එක් දින වැඩවර්ජනය අත්හැරීම අරගලය පාවාදීමක්ද?

bank

80 ජූලි වර්ජන යෙන් පසු සමස්ත මහා වැඩවර්ජනයකට ආසන්න දේශපාලන පෙළගැස්මක් මෙවර අයවැයත් සමඟ උද්ගත වී තිබේ.

පසුගිය 15 වන දින එක්දින වැඩවර්ජනයක් කැඳවා තිබුණේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය එකමුතුව විසිනි. ඊට වෘත්තිය සමිති 50 ක් පමණ අයත් වූ අතර දුම්රිය, තැපැල්, සෞඛ්‍ය සහ බැංකු යන ක්ෂේත‍්‍ර ඊට ඇතුළත් විය.

මීට අමතරව හාම්පුතුන්ගේ සංගමයක් ලෙස සැලකිය යුතු පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයත් එම වෘත්තිය සමිති එකතුවට එක්වී එම වැඩවර්ජනය ප‍්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි. මේ අතර පසුගිය 14 වැනි දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මූලික වී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඊට සම්බන්ධ වූ කම්කරු අරගල මධ්‍යස්ථානය, ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය, එක්සත් කම්කරු සම්මේලනය, රැකියා විරහිත උපාධිධාරී සංගමය සහ ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් රැුසක්ද ප‍්‍රකාශ කර සිටියේ එම වැඩ වර්ජනයට තම පූර්ණ සහය ලබා දෙන බවයි. එවැනි පසුබිමක් තුළ එක්දින වැඩවර්ජනය බොහෝ දුරට සාර්ථක වීමේ ඉඩකඩක් පෙනෙන්නට තිබුණි.

කෙසේ වෙතත් අගමැතිවරයා විසින් 14 වැනි දින හවස් භාගයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ අතර එය පදනම්ව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව වැඩවර්ජනය අත්හිටුවන ලදී. වැඩවර්ජනයට සහය දෙන බව පැවසූ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයත් වැඩවර්ජනයෙන් ඉවත් විය. නමුත් වර්ජනය කැඳවූ වෘත්තිය සමිති එකතුව තුළ සිටි ලංකා බැංකු සේවක සංගමයත්, තැපැල් වෘත්තිය සමිති එකතුවත් වැඩ වර්ජනය අත්හිටුවීමේ තීරණයට එකඟවූයේ නැත. තැපැල් වෘත්තිය සමිති එකතුව වැඩවර්ජනයට සහභාගී නොවූ අතර ලංකා බැංකු සේවක සංගමය පමණක් යොදා ගත් පරිදි 15 වැනි දින වැඩවර්ජනය සිදු කරන ලදී. ඊට අමතරව එම සංගමය විසින් එදින දැවැන්ත උද්ඝෝෂණයක්ද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පවත්වන ලදී. මෙම පසුබිම තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව වැඩවර්ජනය අත්හැරීමට ගනු ලැබූ තීරණය පිළිබඳව දේශපාලන කතාබහක් වෘත්තිය සමිති ක්ෂේත‍්‍රය තුළ මේ දිනවල ඇවිලෙමින් පවතී.

පසුගිය මහ මැතිවරණයේදී ජනතාව හමුවේ තබන ලද පොරොන්දු කිසිවක් හවුල් ආණ්ඩුව විසින් මෙවර අය වැය මඟින් ඉටු කර නැත. විශේෂයෙන් වෘත්තිය සමිති වලට අදාළව නම් රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත‍්‍රයේ මූලික වැටුප් අයවැය මඟින් වැඩි කර නැත. පොරොන්දු එසේ කඩ වීම වැඩකරන ජනතාවගේ පැත්තෙන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමකි. නමුත් මෙවර අයවැය තුළ ඇති බරපතලම ප‍්‍රශ්නය වී ඇත්තේ මෙසේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරිම නොවේ. ඉන් ඔබ්බට ගොස් මෙතෙක් වැඩකරන ජනතාව භුක්තිවිඳි අයිතීන් විශාල ලෙස මෙවර අයවැය මඟින් කප්පාදුවට ලක් කර තිබීමයි.

ඒ අතර මෙතෙක් රාජ්‍ය අංශයේ සේවකයන් භුක්තිවිඳි පූර්ණ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය 2016 දී අහෝසි කොට දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදීම පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ ඊ.ටී.එෆ් සහ ඊ.පී.එෆ් අරමුදල් ඒකාබද්ධ කිරීම සහ ඒවා මහබැංකු පාලනයෙන් ඉවත්කිරීම පැය අටේ වැඩ දිනය අහෝසි කිරීම. සේවකයන් ස්ථිර කිරීමේ කාලය දින 180 සිට 360 දක්වා දීර්ඝ කිරීම කම්කරු නීති ලිහිල් කිරීම. පාසල් නිල ඇඳුම් ලබා දීම සහ ගොවීන්ට පොහොර ලබා දීම නතර කර ඒ වෙනුවට මුදල් ලබා දීම මඟින් එම සුභසාධනයන් කප්පාදුවට ලක්වී තිබීම ප‍්‍රධාන වේ. මේ අතර බැංකු ක්ෂේත‍්‍රයට අදාළව විශාල වෙනස්කම් සිදු කර ඇත. එමගින් රාජ්‍ය බැංකු දිය කර හැර රටේ මුල්‍ය ක්ෂේත‍්‍රය හැසිරවීමේ සම්පූර්ණ බලය පෞද්ගලික මුල්‍ය ආයතන වෙත පිරිනැමීමේ යෝජනා අයවැය තුළ අඩංගු වේ.

