කොටදෙනියාව පොලිසියේ නිලධාරීන් පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන්නන් පිරිසක්ද?

105684_2-600x415  කොටදෙනියාවේ එක් දරු පියකු වූ කැලූම් සහ 17 හැවිරිදි පාසල් සිසුවකු වූ සුරංජන් තවමත් කොටදෙනියාවේ පොලිසිය විසින් හා මාධ්‍ය විසින් ඔවුන් මත පටවන ලද වරදෙන් නිදහස් වී නැත. ඒ බව පසක් වූයේ පසුගිය දා කැළුම්ගේ දුරකතන අංකයට ඇමතුමක් දී ඔවුන්ගේ අත්දැකීම් ගැන විපරම් කරද්දීය. මෙබඳු සටහනක් තැබීමට සිත් වූයේද එම සංවාදය නිසාය.

ඞී.එන්.ඒ. පරීක්ෂණවලින් මෙන්ම පර්යේෂණ සාධකවලින්ද කැලූම් සහ සුරංජන් නිදොස් බව අධිකරණයේදී තහවුරු විය. ඔක්තෝබර් මස පළමුවැනිදා අධිකරණයේ ගේට්ටුවන් පිටත එතෙක් ජීවත් වූ සමාජයට ඔවුන් පා තැබුවේ පොලිසිය විසින් පැහැර ගෙන යන ලද සැප්තැම්බර් 16 වැනිදාට පෙර ජීවත් වූ පුද්ගලයන් දෙදෙනා ලෙසින්මය. එහෙත් ඒ සති දෙක තුළ ඔවුන් ජීවත් වූ සමාජය වෙනස් වී තිබිණි. ඒ සමාජය තවදුරටත් ඔවුන් දෙදෙනා නිවැරදිකරුවන් ලෙස බාර ගත්තේ නැත. ඔවුන් සම්බන්ධ සමාජ මනෝභාවය ඒ ආකාරයෙන් දූෂ්‍ය කිරීමේ වගකීම මුළුමනින්ම පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඔවුන්ගේ බොරු සමාජගත කළ මාධ්‍ය බාර ගත යුතුය. වගකීම බාර ගන්නවා යනු ‘අපි වැරැුද්දක් කළා’ යැයි පිළිගැනීම පමණක් නොවේ. සිදු කළ වරද නිවැරදි කිරීමයි. මේ දක්වා මේ කිසිවකුත් ඊට වෙහෙසක් ගෙන නැති බව පෙනේ.

ඒ ගැටලූව එසේ තිබෙන අතර කොටදෙනියාව පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැලූම් සහ සුරංජන් සම්බන්ධයෙන් අනුගමනය

කළ පරීක්ෂණ ක‍්‍රමවේදය ගැන නැවතත් සමාජ අවධානය යොමුවිය යුතුය. එහි අනෙක් කරුණ වන්නේ ‘කොණ්ඩයා’ නමින් පොලිසිය විසින් සමාජගත කරන ලද දුනේෂ් ප‍්‍රියශාන්තගේ කටඋත්තරයයි. ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ඔහු දිගින් දිගටම දුනේෂ් ප‍්‍රියශාන්තව හඳුන්වන ලද්දේ ‘කොණ්ඩයා’ යනුවෙනි. එහිදී ඔහු උත්සාහ කළේ ඒ වන විට අධිකරණය විසින් වරදකරුවකු කර නොතිබූ පුද්ගලයා අපරාධකරුවකු ලෙස සමාජගත කිරීමට බව පැහැදිලිය.

දුනේෂ් ප‍්‍රියශාන්තගේ කටඋත්තරය අංග සම්පූර්ණ එකකි. ඒ වන විට පොලිසිය විසින් පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබූ සියලූ දත්ත සමඟ (ඒ දත්ත බොහොමයක් ඒ වන විටත් දැන සිටියේ පොලිසිය පමණි.) ඔහුගේ පාපෝච්චාරණය ගැළපුනි. එහෙත් සැබෑව නම් දුනේෂ් ප‍්‍රියශාන්ත ඒ කිසිවක් නොදැන සිටීමයි. මේ නිසා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද්දේ කුමක්ද යන සැකය මතු වේ. ඞී.එන්.ඒ. තාක්ෂණය නොවන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතා දුනේෂ් ප‍්‍රියශාන්තගේ අත්සන ලබා ගන්නා ලද ‘කතාව’ට අනුව ඔහු එල්ලූම් ගස් යනු ඇත. ඇතැම් විට ඔහුට පෙර කැලූම්ට සහ සුරංජන්ට ඒ ඉරණම අත්වනු ඇත. දැන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුනේෂ් ප‍්‍රියශාන්තගේ කටඋත්තරය ලැබුණු ආකාරය ගැන පිළිගත හැකි පිළිතුරක් සමාජය හමුවේ පැවසිය යුතුය. එපමණක් නොව ඒ සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර වැරදි කළ නිලධාරීන්ට දඬුවම් දිය යුතුය.

