ස්විට්සර්ලන්ත මහ මැතිවරණය: දක්ෂිණාංශය ඉදිරියට…

swiss article (1)යුරෝපය තුළ රැඩිකල් වාම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ක‍්‍රමිකව ඉදිරියට එන බව අද්‍යතන පොදු දේශපාලන නිරීක්ෂණයයි. සයිරීසා, පොඩෙමොස් මෙන්ම බි‍්‍රතාන්‍යයේ කොබින්ගේ ආගමනය ඊට දිය හැකි නිදසුන්ය. නමුත් ඒ අතරම අප අවධානය යොමු කළ යුතු තවත් ප‍්‍රවණතාවක් යුරෝපීය දේශපාලනය තුළ ශක්තිමත් වෙමින් පවතී. එනම්, ප‍්‍රංශයේ ජාතික පෙරමුණ, ග‍්‍රීසියෙහි ගෝල්ඩන් ඩෝව්න්, හංගේරියාවේ ජොබික් සහ ඩෙන්මාර්කයේ ජාතික පක්ෂය ඇතුළු දක්ෂිණාංශික නව නාසිවාදී සංවිධානද යුරෝපයෙහි මැතිවරණ ඇතුළු දේශපාලන ක‍්‍රියාකාරකම් තුළ වඩා ශක්තිමත්ව ඉදිරියට එනු දක්නට හැකිය. පසුගිය ඉරිදා පැවැති ස්විට්සර්ලන්තයේ මහ මැතිවරණයද කියාපෑවේ මෙම බිහිසුණු යථාර්ථයයි. එහි ප‍්‍රතිඵල අනුව ස්විට්සර්ලන්තයේ මහජන පක්ෂය (Swiss People’s Party) ප‍්‍රකාශිත ඡුන්ද සංඛ්‍යාවෙන් 29.4%ක ප‍්‍රතිශතයක් ලබා ගෙන ප‍්‍රථමයා ලෙස ඉදිරියට පැමිණ සිටියි. වර්ෂ  2011  මැතිවරණයට සාපේක්ෂව එය ලබාගෙන ඇති වර්ධනය 2.6%කි.  ඒ අනුව ආසන 200කින් සමන්විත පහළ මන්ත‍්‍රණ සභාවෙහි ආසන 65ක් එම පක්ෂයට වෙන්ව තිබේ. එය වර්ෂ 1965න් පසුව තනි පක්ෂයක් ලබාගත් ඉහළම ආසන සංඛ්‍යාවයි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මෙම මැතිවරණය තුළදී 18.3%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාගැනීමට සමත්ව සිටින අතර ඊට හිමිව ඇති ආසන සංඛ්‍යාව 43කි. 3 වැනි ස්ථානයෙහි සිටිනුයේ 16.4%ක ඡුන්ද ප‍්‍රතිශතයක් වාර්තා කර ඇති ලිබරල් පක්ෂයයි. එය ආසන 33ක් දිනා ගෙන තිබේ.

ස්විට්සර්ලන්තයේ ඉහළ මන්ත‍්‍රණ සභාවට අදාළ මැතිවරණ ක‍්‍රියාවලිය තවමත් සම්පූර්ණයෙන් අවසන්ව නොමැති බව අතිරේකව සඳහන් කළ යුතුය. නමුත් පවතින තත්වය අනුව එහි ප‍්‍රතිඵලයද මීට සමාන අන්තර්ගතයක් අත් කර ගනු ඇත.

සමස්තයක් ලෙස ගත් විට අදාළ මැතිවරණයේදී ස්විට්සර්ලන්ත මහජන පක්ෂය ප‍්‍රමුඛ වර්ගවාදී දක්ෂිණාංශික කණ්ඩායම් ඉදිරියට පැමිණ ඇති බව පැහැදිලි ලෙස නිරීක්ෂණය කළ හැකිය. එහි ප‍්‍රතිඵලය ලෙස ප‍්‍රථම වතාවට පහළ මන්ත‍්‍රණ සභාවෙහි පැහැදිලි බහුතර බලය ඔවුනට හිමිව තිබේ. එමතුද නොව කැබිනට් මණ්ඩලයෙහි බහුතර නියෝජනයද ඔවුන් සතුවීමට නියමිතය. එහි සාමාජික සංඛ්‍යාව 7ක් වන අතර එකිනෙක පක්ෂ ලබාගත් ඡුන්ද සංඛ්‍යාව අනුව ඊට අදාළ නියෝජිතයන් පත් කෙරෙති. ඒ අනුව ස්විට්සර්ලන්තයේ ආණ්ඩු බලය ඉදිරියේදී මෙහෙයවනු ඇත්තේ අන්ත දක්ෂිණාංශික වර්ගවාදීන්ය. සැබැවින්ම එය ස්විට්සර්ලන්තයෙහි පමණක් නොව යුරෝපයෙහි දේශපාලන දිශානතිය පෙන්වන බරපතළ ඉඟියකි.

