පොලිසිය පාපොච්චාරණ ගන්නෙ නෑ! – ගත්තෙ ප‍්‍රකාශයක් විතරයි – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර

Ruwan gunasekaraපසුගිය දිනවල ජනමාධ්‍ය හමුවේ දිගහැරුණ නාටක අතර ‘කොටදෙනියාව’ සේයා ඝාතන සිදුවීම මහත් ආන්දෝලනයකට හේතු විය. පොලිසිය විසින් එහි අපරාධ පරීක්ෂණ ගෙනගියේ පුළුල් ජනමාධ්‍ය ප‍්‍රචාර සහිතවය. එම සිදුවීම ජනමාධ්‍යයටත් ඉහගෙන කන්නට පල්වළක් විය. පොලිසිය විසින් එහිදී ක‍්‍රියාකළ ආකාරය පිළිබඳ ජනතාවගේ අප‍්‍රසාදයක් ප‍්‍රකාශ විය. මේ හේතු නිසා පොලිසිය විසින් ඉක්මනින් පිළිතුරු දියයුතු කරුණු රාශියකි. තවමත් අධිකරණය ඉදිරියේ පවතින කරුණු නිසා ඇතැම් ප‍්‍රශ්න විසඳනු ඇත්තේ ඉදිරියටය. කෙසේවෙතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පිළිවෙත සම්බන්ධව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර සමඟ අප කළ සංවාදයක් පහත පළ වේ.


  • යම් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමකදි එසේ අත්අඩංගුවට ගැනීමට හේතු දක්වනවාද?

මොන වරදක් සම්බන්ධවද අත්අඩංගුවට ගන්නෙ කියන කාරණාව දන්වනු ලබනවා. උදාහරණයක් හැටියට සේයා ඝාතනය සම්බන්ධව ප‍්‍රශ්න කරන්න අපි අත්අඩංගුවට ගන්න බව කිව්වා.

  • එසේ හේතු නොදක්වා අත්අඩංගුවට ගත් අවස්ථා තිබෙනවා නේද?

අත්අඩංගුවට ගන්නෙ ඇයි කියලා කිව්වෙ නැහැ කියන එක තමයි මෙතන ප‍්‍රශ්නය…

  • දුනේෂ් ප‍්‍රියශාන්ත අත්අඩංගුවට ගැනීමෙදි එවැනි දැනුම්දීමක් නොකළ බවට චෝදනා නැගුණා?

දුනේෂ් ප‍්‍රියශාන්ත සිදුවීම නම් අපි සම්පූර්ණයෙන් හෙළා දකිනවා. ඒක මේ නීතිඥවරු තමන්ගෙ නම් ප‍්‍රසිද්ධ කරපු දෙයක් හැටියට  අපි දකිනවා. ඒ මනුස්සයට නොතිබුණු ප‍්‍රශ්නයක් වෙන අයට තිබුණෙ. ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒ, ලංකාවෙ පොලිසිය ගැන තියෙන විශ්වාසය පළුදු කරන්න හදන අයයි. පොලිසිය සහ නීතිය පිළිබඳ විශ්වාසය බිඳවැටෙන තරමට ඇතැම් අය මෙතනදි කටයුතු කළා. එහෙම කරන්නෙ ලංකාවෙ සමස්ත සිස්ටම් එකම කඩාකප්පල් කරන්න හදන පිරිසක්.

පොලිසියෙ වරදක් සිදුව තිබෙනවා නම් අර ශිෂ්‍යයාට වරදක් සිදුවෙලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සිදුවීම පිළිබඳව අපි පරීක්ෂණ කරනවා. අපරාධයක් වුණාම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න නීතියෙන් බාධාවක් නෑ. මාධ්‍ය තමයි කොණ්ඩයා ප‍්‍රධාන සැකකරු හැටියට හඳුන්වා දෙමින් පහර දුන්නෙ.

  • නමුත් අත්අඩංගුවට ගැනීමකදි කවුද මාධ්‍යවේදීන්ට සැකකරුවන් ගැන තොරතුරු කියන්නෙ.

අපි කෙනෙක්ව අත්අඩංගුවට ගත්තම, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක හැටියට මම මාධ්‍යවේදීන්ට කියන්නෙ කොණ්ඩයා නමැති අය සේයා ඝාතනය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් බව.

  • සැකකරුවන්ගෙ විවිධ ඡායාරූප ප‍්‍රදර්ශනය කෙරෙනවා. ඒක වෙන්නෙ කොහොමද?

ඒ මාධ්‍යයනෙ. අපි නෙවෙයි. හැමෝමත් නෙවෙයි. ඇතැම් මාධ්‍ය නොගැළපෙන ආකාරයට ප‍්‍රධාන සැකකරු කරලා වණ කරලා ප‍්‍රචාරය කළා. දැන් ඒක දාන්න හදනවා පොලිසිය පැත්තට. ඒකට අපට වගකියන්න බෑ. ෆොටෝ දැම්මා, අර දරුවගෙ ෆොටෝ පවා දැම්මනෙ.