sil-10-04-p13-5දැන් අපි යළිත් කැලූම් දෙසට හැරෙමු. 16 වැනිදා අලූයම 1.50ට පමණ සිය බිරිඳ හා දරුවා සමඟ නිදාගෙන සිටි කැලූම් අවදි වූයේ අම්මාගේ හඬ ගෑම ඇසීය. ඔහු නිවස ඉදිරියට යන විට දොර අඩක් විවෘත කර තිබුණු අතර මිදුලේ කොටදෙනියාව පොලිසියේ ස්ථානාධිපතිවරයා සිටියේය. ස්ථානාධිපතිවරයා නිවැසියන්ට දැනුම් දී තිබෙන්නේ ගෙයක් බැලීමට කැලූම් කැටුව යන බවයි. ඊට පෙර දිනයේදීත් කැලූම් සේයා දැරිය සොයමින් පොලිස් නිලධාරීන් සමඟ කැළෑ පීරූ නිසා නිවැසියන් ඒ ගැන වැඩිදුර හිතුවේ නැත.

නිවසේ සිට පාරට එන විට පොලිස් ජීප් රථය නතර කර තිබිණි. ජීප් රථයට නංවා ගන්නා ලද කැලූම්ගේ මුහුණට රෙද්දක් දමා ඔහුට අවට බැලීමට නොහැකි වන ආකාරයට මුහුණ වැසිනි. ජීප් රථයේ රැුගෙන යන අතරතුර එහි සිටි පොලිස් නිලධාරීන් කැලූම්ගේ සරම ගලවා ලිංගය අතගාමින් පරීක්ෂා කර ඇත. විනාඩි කිහිපයකට පසුව ජීප් රථයෙන් බිමට ගන්නා ලද කැලූම්, කාමරයක් තුළට රැුගෙන යනු ලැබීය. අඳුරු කාමරයක් වූ ඊට අල්ලපු කාමරයේ විදුලි පහනෙන් මඳ ආලෝකයක් ලැබිණි. කැලූම්ගේ ඉදිරියේ සිටියේ කොටදෙනියාව පොලිසියේ ස්ථානාධිපතිවරයාය. සේයා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධදැයි ස්ථානාධිපතිවරයා ඇසූ අතර කැලූම් පැවසුවේ තමන් ඊට සම්බන්ධ නැති බවයි. පසුව නැවත වතාවක් ඔහු ඇඳ සිටි සියලූ ඇඳුම් ගලවා ලිංගය පරීක්ෂා කරමින් ඡුායාරූප ගෙන ඇත. ඒ අතර ලිංග ප‍්‍රදේශයේ රෝම ගලවා ගැනීමටද ඇතැම් පොලිස් නිලධාරීන් උත්සුක වී තිබෙන්නේ කවර හේතුවක් මතදැයි පැහැදිලි නැත. ඒ ගලවා ගත් මයිල් තවමත් ඔවුන් ළඟ තිබේදැයි අප දන්නේ නැත.

ස්ථානාධිපතිවරයා එම කාමරයෙන් එළියට පැමිණි විගසම එහි සිටි සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් කිහිප දෙනකු කැලූම්ට අතින් පයින් පහර දෙන්නට පටන් ගත්හ. ඔවුන්ගේ එකම ප‍්‍රශ්නය වූයේ, ‘‘උඹ තමයි වැඬේ කරලා තියෙන්නේ, කරපු විදිය කියපං’’ කියාය. එහෙත් සේයා ඝාතනයට කිසිදු සම්බන්ධයක් නැති කැලූම්ට දීමට උත්තරයක් තිබුණේ නැත.

ඉන් පසුව ඔහුගේ අත්දෙක පිටුපසට තබා බැඳ ලණුවකින් වහලේ එල්ලා පහර දීමට පටන් ගත්තේය. ඔහුගේ කොන්ද ප‍්‍රදේශයේ දැඩි වේදනාවක් ඇති වූ අතර ඒ වේදනාවෙන් තවමත් ඔහු මිදී නැත. අප කතා කරන විටත් ඔහු පැවසුවේ, කොන්ද මැද ප‍්‍රදේශය අතින් අල්ලන විට රිදෙන බවත් වම් කකුල තවමත් හිරි වැටී, ඇඟිලි දෙකක් අප‍්‍රාණිකව තිබෙන බවත්ය.

