කුමාර් ගුණරත්නම්: දේශපාලන භූමිකාව හා පුරවැසි අයිතිය වෙනුවෙන් අරගලය

1

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික කුමාර් ගුණරත්නම්, නොවැම්බර් 04 වැනිදා ඔහුගේ මවගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිණි. තම මවගේ රෝගී තත්වය නිසා ඇය බැලීමට ගිය කුමාර්, කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවේ ඉහළ නායකයන්ගේ අනුදැනුම ඇතිවය.

ජනවාරි මස 1 වැනිදා පාන්දර මෙරටට පැමිණි ඔහු ජනාධිපතිවරණ වේදිකා ඇමතීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විවිධ දේශපාලන සාකච්ඡුා සම්මන්ත‍්‍රණවලට සම්බන්ධ විය. පෞද්ගලික නිවහනක් හිමි නැති ඔහු වාසය කළේද එක්කෝ කෑගල්ලේ සිය මවගේ නිවසේය. නැතිනම්, පක්ෂ සාමාජිකයන් ඇසුරෙහි, ඔවුන්ගේ නිවෙස්වලය. මාස දහයක් තිස්සේ දේශපාලන කටයුතුවලට ප‍්‍රසිද්ධියේ සම්බන්ධ වී සිටි නමුත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොවිණි. එහෙත් උද්ගතව ඇති නව තත්වය සලකා බැලිය යුතු වන්නේ කුමාර් ගුණරත්නම් යෙදී සිටින දේශපාලනයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. නොවැම්බර් 18දා තෙක් ඔහුව රිමාන්ඞ් බන්ධනාගාරයට යොමු කර ඇත්තේ වීසා කාලය ඉක්මවා රැුඳී සිටීම යන චෝදනාව ඉදිරිපත් කරමිනි. මේ වන විට ඔහුව රටින් පිටුවහල් කිරීමේ සූදානමක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. කුමාර් අත්අඩංගුවට ගැනීමත් සමඟ විවිධ දේශපාලන සංවිධාන පුද්ගලයන් ඒ පිළිබඳ සිය විරෝධය ප‍්‍රකාශ කළ අතර ආණ්ඩුවේ නායකයන් තවමත් ඒ පිළිබඳ කිසිවක් නොකියා නිහඬ පිළිවෙතක සිටී.

ranjithan gunarathnam 1කුමාර් ගුණරත්නම් 1982දී පමණ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා සම්බන්ධ විය. ඒ වන විටත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා නියුතුව සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන රන්ජිදන් ගුණරත්නම් 88-89 කාලයේදී ඝාතනය කෙරිණි. කුමාර්ද එම භීෂණ කාලය තුළ අවස්ථා කිහිපයකදී සිරගත කෙරිණි. 1993දී පමණ නිදහස් වී පැමිණි හේ අසීරුවෙන් දිවි ගලවාගත් තවත් දේශපාලන සගයන් කිහිපදෙනකු සමඟ ජවිපෙ ගොඩනැඟීමේ කටයුතුවලට දායක විය.

ප‍්‍රසිද්ධියේ වේදිකාවල කතා පැවැත්වීම, රූපවාහිනි නාළිකාවල තිර මත ජනප‍්‍රිය දේශපාලන සංවාද සඳහා පෙනී සිටීම වැනි කටයුතුවල නිරත වූයේ නැති නමුත් ජවිපෙ දේශපාලන කටයුතුවලදී ක‍්‍රියාකාරීව සිටි සිය ගණනක් අතර ඔහුද විය. ජවිපෙ එදා මෙදා තුර දේශපාලන ගමන් මඟ සැකසුණේ ප‍්‍රසිද්ධ ලෙස කැපී පෙනුණු හා එසේ විශේෂ ප‍්‍රසිද්ධියක් නොලැබූ බිම් මට්ටමේ සිට නායකත්වය දක්වා දහස් ගණනකගේ සාමූහික කැපවීමෙනි.

