දැදුරුඔය බලන්න ගිය පරිසරවේදීන් අපරාධකරුවන් කළ වගයි!

environmentalistsපසුගිය තුන්වැනිදා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්, දුමින්ද අලහකෝන් හා වෑකඳවල රාහුල හිමි ඇතුළු පිරිස කොබෙයිගනේ බලා පිටත් වූයේ දැදුරුඔයේ ජල දූෂණය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීමටයි. එහෙත් සවස් වන විට ලැබුණේ වෙනත් ආරංචියකි. ඒ පරිසරවේදීන් තිදෙනා ඇතුළු පිරිස කොබෙයිගනේ පොලිසියේ අනීතික ක‍්‍රියාවන්හි වින්දිතයන් බවට පත්ව සිටින බවයි.

දැදුරුඔයේ ජලය දූෂණය සම්බන්ධයෙන් පරිසරයට ආදරය කරන ජනතාවගේ සහ පරිසරවේදීන්ගේ අවධානය යොමු වූයේ මීට දශක ගණනාවකට පෙර සිටය. නීති විරෝධීව හා දේශපාලන බලයට මුවා වී තැන තැන සිදු කරන වැලි ගොඩදැමීම් නිසා සිදුව තිබෙන හානිය ඉතා විශාලය. එසේම දැදුරු ඔය ආසන්නයේ පිහිටි ඇතැම් කර්මාන්තශාලා විසින් දැදුරුඔයට විශාල හානියක් සිදු කරනු ලබයි. මේ නිසා දැදුරුඔය ආසන්නයේ ළිංවල ජලය සිඳී යාම, ඔයේ ජලය භාවිතයට ගත නොහැකි තත්වයක් ඇති වීම ආදී බලපෑම්වලට ඒ ආසන්නයේ ජීවත්වන ජනතාවද පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී විවිධ මාධ්‍ය, පරිසරවේදීන් පෙන්වා දුන්නත් බලධාරීන් නිතරම සිටියේ පරිසර දූෂකයන්ගේ පැත්තේය. මේ නිසා දැදුරුඔයේ ආරක්ෂාවට කිසිදු පියවරක් නොගැනිණි. දැදුරුඔයේ ජලය දූෂණය වීම පිළිබඳව ජනරළද මීට පෙර තොරතුරු රැසක් අනාවරණය කළේය. එම අනාවරණයෙන් පසුව ඊට චෝදනා එල්ල වූ කර්මාන්තශාලාව පුවත්පතට එරෙහිව අධිකරණය මඟින් වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස කොබෙයිගනේ ගුරුගොඩ ප‍්‍රදේශයේ සිට කිලෝමීටර් 20ක් පමණ දැදුරුඔය පහළ ප‍්‍රදේශයේ අධ්‍යයනයක නිරත විය. එහිදී දුටු දෑ පිළිබඳව රවීන්ද්‍ර කාරියවසම් ජනරළට පැවසුවේය.

”අපි දැක්කා දැදුරුඔයේ මාළු මැරිලා ඉන්නවා. ඒ වගේම හරිත ලවන ඇල්ගී හැදිලා තියෙනවා දැක්කා. මාළු මැරෙනවා කියන්නේ, හරිත ලවන ඇල්ගී හැදෙනවා කියන්නේ ජලය දූෂණය වෙලා තියෙනවා කියන එකයි.”

මේ අධ්‍යයනයෙන් පසුව ඔවුන් පැමිණියේ ගුරුගොඩ ප‍්‍රදේශයටයි.

”අපි දැක්ක දේ තමයි, දැදුරුඔය මැද ළිඳක් ගහලා තිබුණා. ජාතික පාරිසරික පනතට අනුව කිසිම කර්මාන්ත ශාලාවකට එවැනි ළිඳක් ගහලා වතුර ගන්න බෑ. ඒ නිසා ඒ කර්මාන්තශාලාවට දැදුරුඔයෙන් වතුර අරගෙන තිබුණු විදිය නීති විරෝධීයි. ඒ වගේම අපි දැක්කා කර්මාන්තශාලාව අයිනෙන් ඔයට ගලන ඇළ පාරකට ලොකු බෝක්කු දාලා තියෙනවා. ඒ නිසා කර්මාන්ත ශාලාවේ අපජලය ඒ ඇළ මාර්ගය ඔස්සේ දැදුරුඔයට එවනවා කියන එක පැහැදිලියි. ඒ වෙද්දිත් තෙල් සහිත අපජලය කාන්දු වෙමින් තිබුණා. ඒ වගේම ඒ පැත්තේ හැම තැනම, වතුරේ පවා කොහුබත් කුඩු විසිරිලා තිබුණා. ඒකත් පරිසරයට ලොකු හානියක්.” යැයි රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේය.

