒ සිදුවීම හරහායි මෙතන ගැහැනියෙක්ගේ හා පිරිමියෙක්ගේ ප‍්‍රශ්නයකට එහා ගිය සමාජ ප‍්‍රශ්නයක් කතා කරන බව ඇඟවෙන්නෙ.

මේ චිත‍්‍රපටය පැතිමාන ගණනාවකට යොමුවෙනවා. මෙතනදි ඒ හැම දෙයක්ම කතා කරන්න බැරි උනත් යම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන්ගේ කාමරයේ ජනේලයක් තියෙනවා. ඒ ජනේලය තමයි ඔවුන් ජීවත් වෙන පරිසරයයි, ඔවුන්ගේ කුටුම්භ ජීවිතයයි සම්බන්ධ වෙන තැන. ඒ ඔවුන්ගෙ වාසස්ථානයේ ඇති එකම ජනේලය. ඒ ජනේලයෙන් පිටත බලද්දි ඔවුන් දෙදෙනා එළිමහන දකින්නෙ දෙවිදියකට. පිරිමියා දකින්නේ තමන් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින තේ වත්ත. සල්ලි එකතු කරල එකතු කරල ගන්න ඉන්න තේ වත්ත තමයි ඔහු ජනේලයෙන් එහා ලෝකය විදිහට දකින්නෙ. ඒත් ඇයට පේන්නෙ මල් පිපුන භූමිය සහ මීදුම සහිත කඳු. මේ දෙන්නට පේන්නෙ ලෝක දෙකක් බව සිනමා කෘතියෙන් පෙන්නුම් කරනවා. මේ දෙන්නට ලෝක දෙකක් පෙනෙන්න බලපෑව පෞද්ගලික සාධක, ජාතිකභාවය පිළිබඳ සාධක, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සාධක ආදිය තියෙනවා. ඒ දෙන්නා ලෝකය දකින්නෙ දෙවිදියකට. ඔවුන් ඉන්නෙ ලෝක දෙකක.

මේ චිත‍්‍රපටය පවුල් ජීවිතය ගැන කියැවෙන චිත‍්‍රපටයක් කියලා හෝ ජාතික ප‍්‍රශ්නය ගැන කියැවෙන චිත‍්‍රපටයක් කියල වර්ග කරන්න බැහැ. ඒකෙ පැති ගණනාවක් තියෙනවා. එක පැත්තකින් ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධය ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. මේ දෙන්නා නියෝජනය කරන චරිත දෙක අතර ඉතිහාසයක් විසින් ගොඩනඟපු වෙනම කතිකාවන් දෙකක් තියෙනවා. ඔවුන්ට වෙනම සංස්කෘතීන් දෙකක් තියෙනවා. ඒ වගේම දෙන්නට අයත් ලෝක දැක්මවල් දෙකක් තියෙනවා. ඒ නිසාම ඒ දෙන්නා අතර පරතරයක් තියෙනවා.

DSC_6072එක පැත්තකින් ඒ තත්වය. තව පැත්තකින් මෙතන පන්තිමය කතාවකුත් තියෙනවා. ඔහු උගස් බඩු ගන්න කෙනෙක්. ඒ උගස් බඩු ගැනීම හරහා ආදායමක්, ලාභයක් හොයන කෙනෙක්. ඔහු මුදල් වැදගත් ලෙස හිතන කෙනෙක්. තව කෙනෙක්ගෙ හැ`ගීම්, චේතනා ඔහුට ඒ තරම් අදාළ නෑ. කාන්තාවක් ඇවිත් තැල්ල උගස් කරන සිද්ධියෙදි ඔහුට තැල්ල තවත් එක් ආභරණයක් විතරයි. දෙමළ සංස්කෘතියත් එක්ක බැඳුණු  කාන්තාවකට තැල්ල කියන එක තමන්ගේ ජීවිතේ මොන තරම් වටිනවද කියන එක ඔහුට එතරම් අදාළත්වයක් නෑ. ඒ කඳුකරයෙ අතිශය පීඩිත ජීවිතයක් ගෙවන මිනිස්සු, ඔහුගෙ ගනුදෙනුකරුවන්. ඒ අයගෙ මුදල් අවශ්‍යතා වෙනුවෙන් ඔහු ළඟට එන එක විතරයි ඔවුන්ට තියෙන එකම මාර්ගය. ඒ වාසිය පාවිච්චි කරල යම් අතිරික්ත වටිනාකමක් හොයන මනුස්සයා ඔවුන් හා ගැටෙනවා. ජීවත් වෙනවා. මෙතන එහෙම ප‍්‍රශ්නෙකුත් තියෙනවා. එතන පරතරයක් පවතිනව. ඒ පරතරය අවසන් වෙන්නෙ කොතනින්ද?