  • නමුත් ඒක සැකකරුවන් හෙළිදරව් කරන එකේ ප‍්‍රශ්නයක් නෙවෙයිද?

ඉතින් හෙළිදරව් කරන්න වෙනවනෙ. පොලිසිය ‘බී’ වාර්තාවක් දාල අධිකරණයට ඉදිරිපත් කරනවානෙ.

  • මම අහන්නෙ ජනමාධ්‍යයට සැකකරුගෙ විස්තර කොහොමද ලැබෙන්නෙ?

සේයා ඝාතනය සම්බන්ධයෙන් කෙනෙක් අත්අඩංගුවට ගත්තම නමත් එක්ක දාන්න මාධ්‍යයට පුළුවන්. ඒක ගැටලූවක් නෑ. ඒක නෙවෙයි මෙතන ප‍්‍රශ්නෙ. පොලිසියට කරපු පාපොච්චාරණය කොහෙන්ද අරගෙන ඒ පාපොච්චාරණය පළ කරලා කොණ්ඩයා ප‍්‍රධාන සැකකරු කියලා ලේබල් එකක් ගැහුවා. තව ජනමාධ්‍යයක මෙන්න ඝාතකයා කියලා ලේබල් ගැහුවා.

  • අත්අඩංගුවට ගත්තම පාපොච්චාරණයක් කළා නම් ඒක කොහොමද ජනමාධ්‍ය වෙත ගියේ,,,

ඒක නං දන්නෑ….

  • සැකකරුවා ප‍්‍රකාශ කළ දේ ජනමාධ්‍ය වෙත ගියේ කොහොමද කියලා විමර්ශන කරනවද?

නෑ නෑ නෑ…

  • සැකකරුවෙක්ගෙ යම් පාපොච්චාරණයක් ගත්තා කියලා කිව්වා. ඔහු වරද පිළිගත්ත කියලත් කිව්වා.

ඒක දාපු එක වැරදියිනෙ… ඒකනෙ ප‍්‍රශ්නෙ.

  • එහෙම වරද පිළිගත්තා කියලා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා නේද?

නෑ නෑ නෑ…

  • සැකකරු ඉදිරිපත් කරද්දි එයා පාපොච්චාරණය කළා කියලා?

නෑ නෑ.. සාක්ෂි ආඥාපනතෙ 25-1 අනුව, පාපොච්චාරණයක් ගැන අපට බෑ අධිකරණයට කියන්න. අධිකරණයට ඒ ප‍්‍රකාශ අදාළ නෑ. සම්පූර්ණයෙන් වැරදියි ඒක. ඒකයි මම කියන්නෙ මේ සිස්ටම් එකේදි සමහර ජනමාධ්‍ය මේක ඇනුවයි කියලා. පාපොච්චාරණයක් විදියට ඒක දැම්මෙ ඇයි? පාපොච්චාරණයක් නෙවෙයි ඒක නිකං ප‍්‍රකාශයක් විතරයි. ඒකෙ කිසිදු නෛතික වටිනාකමක් නෑහැ.

  • එහෙම නම් ඒ පාපෝච්චාරණය කවුද ගත්තෙ?

ගත්තා  කියන්නෙ..

  • පාපොච්චාරණයක් අරගෙන තියෙනවනෙ. ඒක ගත්තෙ කවුද?

මාධ්‍ය, මාධ්‍යවලටද?

  • පොලිසියෙන්නෙ ඒක සටහන් කළේ?

පොලිසිය පාපොච්චාරණයක් සටහන් කරලා නෑ. පොලිසිය සටහන් කරන එක පාපොච්චාරණයක් නෙවෙයි.

  • 16 වැනිදා අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවට ගත්ත බව සටහන් කෙරුණේ 18වැනිදා නේද?

ඒ සම්බන්ධව විමර්ශනය කෙරෙනවා. දරුවා අත්අඩංගුවට ගත්ත කාරණේදි නම් මම පොලිසියට සුදුහුණු ගාන්නෙ නෑ. ඒක විමර්ශනය කෙරෙනවා. නිලධාරින් එහිදී වරදක් සිදුකර තිබෙනවා නම් පොලිස්පතිතුමා කටයුතු කරනවා.

  • ශිෂ්‍යයා අත්අඩංගුවෙ රඳවා තැබූ ස්ථානය ගැන විමර්ශනයක් කෙරුණද?

මෙහෙමයි. ඒ විමර්ශන වාර්තාව තාම අපට ආවෙ නෑ. පොලිස්පතිතුමා විමර්ශන වාර්තාව ඉල්ලලා තියෙනවා. බස්නාහිර පළාතෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ඒ විමර්ශන කෙරෙනවා.

