සෝභිත හිමිගේ සිහිනය සහ සීමාව

පසුගිය කාලයේ දේශපාලන ලෝකයට ඉමහත් බලපෑමක් කළ, මේ වසරේ සිදු වූ ආණ්ඩු මාරුවටද සැලකිය යුතු තරමේ නායකත්වයක් ලබා දුන් මාදුළුවාවේ සෝභිත හිමි සිංගප්පූරු රෝහලකදී අපවත් වුණා. අපි මෙවර කතු වැකිය ලියන්නේ ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙන සෝභිත හිමියන්ගේ ආදාහනය දවසේ. මේ දින වල බොහෝ මාධ්‍ය සෝභිත හිමිගේ සමාජ දේශපාලන හා ශාසනික මෙහෙය ගැන කතා කරනවා. පුවත්පත්වල ඒ ගැන ලිපි පළවෙනවා. සෝභිත හිමි ලංකාවේ දේශපාලනයට දැක්වූ දායකත්වය ගැන අපේ අදහසත් කෙටියෙන් හෝ සඳහන් කළ යුතුයි.

සෝභිත හිමි පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරවීම සඳහා මැදිහත් වූණා. එයට පෙර සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරය ගොඩනඟමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ පිළිබඳව හඬනැඟුවා. අවසානයේදී  ඒ ක‍්‍රියාවලිය අවසන් වූ ආකාරය කොහොම වුණත් සෝභිත හිමි සමාජ ප‍්‍රතිසංස්කාරකයකු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී උද්ඝෝෂකයකු ලෙස බලපෑමක් කළ බව ප‍්‍රතික්ෂේප කරන්න බැහැ. මේ ක‍්‍රියාවලියට සම්බන්ධ වෙද්දී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා සෝභිත හිමි විශ්වාසය තැබූයේ දක්ෂිණාංශික නායකයකු කෙරෙහිය. ඒ වගේම ලංකාවේ ජනතාව, විශේෂයෙන් සංවිධානාත්මක සටන්කාමී බලවේග පෙළගැස්වීමකින් තොරව ඉහළින් නිර්මාණය කරන බුද්ධිමතුන්ගේ පෙරමුණුවලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීම කෙරෙහි සෝභිත හිමි විශ්වාසයක් තැබුවා. එය එක් පැත්තකින් සෝභිත හිමිගේ දේශපාලන සීමාවක් වගේම අපේ සමාජයේ දේශපාලන සීමාවේ පරාවර්තනයක්.

සෝභිත හිමි දේශපාලනය සඳහා ප‍්‍රවේශ වුණේ බෞද්ධ භික්ෂුවක් විදියට. බෞද්ධ භික්ෂුව සමාජමය හා දේශපාලන වශයෙන් යම් සීමාවක් තුළ සිරගත වී සිටිනවා. සෝභිත හිිමිටත් ඒ සීමාවන් බලපෑවා. පන්සල ආශ‍්‍රිත හිතමිත‍්‍ර කව, දායකසභා, සංඝ සමාජය ආදිය විසින් මේ සීමාව නිර්මාණය කරනවා. ඒවායේ පන්තිමය පදනම් හා සංස්කෘතික විශේෂතා හැම විටම භික්ෂුන්වහන්සේ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනවා. සෝභිත හිමි මේ බලපෑමෙහි ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලන හා සමාජයීය සීමාවක කොටුවී සිටියා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ සමාජ ප‍්‍රතිසංස්කාරකයකු ලෙස සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරද්දීත් දශක ගණනක අතීත අත්දැකීම් නොසලකා හැර හුදු මුහුණු මාරුවකින් එවැන්නක් අපේක්ෂා කිරීම ඒ් සීීමාවේ ප‍්‍රතිඵලයක්. පොදුවේ භික්ෂු සමාජයට ආවේනික ලක්ෂණයක් වුණු සිංහල සමාජයට සමීප විය හැකි, එහෙත් තමිල් හා මුස්ලිම් ජනතාව සමඟ යම් දුරස් භාවයක් පවත්වා ගන්නා ලක්ෂණය. එම ජනතාවගේ ප‍්‍රශ්නවලට සමීපතාවයක් නැති ලක්ෂණය සෝභිත හිමියන්ගේ දේශපාලනය තුළත් දක්නට තිබුණා. එය විශේෂයෙන් කැපී පෙනුණේ අලූත්ගම ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදී ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවෙදි. ඒ සමඟ තීරණාත්මකව ගැටෙන්නට සෝභිත හිමි පසුබට වූ අවස්ථාවේදී. ඒ සියල්ල තිබියදී සෝභිත හිමි භික්ෂුවක් ලෙස දේශපාලනයේදී යා හැකි උපරිම ලිබරල් සීමාව ආසන්නයට ගමන් කළා. එහෙත් එය ලංකාවේ සමාජ පරිවර්තයන් අපේක්ෂා කරන ප‍්‍රගතිශීලී ධාරාවකට යා හැකි උපරිම දුර නොවන බවත් සිහිපත් නොකර බැහැ. සෝභිත හිමි අපවත් වූ පසු උන්වහන්සේගේ දේශපාලනය පිළිබඳ ප‍්‍රශස්ති ගැයීම වෙනුවට එහි සීමාවන් පිළිබඳව විචාරශීලී වීමත් එම සීමාවන් අභිබවන ආකාරය සොයා ගැනීමත් වඩාත් වැදගත් බව අපි විශ්වාස කරනවා.

සෝභිත හිමියන්ට ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ සිහිනයක් තිබුණා. හැම කෙනකුටම එවැනි එක් එක් ආකාරයේ සිහින තිබෙනවා. ඒ සිහිනවල සීමාව සලකුණු වන්නේ ඒ එක් එක් අයගේ පන්තිමය දේශපාලනමය හා සංස්කෘතිකමය මට්ටම්වලට අනුව. ඒ නිසා මේ සිහින හැම විටම සීමා සහිත වනවා වගේම ඒ සිහින සැබෑ කරගැනීම සඳහා යන ගමන හැම විටම සමාජයට වාසිදායක වන්නේත් නෑ. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සෝභිත හිමි දුටු සිහිනයට විවිධ දේශපාලන සීමාවන් තිබුණු බව විවාද රහිතයි කියලා අපි හිතනවා. ඒ වගේම ඒ සිහිනය සැබෑ කර ගැනීම සඳහා සෝභිත හිමි වගේම සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරය වැනි සිවිල් සමාජ සංවිධාන අනුගමනය කළ මාර්ගය ඛේදවාචකයකින් අවසන් වුණා. අවසානයේදී සිදු වුණේ සෝභිත හිමි ඉදිරිපත් කළ සටන් පාඨ භාවිත කර මෛත‍්‍රී බලයට ඒම පමණක් නෙවෙයි, ඒ සටන්පාඨවල පදනම වූ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, මර්දන නීති අහෝසි කිරීම වැනි සටන් පාඨ මුළුමනින්ම පාවාදීමට හසු වුණා. ඒ නිසාම මේ ඊනියා යහපාලනය පිළිබඳ අපවත් වූ අවස්ථාව වන විට සෝභිත හිමි සිටියේ අතෘප්තියෙන් හා කළකිරීමෙන්. තමන් මහන්සි වී බලයට ගෙන ආ මෛත‍්‍රීපාල අවසානයේදී සෝභිත හිමි මුණගැසීමට වේලාවක් පවා ලබා නොදෙන තත්වයට පත්වීම උන්වහන්සේගේ අසනීපයේ මූලයක් බව පැවසෙනවා. තමන්ගේ සිහිනයක් බිඳ වැටුණු පසු සෝභිත හිමි සිත් තැවුල නිසා රෝගාතූර වූ බවට පැවැසෙන ප‍්‍රවෘත්තිය නිවැරදි නම් ඒ සිහිනය සම්බන්ධයෙන් උන්වහන්සේ අවංක වූ බවට එයම සාක්ෂියක් ලෙස ගන්න පුළුවන්. කොහොම වුණත් තමන් ගත් දේශපාලන තීරණය වැරදි බව වැටහුණු වහාම එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට තරම් සෝභිත හිමිට විවෘත භාවයක් හා ධෛර්යක් තිබුණා.

පසුගිය ජනාධිපතිවරණයේදී කුමන හෝ හේතුවක් මත තමන් ගත් තීරණවල වරදක් දුටු විට ඒ වරද පිළිගැනීමට තරම් නිහතමානී නොවී ඒ වරද සාධාරණිකකරණය කිරීම සඳහා සමාජයේ රැුඩිකල් ක‍්‍රියාකාරීත්වයන් මර්දනය කිරීමට උදව් වන හෝ සමාජ ක‍්‍රියාකාරීත්වයන් තමන්ගේ මට්ටමට කප්පාදු කිරීමට කටයුතු නොකිරීම පෙර කී කවර සීමාවන් යටතේ වුවත් සෝභිත හිමි කළ දේශපාලන ක‍්‍රියාකාරීත්වයේ සාධනීය ලක්ෂණයක් ලෙස අප දකිනවා. ඒ අරුතින් ගත් කළ සමාජ ප‍්‍රතිසංස්කාරකයන් ලෙස කටයුතු කරන බොහෝ දෙනාට සෝභිත හිමිගෙන් ගත යුතු පාඩම් බොහොමයක් තිබෙනවා. විප්ලවවාදී ක‍්‍රියාධරයන්ට නම් මේ අවස්ථාව එවැනි ව්‍යාපෘතිවල සීමාවන් හඳුනාගන්නත් ඒ සීමාවන් ඉක්මවන ආකාරය සෙවීමටත් භාවිත කරන්න පුළුවන්.