ටී.එන්.ඒ. ස්ථාවරය හමුවේ දේශපාලන සිරකරුවෝ

political prisonersතමන් නිදහස් කරන ලෙස ඉල්ලා දේශපාලන සිරකරුවෝ 223 දෙනෙක් පසුගිය 12වැනිදා ආරම්භ කරන ලද උපවාසය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් එම ගැටලූවලට විසඳුම් ලබා දෙන බව ප‍්‍රකාශ කිරීමත් සමඟ පසුගිය 17වැනිදා අවසන් කෙරිණි.

මෙම උපවාසයට අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 35ක්ද මැගසින් බන්ධනාගාරයේ 160ක්ද බෝගම්බර 15ක්ද යාපනයේ 03ක්ද වැලිකඩ කාන්තා සිරකාරියන් 10ක්ද ඇතුළත් වූ බව ආරංචි මාර්ග වාර්තා කර තිබිණි. සියලූ‍ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔක්තෝබර් 14වැනිදා සම අයිතිය ව්‍යාපාරය මඟින් පැවැත්වූ උද්ඝෝෂණයේ ඡුායාරූප පසුගිය සතියේ වෙනත් පුවත්පත් මෙන්ම ‘ජනරළ’ මුල් පිටුවද සැරසීය. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පක්ෂව සහ විපක්ෂව විවිධ තර්ක මතුවෙමින් තිබේ. ඒ අතරින් ඊට විපක්ෂව නැගෙන ප‍්‍රධාන තර්කය වනුයේ ඔවුන් විවිධ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ නිසා ඔවුන්ට දඬුවම් කළ යුතු බවය. මේ අතර අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ 16වැනිදා මාධ්‍ය අමතමින් කීවේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳ චෝදනා මත මිස අදහස් දැරීම නිසා කිසිවෙක් සිරගත කර නොමැති හෙයින් ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බවය. මෙවැනි විවිධ තර්ක මතු කෙරෙමින් පවතී.

මෙතෙක් මේ පිළිබඳ සටන් පාඨය ලෙස තිබුණේ  දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව වහා නිදහස් කිරීමය. ජනරළේ අපද කාලයක් තිස්සේ එම සටන් පාඨය වෙනුවෙන් පෙනී  සිටියෙමු. ඒ කුමක් නිසාද යන්නද පැහැදිලි කරගත යුතුය. යුද්ධය යනු කාගේ හෝ හිතුවක්කාරකමක්, නොදැමුණුකමක්, හෝ උමතුවක ප‍්‍රතිඵලයක් නොවේ. එය එසේනම් එයට සහභාගී වූවන් සිරගත කිරීමෙන් හෝ ඔවුන්ට දඬුවම් දීමෙන් විසඳුම් සෙවීමට තර්කයක් ඇත. එහෙත් යුද්ධය සාමූහික සමාජමය වරදක ප‍්‍රතිඵලයකි. එම වරදේ කොටස් අඩුවැඩි වශයෙන් අප හැමදෙනාම බාර ගත යුතුය.

එම අදහසේ සිට බලන්නේ නම් කළ යුත්තේ ඉදිරියේදී යළි එවැනි ව්‍යසනයක් සිදු නොවන ආකාරයේ අධිෂ්ඨානයක් ඇති වන සේ සමාජය තුළ පුළුල් සමාලෝචනයක් සිදුකර ගැනීමයි. එවැනි සාමූහික වරදක කොටස්කරුවන් ලෙස වැඩිපුර අවධාරණය වූ හමුදා සොල්දාදුවන් සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිළිබඳ වඩාත් පරිණත තීරණයක් ගැනීමට අපට අවස්ථාව ලැබෙනු ඇත. එහෙත් එවැනි ක‍්‍රියාදාමයක් දියත් වන්නේ නැත. එවැනි සංවාදයක්ද රටේ නැත. ඒ වෙනුවට ජාතිවාදීන් විසින් ප‍්‍රචාරය කරමින් සිටින මතය වන යුද්ධය ප‍්‍රභාකරන්ගේ කෲරත්වයක සහ දැන් දේශපාලන සිරකරුවන් ලෙස සිටින දෙසිය ගණනක උමතුවේ ප‍්‍රතිඵලයක්ය යන මතය සමාජය තුළ තහවුරු වී  තිබේ.