2004 සන්ධාන ආණ්ඩුව ගොඩනැඟීමට සහයෝගය දීම සම්බන්ධයෙන් ජවිපෙ මධ්‍යම කාරක සභාව තුළ ගොඩනැඟුණු දීර්ඝ සංවාදයක් තිබිණි. සභාග දේශපාලනයට විරුද්ධ ස්ථාවරයක සිට මැදිහත් වුණු ජවිපෙ මධ්‍යම කාරක සභිකයන් සුළු පිරිසක් අතර කුමාර් ගුණරත්නම් විය. ප‍්‍රමාණාත්මක වශයෙන් කුඩා වුවද ඔවුහු පක්ෂය ගමන් කරමින් සිටි දක්ෂිණාංශික ගමනින් එය ගලවා ගැනීමට සටන් කළෝය. මේ මතවාදී සංවාදය සභාග දේශපාලනය, එක්සත් පෙරමුණු හා උපක‍්‍රමික දේශපාලනය වැනි කතා බහ තුළ දිගින් දිගටම ඉදිරියට ගිය නමුත් එක්වර අවසන් නොවිණි.

2005 වසරේ නොවැම්බර් පැවැති ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ ආණ්ඩුවට ඇතුළුවනවාද නැද්ද යන්න තීරණය ගැනීමට කෙරුණු සංවාදයේදී එකී මතවාදී අරගලය තවත් උණුසුම් විය. ජවිපෙ මධ්‍යම කාරක සභාවට අවස්ථා තුනකදී ජනතා විමුක්ති පෙරමුණ නැවත ආණ්ඩුවට ඇතුළු විය යුතු යැයි යෝජනා ඉදිරිපත් විය. පළමු අවස්ථා දෙකේදීම එම යෝජනාව බහුතර මතයෙන් පරාජයට පත් විය. එහෙත් 2006 වර්ෂයේ අවසන් භාගයේ, එම යෝජනාව මධ්‍යම කමිටුවේදී ජයග‍්‍රහණය කළේය. ඒ අනුව, ආණ්ඩුවට එක්වීමේ අදහසින් එයට දේශපාලන වටිනාකමක් එකතු කරගැනීමට ජවිපෙ තීරණය කළේය. ඒ සඳහා කොන්දේසි 20ක් ඉටුකරන ලෙස ප‍්‍රසිද්ධ යෝජනාවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉදිරිපත් කෙරිණි.

එසේ වුවත් මහින්ද රාජපක්ෂට සිය දේශපාලන බලය තහවුරු කරගැනීමේ වෙනත් මාර්ග පෑදී තිබිණි. කරූ ජයසූරිය ඇතුළු එජාපයෙන් කොටසක් මේ වන විට මහින්ද සමඟ එක්වීමට සාකච්ඡුාවක නිරතව සිටියහ. ඔවුන් එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වීම නිසා ජවිපෙට ආණ්ඩුවට ඇතුළු වීමේ අවස්ථාවක් උදා නොවීය.

කෙසේ වෙතත් සභාග දේශපාලනය පිළිබඳ මධ්‍යම කමිටුවේ සංවාදය, වාමාංශික දේශපාලන පක්ෂවලට විශේෂිත දේශපාලන විනයකින් අවසාන නොවිණි. සංවාදයක් ලෙස ආරම්භ වුවත් එය වර්ධනය වූයේත් උස් පහත් වෙමින් ඉදිරියට ඇදුණේත් වමේ ක‍්‍රියාකාරිකයන්ට හෝ විප්ලවවාදීන්ට තරම් නොවන මතබේදයන් නඩත්තු කිරීම හා නායකත්ව අවශ්‍යතා වෙනුවෙන් පුද්ගල එදිරිවාදුකම් ඉස්මතු කරමින්ය. එමෙන්ම, විවිධ මධ්‍යම කමිටු සාමාජිකයන් අත්විඳිමින් සිටි පුද්ගල වැහැරීම් නිසා පක්ෂ අභ්‍යන්තර තොරතුරු ආණ්ඩුවට සහ ඇතැම් ජනමාධ්‍ය වෙත ලබාදීම සිදු විය. එම කාල වකවානුවේ කුමාර් පදිංචිව සිටි ස්ථානවලට ඔත්තු සේවා නිලධාරීන් හදිසියේ කඩාවැදීම, පසුපස හඹා ඒම වැනි සිදුවීම් ගණනාවක් නිසා කුමාර්ගේ ජීවිත අවදානමක් ඇති වන බව පක්ෂයේ අදහස විය.

