ලාල් හෑගොඩ ඇගැයුම් අවස්ථාවේ උනුසුම් තත්වයක්

ලාල් හෑගොඩ එකතු කළ ලිපි හා තෝරාගත් කවි යන මැයෙන් ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න සංස්කරණය කළ කෘතිය ජනගත කළ අවස්ථාවේ ඇති වූ සංවාදය සඳහා ආරියවංශ රණවීර, සරත් විජේසූරිය, දිලීප අබේසේකර යන ආරාධිතයන් සහභාගි වූහ. ආරියවංශ රණවීර එම කතාබහට එක් වූයේ මෙසේය.


4

දිලිප් කියන විදියට කවි ලියන එක මම නතර කරනවා – ලාල් හෑගොඩ

 


 

එක අශිෂ්ට විචාරයක් – ආරියවංශ රනවීර2

 

 

”සියලූ කලාවන් අතර කවිය හැමදාම අලූත් වෙනවා. ඒ නිසාම කවිය හැමදා විවාදාත්මකයි. කාව්‍ය ක්ෂේත‍්‍රයේ අනවරත ගමන ගැන කතා කරන අතර මේ විවාදාපන්න ස්වභාවය ගැන කතා කළ යුතුයි. මා සලකන්නේ ලාල්

හෑගොඩ දෑතම හුරු කලාකරුවකු ලෙස. කැමරාව හා කවිය කියන සුරු අත්වලින් ඔහු කලා ක්ෂේත‍්‍රයට එන්නෙ. ස්වභාව ධර්මය දෙසත් ජිවිතය දෙසත් බලන්න තීක්ෂණ ඇසක් ඔහුට තිබෙනවා.

ලාල්ගෙ කවිය දෙස මා බලන්නෙ මා අදහන කවිය පිළිබඳ දැක්ම සමඟයි. කවිය සංක්ෂිප්තව හඳුන්වන්න කිව්වොත් මට කියන්න වෙන්නෙ පවසන්න බැරි යමක් පවසන මාධ්‍යයක් ලෙසයි. ව්‍යවහාර බසින් කියන්න බැරි දේ ලියන එක කියන එකයි අප කරන්නෙ. බොහෝ විට අප භාෂාව භාවිත කරන්නෙ ප‍්‍රකාශනයකටයි. ‘මම ගෙදර යමි’ කිව්වම කවියක් නෑනෙ. වඩාත් අපේ හැඟීීම් ප‍්‍රකාශ කරමින් යමක් කීමට භාෂාව යොදාගත් විට එය කවියක් වෙනවා. භාෂාවේ ප‍්‍රකාශන හැකියාව වගේම ප‍්‍රජානන හැකියාවත් කවියට යොදාගනු ලබනවා. හැම හොඳ කවියකම තියෙන්න  ඕන මනසින් ස්පර්ශ කළ හැකි ගැඹුරක්. ඒ අනුව හොඳ කවියක ප‍්‍රකාශන ගුණය, හැඟීම් පුබුදන ගුණය හා ගැඹුරු චේෂ්ඨා අවුලූවන ගුණයයි. කවිය හැඟීම් පුබුදුවනවා මෙන්ම අප ඥානය කරා ගෙන යනවා. කවිය ජිවිත ගැඹුර පිළිබඳ අදහස් දක්වනවා නෙවෙයි. ඒ අදහස්වල හැඟීම් දැනවීමයි කවිය කරන්නෙ. මේ දේවල් අපි කරන්නෙ කොහොමද? ඒ සඳහා කාව්‍ය උපක‍්‍රම භාවිත වෙනවා.”

ඉන්පසුව, ඔහු හෑගොඩ කවියාගේ නිර්මාණ ඇගැයීමක් ඉදිරිපත් කළේය. එයින් පසුව අදහස් දැක්වූයේ මහාචාර්ය සරත් විජේසූරිය විසිනි.