  • මේ වගේ සිදුවීම් නිසා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම්වලදි නීතිය අනුව කටයුතු කරන්නෙ නෑ කියලා සැකයක් ඇති වෙනවා නේද?

දැන් මෙහෙමයි, පොලිස් නිලධාරින්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු දානවනෙ. ඒවයේදි පොලිස් නිලධාරින් වරදකරු වෙලා තියෙනවනෙ.  ඕන තරම් එහෙම වෙනවා. නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගත්තා කියලා, ගැහුවා කියලා හැම අවුරුද්දකදිම නිලධාරින් කීප දෙනෙක් වැරදිකරුවන් වෙනවා. වසර ගණනාවක් එහෙම වෙනවා. හැබැයි  පොලිසිය ගැහුවා කියලා නඩු දාන එක අඩු වෙලා තියෙනවා.

  • ඒක හොඳ තත්වයක් හැටියට ඔබ පිළිගන්නවද?

ඔව් ඉතින්, නඩු අඩුයි කියන්නෙ …. අනික පොලිස් නිලධාරින් කොච්චර දැනුවත් කරනවද?

  • නමුත් මෙහෙම සිදුවීම් තවම වෙනවා?

පොලිස් නිලධාරින් කීපදෙනෙක් වැරදි කළාම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ඒ වැරැුද්ද බාරගන්නෙ නෑ. අසූහතරදාහක් නිලධාරින් ඉන්නවනෙ. එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වරදක් වෙන්න පුළුවන්. අවවාද කරනවා, වෙනත් ක‍්‍රියාමාර්ග ගන්නවා. ඒ ගැන විනය ක‍්‍රියාමාර්ග අපි ගන්නවා.

  • දුනේෂ් ප‍්‍රියශාන්තව ‘කොණ්ඩයා’ කියලා ඔබ හඳුන්වන්නෙ ඇයි?

ඒක එයාට තියෙන නමක්. මම දන්නෙ නෑ. එදා ඉඳලම තියෙන අන්වර්ථ නාමයක් නිසා…

  • නමුත් ගමේ අය කියන විදියට පොලිසිය තමයි ඒ නම දාල තියෙන්නෙ

නෑ නෑ… එයා ඒ ගමෙත් නෙවෙයිනෙ.

  • වෙනත් අන්වර්ථ නම් තියෙනවා තමයි. ඒත් මේ නම දැම්මෙ පොලිසියෙන් කියලයි ඔහු ගැන දන්න ගම්වැසියන් කියන්නෙ.

මම නං ඒක කියන්න දන්නෙ නෑ. ඒ ගැන මට දැනුමක් නෑ….. මම පළමුවතාවට ඒ කතාව ඇහුවෙ.

  • නමුත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක හැටියට ජනමාධ්‍ය හමුවේ ඒ නම ප‍්‍රකාශ කිරිම නිවැරදිද?

ඔව්.  ඕනම කෙනෙක්ගෙ අන්වර්ථ නාමයක් තියෙනවා නම් අපි දානවා දුනේෂ් ප‍්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කියලා. අපි එහෙමත් කියනවා.

  • නමුත් යම් ප‍්‍රකාශයකදි සැකකරුගෙ නම නොකියා අන්වර්ත නාමයෙන් හඳුන්වන එක ගැළපෙනවද?

එහෙම හරියන් නෑ. වොයිස් කට් එකකදි නම කියලා දුනේෂ් පි‍්‍රයශාන්ත කියලා නමත් එක්කමයි කියන්නෙ.

  • නමුත් ඔබේ ප‍්‍රකාශවලදිත් ඒක වෙනවා.

ආ…. පොඞ්ඩක් ආපහු බලන්න, මම දෙන වොයිස් කට් එක මිනිත්තු තුනක් විතර දුන්නම තත්පර දහයක් විතර යන්නෙ. මම ගොඩක් වෙලාවට එහෙම කරනවා.

  • එහෙම වුණා නම් ඒක වරදක් හැටියට පිළිගන්නවද?

අ… වරදකුත් නෑ.. ඒක මහා ලොකු වරදකුත් නෙවෙයි. එහෙම නමක් තියෙනවනෙ..

  • පොලිස් නිලධාරියාවත් කොස්සා කියලා හඳුන්වනවා. ඒක ගැන තියෙන්නෙ සතුටක්ද?

නෑ අපි කැමති නෑනෙ. ඒක සතුටුවෙන්න දෙයක් නෙවෙයිනෙ..

  • ඒක ප‍්‍රසන්න අත්දැකීමක් නෙවෙයි නේද?

ප‍්‍රසන්න දෙයක් නෙවෙයිනෙ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. පුද්ගලයකුට තියෙන අන්වර්ථ නාමයයි දෙපාර්තමේන්තුවකට තියෙන අන්වර්ථ නාමයයි දෙකක් නේද?

සටහන – චන්දන සිරිමල්වත්ත