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔහු රටින් බැහැර කිරීමේ තීරණයක් එවකට ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබීය. එහෙත් විදේශ ගත වීමට දරණ උත්සාහයක් වුවද විශේෂ ගැටලූවක් ඇති කළ හැකි බව එවකට ජවිපෙ ජ්‍යෙෂ්ඨයන් අතර අවධානයට ලක් විය. ඒ අනුව, 2006 වර්ෂයේ කුමාර් විදේශ ගත වූයේ පුද්ගල අනන්‍යතාව වෙනස් කිරීමක් හරහාය.

එයින් අනතුරුව, 2009 අවසන් භාගයේ රාජපක්ෂ පාලනය විසින් කැඳවූ ජනාධිපතිවරණය නිසා  නැවත වරක් සභාග දේශපාලනය පිළිබඳ සංවාදය මතුවිය. සභාග දේශපාලනය වෙනුවෙන් ගත් අත්තනෝමතික තීරණ සම්බන්ධව පැන නැඟි අදහස් සමස්ත පක්ෂය තුළ සැලකිය යුතු සංවාදයක් දක්වා වර්ධනය විය. මෙහිදී 1994 සිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදු වූ අතර පක්ෂය සභාගවාදයට, ප‍්‍රතිසංස්කරණවාදයට, ජාතිවාදයට ගොදුරු වූ බව බහුතර සාමාජිකයන්ගේ පිළිගැනීම විය. එම පිළිගැනීමට අනුව, 2010න් පසුව පක්ෂය නව ගමන් මඟකට ගැනීම සඳහා වැඩපිළිවෙළක් සම්මත වූ අතර, ඒ සඳහා නව මධ්‍යම කාරක සභාවක්ද පත් කෙරිණි.

එහෙත් තත්වයන් වර්ධනය වූයේ පක්ෂය, පක්ෂ සම්මේලනය විසින් සම්මත කළ ගමන්මගෙහි ගමන් කළ හැකි ආකාරයට නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ දැනට සිටින ප‍්‍රමුඛ පෙළේ නායකයන් එම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැඟීමට බාධා කළහ. නව වැඩපිළිවෙළ තහවුරු වෙතොත් එය සිදුවන්නේ මෙතෙක් සභාග දේශපාලනයෙන් ඉල්පුණු සහ ජනප‍්‍රියවාදී ලෙස තහවුරු කෙරුණු සිය ආධිපත්‍ය උදුරාගනිමින් බව ඔවුහු අවබෝධ කරගත්හ. ඒ නිසාම විවිධ පාර්ශ්වික හේතු දක්වමින් නව මධ්‍යම කමිටුවට සාමාජිකයන් විසින් පත් කළ නායකයන් පිරිසක් නෙරපා හරිමින් පැරණි දේශපාලන මණ්ඩලයේ සුපිරි බලයක් හැසිර වූ කල්ලිය බලය තහවුරු කරගත්හ. 2005 සිට ඇරඹුණු මෙම මතවාදී ගැටුම අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ ඛණ්ඩනය වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවීමට බලපෑවේය.