”දැනට දශක දෙක හමාරකට කළින් තිබුණට වඩා අද කවිය පිළිබඳ උනන්දුව වැඩිවී තිබෙනවා. අද බිහිවන කවි දීප්තිමත් මට්ටමක තිබෙනවා. නූතන කවිය පැවැතුනේ අධ්‍යාපනයත් සමග බැඳුණ සාහිත්‍යංගයක් ලෙසයි. නූතන කවිය ලෙස හඳුන්වනු ලැබුවේ උගන්වනු ලැබුවෙ ජී.බී.සේනානායකගෙ,

සිරි ගුණසිංහගෙ සහ ගුණදාස අමරසේකරගෙ කවි ඇසුරින්. මේ තත්වය පසුකාලයකදි වෙනස් කරන්නෙ මහාචාර්ය විමල් දිසානායකගෙ ‘නව කවි සරණිය’ තුළින්. ඉහත කී කවීන්ගෙ ස්වාධීන කවිත්වය ඇසුරෙන් වුවත් තමන්ගේම කවි ආරක් පෙන්නුම් කරන්න සමත් කවීන් පිරිසක් මේ නවකවි සරණිය නියෝජනය කළ තරුණ නිර්මාණකරුවන් අතර සිටියා. ඒක උසස් පෙළ පාඨ ග‍්‍රන්ථයක් ලෙස නිර්දේශ කෙරුණා. ඒ නිසා නූතන කවිය පිළිබඳ අධ්‍යයනය කරද්දි වෙනත් කවීන්ගෙ නිර්මාණ ඇසුරු කරන්නට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබුණා. ඉන්පසුව මමත් උත්සාහ කළා ‘නූතන කාව්‍ය සංග‍්‍රහය’ තුළින් තවත් නව කවීන් පිරිසකගේ නිර්මාණ අවධානයට ලක් කරන්න.

අප විසින් එහෙම අවධානයට ලක් කළ කවීන් අතුරින් කවීන් දෙදෙනෙක් අලූත් පරම්පරාව විසින් අනුකරණය කරන්න පටන් ගත්තා. ඉන් එක්කෙනෙක් රත්න ශ‍්‍රී විජේසිංහ. අනෙක් කවියා ආරියවංශ රණවීර. මේ අනුකරණයේ හොඳක් වගේම නරකකුත් තිබුණා. එකක් ඒ අනුකරණය නිසා තමන්ගේම වූ කාව්‍ය නිර්මාණ මගක් බිහිකරන්න මේ නව පරපුරේ බොහොමයක් නිර්මාණකරුවන් අසමත් වුණා. හැබැයි ඔවුන් කළ අනුකරණය නිසාම යම් ප‍්‍රශස්ත මට්ටමක නිර්මාණාත්මක ඉදිරිපත් කිරිමක් කරන්න ඔවුන්ට හැකි වුණා. කවියක් ලෙස ගුණාත්මකව හඳුන්වන්න පුළුවන් නිර්මාණ බිහිකරන්න ඒ අය අසමත් වුණේ අනුකාරකත්වය නිසයි. නමුත් මෙතනදි කියන්න  ඕන කාරණයක් තියෙනවා. රත්න ශ‍්‍රී විජේසිංහ කවියා අනුකරණය කරන්න යම් ප‍්‍රමාණයකට හැකි වුවත් මා හිතන විධියට ආරියවංශ රණවීරගෙ කවි අනුකරණය කිරීමට යාමෙන් නිර්මාණකරුවන් අමාරුවේ වැටුණා. ඒක වෙනම දීර්ඝ වශයෙන් සාකච්ඡුා කරන්න  ඕන කරුණක්.

