කතුවැකිය : සත්‍යය හෙළි කරනු!

දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරුවා. ඒත් අපේ රටේ මානව හිමිකම් දිනය සැමරුවේ මානව හිමිකම් අහිමි වූ දස දහස් ගණනකට යුක්තිය ඉටු නොවූ තත්වයක් තුළ. රාජපක්ෂ පාලන සමයේදී රටේ විවිධ පළාත්වලින් සුදු වෑන් මඟින් කරන පැහැරගෙන යාම්, රහසිගත ස්ථානවල රඳවා වද හිංසා පැමිණවීම්, ඝාතනය කර මළ සිරුරු විනාශ කිරීම්, වැනි තිරශ්චීන අපරාධ වාර්තා වුණා. ලංකාවේ මේ ආකාරයට අතුරුදන් වූ ප‍්‍රමාණය පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන පවා නෑ. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියන විදියට එම සංඛ්‍යාව 15,000 ඉක්මවා යනවා. මැක්ස්වෙල් පරණගම විශේෂ ජනාධිපති කොමිසමට ලැබී තිබුණු පැමිණිලි ගණන 25,000 ඉක්මවා ගිහින් තිබුණා. ඒ මෑත ඉතිහාසයේ විතරයි. 1983 සිටම උතුරේ යුදමය ක‍්‍රියාවලිය තුළත් 1987-1990 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය තුළත් විශාල පිරිසක් පැහැරගෙන අතුරුදන් කිරීමට ලක්වුණා. ඒ ගැනත් නිවැරදි සංඛ්‍යා ලේඛන නැහැ. ඒ අනුව බලන විට ලංකාවේ ඉපැදුණු අති විශාල පිරිසක් ඔවුන්ගේ මරණය සිදුවූ ආකාරය ගැන කිසිඳු සලකුණක් නොතබා අතුරුදන් වී තිබෙනවා. මානව හිමිකම් දිනය සමරා විවිධ රාජ්‍ය ආයතන පවා උත්සව, සමරු වැඩසටහන් සංවිධානය කරන්නේ එතරම් ලැජ්ජාසහගත තත්වයක් තුළ. මානව හිමිකම් දිනය ගැන කියන විට අමතක කළ නොහැකි දෙදෙනෙක් සිටිනවා. ඒ මානව හිමිකම් දිනයට පෙර දින, 2011 දෙසැම්බර් 9 වැනි දින යාපනයේදී පැහැර ගැනීමට ලක්ව අද දක්වාම අතුරුදන්ව සිටින ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන්.

මේ ආණ්ඩුව බලයට එන විට පොරොන්දු වුණේ අතුරුදන්වීම් පිළිබඳ විමර්ශන කරලා, වග උත්තරකරුවන්ට දඬුවම් දෙනවා කියලා. නමුත් අපි ලලිත් – කුහන් උදාහරණයම අරන් බලමු. ඔවුන් දෙදෙනා පැහැරගැනීම ගැන තමන් දන්නවා කියලා එවකට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල ප‍්‍රකාශ කළේ හොර රහසේ නෙවෙයි, සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී ප‍්‍රසිද්ධියේ. ඒ ගැන සාක්ෂි දෙන්න අධිකරණයේ පෙනී සිටින්න කියලා අධිකරණයට ඔහුට නොතීසි යවන්න වෙලා දැන් අවුරුදු කිහිපයක් වෙනවා. නමුත් ඔහු තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා අධිකරණයේ පෙනී නොසිට මඟහැර ගියා. නමුත් 2015 නොවැම්බර් 13 වැනිදා යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණය ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන්න කියලා වරෙන්තුවකින් පොලිසියට නියෝග කළා. එතැන් සිට මාසයක් ගෙවී ගියා. තවමත් කෙහෙළිය නිදැල්ලේ. සාමාන්‍ය පහළ පාන්තිකයෙක් හෝ විකල්ප දේශපාලන මතධාරියෙක් වරෙන්තු නිකුත් කරලා විනාඩි ගණනක් ඇතුළත අත්අඩංගුවට ගන්නා පොලිසිය කෙහෙළියට අත තියන්නේ නෑ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක එක එක දවසට එක එක හේතු කියමින් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටය සොයනවා. කෙහෙළිය ආරක්ෂා කරන්නේ දේශපාලන වේදිකා මත බොරුවට කෙහෙළිය සමඟ හැපෙන මේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් බවත් පොලිසියට කෙහෙළිය අත්අඩංගුවට නොගන්න බලපෑම් කරන්නේ ඔවුන් බවත් පොඩි ළමයි පවා දන්නවා.

