අපේ ලෙඬේ, රනිල්ගේ තිත්ත බේත්

1(රජයේ මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළ ගැන විමසුමක්)

නොවැම්බර් 5 වැනිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගරු ගාම්භීර ආකාරයෙන් ලියවිල්ලක් ඉදිරිපත් කළා. ඒක හඳුන්වාදී තිබුණේ රජයේ මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළ විදියට. මේ ආණ්ඩුව බලයට පත් වුණේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දුවක් දීලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පොරොන්දු ඒ දේශපාලන ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රමුඛ  ස්ථානයක තිබුණා. නමුත් ඒ හැම එකක්ම කැලණි ගඟට වැටුණු ඩිස්ප‍්‍රීන් පෙත්තක් වගේ දියවෙලා, අතුරුදන් වෙලා ගියා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, මර්දන අණපනත් අහෝසි කිරීම ආදිය ගැන දැන් කතාබහක්වත් නෑ. රනිල් තමන්ගේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්නේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන අපේක්ෂා බොඳ වූ තත්වය මැද. පොරොන්දු වූ දේශපාලන ප‍්‍රතිසංස්කරණ හා දැන් දෙන්නට යන ආර්ථික ප‍්‍රතිසංස්කරණ අතර තිබෙන්නේ විශාල පරතරයක්. දැන් මේ කියන ආර්ථික ප‍්‍රතිසංස්කරණ කිසිසේත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නෑ. ඒවා අතිශය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කළ බොහෝ දෙනා අද මේ මධ්‍යකාලීන ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන ඉන්නේ නිහඬව. අපි මේ ගැන තරමක් සවිස්තරාත්මකව කතා කරන්න හිතුවේ ඒ නිහඬ බව බිඳිය යුතු නිසා.

  • අසාර්ථක කවුද?

තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළ තුළ රනිල් පැවැති වැඩපිළිවෙළේ තිබෙන ප‍්‍රශ්නයත් ඉදිරිපත් කරනවා. ඒ ගැන ඔහු කියන්නෙ මෙහෙම. ”ජනතාව තමන්ගේ ජීවන තත්වය පිළිබඳ සැලකිලිමත් වෙනවා. ආදායම් වැඩි කර ගැනීමට පුළුවන්ද? දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට පුළුවන්ද? අධ්‍යාපනය අවසන් වූ පසු රැුකියාවක් සොයා ගන්නට පුළුවන්ද? මෙතෙක් අපිට ඒ ප‍්‍රශ්නවලට සාර්ථක පිළිතුරු ලබාදෙන්නට නොහැකි වී තිබෙනවා. අපි අසාර්ථකයි.”

ඒ අසාර්ථකත්වය ගැන ඔහු තවදුරටත් මෙහෙම කියනවා. ”ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ ඔවුන්ට වෙනසක් අවශ්‍යයි” ඇත්තටම අසාර්ථක වී තිබෙන්නේ කුමක්ද? රනිල්ම පැහැදිලි කරන ආකාරයට ”දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලංකාවේ පැවතියේ ආර්ථික ක‍්‍රියාවලිය පාලනය සඳහා රජය වැඩිවශයෙන් මැදිහත් විය යුතුයි යන මානසිකත්වය”. (මේ ඔහුගේම වචන) ඒ කියන්නේ රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය. එය අසාර්ථක බව රනිල් පිළිගන්නවා. එයට විකල්පය ලෙස 1977දී හඳුන්වා දුන් නවලිබරල් උපායමාර්ගයත් අසාර්ථකයි. වසර 38කට පසු රනිල් ඒ ගැන ස්වයං විවේචනය කරනවා.

රනිල්ට ‘අපි අසාර්ථකයි’ කියලා අත පිසදා ගන්න දෙන්න බෑ. නවලිබරල් ධනවාදය තුළ ගෙවුණු වසර 38න් වසර 20ක් පුරාම පැවැති ආණ්ඩුවල රනිල් කැබිනෙට්ටුවේ සිටියා. ඉතිරි වසර 18 තුළ මෛත‍්‍රී ප‍්‍රබල කැබිනට් ඇමැතිවරයකු ලෙස සිටියා. ඒ නිසා රටේ ආර්ථිකය අසාර්ථක නම්, ජනතාව හෙම්බත් වෙලානම් ඉන්නේ රනිල්ට හා මෛතී‍්‍රට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ප‍්‍රශ්නය වෙන්නේ නවලිබරල් ධනවාදයේ අසාර්ථකත්වයට පිළිතුර ලෙස රනිල් ඉදිරිපත් කරන විසඳුමත් නවලිබරල් ධනවාදයමයි.

  • මානවම්ම – පරාක‍්‍රමබාහු ආකෘතිය

විවෘත ආර්ථිකය හෙවත් නවලිබරල් ආර්ථිකය ගැන රනිල් හරි අපූරු පැහැදිලි කිරීමක් කරනවා. ඔහුට අනුව නවලිබරල් ආර්ථික ක‍්‍රමය ඉතා ඈත අතීතයේ සිට, එනම් අනුරාධපුර මානවම්ම රජුගේ කාලයත් පොළොන්නරුව පරාක‍්‍රමබාහු රජුගේ කාලයත් අතර වකවානුවේ සිට පැවත එනවා.

”අපේ රටේ ඉතිහාසය මෙනෙහි කරද්දී ස්වර්ණමය යුගය ලෙස කැපී පෙනෙන්නේ විවෘත වෙළෙඳ ආර්ථිකයක් පැවැති අනුරාධපුර මානවම්ම යුගයේ සිට මහා පරාක‍්‍රමබාහු දක්වා යුගයයි. අපි කුළුබඩු, මැණික්, අලි ඇතුන් සහ විශාල වශයෙන් සහල් වෙළෙඳාම කළා. ප‍්‍රධාන ආනයන අපනයන මධ්‍යස්ථානයක් ලෙසද අපේ රට සැලකුණා.”

එහෙම කියන රනිල් මේ නවලිබරල් වැඩපිළිවෙළ හරහා කරන්න යන්නේ එවැනි යුගයක් නැවත ආරම්භ කිරීම බව පවසනවා. මේක හිතාමතාම කරන වංචාවක් නවලිබරල් ආර්ථික උපායමාර්ගය කියන්නේ මොකක්ද කියලා රනිල් ඉතා හොඳින් දන්නවා. ඒක හුදු විදේශ වෙළෙඳාමට සීමා වන්නක් නොවන බවත් ඔහු දන්නවා. නමුත් රනිල් උත්සාහ  කරන්නේ අතීත ස්වර්ණමය යුගයක ලේබලය යටතේ නවලිබරල් ගුලිය ජනතාවට ගිල්ලවන්න. ඔහු හිතාමතා බොරු කියන්නේ ඒකයි. නවලිබරල් ධනවාදය කියන්නේ විදේශ රටවල් සමඟ වෙළෙඳාම් කිරීමට නෙවෙයි. ප‍්‍රාග්ධනයට ගෝලීය වශයෙන් යන්න ඉඩ හදන, ප‍්‍රාග්ධනය සඳහා සියලූ ක්ෂේත‍්‍ර – සියලූ තැන් විවෘත කරන ආර්ථික උපාය මාර්ගයකට. මානවම්ම රජු සහ මහා පරාක‍්‍රමබාහු රජු පෙන්වලා රනිල් කරන්න හදන්නේ ඒ උපායමාර්ගය තහවුරු කරන්න. රනිල් කළ කතාව නවලිබරල් ධනවාදයේ ලක්ෂණ හැම එකක්ම ගැබ් කරගෙන තිබෙනවා.

  • මූල්‍ය ක්ෂේත‍්‍රය විවෘතකරණය

වත්මන් නවලිබරල් ධනවාදී වැඩපිළිවෙළ තුළ ප‍්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ මූල්‍ය ක්ෂේත‍්‍රය විවෘත කිරීමට. ඒකට හේතු තිබෙනවා. 1977දී ලංකාවේ නවලිබරල් ප‍්‍රතිසංස්කරණ ආරම්භ කළ අවස්ථාවේදී මූල්‍ය ක්ෂේත‍්‍රය විවෘත කරන්න, රුපියලේ අගය සඳහා රජයේ පාලනය ඉවත් කර එය පාවෙන්නට හරින්න උත්සාහ කළා. නමුත් ජනතා විරෝධය නිසා එය සාර්ථක කරගන්න බැරි වුණා. රටක ආර්ථිකය නිරූපණය වන මූලික ගිණුම් තුනෙන් ඒ කාලයේම ජංගම ගිණුම විවෘත කළා. දැන් උත්සාහ දරන්නේ ක‍්‍රමානුකූලව ප‍්‍රාග්ධන ගිණුමත් විවෘත කරන්න. රනිල් ඉදිරිපත් කළ ආර්ථික සැලැස්මට අනුව විනිමය පාලනය ඉවත් කරන්න විශාල ප‍්‍රමුඛතාවක් ලබාදී තිබෙනවා. කතාව ආරම්භයේදීම ඔහු කියන්නේ අපනයන ආදායම් පහත වැටීමේ තත්වය වැළැක්වීම සඳහා ‘තරගකාරී විනිමය අනුපාත ප‍්‍රතිපත්තියක්’ අවශ්‍ය බව. මේ කියන්නේ විනිමය අනුපාතික සඳහා රජය විසින් පවත්වාගෙන යනු ලබන පාලනය ලිහිල් කිරීමට බව හිතීම වැරදි නෑ. ඒ විතරක් නෙවෙයි, මහ බැංකුව විනිමය පාලන වගකීමෙන් ඉවත් කරන බවත් රනිල් කියනවා.

”මහ බැංකුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමටද අප ක‍්‍රියාකරනවා. ඔවුන්ට තම වගකීම වඩාත් ස්වාධීනව ඉටුකරලීමේ පරිසරය සකසා දෙමින් සේවක භාරකාර අරමුදලේ සහ විනිමය පාලනයේ වගකීම් ඔවුන් වෙතින් ඉවත් කරනවා” ගොනා හැරෙන්නේ පොල් පැලේට බව පැහැදිලියි.

රජය වගකීමෙන් ඉවත් වේ.

නවලිබරල් ධනවාදයේ ප‍්‍රධානම අංගයක් වෙන්නේ ආර්ථිකය පිළිබඳ වගකීමෙන් රජය ඉවත් වීම. රනිල් ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ ඒ සඳහා ප‍්‍රධාන ප‍්‍රවේශයන් තුනක් ගෙන තිබෙනවා.

  1. උපායමාර්ගික වශයෙන් තීරණාත්මක නොවන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට විකුණා දැමීමට මේ වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙනවා. එහි උදාහරණ දක්වද්දී හෝටල් ආදියත් දක්වා ඇති නිසා කලින් පැවැති ආණ්ඩුව විසින් රජයට අයත් සංචාරක හෝටල් විකුණා දැමීමට කළ උත්සාහය මේ ආණ්ඩුව විසිනුත් ඉදිරියට ගෙන යාමට ඉඩ ඇති බව පෙනෙනවා. වැඩපිළිවෙළ තුළ රනිල් මෙසේ කියනවා.

”මූලෝපායික නොවන ආයතන සම්බන්ධයෙන්ද අප පියවර ගන්නවා. රාජ්‍ය ව්‍යවසායන්ට සම්බන්ධ නැති හෝටල්, ලංකා හොස්පිටල්ස් වැනි ආයතන කොටස් වෙළෙඳපොළ හරහා විකිණීමට අප ක‍්‍රියා කරනවා.”

  1. ඒ වගේම මූලෝපායික වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යවසායන්වල පරිපාලනය පුද්ගලිකකරණය කරන සිංගප්පූරු තමසෙක් ආකෘතිය ක‍්‍රියාත්මක කිරීම ගැන රනිල් කියනවා. තමසෙක් ආකෘතිය ගැන මෛත‍්‍රීත් ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කර තිබුණා. එයට විරෝධයකුත් එල්ල වුණා.

” ඕනෑම පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වාගෙන යා යුතුයි. එසේම එම ව්‍යවසායකයන් වාණිජ ව්‍යාපාරයන් ලෙස සාර්ථක තලයකට ඔසවා තැබිය යුතුයි. මේ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා අප සිංගප්පූරුවේ තමසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතීන් හිමි සීමාසහිත සමාගමක් ස්ථාපිත කරනවා. රාජ්‍ය ව්‍යවසාය කොටස් ඒ සමාගමට පවරනවා. පෞද්ගලික ආයතනයන්හි මෙන් මූල්‍ය විනයක් සහිතව වෙළෙඳපොළට අනුරූපව තීරණ ගැනීමේ බලය එම සමාගමට ලබා දෙනවා.”

  1. දැනට සිදු කෙරෙන පරිදි අවශ්‍ය ස්ථාවරත්වය නැති හෝ ජනතාවට හානිකර පෞද්ගලික සමාගම් රජයට පවරා ගැනීම මින් ඉදිරියට සිදු නොකරන බව රනිල් මේ වැඩපිළිවෙළ තුළ කියනවා. රජයේ ව්‍යවසායන් පෞද්ගලික අංශයට විකිණුවත් පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා නොගැනීම සඳහා දෙන පොරොන්දුවලට අනුව ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන අදහසක් ගන්න පුළුවන්.

”ඒ වගේම ඌන කාර්ය සාධක ව්‍යාපාර හෝ ඌන උපයෝජිත වත්කම් නැවත පණ ගැන්වීමේ පනත පූර්ණ විමසීමකට ලක්කර අවශ්‍ය සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අප ඉදිරියට එසේ කටයුතු කරන්නේ නෑ. පෞද්ගලික ව්‍යාපාර අත්පත් කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපේ රජයට නැහැ.”

මේ අනුව ආර්ථිකය පිළිබඳ සියලූ වගකීම්වලින් රජය ඉවත් වීමේ දිශාවට මේ වැඩපිළිවෙළ ගමන් කරන බව පැහැදිලියි.

සියල්ල විකුණනු!

නවලිබරල් ධනවාදයේ ප‍්‍රධාන සටන්පාඨය වන්නේ ‘සියලූ දේ පවතින්නේ වෙළෙඳපොළ සඳහාය’ කියන අතිශය ප‍්‍රතිගාමී සටන් පාඨය. ඒ අනුව හැම එකක්ම ලාභ ලබන ව්‍යාපාර ලෙස අර්ථකථනය කර සමාජ ආරක්ෂණයන් කප්පාදු කෙරෙනවා. අපි උදාහරණ දෙකක් විමසා බලමු. පළමු වැන්න – කෘෂිකර්මය. කෘෂිකර්මය මෙතෙක් පැවතුණේ කෘෂි සංස්කෘතියක් විදියට. නවලිබරල් උපායමාර්ගය ඇතුළේ ඒක කෘෂි වෙළෙඳාමක් බවට පත් කෙරෙනවා. රනිල් ඉදිරිපත් කළ ප‍්‍රකාශයේ කියන්නේත් කෘෂිකර්මය තරගකාරී වාණිජ කෘෂිකර්මයක් බවට පත්කරන බව. යැපුම් කෘෂිකර්මය අපනයන කෘෂිකර්මය බවට පරිවර්තනය කිරීමක් ගැනත් ඉඟි පළකර තිබෙනවා.

”්ටරස ඊමිසබැිි ක්‍දදරචැර්එසදබ ඛඑා  වැනි සාර්ථක කෘෂි ව්‍යාපාර දියත් කරන ලෝකයේ විවිධ රටවල් ආදර්ශයට ගනිමින් අප මෙරට ගොවියන්ගේ ඒකාබද්ධ කෘෂි ව්‍යාපාර සඳහා පූර්ණ සහය ලබාදෙනවා. මෙමඟින් තරගකාරී වාණිජ කෘෂිකර්මය ව්‍යාප්ත කරලීමටත් කෘෂි නිෂ්පාදන අපනයන සඳහා යොමු කිරීමටත් අපට හැකි වෙනවා”

කෘෂිකර්මය වෙළෙඳපොළ බලවේගවල ග‍්‍රහණයට නතු කරනවා වගේම මේ වැඩපිළිවෙළ අධ්‍යාපනයත් වෙළෙඳපොළ අවශ්‍යතාවල සීමාවට කප්පාදු කරන බව කියනවා. විෂය ප‍්‍රවීණත්වය ලබාදීම වෙනුවට පවතින බෙලහීන ආර්ථික ක‍්‍රියාවලියට අවශ්‍ය වහලූන් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය බවට පත්වන බව ඉතාම පැහැදිලියි.

”අධ්‍යාපනය සම්බන්ධයෙන් විප්ලවීය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් දියත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපි අතීතයේ සඳහන් කළේ ‘උගත මනා ශිල්පයමයි මතු රැුකෙනා’ යනුවෙනුයි. නමුත් වර්තමානයේ අප කිවයුත්තේ ‘මතු රැුකෙනා ශිල්පයමයි උගත මනා’ යනු වෙනුයි.”

  • සරදියෙල් වෙනුවට සෝරෝස්

ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ තවත් කතා කළ යුතු පැති ගණනාවක් තිබෙනවා. විදේශ ප‍්‍රාග්ධනයට ආර්ථිකයේ දොර මුළුමනින්ම විවෘත කරන බව රනිල් කියන්නේ මෙහෙම. ”අප හඳුන්වා දෙන නව ප‍්‍රතිපත්ති යටතේ පෞද්ගලික ආයෝජන දිරිමත් කරනවා. විශේෂයෙන්ම ඍජු විදේශීය ආයෝජන සඳහා වැඩි වැඩියෙන් ඉඩකඩ සලසනවා.” මේ විදේශ ප‍්‍රාග්ධනය යොදවන්නේත් නිෂ්පාදනීය වටිනාකම් නිපදවන ක්ෂේත‍්‍රයේ නොව මූල්‍ය සමපේක්ෂණ කටයුතුවලට බව ආණ්ඩුව විශ්වාස කරන්නේ යැයි අපට හැඟී යන්නේ ”අඩු වැටුප් ගෙවන නිමැවුම් ආර්ථිකයක් දිගින් දිගටම පවත්වාගෙන යාම යථාර්ථවාදී වන්නේ නෑ” කියා රනිල් කියන නිසා. අය වැය හිඟය 3.5% දක්වා අඩු කරන බව රනිල් කියන නිසා ලොකු කප්පාදුවක් ගැනත් සැක පහළ වෙනවා. අය වැය හිඟය අඩු කරන්න වෙන්නේ එක්කෝ ආදායම් වැඩි කරලා. නැතිනම් වියදම් කපා හැරලා. ආදායම් සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩි කරන්න යථාර්ථවාදී ඉලක්කයක් ඉදිරිපත් කර නැති නිසා සිදුවීමට නියමිත වියදම් කප්පාදුව, සමාජ ආරක්ෂණ කප්පාදුව බව පැහැදිලියි.

කොහොම වුණත් මේ ආණ්ඩුව මුලින්ම පොරොන්දු වුණේ පොහොසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙන සරදියෙල් ආර්ථිකයක්. ඒ සරදියෙල් ආර්ථිකයේ ප‍්‍රධාන පොරොන්දුවක් වූ සුපිරි වාසි බද්ද, ඉවත් කරන බව රනිල් මේ ප‍්‍රකාශනයේදී කියනවා. ඒ කියන්නේ සරදියෙල් අතහරිනවා. ඒ වෙනුවට වැළඳ ගන්නේ ජෝජ් සෝරෝස්. ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුවක් පවත්වන බවත් එයට ජෝර්ජ් සෝරෝස් සම්බන්ධ වන බවත් ඒ ප‍්‍රකාශය අවසානයේදී කියනවා. ජෝර්ජ් සෝරෝස්ව රනිල් හඳුන්වා දෙන්නේ ‘ආයෝජකයකු මෙන්ම ග‍්‍රන්ථ කර්තෘවරයකුද වන’ කියන හැඳින්වීම යටතේ. රනිල් එහෙම කීවාට ජෝර්ජ් සෝරෝස් ප‍්‍රසිද්ධ තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, හොංකොං වගේ රටවල ආර්ථිකය විනාශ කළ, 1990 දශකයේ මුල් භාගයේ ආසියානු ව්‍යාඝ‍්‍රයන් ලෙස නම් කර තිබූ ඒ රටවල් බිඳ දැමූ මූල්‍ය ජාවාරම්කරුවෙක් විදියට. අන්තිමේදී රනිල් වැළඳ ගන්නේ එවැන්නෙක්.

මේ ප‍්‍රකාශයේදී රනිල් කියනවා, මේක තිත්ත බේතක් කියලා. ඒ තිත්ත බේත පොවන්නේ අපේ ලෙඬේට නෙවෙයි. ධනපතියන්ගේ ලෙඩ සුව කරන්න අපට තිත්ත බෙහෙත් පොවන එකයි ආණ්ඩුවේ සැලැස්ම. එතරම් ජනප‍්‍රිය නොවන ක‍්‍රියාමාර්ග ආර්ථික ක්ෂේත‍්‍රය තුළ ගන්න වෙනවා කියලා රනිල් කියනවා. ආණ්ඩුව ජනප‍්‍රිය නොවන ක‍්‍රියාමාර්ග ගන්න යද්දී අපටත් ජනප‍්‍රිය නොවන දේවල් කරන්න වෙනවා. (පාරවල් අවහිර කරන උද්ඝෝෂණ වගේ දේවල්. ඒවා එච්චර ජනප‍්‍රිය නෑ.)

මනෝජ් ප්‍රසන්න