1නූතන කවියෙ යම් අර්බුදකාරිත්වයක් ඇති කළ අවස්ථාවක් තමයි, මහගමසේකරට ගුණදාස අමරසේකර කළ අභියෝගය. අමරසේකර කිව්වා මහගමසේකර කියන්නෙ කවියෙක් නෙවෙයි කියලා. අමරසේකර යම් යම් අදහස් පළකරන්නෙ ශාස්ත‍්‍රාලයීය අධ්‍යාපනයක් තුළින් එන දෙයක් හැටියට නෙවෙයි. ඔහු යම් චින්තාවක් සමාජය හමුවෙ තියනවා. ඒ නිසා අමරසේකර කෙරෙහි අප‍්‍රසාදයක් නූතන කවීන් අතර ඇති වුණා. එතැනදි තරුණ කවීන් සේකරගෙ පැත්ත අරගෙන අමරසේකර කීව දේ ප‍්‍රතික්ෂේප කළා. එතැනදි තරුණ කවීන්ට වැරදුණා කියලා මට හිතෙනවා. ඒ වනවිට, ගීතය හොඳම සාහිත්‍යාංගය ලෙස සලකමින් අමරසේකරගෙ අදහස අතහරිනු ලැබුවා. මොකද සේකරගෙ කවි ගීත සාහිතයට එකතු වුණා. කවීන් ලියූ කවි හෝ ගීත රචනා තුළින් ගීත සාහිත්‍යයක් බිහිවෙමින් තිබුණා. ඒ නිසාම සේකරට කවියෙක් නෙවෙයි කියන අදහස ප‍්‍රතික්ෂේප කරමින් තමයි සංවාදය බැහැර කරනු ලැබුවෙ.

හැබැයි අද තරුණ කවින්ගෙ දීප්තිමත් නැගීමක් මා දකිනවා. විවිධ ස්ථානවල කාව්‍ය සංවාද ඇති වෙනවා. සමාජ ජාල වෙබ් අඩවිවල පවා කවිය සාහිත්‍යාංගයක් ලෙස ඇසුරු කිරීමේ හොඳ ප‍්‍රවණතාවක් තිබෙනවා. මේ ආරයට නව කාව්‍ය උදයෝගයක් ඇතිවීමට හේතුවන බලපෑමක් කළ කවීන් දෙන්නෙක් මා දකිනවා. අතීතයෙන් මම දකිනවා ජී.බී.සේනානායක. වර්තමානයෙන් ආරියවංශ රණවීර මේ නව කවීන්ට සාධනීය බලපෑමක් කර තිබෙන බව මා දකිනවා.”

ඉන්පසුව, එවැනි විශේෂ සලකුණක් සටහන් කළ කවීන්ගෙ නිර්මාණ ඇසුරින් කීපදෙනකුගේ නිර්මාණ කීපයක් අවධානයට ලක් කරමින් මහාචාර්ය විජේසූරිය සිය අදහස් දැක්වීම අවසන් කළේය.

මෙම සාකච්ඡුාවෙදි වඩාත් විවාදාත්මක කාරණයක් බවට පත් වුණේ ලාල් හෑගොඩ කවියා සිය අදහස් දක්වන්නට යාමේදී පළ කළ අදහසකි. ලක්ෂාන් මධුරංග විසින් ලාල් හෑගොඩ කවියා පිළිබඳ ලියැවුනු ලිපි එකතුවක් පළ කිරීමෙදි විවිධ දෘෂ්ටිකෝණවලින් ලියැවුණු අදහස් පළ කෙරිණි. එහිදී දිලිප් කුමාර ලියනගේ විසින් ලියූ ලිපිය හෑගොඩ කවියා සසල කරවා තිබුණු බවක් පෙණිනි. ඔහු කීවේ තමන් ලියූ කවි දිලිප් විසින් යම් ආකාරයකට ගර්හාවකට ලක් කර ඇති බවයි. ඒ නිසා මින් පසුව තමන් කවි නොලියන බවක් හෑගොඩ විසින් ප‍්‍රකාශ කළේ ඉතාමත් ආවේගශීලී ලෙසය. මේ නිසා සභාව මීයට පිම්බාක් මෙන් වික්ෂිප්ත තත්වයට පත් විය.

