ආණ්ඩුවේ කෙඳිරිලි සහ චීනයේ තරවටු

කොළඹ වරාය නගරය

liu_zhenmin_xinhua (1)කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙනුවෙන් දැනටමත් අත්සන් කළ ගිවිසුම් ලංකාව විසින් ක‍්‍රියාත්මක කළ යුතුයි. ආයෝජනය කළ සමාගම්වල නීතිමය අයිතිවාසිකම් රකින්නට ආණ්ඩුව බැඳී සිටිනවා.”

මේ ප‍්‍රකාශය සිදුකළේ චීන නියෝජ්‍ය විදේශ ඇමැති ලියු සෙන් මින් විසිනි. චීන රජයේ විශේෂ නියෝජිතයකු ලෙස පසුගිය දා මෙරට සංචාරයක යෙදුනු ලියු විසින් ඒ ප‍්‍රකාශය සිදු කළේ චීන ජනමාධ්‍ය හමුවේය. ජනවාරි මස බලයට පත් වූ වත්මන් හවුල් ආණ්ඩුව විසින් වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවනු ලැබුවේ එම ව්‍යාපෘතිය සඳහා එළඹුණු ගිවිසුම් දෝෂ සහගත වීම, වරාය නගරයේ අවසන් භූමි අයිතිය පිළිබඳව විරෝධය සහ පරිසර ඇගැයුම් වාර්තා නොමැතිකම වැනි කරුණු මතුකරමිනි. ජනවාරි 8වැනිදා පැවැති ජනාධිපතිවරණය සඳහා ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ ප‍්‍රධාන සටන් පාඨයක් වූයේ වරාය නගරය වැනි විනාශකාරී ව්‍යාපෘති අහෝසි කිරීමය. ලංකාව චීනයේ කොලනියක් බවට පත් කිරීමට රාජපක්ෂ පවුලේ ආණ්ඩුව කටයුතු කළ බවට චෝදනා කරමින් වරාය නගර ව්‍යාපෘතිය ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවද පවසන ලදී.

කෙසේවෙතත් පරිසරවේදීන් මෙන්ම හවුල් ආණ්ඩුවට සහාය දුන් සිවිල් සංවිධානද කොළඹ වරාය නගරය පිළිබඳ දැක්වූයේ බලවත් විරෝධයකි. වරාය නගරය ජනාධිපතිවරණයේ ප‍්‍රධාන විරෝධතා සටන් පාඨයක් බවට පත් වූයේ හැම දෙනාටම ඊට විරෝධය දැක්වීමේ උනන්දුවක් තිබුණු බැවිනි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනවාරි මාසය අවසන් වන විට වරාය නගර ව්‍යාපෘතිය නවතා දමන්නට ආණ්ඩුව ක‍්‍රියා කළේය. ඊට සමාන්තරව වරාය නගර ව්‍යාපෘතියේ ආරම්භකයන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගද ගනු ලැබිණි. අවසානයේ දැන් ආණ්ඩුව සිය අදහස් වෙනස්කර ඇති බව පෙනේ.

ලංකාවට පැමිණි විදේශ නියෝජිතයන් අතර අලූත්ම අමුත්තා ලෙස චීන නියෝජිත ලියු සේ මින් වෙත ආණ්ඩුව පොරොන්දු දී තිබේ. ලියු විසින් එම පොරොන්දු ගැන විශ්වාසයෙන් කතා කරන්නේ චීනයේදීය.

”මට ලංකාව පැත්තෙන් යහපත් ප‍්‍රතිචාර ලැබී තිබෙනවා. වරාය නගර ව්‍යාපෘතිය ස්ථිර ලෙසම ඉදිරියට ක‍්‍රියාත්මක වන බවට ලංකාවෙ නායකයන් මට පොරොන්දු වී තිබෙනවා.” ලියු සෙන්මින් ඒ ගැන තවදුරටත් අවධාරණය කර සිටී.  කොළඹ වරායට අලූතින්ම එක් කළ දක්ෂිණ වරායට යා කරමින් පැරණි ප‍්‍රදීපාගාරය දක්වා වෙරළ ප‍්‍රදේශයට සම්බන්ධව මුහුදේ ඉඩ ප‍්‍රමාණය හෙක්ටයාර 223ක් වනසේ අලූතින් පිරවූ භූමියක ඉදිවන වරාය නගරය සඳහා චීන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කෙරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේය. අමෙරිකන් ඩොලර් බිලියන 1.4ක් වූ මෙම ආයෝජනය යටතේ වරාය නගරයේ පළමු අදියර 2017දීද දෙවැනි අදියර 2022දීද අවසන් කිරීමට නියමිත විය. මෙම වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසුව ඉදිරි දශක කිහිපයකදී අමෙරිකන් ඩොලර් බිලියන 13ක ආයෝජන කැඳවාගන්නා ඉලක්කයක් තිබිණි.

කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිය නිසා මෙරට සාගර පරිසරයටත් ධීවර ජන ජිවිතයටත් විශාල හානියක් සිදුවන බවට පරිසරවේදීන් හා විද්වතුන් විසින් චෝදනා කර තිබිණි. වරාය නගර ව්‍යාපෘතිය නිසා සාගර පත්ල පිරවීම තුළින් ජෛව විවිධත්වයට සිදුවන හානිය මෙන්ම සාගර පරිසරයේ ඇතිවන වෙනස්කම් විසින් ධීවර ප‍්‍රජාවට ඇතිකරන ගැටලූ සැලකිල්ලට ගතයුතුව ඇත.  ඒ නිසාම පරිසර සංවිධාන මූලික වීමෙන් මෙම ව්‍යාපෘතියට එරෙහිව නඩු කිහිපයක් පවරනු ලැබිණි. එසේවුවත් වරාය නගර සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට ඒ කිසිවක් බාධාකාරී වූයේ නැත. අත්හිටුවා තිබුණු වරාය නගර ඉදිකිරීම් නැවත ක‍්‍රියාත්මක කරන්නට නම් එක් පැත්තකින් හවුල් ආණ්ඩුව විසින් දිගින් දිගටම කළ චෝදනාවලට කුමක් සිදු වන්නේද යන්න සලකා බැලිය යුතුය. ආණ්ඩුව වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙර ඒ සඳහා අවශ්‍ය පරිසර ඇගැයුම් වාර්තාවක් සකස් කර නැති බවයි. ඒ අනුව, නැවත වරක් වරාය ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙර පරිසර ඇගැයුම් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කරන ලදී. එවැනි අධිකරණ නියෝගයක් තිබියදී වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කරන්නට හැකිදැයි ආණ්ඩුව විසින් කරුණු දැක්විය යුතුය.

අත්හිටුවන බවට වහසි බස් කියමින් බලයට පත් රනිල්ලා, මෛත‍්‍රීපාලලා දැන් එය යළි කි‍්‍රියාත්මක කරන්නට යන්නේ චෝදනා අමතක කරමිනි. එපමණක් නොව මෑතදී මෙගාපොලිස් ඇමැති චම්පික රණවක විසින්ද චීන ජනමාධ්‍යයකට පවසා තිබුණේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉක්මනින්  නැවත ආරම්භ කරන බවකි. ලංකාවේ අධිකරණයකින් නිකුත් කළ නියෝගයක් තිබියදී ඒ ගැන නොසලකා චම්පික ඇමැතිවරයාට සිය අදහස් ප‍්‍රකාශ කරන්නට සිදුව ඇත්තේ චීන විශේෂ නියෝජිතයා විසින් කළ ප‍්‍රකාශයෙන් ඇතිවන අපහසුතාව මකා දමන්නට විය යුතුය. දැනට අත්සන් කර ඇති ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බව කියමින් එය එසේම ඉටුකරන බවට ආණ්ඩුව පොරොන්දු බව ලියු සෙන් මින් ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව, ආණ්ඩුවට තෝරාගන්නට දෙයක් නැත. ජනාධිපතිවරණ සමයේ කළ වගාඩම්බර කතා අදාළ නැත. මහ මැතිවරණ වේදිකාවේදී රාජපක්ෂ චීනයට ගැතිව කටයුතු කළ බව කියමින් අමෙරිකන් ගැති ඉන්දියා ගැති පාරක යන්නට හැදුවාට පලක් නැත. දැන් චීනය විසින් සැර දමමින් ආණ්ඩුවට කියන්නේ වරාය නගර ව්‍යාපෘතිය වහාම නැවත පටන් ගතයුතු බවයි.

ආයෝජකයන් හැටියට අත්සන් කළ චීන සමාගම්වල අරමුණු ඉටු කරන්නට දැන් හවුල් ආණ්ඩුවට සිදුව තිබේ. මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ලෙස ක්‍යසබ් ක්‍දපපමබසජ්එසදබි ක්‍දබිඑරමජඑසදබ ක්‍දපච්බහ ඛසපසඑැා :ක්‍ක්‍ක්‍ක්‍*ල සමාගමද එහි ඉදිකිරීම් සඳහා ක්‍යසබ් ්‍ය්රඉදමර ෑබටසබැැරසබට ක්‍ද ඛඑා සමාගමද නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ලංකාවේ ආණ්ඩුව වගකිවයුතු වන්නේ එම සමාගම් සමඟ අත්සන් කළ ගිවිසුම් සම්බන්ධවය. චීන විශේෂ නියෝජිත ලියු විසින් අවධාරණය කර ඇති ආකාරයට ඉක්මනින්ම වරාය නගර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව ආණ්ඩුවට ඇත. එහෙත් රට තුළ එයට එරෙහිව පැනනැගුණු විරෝධය, ජනාධිපතිවරණයේ ඡුන්ද ගොඩ වැඩිකරගන්නට යොදාගත් නිසා ආණ්ඩුවේ බලධාරින් කුඩු කෑව රිලවුන් බවට පත්ව ඇත.

ජනතාවට බොරු කියමින් බලයට පත්ව සිටින හවුල් ආණ්ඩුව චීන තරවටුව අනුව වැඩ කරනවා විනා ජනතාවගේ විරෝධය හෝ අධිකරණ නියෝග මත වැඩ නොකරන බව ඉක්මනින්ම සනාථ වනු ඇත.

චන්දන සිරිමල්වත්ත