මේ කරුණු හඳුනා ගැනීමෙන් පසුව අවශ්‍ය ඡුායාරූප ගනිමින් පිරිස ආපසු පැමිණීමට සැරසුනේය. ඔවුහු නෝර්වේජියානු ජිෆී කර්මාන්තශාලාවේ තාප්පය අයිනෙන් පැමිණ කර්මාන්තශාලාවේ ගේට්ටුවේ සහ ඒ අවට ඡුායාරූප කිහිපයක්ද ගත්හ. කර්මාන්ත ශාලාවේ ගේට්ටුව පසු කර ටික දුරක් එන විට ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ බලාපොරොත්තු නොවූ අත්දැකීමකටය.

”ජිෆී කර්මාන්තශාලාව ඇතුළේ ඉඳලා කාර් එකක් ආවා. ඒක අපි පහුකරගෙන ගියා. අපි ඉස්සරහට ආවා. ඒ වෙලාවේ බයික් තුනක් අපි ඉස්සරහට ආවා. ඇවිල්ලා අපිව නතර කරලා අපේ කැමරා චෙක් කරන්න  ඕන කියලා කිව්වා.” යැයි රවීන්ද්‍ර කාරියවසම් එම අත්දැකීම විස්තර කළේය.

”කැමරා බලන්න දෙන්න, කොම්පැණියේ ෆොටෝ අරගෙන නැත්නම් යන්න  දෙන්න පුළුවන් කියලා ඒ අය කිව්වා. ඒත් අපි කිව්වා කැමරා දැන් බලන්න බෑ, බැටරි බැහැලා තියෙන්නෙ කියලා. කොහොම හරි අපට යන්න නොදී කැමරාව අරගන්න සෑහෙන්න මහන්සි ගත්තා.” යැයි පැවසුවේ දුමින්ද අලහකෝන්ය.

ඒ අතරේ රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස පොලිසියට දුරකථන ඇමතුමක් ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඔවුන්ට පොලිසිය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. පසුව රාහුල හිමිගේ මිත‍්‍රයකුගේ මාර්ගයෙන්

පොලිසියට සිද්ධිය දැනුම් දුන්නේය. ඒ වන විටත් කර්මාන්තශාලාවේ ලාංඡුනය සහිත කමිස ඇඳ ගත් 25ක 30ක පමණ පිරිසක් පැමිණ ඔවුන් වටකරගෙන සිටියහ.

”පොලිසියේ  ඕ.අයි.සී.ත් තවත් කීප දෙනකුත් එතනට ආවා. ඒ එක්කම දිමුත් කියලා කෙනෙකුත් ආවා. පස්සේ අපි දැන ගත්තු විදියට එයා තමයි කොම්පැණියට මෑන්පවර් සපයන්නේ. එයා එතනදි හැසිරුණේ පොලිසියේ කෙනෙක් වගේ. පොලිසිය ඉද්දී එයා ඇවිත් අපෙන් ප‍්‍රශ්න කරනවා. අපට තර්ජනය කරනවා. පොලිසිය බලාගෙන ඉන්නවා. පස්සේ අපි තමයි කිව්වේ මෙයා පොලිසියේ නෙවෙයි නම් ටිකක් පැත්තකට වෙලා ඉන්න කියන්න කියලා.” රවීන්ද්‍ර කාරියවසම් විස්තර කළේය.

වෑකඳවල රාහුල හිමි උන්වහන්සේට විඳින්නට වූ අත්දැකීම ගැන කීවේය.

”දිමුත් කියන කෙනා මගේ ළඟට ඇවිත් මගේ අතින් අල්ලා ගත්තා. මට පැත්තකට යං කිව්වා ටිකක් කතා කරන්න  ඕන කියලා. අපට දැනුනේ පොලිසියත් ඒ අයත් එක්ක සම්බන්ධයි කියලා. නැත්නම් කොහොමද පොලිසිය ඉද්දි එහෙම හැසිරෙන්නෙ? අද හාමුදුරු කෙනෙක්ටත් බහුජාතික සමාගම්වලින් අවසර අර ගන්නෙ නැතිව වැඩ කරන්න බැරිද?”

ඉන් පසුව සියලූ දෙනා කොබෙයිගනේ පොලිසියට ගියහ. රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස රැුගෙන ගියේ පොලිසියේ වාහනයක නොව, ජිෆී සමාගමේ වාහනයකය. එම වාහනයට පොලිස් නිලධාරියකු නැඟුණේ ඉල්ලා සිටීමෙන් පසුවයි.