කෙසේවෙතත්, රණවීර කවියා මෙහිදී ඉදිරිපත් වූයේ සිය සහෝදර කවියා වෙනුවෙනි. හෑගොඩ වෙත විවේචනාත්මක ඇගයීිමක් ඉදිරිපත් කරමින් දිලිප් කුමාර ලියනගේ පල කළ අදහස් ඒ වනවිට රණවීර හෝ සභාවේ සිටි වැඩිදෙනෙකුගේ නිසි අධ්‍යයනයකට ලක්ව තිබුණේ නැත. කෙසේවෙතත් එය කියවා තිබුණු නිසා හෑගොඩ පත්වූ හැඟීම්බර තත්වයට පත්වන්නට සෙස්සන්ට හැකිද යන ප‍්‍රශ්නයක් තිබේ. එම ආවේගය නිවාදමනවා වෙනුවට රණවීර කවියා සිදු කළේ වෙනත් කාරණාවක් ඉදිරිපත් කරමින් හෑගොඩගේ ආවේගය තීව‍්‍ර කරවීමයි. ඔහු කීවේ මෙවැන්නකි.

”මම කියන්නෙ, මේ පොතේ එක ලිපියක් මගින් ඔය විධියෙ දෙයක් කියලා තියෙන්නෙ. නමුත් අනෙක් හැම ලිපියක්ම ඊට වඩා වෙනස්. ඔය කියන නරුමයන්ගෙ… මට වෙන වචන නෑ. ඔය කියන පශ්චාත්නූතනවාදින්ගෙ… පශ්චාත්නූතනවාදින් නමින් තමන් හැර වෙන කවුරුත් දන්නෙ නෑ කියලා හිතලා කරන මේ අය මෙතෙක් කාලයක් කළ කාර්ය ගැන අපි තීරණයක් ගන්න  ඕන. ඒක හෙළා දැකිය යුතුයි. මේ වගේ සංවේදී කවියකු ගැන වෙන මොනවා කිව්වත් වැඩක් නෑ, මෙහෙම දේවල් කියලා. මං දන්නෙ නෑ ලක්ෂාන් ඔබ මොකටද මේ ලිපිය මේ පොතට ගත්තෙ කියලා. මම තවම කියෙව්වෙ නෑ ඒක. සංස්කරණය කියන්නෙ තෝරා බේරාගෙන කළයුතු දෙයක්.

මං කියන්නෙ මං ගැන අත්දැකීමක්. ඔය පශ්චාත් නූතනවාදින්ගෙ වැඩක්. මම ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෙලා හිටියා. එක පශ්චාත් නූතනවාදියෙක් කියනවා, ‘මේ තරම් ජනසංහාරයක් කරන ආරක්ෂක අමාත්‍යාංශයට වෙලා කවි ලියන්නෙ කොහොමද?’ කියලා. විනාශ කරන විවේචන මේවා. මම ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්නකොට තමයි ලිව්වෙ ”පොලිස් මෙනෙවියගේ තුවක්කු පාඩම” කියන කවිය. කියවලා බලන්න ඒක. තුවක්කුව ගන්නෙ දරුවන් දරන අතින්ද කියලා… තුරුලූ කරගන්නෙ දරුවන්ව පෝෂණය කරන්නද කියලා  මම ඇහුවෙ.

මේ විදියෙ නිර්ලජ්ජිත අදහස්වලට සමාව දෙන්න පුළුවන් කමක් නෑ. අපි ලාල්ගෙන් ඉල්ලන්නෙ මේ ඔබ අගය කරන අවස්ථාවක්. ඔබ නිහ`ඩවන අවස්ථාවක් බවට පත්කරන්න එපා. මෙවැනි හුදකලා අශිෂ්ට හ`ඩක් නිසා නිහ`ඩ නොවී කවි ලියන්න කියලා අපි බලවත් ඉල්ලීමක් කරනවා.”