අප ජවිපෙන් වෙන්ව දේශපාලන කටයුතු ඇරඹූ මොහොතේ සිටම කුමාර් ඇතුළු විමතික වාම දේශපාලන ක‍්‍රියාකාරිකයන් පසුපස රාජ්‍ය මර්දනය හඹා ආවේය. 2011 දෙසැම්බර් 10 වැනිදා යාපනයේදී ලලිත් හා කුහන් යන යාපනය දිස්ත‍්‍රික් ක‍්‍රියාකාරිකයන් අතුරුදන් කෙරිණි. ඉන්පසුව, රාජපක්ෂ පාලනයේ ඔත්තුකරුවෝ දිගින් දිගටම නව දේශපාලන ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයන් පසුපස හඹා ගියහ. මාස කිහිපයකට එනම්, 2012 අපේ‍්‍රල් 06 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ කමිටු රැුස්වීමක් අවසන්ව ගොඩගම සිය නිවස බලා යමින් සිටි මධ්‍යම කමිටු සාමාජිකා දිමුතු ආටිගල නාඳුනන කල්ලියක් විසින් පැහැරගන්නා ලදී. පසුදින 07 වැනිදා අලූයම කිරිබත්ගොඩ නිවසකදී කුමාර් පැහැරගනු ලැබිණි. පෙරදින මැදියම තෙක් පැවැති දේශපාලන සාකච්ඡුාවෙන් පසුව, වෙහෙස නිසා තද නින්දේ පසුවන අතර නිවස වැටලූයේ තම නියෝගයකින් බව දැන් ගෝඨාභය රාජපක්ෂ විසින්ම පිළිගෙන ඇත. පැය 72කට පමණ පසුු අපේ‍්‍රල් 09 වැනිදා රාත‍්‍රියේ නාඳුනන සන්නද්ධ කල්ලිය විසින් දෙමටගොඩ පිහිටි කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය අසළ කුමාර් දමා ගියහ. ඉන් අනතුරුව ඔහු රටින් පිටුවහල් කර ගෙවුණු වසර කිහිපය පුරාම කුමාර් සහෝදරයාගේ දේශපාලන අයිතිය ගැටලූවක්ව තිබිණි.

2015 ජනාධිපතිවරණ සමය ආසන්න වත්ම රටේ දේශපාලන වතාවරණය වෙනස් විය. එහිදී රාජපක්ෂ පාලනයේ දඬු අඬුවට හසුකර තිබූ ලාංකික දේශපාලනයට කිසියම් ආකාරයක ලිහිල්භාවයක් ලබාදීමට ඔවුන්ට බලකෙරී තිබුණි. එම ඉඩප‍්‍රස්ථාව තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොටසක් කැඞී විත් නව පෙරමුණක්ද බිහිවිය. එය වර්ධනය වූ තත්වය නිසා ඇති කළ අවකාශයේ ප‍්‍රතිඵලයයි. එම සුවිශේෂී දේශපාලන පෙළගැසීම ප‍්‍රයෝජනයට ගෙන කුමාර්ට ලංකාවට එන්නට අවස්ථාව සැලසුණි.

මේ අනුව 2015 ජනවාරි 01 වැනිදා කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණියේය. කුමාර් සහෝදරයාට රටට ඇතුළ් වීමට සිදු වුණේ නොයෙල් මුදලිගේ යන අනන්‍යතාවයෙනි. එයද මසක කාලයකට ලබාගත් වීසා බලපත‍්‍රයක් හරහාය. ජනවාරි 30 වන විට එම වීසා කාලය ඉකුත් වන බවත් නැවත රටින් පිටුවහල් කිරීමේ සූදානමක් ඇතැයි හැ`ගුණු නිසාත් වීසා කාලය ඉකුත් වීමට පෙර ජනවාරි 27 වැනිදා නැවත වීසා දීර්ඝ කරන ලෙස ඉල්ලූම් කළේය. එම ඉල්ලීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සාධාරණ කරුණු දැක්වීමකින් තොරව ප‍්‍රතික්ෂේප කර තිබුණි.