”අපි පොලිසියට ගියේ එකයි තිහට, දෙකට විතර. ඊට පස්සේ හවස හතර විතර වෙනකං චාටර් කළා. අපිට කෝල් එකක්වත් ගන්න දුන්නෙ නෑ. මගේ ෆෝන් එක රිංග් වුණාම ෆෝන් එක  ඕෆ් කරගන්න කියලා කිව්වා. අපට අවශ්‍ය වුණා, මාධ්‍යයට කතා කරන්න. නමුත් ඒකට ඉඩ දුන්නෙ නෑ. අපට එහෙම කරද්දී අර දිමුත් කියන කෙනා  ඕ.අයි.සී.ගේ කාමරේ  ඕ.අයි.සී.ගෙ මේසෙ ඉස්සරහ පුටුවේ වාඩි වෙලා කෝල් ගන්නවා. අපි තමයි පැමිණිලිකාරයෝ. හැබැයි පොලිසියේදී අපට සැලකුවේ අපි මහා අපරාධයක් කළ පිරිසක් විදියට.” යැයි දුමින්ද පොලිසිය තුළ අත්දැකීම හෙළි කළේය.

ඔවුන්ගෙන් කටඋත්තර සටහන් කර ගත්තේ පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු පුද්ගලයකු නොවේ. ඔහු සාමාන්‍ය ඇඳුමක් ඇඳ සිටියේය. එමෙන්ම කටඋත්තර ලියාගත්තේ පොලිස් පැමිණිලි සටහන් පොතේ නොවේ. වෙනත් කුඩා සටහන් පොතකය.

”අපෙන් කටඋත්තර ලියාගත්තු පුද්ගලයා පොලිසියේ කෙනෙක්ද නැත්නම් කොම්පැණියේ කෙනෙක්ද කියන සැකය අපට තිබෙනවා. ඔහු අපේ සියලූම පෞද්ගලික විස්තර ලියාගත්තා. දුරකථන අංක, ලිපිනය, අධ්‍යාපන මට්ටම… මේ වගේ හැම තොරතුරක්ම ලියාගත්තා. ඒවා ඔක්කොම සටහන් කර ගෙන එයා ගියා කොම්පැණියේ සේවකයන් හිටපු තැනට. ඒ වෙද්දි කොම්පැණියේ වැඩ කරන පිරිසක් පොලිසියටත් ඇවිත් හිටියා. කොටසක් ගේට්ටුව ළඟ හිටියා. තවත් පිරිසක් පොලිසිය ඇතුළට ඇවිත් හිටියා. අපෙන් ගත්තු අපේ පෞද්ගලික තොරතුරු ඒ අයට දුන්නාද කියන සැකය අපට තිබෙනවා. මොකද ඊට පස්සේ අපට සැක සහිත දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණා.”

කොබෙයිගනේ පොලිසිය අල්ලසට යටවී තිබේද යන සැකය මේ සිදුවීමත් සමඟ නැවත වතාවක් බරපතළ ලෙස පැන නඟී. තමන්ගේ ජීවිතාරක්ෂාව පතා පැමිණිල්ලක් කළ යුතු බව රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස පැවසුවත් පොලිසියෙන් ඊට අවස්ථාවක් ලබාදී නැත. පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට යම් පුරවැසියකු ගිය විට ඒ පැමිණිල්ල සටහන් කරගැනීම පොලිසියේ වගකීමය. එහෙත් කොබෙයිගනේ පොලිසිය එම කාර්යය පැහැර හැර තිබේ. එපමණක් නොව පොලිසිය මෙම සිදුවීමේදී හැසිරුණු ආකාරය මුළුමනින්ම සැකසහිතය. නීතිය ක‍්‍රියාත්මක කරනවා වෙනුවට පොලිසිය අවනීතිය ක‍්‍රියාත්මක කර ඇති බව පෙනෙන්නට තිබේ. පොලිසියේ වගකීම නීතිය සාධාරණව ක‍්‍රියාත්මක කිරීමයි. පරිසර බලධාරීන්ගේ වගකීම පරිසරය විනාශ කරන කොම්පැණි ආරක්ෂා කිරීම නොව පරිසරය ආරක්ෂා කිරීමයි. මේ සියල්ල සිදු වන්නේ රටේ ජනාධිපතිවරයා පරිසර ඇමැතිවරයාව සිටියදීය. අඳෝමැයි…..!

ජනක තුෂාර