පරණගම – උදලාගම වාර්තාවලින් යුද අපරාධ වසා දැමීම

SLimage_k_MEDයුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද මැක්ස්වෙල් පරණගමගේ වාර්තාවත් නිශ්ශංක උදලාගමගේ වාර්තාවත් ඔක්තෝබර් මස 20 වැනිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබීය. ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ සම්බන්ධ කතිකාවත් ආණ්ඩු වෙනසත් සමඟ ජාතික ගැටලූව සම්බන්ධයෙන් ඇති වී තිබෙන නව කතිකාවත් අතරටය, මෙම වාර්තා ඉදිරිපත් වී තිබෙන්නේ. ඒ අතරම බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් තමන් නිදහස් කරන ලෙස හෝ චෝදනා ඇත්නම් නඩු පවරන ලෙස උපවාසයක නිරත වූ අතර ඔවුන් නිදහස් කරන ලෙස බල කරමින් සම අයිතිය ව්‍යාපාරය උද්ඝෝෂණයක්ද දියත් කළේය. ඒ අතර මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ සාමාජිකයෝ සිංහල ජාතිවාදී ස්ථාවරයක සිට තවමත් අදහස් දක්වමින් සිටිති.

පරණගම කොමිසම විසින් විමර්ශනයට ලක් කරන ලද කාලය වූයේ යුද්ධයේ අවසන් මාස කිහිපයයි. එනම්, 2009 ජනවාරි මාසයේ සිට 2009 මැයි 18 වැනිදා දක්වා කාලය පමණි. මේ මොහොතේ පරීක්ෂණයක් අවශ්‍යව තිබෙන්නේ කුමක් සඳහාද යන්න පළමුව විමසිය යුතු ප‍්‍රශ්නයකි. ලංකාවේ පැවැති යුද්ධයේදී රජයේ හමුදාවේ පාර්ශ්වයෙන් මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාර්ශ්වයෙන්ද යුද අපරාධ සිදු වූ බවට සැකයක් නැත. සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප‍්‍රහාර, කරුණා අම්මාන් විසින් මඩකලපුවේදී පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කිරීම, දළදා මාළිගාවට ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු සිදුවීම් රැුසක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නම ඉදිරියෙන් සටහන් වී තිබේ. යුද හමුදාව සම්බන්ධයෙන්ද එවැනි චෝදනා ගණනාවක් පසුගිය කාලයේ ඉදිරිපත් විය. යුද්ධයේ අවසන් දින කිහිපයේදී වාර්තා වූ ඉසිප‍්‍රියා අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම, ප‍්‍රභාකරන්නේ බාල පුත් බාලචන්ද්‍රන් ඝාතනය කිරීම, යුද්ධයේ අවසන් කාලයේදී යුද හමුදාවට බාර වූ එල්.ටී.ටී.ඊ. නායකයන් ඝාතනය කිරීම ඊට නිදසුන් කිහිපයකි.

ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවත් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයත් සිංහල සහ දෙමළ ජාතිවාදීනුත් තවත් බොහෝ දෙනෙකුත් අවධානය යොමු කරන්නේ යුද්ධයේ අවසන් දින කිහිපයේදී සිදු වූ සිදුවීම් දෙස පමණි. එහෙත් යුද්ධය පැවැතියේ අවසන් දින කිහිපයේ පමණක් නොවේ. නිල වශයෙන් 1983 සිට යුද්ධයක් පැවතිනි. එහෙත් ඊට සම්බන්ධ සිදුවීම් සහ හේතු ඊටත් වඩා ඈතට දිව යයි. බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් සිංහල සහ දෙමළ ජනතාව බෙදා වෙන් කර පාලනය කිරීමේ සිට, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ සිට, ප‍්‍රමිතිකරණයේ සිට තවත් සිදුවීම් අතිවිශාල ප‍්‍රමාණයක් මෙම අර්බුදයේ ඉතිහාස දම්වැලේ පැටලී තිබේ.