මුලින් මේ චිත‍්‍රපටය තුළ කතා කරන්නේ මේ පරතරය පිළිබඳ ආත්මීය කාරණයක්. ගැහැනියක් හා පිරිමියෙක් එක්වෙද්දි අනෙකා සම්බන්ධයෙන් හදාගන්නා ආත්මීය කාරණා මුලින් චිත‍්‍රපටියෙ පේනවා. ඊළඟට මේ චිත‍්‍රපටිය සම්බන්ධ වෙන්නෙ සමාජමය කාරණාත් එක්කයි. මේ දෙන්නා අතර තියෙන මේ පරතරය පිරිමියෙක් ගැහැණියෙක් අතර තියෙන ප‍්‍රශ්නෙකට එහා ගිය සමාජීය ප‍්‍රශ්නයක්. අවසානයට සමාජීය ප‍්‍රශ්නවලට එහා ගිය අපේ ශරීරයේ අභ්‍යන්තරයටම විහිදුන භාවාත්මක කාරණයක් අනාවරණය කරනවා. ඉතිහාසයක් අපි පහුකරල තියෙනවා. ඒ ඉතිහාසය ඇතුළෙ අපව කායිකවත් ආධ්‍යාත්මිකවත් තුවාල කරල තියෙනවා. කායික තුවාල හොඳ වෙද්දි අපේ ආධ්‍යාත්මය ඇතුළෙ හැදුන තුවාල හොඳ නොවී පවතිනවා. ඒ නිසාම ඉතිහාසය තුළ අඩුවක්, පරතරයක් ඇතිවෙලා. අපි දැන් ඉන්න තැන මොකක්ද?

දැන් අපි කෙහොමද මේ පරතරය පියවා ගන්නෙ? අපි නැවත ආදරය කරන්නෙ කොහොමද? ඒ දෙන්නා අතර විතරක් නෙමෙයි සමාජයක් විදිහට වෙන් කෙරුණු ජන ප‍්‍රජාවන් හැටියට නැවත ප‍්‍රතිසන්ධානයක් ඇතිකර ගන්නෙ කෙහොමද? ඒ සඳහා පෙලඹවීමක් මෙතන තියෙනවා.

එක් පැත්තකින් පුරුෂ මූලික මතවාදවලින් හැදුණු පිරිමියෙක්. ඔහු තව පැත්තකින් හමුදා විනයක් විසින් හික්මවපු කෙනෙක්. තවත් පැත්තකින් සිංහල බෞද්ධ කතිකාවක් තුළින් හැඩගස්වපු කෙනෙක්. ඒ ඔක්කොම සරත්සිරි කියන චරිතය තුළ වැඩකරනවා. ඒත් අපි දකිනවා ඇයත් සමඟ එකට ඉන්න ඔහු ගන්න උත්සාහය. ඒ මානව සම්බන්ධතාව තුළ අන් හැම දෙයක්ම කෘත‍්‍රිම වියළි අජීවී දේවල් ලෙස පෙනෙනවා. ඇත්ත සජීවී දේ තමයි මානව සම්බන්ධතා. පුරුෂමූලික මනෝභාවයන්ගෙන් හදපු දේ වේවා සිංහල තමිල් කියල ජාතික අනන්‍යතාවකින් හදපු දේ වේවා හරිම කෘත‍්‍රිමයි. ඇත්ත දේ තියෙන්නේ මිනිස් සබඳතා තුළ කියල අපිට දැනෙන්න ගන්නවා.

දැන් කොහොමද මේ ඇත්ත සම්බන්ධය ගොඩනඟන්නෙ? ඉතිහාසයෙ සිදු වූ තුවාලත් එක්ක ප‍්‍රතිසන්ධානයකට ප‍්‍රවේශ වෙන්න පුළුවන්ද? අපි පහුකරලා ආව ඉතිහාසයෙදි කළ වැරදි සලකා බැලූවම නැවත එකතු කිරීම සරල නෑ. නැවත ආදරය සඳහා, නැවත එකතු වීම සඳහා ගෙවන්න  ඕන වන්දිය තවම ගෙවලා නෑ. සරත්සිරි ඒක කරන්න හදන්නෙ දණ ගහල වැඳල අ`ඩලා. නමුත් ඒ මොකක්වත් කරල ඒ පරතරය පියවන්න අමාරුයි. නමුත් අපිට ආදරය අවශ්‍ය නම් එකට ඉන්න අපිට අවශ්‍ය නම් මෙතනින් එහාට අඩියක් තියන්න වෙනවා. දේශපාලනිකව ගත්තොත් මෙතන තියෙන්නෙ සිංහල දෙමළ කතා කරන ප‍්‍රජාවන් දෙක අතර ප‍්‍රශ්නෙකට වඩා වෙනම ග‍්‍රහලෝක දෙකක් අතර වගේ දුරස්ථභාවයක් ඇති කළ තත්වයක්. ඒක නිසා මේක හුදු භාෂා දෙකක් කතා කිරීමේ ප‍්‍රශ්නයක් නෙවෙයි.