එම පසුබිම තුළ  ප‍්‍රශ්නය විමසා බැලෙන්නේ හුදු නීතිමය දෘෂ්ටිකෝණයෙනි. මේ සඳහා හොඳම නිදසුන දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරයයි. පසුගිය 12වැනිදා දේශපාලන සිරකරුවන්ට නිදහස් ලබා දීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගත හැකි ආකාරය සඳහන් ලිපියක් උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් ජනාධිපතිවරයා වෙත යොමු කළේය. බී.බී.සී. ලෝක සේවයේ වාර්තාවලට අනුව එම ලිපිය ඔස්සේ ප‍්‍රධාන ඇමැතිවරයා ඉල්ලා ඇත්තේ මෙම පිරිස සඳහා යුක්තිය ඉටු කිරීමට වහා පියවර ගන්නා ලෙසය. එම වාර්තාවට අනුව ප‍්‍රධාන කාරණා හතක් ඔස්සේ කරුණු ඉදිරිපත් කරන ප‍්‍රධාන අමාත්‍යවරයා රඳවා ගෙන සිටින පිරිස් විසින් සිදු කොට ඇති වරදේ ස්වභාවය මත ලැයිස්තුවක් සකස් කළ යුතු බව පවසා තිබේ. මේ කාරණාව ඉටු කිරීමට සතියක කාලයක් සෑහෙන බවත් ඔහුගේ ලිපියේ සඳහන් කොට තිබේ. ඉතා සුළු වැරදි මත අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් මුළුල්ලේ රඳවා ගෙන සිටින සැකකරුවන් ඇප මත නිදහස් කොට ඔවුන්ට එරෙහිව යම් නඩු විභාගයක් ආරම්භ කරන ලෙසද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සුළු වැරදි කළ පිරිස ඇප මත නිදහස් කොට පසුව නඩු ඇසීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතු බවටද ප‍්‍රධාන අමාත්‍යවරයා ලිපිය ඔස්සේ යෝජනා කරයි.

අත්අඩංගුවේ පසු වන පිරිසට යම් චෝදනාවක් වේ නම් ඔවුන්ට චෝදනා පත‍්‍රයක් භාර දීමට ක‍්‍රියා කොට එකී චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන මෙන්ද ඔහු ඉල්ලා සිටියි. අධිකරණ සේවා කොමිසම මඟින් විනිසුරුවරයන්ට විශේෂ බලතල ලබා දී මෙම දේශපාලන සිරකරුවන් විසින් සිදු කොට ඇති වැරදි සම්බන්ධයෙන් කඩිනමින් නඩු විභාග කොට ඔවුන්ට දඬුවම් කිරීම හෝ නිදහස් කිරීම සිදු කරන මෙන්ද උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ සියලූ‍ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස නොවේ. චෝදනා නැති අය නිදහස් කර චෝදනා තිබෙන අයට දඬුවම් දෙන ලෙසය.

එය අමුතුවෙන් කිව යුතු  දෙයක්ද යන ප‍්‍රශ්නය මතු වේ. එය දේශපාලන සටන් පාඨයක් නොවේ. එය රටක තිබිය යුතු අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මට්ටමකි. චෝදනා නැති අය සිරගත කර තවත් තත්පරයක්වත් තබා ගැනීමට ආණ්ඩුවට අයිතියක් නැත. විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තොරතෝංචියක් නැතිව දෙඩවූ මේ ආණ්ඩුවට එසේ කිරීමට අයිතියක් හෝ සදාචාරයක් නැත. දෙමළ ජාතික සන්ධානය සියලූ‍ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරගැනීමේ දේශපාලන සටන් පාඨය ආණ්ඩුවට කළ හැකි මට්ටමට කපා දමා තිබේ. කාලයක් තිස්සේ සමාජයේ සැලකිය යුතු කොටසක, දේශපාලන විඥානයක් සහිත කොටසක පිළිගැනීමට ලක්ව තිබිණි.

අවසානයේදී සිදුව ඇත්තේ සමාජයේ තිබූ මට්ටමත් පහත හෙලීමයි. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඇතුළු ධනේශ්වර දේශපාලන නායකත්වය වගකිව යුතු අතර ඔවුන් තමන්ට පවතින නීතිමය රාමුවෙන් අඟලක්වත් ඔබ්බට යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් පාඨයක් ඉදිරිපත් කළ නොහැකි බව තහවුරු වී ඇත. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දේශපාලන සීමාව ගැන නිදසුන් දහසක් අතර නවතම අගනාම නිදසුන සපයා ඇත්තේ දේශපාලන සිරකරුවන්ගේ නිදහස සඳහා වන සටනයි.

මනෝජ් ප‍්‍රසන්න