ස්විට්සර්ලන්ත මහජන පක්ෂයෙහි පදනම් බලවේගයන් වනුයේ ඉහළ ව්‍යාපාරික තන්ත‍්‍රය සහ ගොවි ජනයාය. ආරම්භයෙහි පටන්ම දක්ෂිණාංශික වර්ගවාදය එය තම ප‍්‍රතිපත්තිය කර ගත්තේය. ඊට අනුව සරණාගතයන්ද ඇතුළු සංක‍්‍රමණිකයන්ගේ ආගමනය ස්විට්සර්ලන්තය මුහුණ දී සිටින ප‍්‍රධාන අර්බුදයයි.  තවද ස්විට්සර්ලන්තයෙහි පවතින සුභසාධනවාදී ප‍්‍රතිපත්තීන් එහි විරෝධය එල්ල වන තවත් ක්ෂේත‍්‍රයකි. අන් සියලූම වර්ගවාදීන් මෙන්ම ස්විට්සර්ලන්ත ජාතික පක්ෂයද නිරන්තරයෙන් කියා සිටිනුයේ පවතින ආර්ථික අර්බුදයන්හි පොදු මූලය ඉහත කී සාධක ද්විත්වය බවයි. එම මතය දැනටමත් විවිධ සමාජ කණ්ඩායම් තුළ, විශේෂයෙන්ම ස්විස් ජාතිකයන් තුළ බරපතළ ලෙස තහවුරු වී තිබේ. මැතිවරණ ප‍්‍රතිඵල ඊට අදාළ එක් නිදසුනකි. ඉන් පරිබාහිරව ගත් විට පොදුවේ සංක‍්‍රමණිකයන් සම්බන්ධව සැලකිය යුතු  විරෝධයක් සහ පිළිකුලක්ද රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුනගේ  අයිතීන් දිනෙන් දින කප්පාදු වෙමින් පවතින අතර තුන් වැනි පන්තියේ මිනිසුන් ලෙස ජීවත් වන ලෙස ඔවුනට බල කෙරෙමින් පවතී. ස්විට්සර්ලන්ත මහජන පක්ෂය මෙකී වර්ගවාදී බල ව්‍යාපෘතිය සඳහා ප‍්‍රධාන වාහකයක් ලෙස යොදා ගනුයේ එහි ක‍්‍රියාත්මක ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයයි. ඊට අනුව පුරවැසියන් ලක්ෂයකගේ අත්සන් සහිත යෝජනාවක් ඉදිරිපත් වූ විට එය ජනමත විචාරණයකට ලක් කළ යුතුය. බැලූ බැල්මට අදාළ ප‍්‍රතිපාදනය විශිෂ්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූල ධර්මයක් ලෙස දිස් වෙයි. නමුත් ඊටම අනන්‍ය බරපතළ සීමාවන් එහි දැකිය හැකිය. නිදසුනක් ලෙස ආර්ථික අර්බුද සහ වර්ගවාදය හිස එසවූ තන්හිදී එය ක‍්‍රියාත්මක වනුයේ බහුතරයේ ආධිපත්‍ය තහවුරු කරන මෙවලමක් ලෙසිනි. ස්විට්සර්ලන්ත මහජන පක්ෂය ස්පර්ශ කර ඇත්තේ මෙම නිලයයි. වර්ෂ 2009දී එය ස්විට්සර්ලන්තයේ ඉස්ලාමික දේවස්ථාන ඉදිකිරීම තහනම් කෙරෙන යෝජනාවක් ජන මත විචාරණයකට යොමු කරවීය. ඊට අනුමැතිය පළ කළ සංඛ්‍යාව 57.4%කි.