ඒ නිසා ආදර වදන් කියල අ`ඩා වැලපිලා දණ ගහලා සමාව ඉල්ලලා බේරන්න බැරි තැනකට ප‍්‍රශ්නය ඇවිල්ලා. දැන් දේශපාලන කි‍්‍රයාධරයෙක් විදිහට මට තියෙනවා ප‍්‍රශ්නයක්. අපි කියනවා ප‍්‍රතිසන්ධානයක්  ඕනෙ කියල ඒත් එහෙම සරලව එකට ඉන්න පුළුවන් උන අතීතය අපි පහුකරලා තියෙන්නෙ. එතැනින් එහාට යනව කියන කාරණය හරිම සංකීර්ණයි. දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ඒක කියන එක අවමානයක් විදිහට හිතන්නෙ නැහැ. පිළිගන්න

වෙන කාරණය තමයි, අපිට තවම බැරිවෙලා තියෙනවා ඒ සංකීර්ණත්වය ඉක්මවා යන්න. දෙමළ තරුණියක් දූෂණය කරද්දි හමුදා සෙබළකු හැටියට තමන් බලා හිටියා කියන කාරණය ඔහු කියද්දි ඇය විශාදය වැනි තත්වයකට පත්වෙනවා. ඒක තමයි උතුරේ ජන සමාජයේ යථාර්ථය. දැන් මේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න තේරුම් ගත්තා කියලා ලිබරල් යෝජනා ඉදිරිපත් කරන කාටවත් නොතේරෙන සංකීර්ණ මනෝභාවයක් මෙතන තියෙනවා. දැන් දේශපාලන තලයෙදි කතා කරන්නේ ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ප‍්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ කොහොමද කියන කාරණාවයි. ඒකට පරීක්ෂණ කොමිසමක් පත් කරනවද, ඒක දේශීය යාන්ත‍්‍රණයක්ද, විදේශීය එකක්ද වගේ දේවල් තමයි කතා කරන්නෙ. ඒත් මේ අත්දැකීමට මුහුණ දීපු අයට ඒක අතිශය සංකීර්ණ කාරණයක්. එහෙම ප‍්‍රශ්නයක් තියෙනවා කියල තේරුම්ගන්න එකත් ඒ ප‍්‍රශ්නය විසඳන්න සැලකිය යුතු කාරණයක්.

තමන්ගෙ ඉතිහාසය තුළ මේ විදිහෙ වැරදි වෙලා තියෙනවා කියන කාරණය පිළිගනිමින් තමයි ඒ සඳහා කි‍්‍රයාත්මක වෙන්න පුළුවන් වෙන්නෙ. හුදු මානුෂික කතාවලින් විතරක් ඒ කාරණය විසඳන්න බෑ කියල චිත‍්‍රපටිය ඇසුරින් අපිට තේරෙනවා. සමාජයක් විදිහට අපි අලූත් තැනකට අලූත් සාකච්ඡුාවකට එන්න වෙනවා. ඒ සඳහා අපට අදාළ වන්දිය ගෙවන්න වෙනවා. කොහොමද ඒක කරන්නෙ? මොනවද ඒකෙ කොන්දේසි?  අපි පෙන්වන මානුෂිකභාවයත් මෙම ප‍්‍රශ්නයත් අතර තියෙනවා පරතරයක්. කොහොමද ඒ පරතරය පියවන්නෙ? කොහොමද අපි ඒ දේශපාලන සාකච්ඡුාව කරන්නෙ? මේ චිත‍්‍රපටියෙදි ප‍්‍රසන්න පෙරටුගාමී කලාකරුවකුගේ කාර්යභාරය ඉටුකරනවා. දේශපාලන සාකච්ඡුාව ඇතුළෙ මෙතෙක් විවර නොවූ කලාපයක් ඔහු අපට විවර කර තිබෙනවා. ඒක වාමාංශික ක‍්‍රියාධරයන් හැටියට අපට, අලූත් අභියෝගයක්. ඒ අභියෝගයට අපිව තල්ලූ කිරීම ධනාත්මක දෙයක්.

සටහන: රිවිහාර පින්නදූව