ආණ්ඩුව මේ විදියට ආරක්ෂා කරන්නේ කෙහෙළිය විතරක් නෙවෙයි. සුදු වෑන් එවලා කුමාර් ගුණරත්නම් පැහැර ගත්තේ තමන් කියලා සත් හඬ පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවකදී හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කළා. එවැනි අපරාධයක වගකීම භාරගෙන යම් පුද්ගලයකු ප‍්‍රකාශයක් කළාම පොලිසිය වහාම ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට වාර්තා කළ යුතුයි. නමුත් මාසයකටත් වැඩි කාලයක් ඉක්ම ගියා. පොලිසිය ගෝඨාභය රකිනවා. පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නොවැම්බර් 11 වැනිදා ගෝඨාභයගෙන් මේ ගැන ප‍්‍රශ්න කරන්න කියලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ලටත් දැන් මාසෙකට වැඩියි. ඒ පැමිණිල්ලට පොලිසිය ක‍්‍රියාත්මක නොවන නිසා ඔවුන් දෙසැම්බර් 3 වැනිදා නැවත පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළා. තවමත් පොලිසිය නිහඬයි. ගෝඨාභයගේ විරුද්ධවාදීන් ලෙස තමන්ව හඳුන්වා දෙන පිරිසක් බලයේ සිටියදී මෙහෙම වෙන්නේ ඇයි? මේ ආණ්ඩුවත් තමන්ගේ පන්ති අර්ථයෙන් ගෝඨාභය සහ කෙහෙළිය ආරක්ෂා කරනවාද? ඒ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීම මූණු මාරුවක් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමට අපේක්ෂා කළ සමස්ත සමාජයටම වැදගත් වෙයි. කුමාර් ගුණරත්නම් පැහැර ගත්තේ ගෝඨාභය නම් අනෙකුත් පැහැර ගැනීම්වලටත් ඔහු සම්බන්ධ වූ බවට පැහැදිලි සැකයක් මතු වෙනවා. ඒ නිසා මේ පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් පිටුපස සිටින්නේ රාජ්‍ය යාන්ත‍්‍රනයමයි කියන බවට අපට නම් සැකයක් නෑ. ඒ අතුරුදන් කිරීම්වල සත්‍යය හෙළිදරව් කර ගන්න නම් මේ අයගෙන් ප‍්‍රශ්න කරන්න වෙනවා. සත්‍යය හෙළිදරව් කර ගන්න අගනා මාර්ගයක් විවෘත වී තිබියදීත් මේ ආණ්ඩුව මිනීමරුවන් ආරක්ෂා කරන බව හොඳින්ම පෙනී යනවා.

ඒ විතරක් නෙවෙයි, පසුගිය ආණ්ඩුවේ සිටි අය දැන් ඉදිරියට ඇවිත් තමන් පැහැර ගැනීම් කළා කියන්න විතරක් නෙවෙයි, තමන් අහවල් අයව මැරුවා, ඒ අහවල් කරුණ නිසා කියලා ප‍්‍රසිද්ධියේ කියන්න තරම් නිර්භීත වෙලා. මානව හිමිකම් දිනයට දින දෙකකට කලින් හෝමාගම අධිකරණයේදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමට සහ රහසිගතව රඳවාගෙන සිටීමට අදාළව චෝදනා ලබා සිටින හමුදා භටයන්ට එරෙහි නඩුව විභාග වුණා. එදා පසුගිය ආණ්ඩුවට සම්බන්ධව සිටි අය ඔවුන් නිදහස් කරන ලෙස උද්ඝෝෂණයක් කළා පමණක් නෙවෙයි. එක්නැලිගොඩ පැහැර ගත්තේ සහ මරා දමන්න තීරණය කළේ ඔහු එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ නිසා කියලාත් කිව්වා. ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ බවට සැක කරන අයව පැහැර ගෙන ගිහින් මරලා දාන්න තමන්ට බලපත‍්‍රයක් තිබුණා කියලයි මේ අය කියන්නේ. මිනී මරපු අය වගේම මිනී මරන්න අනුබල දුන් අයත් සමාජය ඉදිරියට ඇවිත් තමන් කළ අපරාධ ප‍්‍රසිද්ධියේ කියද්දීත් ඔවුන්ට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනෙන්නේ නෑ.

අතුරුදන් වූවන් පිළිබඳ සත්‍යය හෙළිදරව් කර ගත හැක්කේත් වරදකරුවන්ට දඬුවම් දිය හැක්කේත් මානව හිමිකම් දිනා ගත හැක්කේත් ජනතාව තුළ තම අයිතීන් ගැන ප‍්‍රජා ක‍්‍රියාකාරීත්වයක් ඇති කිරීමෙන් සහ එය ශක්තිමත් කිරීමෙන් විතරයි. ඊනියා සිවිල් සමාජය පමණක් සමරන ලෝක මානව හිමිකම් දිනයේදී අපේ ප‍්‍රාර්ථනය සහ බලාපොරොත්තුව එයයි.