දැන් විමර්ශනයක් අවශ්‍ය වන්නේ නැවතත් යුද්ධයක් ඇති නොවීමටත් සිංහල, තමිල්, මුස්ලිම් ජනතාව අතර සමගි සන්ධානයක් ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සොයා ගැනීමටත්ය. ඒ සඳහා දශක ගණනාවක් තිස්සේ දිවෙන ප‍්‍රශ්නයක, දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයක අවසන් මාස හයේදී පමණක් සිදු  වූ සිදුවීම් අධ්‍යයනය කිරීමෙන් පමණක් ප‍්‍රයෝජනයක් තිබේද? ඒ නිසා සමාජයට අවශ්‍ය වන්නේ එවන් පුළුල් කතිකාවකි. එහෙත් ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවවත් ලංකාවේ පාලකයන්වත් එවැන්නක් සඳහා පෙලඹෙන්නේ නැති බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

සමස්තයක් වශයෙන් යුද්ධයේදී සිදු වූ සිදුවීම් පිළිබඳ විමර්ශනයක් කළ යුතුය. දෙපාර්ශ්වයෙන්ම සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදු විය යුතුය. එක් පැත්තකින් යුද්ධයේ ගොදුරු බවට පත්ව ජීවිත අහිමි වූවන්ගේ ඥාතීන්ට සිය ඥාතියාට සැබැවින්ම සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමේ අයිතියක් තිබේ. එපමණක් නොව යුද්ධයේදී සැබැවින්ම සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට සමාජයට අවශ්‍යතාවක් තිබේ. යළිත් යුද්ධයක් ඇති නොවීම සඳහා අවශ්‍ය සමාජමය පෙලඹුම ඇති වන්නේ එවැනි දැනුවත්භාවයකින් පමණි. යුද්ධයේදී සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව සමාජය දැනුවත් විය යුතු අතර ඒ කම්පනය යළිත් එවැන්නක් සිදු නොවීමට අවශ්‍ය පෙලඹවීම සපයනු ඇත.

එහෙත් මේ පරීක්ෂණවල අරමුණ කුමක්ද? අවසාන වශයෙන් සිදු වනු ඇත්තේ යුද්ධයට මැදි වූ දෙපාර්ශ්වයේ සෙබළුන්ට යම් යම් චෝදනා එල්ල කිරීමත් අණ දුන් හමුදා නායකයන් හා දේශපාලන බලාධිකාරිය නිදහස් කිරීමත්ය. යුද්ධයේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු වනවා මිස ආරක්ෂක මණ්ඩලය ගත් තීරණ සම්බන්ධයෙන් විමර්ශන සිදු වන්නේ නැත. සමූහ ඝාතක අවි භාවිත කිරීම ඇතුළු තීරණ ආරක්ෂක මණ්ඩලය, යුද හමුදා නායකයන් සහ දේශපාලන අධිකාරිය විසින් ගනු ලැබූ ඒවා මිස සටන් බිමේ සිටි සෙබළුන් විසින් ගනු ලැබූ ඒවා නොවේ. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ගැනද කිවයුත්තේ එයමය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ සහ අරමුදල් සැපයීමේ නියමුවා වූ කුමරන් පද්මනාදන්, නැෙඟනහිර නායක කරුණා සහ පිල්ලයාන් වැන්නන් රාජපක්ෂ ආණ්ඩුවේ මෙන්ම රනිල්-මෛත‍්‍රී ආණ්ඩුවේද රැකවරණය ලබමින් සිටින අතර ඉතා සුළු වැරදි කළ, ඇතැම් විට කිසිදු වරදක් නොකළ තමිල් තරුණ තරුණියෝ අවුරුදු 10ක 15ක කාලයක් තිස්සේ බන්ධනාගාර තුළ සිය ජීවිත දියකර හරිමින් සිටිති. අවසාන විමර්ශනවලින් පසුවද සිදු වනු ඇත්තේ එයයි.

ඒ නිසා ජාතික, ජාත්‍යන්තර හෝ හයිබි‍්‍රඞ් යන කවරාකාරයේ විමර්ශනයක් වුවද අවසානයේ සිදු කරනු ඇත්තේ සැබෑ වගඋත්තරකරුවන් වගකීමෙන් නිදහස් කිරීමත් එක් අතකින් යුද්ධයේ වින්දිතයන් වූ දෙපාර්ශ්වයේම සෙබළුන්ට දඬුවම් පැමිණවීමත්ය. එය කිසිසේත්ම නිවැරදි ක‍්‍රියාවලියක් නොවනවා පමණක් නොව, සිංහල-තමිල් ජනතාව අතර විශ්වාසනීය සමගි සන්ධානයක් ගොඩනැඟීමට ඉවහල් වන්නේද නැත.