පහර දී අත් දෙක බැඳ ඔහු කාමරයේ බිම දමා තිබිණි. ස්ථානාධිපතිවරයා නැවත පැමිණි පසුව ඔහු තමන්ගේ අත් දෙක ලිහන ලෙසත් ඇඳුම් ඇඳ ගැනීමට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටියේය. කැලූම්ට ඇඳුම් අන්දවන්නැයි දැනුම් දුන් ස්ථානාධිපතිවරයා එතැනින් පිටව ගියේය. ඉන් පසුව ඔහුට පහර දුන් පොලිස් නිලධාරීන්ද වැටුණු වැටුණු තැන්වල ගොරව ගොරවා නිදන්නට විය. කැලූම් කියන්නේ ඔහුට අවශ්‍ය නම් පලා යාමට වුවත් අවස්ථාව තිබූ බවයි. එහෙත් තමන් කිසිදු වරදක් කර නැති නිසා පලා යාමේ අදහසක් ඔහුට නොවීය. පොලිස් නිලධාරීන් මෙලෙස දොර ජනෙල් හැර දමා අවශ්‍ය නම් පලා යාමට ඉඩ තබා නින්දට වැටුණේ කැලූම් පලා ගියොත් ඔහුට වෙඩි තබා, සේයාගේ ඝාතකයා පලා යාමට උත්සාහ කිරීමේදී තැබූ වෙඩි පහරින් මිය ගියේ යැයි පවසා කතාව අවසන් කිරීමටදැයි, ලංකාවේ පොලිසිය මීට පෙර කටයුතු කර ඇති ආකාරය ගැන දන්නා  ඕනෑම අයකුට සැකයක් ඇතිවීම සාධාරණය.

ඉර එළිය වැටෙන විට පොලිස් නිලධාරීන් අවදි වී ඇති අතර ඔවුන් උදේ තේ වත්කර ගෙන බී, ආහාර පිළියෙළ කර ගෙන කා ඇත. සවස ඔහුගේ අත් බැඳ තිබූ බැනියම ගලවා අතට සහ කාමරයේ තිබූ ඇඳට මාංචු දමනු ලැබීය.

එළියේ සිටි පොලිස් නිලධාරියකුට ලැබුණු දුරකථන ඇමතුමකින් තමන් දැන් සිටින්නේ වෙඩිබෙහෙත් වත්ත නම් ස්ථානයේ බව කැලූම් හඳුනා ගත්තේය. එම නිලධාරියාට ඇමතුම දුන් පුද්ගලයා ඇසූ ප‍්‍රශ්නයකට පොලිස් නිලධාරියා පවසා ඇත්තේ තමන් ඒ වෙලාවේ වෙඩිබෙහෙත් වත්තේ සිටින බවයි. පසුව ඔහු රඳවා ගෙන වධ බන්ධනයට ලක් කළේ වෙඩිබෙහෙත් වත්තේ තබා ගෙන බව සනාථ විය.

රාත‍්‍රී 7.30ට පමණ බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එහෙත් කැලූම්ට විස්තර කීමට ඉඩක් නොතබා දුරකථනය විසන්ධි කෙරිණි. රාත‍්‍රී 11.00ට පමණ අත් දෙකට මාංචු දමා පොලිස් ජීප් රථයේ දමාගෙන රැුගෙන ගියේය. ජීප් රථය යකඩ ගේට්ටුවක් අසල නතර කරනු ලැබූ විට කැලූම් සිතුවේ නැවත වෙනත් නිවසකට තමන් රැුගෙන යනු ඇත කියාය. එහෙත් ගේට්ටුව විවෘත කළ විට තිබුණේ ප‍්‍රධාන පාරයි. පසුව දැන ගත් පරිදි ඒ පල්ලියේ ගේට්ටුවයි. ප‍්‍රධාන පාර දිගේ ගිය ජීප් රථය වැලිහිඳ මංසන්ධියෙන්, කොටදෙනියාව පොළ සහ ඉන්ධන පිරවුම්හල පසු කොට පොලිසියට පැමිණියේය. එක් පොලිස් සිර කුටියක 17 හැවිරිදි පාසල් සිසුවා රඳවා තිබූ අතර අනෙක් කුටියේ කිහිප දෙනකු එයට දමා කැලූම් තනිවම සිර කුටියක සිර කරනු ලැබීය. ඒ වන විට රාත‍්‍රී 11.20 බව පොලිසියේ ඔරලෝසුවේ සටහන්ව තිබිණි.