මෙය බරපතළ ලෙස සුළුතර ආගමික අයිතීන් උල්ලංඝනය කළ අවස්ථාවකි. නමුත් ‘අනභිභවනීය ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ මඟින් එය සාධාරණිකකරණය කෙරිණි. ඉන් පසුව අවස්ථා ගණනාවකදී සංක‍්‍රමණිකයන්ගේ මෙන්ම අඩු ආදායම් ලාභීන්ගේ සහ දුගීන්ගේ අයිතීන් කප්පාදු  කරනු පිණිස මෙම ක‍්‍රමවේදය යොදා ගෙන තිබේ. වර්ෂ 2014 වර්ෂයේදී පැවැති නව සංක‍්‍රමණ සීමා පැනවෙන යෝජනා ඇතුළත් ජනමත විචාරණය එක් නිදසුනකි. එයද 50.33%ක ප‍්‍රතිශතයකින් ජයගැනීමට එම පක්ෂය සමත් විය. එමෙන්ම පැයක අවම වැටුප ප‍්‍රෑන්ක් 22/- දක්වා ඉහළ ඔසවනු පිණිස එම වර්ෂයේදීම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ගෙන ආ යෝජනාව පරාජය කරවීමටද එය ක‍්‍රියා කළේය. ව්‍යාපාරික ප‍්‍රභූව ඊට එරෙහි වීම මෙන්ම සංක‍්‍රමණික බහුතරය එයින් ප‍්‍රතිලාභ ලැබීම ඊට බලපෑ හේතු සාධකයන්ය.

ස්විට්සර්ලන්ත මහජන පක්ෂය ඉහත කී ජනමත විචාරණවලදී අතිශයින්ම සාහසික සහ බලපෑම් සහගත වර්ගවාදී ප‍්‍රචාරණයකද යෙදෙන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. වරෙක එය සංක‍්‍රමණිකයන්ව හුවා දැක්වූයේ ස්විට්සර්ලන්තය සූරාකන කපුටන් වශයෙනි. පා පහර දී එළවා දැමිය යුතු කළු බැටළුවකු ලෙස ඔවුන්ව තවත් වරෙක චිත‍්‍රණය කෙරිණි. තවත් එවැනි නිදසුන් ගණනාවකි. පසුගිය මැතිවරණය යනු ඔවුන්ගේ එම වර්ගවාදී ප‍්‍රචාරණයෙහි එක් මුදුන් කූටයක් ලෙස හැඳින්විය හැකිය.

ස්විට්සර්ලන්තය යනු ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙහි අග‍්‍රඵලයක් බව නිතර පැවැසෙයි. ඇතැම් වාමාංශිකයන් පවා විශ්වාස කරනුයේ පරිධියෙහි කවරක් සිදු වුවත් දියුණු කේන්ද්‍රය තුළ එය මනා ලෙස සුරැුකී ඇති බවකි. ඇත්තෙන්ම ඊට ඇත්තේ හුදු ප‍්‍රබන්ධාර්ථයක් පමණි. අද මෙන් තත්වය බරපතළ නොවූ වර්ෂ 2006 තරම් ඈත කාලයේදී පවා ස්විට්සර්ලන්තයෙහි සංචාරය කළ වර්ගවාදය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන ඩුඩු ඩියෙන් කියා සිටියේ ජාතිවාදය සහ වෙනස් කොට සැලකීම එහි යථාර්ථයන් බවයි. ඊට අමතරව ඇමිනෙස්ටි ජාත්‍යන්තරය ඇතුළු සංවිධාන ගණනාවක් එරට මෙන්ම යුරෝපය පුරා වර්ධනය වන වර්ගවාදී ප‍්‍රවණතාවන් පිළිබඳව තම අවධානය සහ විරෝධය පළ කර තිබේ. නමුත් ඉහත කී සංවිධානද ඇතුළු සාම්ප‍්‍රදායික සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන්හි ඇත්ත භාවිතය ඊට සපුරාම පටහැණිය. ඔවුන් කියා සිටිනුයේ පවතින සමාජ ක‍්‍රමය එලෙසින්ම පවත්වා ගනිමින් වර්ගවාදය වැනි එහි ‘නරක ප‍්‍රවණතා’ පමණක් පරාජය කළ යුතු බවය. නමුත් තීව‍්‍ර වන අර්බුදයක ගිලී සිටින ධනේශ්වර සමාජ ක‍්‍රමයට වර්ගවාදය පතුරුවමින් ප‍්‍රාග්ධනයෙහි ලේ වැකි කොන්දේසි තවත් දැඩි කිරීම හැරෙන්නට අන් විකල්පයක් නොමැති බව නැවත වතාවක් අප ඉදිරියෙහි තහවුරු වෙමින් පවතී. ස්විට්සර්ලන්තයෙහි අද්‍යතන දේශපාලන චලනයන්ද අපට ගෙන එන පණිවිඩය එයයි.

ගාමිණී  හෙට්ටිපතිරගේ