kumar-gunaratnamපිළිවෙළින් ජනවාරි 28 හා 29 වැනිදා කුමාර් ගුණරත්නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඔවුන් සූදානම් වූයේ රටින් පිටුවහල් කිරීම සඳහා හේතු සපයා ගැනීමටය. කෙසේ වෙතත් තමන්ට ජන්මයෙන් හිමි පුරවැසිභාවය පිළිගන්නා ලෙසද දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 18 වැනිදා දක්වා විභාගයට ගැණුනි. කෙසේ වෙතත් රාජපක්ෂ ආණ්ඩුව සමයේ අධිකරණය විසින් එම පෙත්සම විභාගයට නොගැණුනේ කුමාර් ගුණරත්නම්ටත් මූලික අයිතිවාසිකම් කඩවීමක් නැතැයි යන පදනමිනි.

අප විසින් මතු කළේ කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිනොගැනීම තුළින් ඔහුගේ මූලික අයිතියක් කඩවී ඇතැයි යන කරුණයි. අධිකරණයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් මතු කළ තර්කය වූයේ මෙම කරුණ විධායකය විසින් විසඳිය යුතු බවත් අධිකරණයට ඒ සඳහා බලයක් නැති බවත්ය. එම කරුණු දැක්වීමවලට අනුව නඩුව විභාග කිරීමට නොහැකි නමුත් අධිකරණයේ එම ප‍්‍රකාශය හරහා කුමාර් සහෝදරයා රටින් පිටුවහල් කිරීමට නියෝගයක් නිකුත් කර නැත.

මීට අමතරව, පෙබරවාරි 18 වැනිදා ‘ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය තහවුරු කිරීම’ පිණිස වූ අයදුම්පතක් මඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. එම අයදුම්පත ඉදිරිපත් කරමින් කුමාර් ඉල්ලා ඇත්තේ ‘ද්විත්ව පුරවැසිභාවය’ නොව ලංකාවේ උපන් අයකු ලෙස තමන්ට හිමි පාරම්පරික පුරවැසිභාවය තහවුරු කරන ලෙසය. එවිට ඔහුට දැනට තිබෙන ඔස්ටේ‍්‍රලියානු පුරවැසිභාවය අහෝසි වනු ඇත. පුරවැසිභාවය පිළිබඳ දැනට මෙරට බලාත්මකව පවතින නීතිය වන්නේ බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ බලාත්මක කළ 1948 අංක 18 දරණ පුරවැසි ආඥා පනතයි.  එම පනත අනුව ද්විත්ව පුරවැසිභාවය ගැනීමත් ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය තහවුරු කරගැනීමත් අයත් වන්නේ අධිකාරීන් දෙකකටය. ඒ අනුව, පාරම්පරික පුරවැසිභාවය තහවුරු කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ විෂයභාර ඇමැතිවරයාටය. පාරම්පරික පදිංචි නමුත් වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් අයෙක් නැවතත් සිය රටේ පුරවැසිභාවය ඉල්ලා සිටිය යුත්තේ ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා වන අයදුම්පතක් මඟිනි.

කුමාර්, ඔස්ටේ‍්‍රලියානු පුරවැසිභාවය ලබාගත්තේ රාජපක්ෂ පාලනය යටතේ ලංකාවේ බලපැවැත්වූ දරුණු මර්දනයෙන් ගැලවීම සඳහා ගත් ක‍්‍රියාමාර්ගයක් ලෙසය. නමුත් ලංකාවේ නිදහසේ දේශපාලනය කිරීමට ඉඩ ලැබෙන පළමු මොහොතේ එය අතහැරීමට ඔහු සූදානම් නොවීය. වීසා කාලය ඉකුත් වී රැුඳී සිටින නිසා එය කළ නොහැකි යැයි ආණ්ඩුවේ ඇතැමුන් කුතර්ක ඉදිරිපත් කරයි. එහෙත් ඔහු වීසා කාලය ඉකුත් වීමට පෙර ජනවාරි 27 වැනිදා වීසා දීර්ඝ කිරීමට ඉල්ලා සිටි ඒ අයදුම්පතට මාස 9කට පසුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතිචාරයක් දක්වා නැත.