17 වැනිදාට එළිය වැටුණු මොහොතේ සිට කැලූම් සිරකුටියේ යකඩ කූරුවල එල්ලී බලා සිටියේ නිවසින් කවුරුන් හෝ එනු ඇතැයි කියාය. ටික වේලාවකින් ඔහු කාලයක සිට හඳුනාගෙන සිටි පොලිස් නිලධාරියකු දුටුවේය. තම බිරිඳගේ දුරකථන අංකය දී ඇඳුම් සහ බුරුසුවක් රැුගෙන එන ලෙස දැනුම් දෙන්නැයි ඉල්ලූවේය. ඒ අනුව ටික වේලාවකින් ඔහුගේ බිරිඳ පැමිණියාය. එහෙත් ඔවුන්ට කතා කිරීමට පොලිසිය ඉඩ දුන්නේ නැත. එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ කටඋත්තරයක් ලබාගත්තේය. ඉන් පසුව සවස කැලූම් සහ සුරංජන් දෙදෙනාම ‘පන්ති කාමරය’ ලෙස හැඳින් වූ ශාලාවට ගෙන යනු ලැබීය. සුරංජන්ට එහිදී දරුණු ලෙස පහර දෙනු ලැබීය. අතින් පහර දුන්නාට අමතරව පීවීසී බටයකින්ද පහර දුන්නේය. කැලූම්ටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් පහර කෑමට සිදු විය. කැලූම්ගේ කටට පිස්තෝලයක් දමා වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළේය.

19 වැනිදා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන, කමිසය ගලවා ඡුායාරූප ගන්නා ලදී. නැවත වතාවක් කටඋත්තර ලියා ගැනීම සිදුවිය. ඉන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. බන්ධනාගාරයේ ඔවුන් දෙදෙනා රඳවන ලද්දේ බාල වයස්කරුවන් රඳවන වාට්ටුවේ බව කැලූම් කියයි. එහි සිටි සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද ඔවුන් වරදක් කර නැති බව පිළිගෙන තිබේ. ඒ අනුව ඔවුන්ට ආරක්ෂාව ලබා දී ඇත. එහෙත් එක් බන්ධනාගාර

නිලධාරියෙක් කැලූම් රැුගෙන ගොස් ඔහුගේ වම් පාදයේ මහපොට ඇඟිල්ලකට බැටන් පොල්ලකින් තිරිසන් ලෙස පහර දී තිබේ. මෙබඳු පරපීඩකයන්ට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්ද? පොලිසිය ගන්නා පියවර කුමක්ද? ඔවුන් එදින සවස අධිකරණ වෛi නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර 24 වැනිදා බොරැුල්ල ජින්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ඞී.එන්.ඒ. පරීක්ෂාවට රුධිර සාම්පල් ගන්නා ලදී. ඔක්තෝබර් මස 01 වැනිදා ඔවුන් දෙදෙනා නිදහස් කරන ලද්දේ එම ඞී.එන්.ඒ. පරීක්ෂණයේ වාර්තාව ලැබීමෙන් අනතුරුවයි.

දැන් ගැටලූව වන්නේ ඔවුන් දෙදෙනා සහ දුනේෂ් ප‍්‍රියශාන්ත මෙම සේයා ඝාතන සිද්ධියට සම්බන්ධ නැති බව අධිකරණය හමුවේ කරුණු සාධක සහිතව සනාථ වී තිබුණේ වුවත් මේ වන විට ඔවුන් දඬුවම් විඳ තිබීමයි. නීතිය පසිඳලීමේ ක‍්‍රියාවලියක අරමුණ විය යුත්තේ සැබෑ වරදකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීමත් නිවැරදිකරුවන් දඬුවම්වලට ලක්වීමෙන් මුදා ගැනීමත්ය. එහෙත් මේ වන විටත් නිවැරදිකරුවන් දඬුවම් ලැබ ඇත. කොටදෙනියාව පොලිසියේ නිලධාරීන් ඉදිරියේ ඔවුන් ශාරීරික අඩන්තේට්ටම්වලට, ලිංගික

pQbom6oහිංසනයට පත්වූවාට අමතරව තවත් අවුරුදු ගණනාවකට ක්ෂය වී නොයන සමාජ අපවාදයක ගොදුරු බවට පත් කර තිබේ. ඒ නිසා අපරාධ පරීක්ෂණ ක‍්‍රියාවලිය ගැන නැවත කියවීමක් අවශ්‍යය. නිවැරදිකරුවන් වරදකරුවන් කරන සහ ඔවුන් වරදකරුවන් ලෙස සලකා කටයුතු කරන මෙන්ම ඔවුන්ට හිරිහැර කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දඬුවම් කිරීමේ ක‍්‍රමවේදයක් අවශ්‍ය වේ.

ඒ අතරම කොටදෙනියාවේ ජනතාවගෙන් ඉල්ලා සිටීමට දෙයක් ඇත. අධිකරණය ඉදිරියේ නිවැරදිකරුවන් බව සනාථ වූ ඔබේ අසල්වැසියන්ට ඔවුන්ගේ පැරණි ජීවිතය යළි දෙන්න. ඔවුන් පීඩාවට පත් කළ අසාධාරණයට එරෙහිව ඔවුන් සමඟ එක්වන්න.