මෙහිදී සභාවේ නොසන්සුන් තත්වයක් ඇති වූයේ මෙවැනි අදහස් පිළිබඳ ලක්ෂාන් කිසිවක් ප‍්‍රකාශ කළ යුතු බව පෙන්වා දෙමිනි.

5”මෙතන සමහර අදහස් පළ වූ නිසා ඒ ගැන කතා නොකර මේ සභාවෙ කටයුතු අවසන් කරන්න බෑ. ඒ නිසා මම මෙතන පළවුණු අදහස් ගැන යමක් කියන්න  ඕන. දිලිප් කුමාර ලියනගේ මෙතනට ඇවිත් නෑ. ඒ නිසා ඔහු ලියූ දේවල් ගැන අදහස් පළ කරද්දි යම් සාධාරණයක් ඔහුටත් වියයුතුයි. ඔහු ලියූ දේ පිළිබඳ යම් යම් අදහස්, විවේචන පළ වුණා. ඔහුගෙ විචාර ප‍්‍රවේශය හිනාවට ලක් කෙරුණා. නමුත් මේ හිනාවට ලක් වුණේ මිනිස්සු ආදරය කරන විධියට. මම දකින විධියට මේ විචාර ලිපියෙ තියෙන්නෙ ලේඛකයා හෑගොඩ කවියා පිළිබඳ තමන්ගෙ ආදරය ප‍්‍රකාශ කිරිමක්. ඒක යම් රළු ප‍්‍රකාශවීමක් වෙන්න පුළුවන්. අපි හැමෝම එක වගේ නෙවෙයි ආදරය ප‍්‍රකාශ කරන්නෙ. එක් එක් කෙනා ඒකට යොදාගන්න විධිය වෙනස්. හෑගොඩයි, ආරියවංශ රණවීරයි, නන්දන වීරසිංහයි එක් අවස්ථාවක ඔය විදියට රළු ලෙස හැසිරුණු ආකාරය ගැනත් මේ සභාවෙ ඉන්න අය දන්නවා. නමුත් අවුරුද්දකට පස්සෙ රණවීර කවියා හැගොඩගෙ කවි ගැන කතාකරන්න මේ වේදිකාවට ආවා. ඒ නිසා මම විශ්වාස කරනවා හෑගොඩ කවියා ගැන කතා කරන්න දිලිප් කුමාර ලියනගේට අවස්ථාවක් තියෙනවා කියලා.

පෞද්ගලිකව දිලිප් කුමාර ලියනගේ කියන්නෙ මගේ ගුරුවරයෙක්. ඔහු ගැන ඇසුරු කිරීමෙන් හා විචාර ඇසුරු කිරිමෙන් අවබෝධයක් මට තියෙනවා. මම දකින්නෙ ඒ ප‍්‍රකාශනය එයාගෙ ලිවීමේ ආකාරය. එයා යම් අදහසක් කියන්නෙ හෑගොඩ කවි ලිවීම නැවැත්විය යුතුයි කියන ස්ථාවරයෙ නෙවෙයි. ඔහු කරන විවේචනය යම් හැදෑරීමක් තුළ තියෙන්නෙ. ඒක ඉදිරිපත්කරන ස්වභාවයේ රළුකමක් තියෙනවා. ඒ ඔහුගෙ ආදරයෙ ස්වභාවය කියලා මං විශ්වාස කරනවා. ඒ තමයි ඔහුගෙ විචාරක ශෛලිය.”

මේ අන්දමින් ලාල් හෑගොඩ පිලිබඳ ලියැවුණු කෘතිය ජනගත කිරිමේ අවස්ථාව සමාප්තියට පත් වූයේ අවධානයට යොමු කළ හැකි හා යොමු කළ යුතු කාරණා ගණනාවක් එතැනට එක් වූ සහෘදයන් වෙත තබමිනි.

සටහන – අජන්තා එම්. ජයසේකර