ජනක තුෂාර


ඇතැම් සිදුවීම් ගැන විමර්ශනයක් අවශ්‍යයි – මැක්ස්වෙල් පරණගම

  •  චැනල් 4 නාළිකාවේ වාර්තා චිත‍්‍රපටයේ අඩංගුව ඇතුළු යුද හමුදාවට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍යයි කියා ඔබේ වාර්තාවේ සඳහන් වෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා…

චැනල් 4 නාළිකාවේ චෝදනා නිවැරදියි කියලා අපි කියලා නැහැ. ඒවා ගැන විමර්ශනයක් කළ යුතුයි. ඒ විමර්ශන දැන් සිදු වෙනවා.

  • ඉසිප‍්‍රියා අත්අඩංගුවට ගෙන ඝාතනය කළ බවට ප‍්‍රබල චෝදනාවක් තිබෙනවා. ඊට අදාළ ඡුායාරූප පවා ප‍්‍රසිද්ධ වී තිබෙනවා…

ඔව්… මේ සිදුවීම් ගැන විමර්ශනයක් කරන්න අපි විමර්ශන කමිටුවක් නම් කර තිබෙනවා. ඒ විමර්ශන කමිටුවට සිංහල, දෙමළ වගේ සියලූම ජාතීන්ට අයත් නිලධාරීන් ඉන්නවා. කාන්තා නිලධාරිනියකුත් ඉන්නවා. විමර්ශන කමිටුවක් අවශ්‍යයි කියලා අපි කාලයක් තිස්සේ ඉල්ලූවා. ගිය ආණ්ඩුවෙනුත් ඉල්ලූවා. ඒ කමිටුව පත් කරන්න ලැබුණේ මීට මාස දෙකකට පමණ ඉහතදී.

  • අතුරුදන් වූවන් ගැන කොපමණ පැමිණිලි ලැබී තිබෙනවාද?

පිළිතුර – පැමිණිලි විසිදහසක් පමණ ලැබුණා. ඉන් 5600ක් ආරක්ෂක අංශයට සම්බන්ධ අයගේ. ඒ ගැන විමර්ශන සිදු වෙනවා.

  • යුද්ධයේදී සිවිල් වැසියන් ඝාතනය වීම ගැන මොනවාද ඔබේ විමර්ශන…?

දරුස්මාන් වාර්තාව කියලා තිබුණා, සිවිල් වැසියන් 40,000ක් මිය ගියා කියලා. ඒක කිසිසේත්ම පිළිගන්න බැහැ. යුද්ධයෙන් පසුව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් කළ සමීක්ෂණවලින්, ජිනීවාවලට යැවූ වාර්තාවල, රතු කුරුස සංවිධානයේ වාර්තාවල සඳහන් වෙන්නේ සිවිල් වැසියන් හත්දහස් ගණනක් මිය ගියා කියලා. ඒ සංඛ්‍යාවත් නිවැරදිමද කියන්න බැහැ. නමුත් 40,000ක් මිය ගියා කියන එක පිළිගන්න බැහැ.

  • සිවිල් වැසියන් මිය යාම පිළිබඳව යුද හමුදාවට චෝදනා එල්ල වී තිබෙනවා…

පිළිතුර – යුද හමුදාව චේතනාන්විතව සිවිල් වැසියන් ඝාතනය කළේ නැහැ කියලයි අපි කියන්නේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන් පලිහක් විදියට භාවිත කළා. සිවිල් වැසියන් අතර සිට වෙඩි තැබුවා. ඒ වෙලාවේ හමුදාවට ආත්මාරක්ෂාවට වෙඩි තබන්න සිදු වුණා. ඒ ගැටුමේදී සිවිල් වැසියන් මිය යන්න ඇති. ඒ වගේම යුද හමුදාව සිවිල් වැසියන්ට පැමිණෙන්න කපොලූ නිර්මාණය කළා. ඒ කපොලූ හරහා එන සිවිල් වැසියන්ට වෙඩි තැබුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය.