සෝභිත හිමි නිමාවක් නැති ගමනක නිමාව

 

sobitha lastමාදුළුවාවේ සෝභිත හිමිගේ අභාවය පිළිබඳ කණගාටුදායක පුවත අසන්නට ලැබුණේ ඉරිදා (08) පෙරවරුවේය. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන බව ආණ්ඩුව ප‍්‍රකාශ කළේය. සෝභිත හිමි දැඩි ලෙස රෝගාතුර වූයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩුවත් යහපාලනය ස්ථාපිත කිරීමට දුන් පොරොන්දු නිර්ලජ්ජිත ලෙස කඩා බිඳ දැමීම නිසා ඇති වූ කළකිරීමේ හා මානසික පීඩාවේ ප‍්‍රතිඵලයක් ලෙසින්ය යන්න ප‍්‍රකට කරුණකි. ‘මරා ගත්තට පස්සේ රාජ්‍ය ගෞරව දීලා වැඩක් නැතැ’යි ඇතැමුන් පවසන්නේ ඒ නිසාය.

1942 මැයි මස 29 වැනිදා මාදුළුවාවේදී උපන් රත්නසේකර දරුවාගේ මව සහ පියා වූයේ කුරුවිට ආරච්චිගේ කර්ලිනාහාමි සහ පතිරගේ දොන් පීරිස් අප්පුහාමිය. 1955දී වයස අවුරුදු 13ක්ව තිබියදී කෝට්ටේ ශ‍්‍රී නාගවිහාරයට පැමිණ 1956 වසරේ මාදුළුවාවේ සෝභිත හිමි නමින් පැවිදි දිවියට පිවිසුනි.

1963 වසරේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සෝභිත හිමි ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයකු ලෙස ක‍්‍රියාශීලි විය. 1964 වසරේදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත් වන්නේ ඒ අනුවයි.

මාදුළුවාවේ සෝභිත හිමි ප‍්‍රකට වූයේ සමාජ සාධාරණත්වය සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ක‍්‍රියාශීලී වූ දේශපාලන ක‍්‍රියාධරයකු වශයෙනි. උන්වහන්සේ ආරම්භයේ සිටම පැවැති පාලක පක්ෂයේ මතයට ප‍්‍රතිවිරුද්ධ ස්ථාවරයක සිට ක‍්‍රියාත්මක වූ ආකාරය දැකිය හැකිය. 1970-77 ආණ්ඩුව හඳුන්වා දුන් මත්පැන් සම්බන්ධ ප‍්‍රතිපත්තිය විවේචනය කළ සෝභිත හිමි 1978 වසරේදී ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් විධායක ජනාධිපති ක‍්‍රමයට විරෝධය පළ කළේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ උන්වහන්සේ දිගටම සිටි අතර ඒ වෙනුවෙන් මැදිහත් විය. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විවෘත ආර්ථිකය හෙවත් නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන විට සෝභිත හිමි ඊට විරෝධය පළ කළේය.

ජේ.ආර්. ජයවර්ධන ‘ධාර්මිෂ්ඨ සමාජයක්’ යන නාම පුවරුවට මුවා වී කළ අකටයුතුකම් විවේචනය කළ පුරෝගාමීන් අතර සෝභිත හිමිද එක් අයකු විය. 1983 වසරේ කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවේ පැවැත්වුණු සම්මන්ත‍්‍රණයකදී ආණ්ඩුවේ මැරයන්ගේ පහරකෑමට ලක් වීමට උන්වහන්සේට සිදු වූයේ ඒ නිසාය.

1977 පත් වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් විය. ලංකාවේ ඉතිහාසය විශේෂ හැරවුමකට ලක් කරනු ලැබූ අහිතකර ප‍්‍රතිසංස්කරණ

රැුසක් එම පාලන සමයේදී සිදු විය. 1987 අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමද එම ප‍්‍රතිසංස්කරණ අතර තිබූ තවත් එකක් විය. ඊට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් ප‍්‍රගතිශීලි සංවිධාන විරෝධය පළ කළහ. සිරිමා බණ්ඩාරනායක ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද යම් යම් ප‍්‍රමාණවලින් විරෝධතාවලට එක් විය. එම විරෝධතාවල එක් අවස්ථාවක් වූයේ පිටකොටුව බෝධිය අසල පැවැත්වුණු විරෝධතාවයි.

1987-90 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ජයවර්ධන ආණ්ඩුවත් පසුව පේ‍්‍රමදාස ආණ්ඩුවත් ගෙන ගිය මර්දනයට විරුද්ධව සෝභිත හිමි කටයුතු කළේය. මානව හිමිකම් ක‍්‍රියාධරයන් සමඟ එක්ව බිඳ වැටී තිබූ මානව හිමිකම් යළි ස්ථාපිත කිරීමට උත්සාහ ගත්තේය. 1987 වසරේ මාස කිහිපයක් සිරගතව සිටීමටද උන්වහන්සේට සිදු විය.

2.17 වසරක එජාප පාලනය අවසන් කිරීම සඳහා එක් වූ බොහෝ දෙනා අතර 1994දී සෝභිත හිමිද විය. එහිදීද සටන් පාඨ වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, සමාජ ප‍්‍රතිසංස්කරණ සහ යුක්තිය ඉටු කිරීමයි. එහෙත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ එම ප‍්‍රතිසංස්කරණ ඉටු වූයේ නැත.

මහින්ද රාජපක්ෂ ගෙන ගිය ඒකාධිපති ගමනට එරෙහිව සෝභිත හිමි හඬ නඟන්නට පටන් ගත්තේ 2007 වසරේදී පමණ සිටය. 1994 වසරේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුව පිහිටුවීමට උර දුන් උන්වහන්සේ 2007න් පසුව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් සමනය කිරීම සඳහාද මැදිහත් වන ආකාරයක් දකින්නට ලැබිණි. උන්වහන්සේගේ උත්සාහය තිබුණේ එජාපය මඟින් රාජපක්ෂ පාලනය පරාජය කොට සමාජ ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීමයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රධාන සටන් පාඨය කර ගනිමින් 2010 ජනාධිපතිවරණයට පිවිසුණු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට සහාය පළ කළ සෝභිත හිමි ඉන් පසුව ක‍්‍රමානුකූලව මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා එකඟ වී සිටි කණ්ඩායම් එක් ගොනුවකට ගොනු කිරීමට උත්සාහ කළේය. එක් අවස්ථාවක පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ සෝභිත හිමිය යන මතයද ප‍්‍රබල ලෙස ඉස්මතු විය.

සෝභිත හිමි දශක හතරකට වැඩි කාලයක් නියෝජනය කළ සමාජ ප‍්‍රතිසංස්කරණ අරගලයේ උච්චස්ථානය වූයේ උන්වහන්සේ නියෝජනය කළ සටන් පාඨ සිය පරමාර්ථ බවට පත් කර ගත් ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් පිහිටුවීමයි. එබඳු අරගලයකට යා හැකි උපරිමයද එයයි.

ප‍්‍රතිසංස්කරණ සඳහා අනවරත අරගලයක් අවශ්‍ය වේ. එසේ නොවන්නේ නම් මුළුමහත් මිනිස් ඉතිහාසයක් විසින් ගොඩනැඟූ සියල්ල මාස දෙකෙන් කඩා බිඳ දැමෙනු ඇත. එහෙත් ගැටලූව වන්නේ ප‍්‍රතිසංස්කරණ මඟින් සියල්ල විසඳිය නොහැකි වීමයි. සෝභිත හිමිගේ අරගලයේ උච්චතම ජයග‍්‍රහණය වූ ඒ අරගලයේ අරමුණු සාක්ෂාත් කරනු සඳහාම ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් පත් කිරීමෙන් පසුවත් ඒ අරගලය පරාජය වීමෙන් අවධාරණය වන්නේ එම සත්‍යයම මිස අන් යමක් නොවේ. සමාජ ප‍්‍රතිසංස්කරණ සඳහා වන අරගලය අවශ්‍ය වන්නේ, එක් ආකාරයකට කියන්නේ නම් මිනිස් සමාජ පරමාර්ථ ආරක්ෂා කරමින් ප‍්‍රවර්ධනය කිරීමට සහ සමාජය තවදුරටත් විනාශය කරා ඇද වැටීම නතර කිරීමටය. එහෙත් සමාජ සාධාරණත්වය ස්ථාපිත කළ හැක්කේ සහ උක්ත පරමාර්ථවලින් හෙබි සමාජයක් බිහි කළ හැක්කේ මුළුමහත් සමාජයේම සිදු වන පරිවර්තනයකින් පමණි.

සෝභිත හිමිගේ අවසන් කටයුතු බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේදී සිදු කෙරිණි. උන්වහන්සේගේ දෙන සඟවා ගත් චිතකයට ගිනි දැල් වූ ගිනි හුල ඊට මීටර් කිහිපයක් ඈතින් තිබෙන පාර්ලිමේන්තුව දෙසට විසි කළ හැකි නම් කොතරම් අගනේදැයි එහි සිටි යමෙකුට සිතුනේ නම් එය පුදුමයක් නොවේ.