ඒ අනුව, කුමාර් ගුණරත්නම් සිය පුරවැසිභාවය ඉල්ලමින් අධිකරණය හමුවට ගිය අවස්ථාවේදීත් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීත් එය නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්නයක් නොවන බව අධිකරණය හමුවේ සනාථ විය. පෙබරවාරි 28 වැනිදා ශ්‍රේෂ්ඨාදිකරණයේදී ප‍්‍රකාශ වූයේ පුරවැසිභාවය ලබාදීම ඇමැතිවරයාගේ තීරණයක් බවයි. පසුගිය 4 වැනිදා කෑගල්ලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදීද අවසානයේ නිගමනය කෙරුණේ කුමාර් ගුණරත්නම් ලංකාවේ තබා ගන්නවාද පිටුවහල් කරනවාද යන්න ඇමැතිවරයා විසින් ගත යුතු තීරණයක් බවයි.

කෑගල්ල පොලිසිය විසින් කුමාර් අත්අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ ඔහු ඔස්ටේ‍්‍රලියානු පුරවැසියකු වශයෙන් වීසා කාලය ඉක්මවා රැුඳී සිටින බැවින් රටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත භාරදීමේ නියෝගයක් ලබාදෙන ලෙසය. එසේ වුවත්, කෑගල්ල මහෙස්ත‍්‍රාත්වරයාගේ තීරණය වූයේ පුද්ගලයකු පිටුවහල් කිරීමේ නියෝගයක් ලබාදෙන්නට තමන්ට නීතිමය බලයක් නොමැති බව සහ එය කළ හැක්කේ විෂයභාර ඇමැතිගේ තීරණයක් අනුව බවය.

මෙය කුමාර් ගුණරත්නම්ට පමණක් නොව, රාජපක්ෂ පාලනයේ මර්දනයෙන් ගැලවීමට හොර රහසේ රටින් පිටව ගිය තවත් සැලකිය යුතු ලාංකිකයන් පිරිසකට අදාළ ප‍්‍රශ්නයකි. මේ වන විටත් යුරෝපයේ විවිධ රටවලට පලා ගිය ලාංකිකයන් බලා සිටින්නේ ඉක්මනින් ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙනි. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් මෙන්ම මෙම ආණ්ඩුව බලයට ගෙන එන්නට දරදිය ඇද්දවුන් මැතිවරණ වේදිකාවල කීවේ රාජපක්ෂ පාලනයේ මර්දනය හමුවේ රටින් පිටව ගිය සියලූ දෙනාට දැන් යහපාලනය යටතේ යහතින් සියරට පැමිණිය හැකි බවයි. යම් අවස්ථාවක ඔවුන් මෙරටට පැමිණියහොත් ඇති විය හැකි ගැටලූවට කුමාර් විසින් දැන් මුහුණදී ඇත. ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී ඇද බෑ ගජබින්නවලට වඩා ඇත්ත තත්වය ඇස් ඉදිරිපිට මැවෙමින් තිබේ. කෙසේ වෙතත් දැනට මෙරටට පැමිණෙන්නට නොහැකිව විදේශවල රැුඳී සිටින සියලූ දෙනාටද රටට අතුළු විය හැකි ලෙස මෙම අර්බුදය විසඳීමට දේශපාලන මැදිහත් වීමක් කරන ලෙස සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වත්මන් පාලනයට බල කළ යුතුව ඇත.

විශේෂ ලියුම්කරුවකු විසිනි

Advertisements