එම අයවැය යෝජනා සම්බන්ධයෙන් පුළුල් ජනතා විරෝධයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව විසින් එම එක්දින වැඩවර්ජනය කැඳවන ලදී. එය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ පසුගිය 12 වැනි දින අගමැතිවරයා විසින් වෘත්තිය සමිති සඳහා සාකච්ඡුාවක් ලබා දී තිබුණි. නමුත් එම සාකච්ඡුාවෙන් පසුවද වැඩවර්ජනය කැඳවූ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය ප‍්‍රකාශ කළේ සාකච්ඡුා අසාර්ථක වූ බවත් ඒ නිසා වැඩ වර්ජනය යොදා ගත් පරිදි සිදු කරන බවත්ය.

නමුත් අගමැතිවරයාගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකශය තුළ සඳහන් පරිදි වෘත්තිය සමිති සෙසු නියෝජිතයන් මගහැර සමන් රත්නප‍්‍රිය හා ගැමුණු විජේරත්න සමඟ 13 වැනි දින තවත් විශේෂ සාකච්ඡුාවක් පවත්වා ඇත. එහිදී වැඩවර්ජනය අත් හැරීමට එකඟතාවයක් ඇතිවූයේදැයි අපි නොදනිමු. නමුත් එම එකඟතාවයන් මත පාර්ලිමේන්තුව තුළ එම විශේෂ ප‍්‍රකාශය කරන බව අගමැතිවරයා පවසයි. මෙහිදී සමන් රත්නප‍්‍රියත් ගැමුණු විජේරත්නත් මෙම හවුල් ආණ්ඩුව
ගොඩනැගීමට විශේෂ කාර්යභාරයක් කළ බවද අමතක නොකළ යුතුය. කෙසේ වෙතත් එම සාකච්ඡුාවෙන් එකඟතාවයට නොපැමිණියද අගමැතිවරයාගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශය මත සලකා බලා තම ඉල්ලීම් ඉටුවී ඇත්නම් වැඩවර්ජනය අත්හැරීම තීරණය කිරීමට වෘත්තිය සමිති නායකත්වයට ඇති අයිතිය ගැන අපට ප‍්‍රශ්න කළ නොහැකිය. නමුත් 13 වැනිදින අගමැතිවරයා සමඟ වැඩවර්ජනය අත්හැරීමට එකඟවී අවසන් මොහොත වන තෙක් සෙසු වෘත්තිය සමිතිවලට සහ ජනතාවට වසන්කළේ නම් එය බරපතළ වංචාවක් බවද කිව යුතුය.

තත්වය එසේ තිබියදීත් දැන් අපට අගමැතිවරයාගේ විශේෂ පාර්ලිමේන්තු ප‍්‍රකාශය තුළ අඩංගු වන්නේ මොනවාදැයි කරුණු සහිතව සාකච්ඡුා කළ හැකිය. රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලෙස ලබා දුන් රුපියල් 10,000 ක් මූලික වැටුපට එක් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ නමුත් මෙවර අයවැය මඟින් එය මගහැර ගොස් තිබුණි. අගමැතිවරයාගේ විශේෂ ප‍්‍රකාශය තුළ ඒ පිළිබඳව යළි සලකා බලා ඇත. ඒ අනුව රුපියල් 2000ක් ලබන ජනවාරියේ සිට මූලික වැටුපට එක් කිරීමටත් ඉතිරි 8000 පසුව තවත් අදියර දෙකකින් එක් කිරීමටත් එහිදී යළි පොරොන්දු වී ඇත. එය වෘත්තිය සමිති ගෙන ගිය අරගලයේ පැහැදිළි ජයග‍්‍රහණයක් ලෙස ඒ අනුව සැලකිය හැකිය.

නමුත් වැඩවර්ජනයට මුල්වූයේ ආණ්ඩුව පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳ ප‍්‍රශ්නයකට වඩා වැඩකරන ජනතාව මෙතෙක් භුක්තිවිඳි අයිතිවාසිකම් උදුරාගැනීම පිළිබඳ ප‍්‍රශ්නයයි. රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප් අහෝසි කිරිමත් ඊ.ටී.එෆ් ඊ.පී.එෆ් අරමුදල් ඒකාබද්ධ කර මහබැංකු පාලනයෙන් ඒවා ඉවත් කිරීමත් කම්කරු නීති ලිහිල් කිරීමත් ඉන් ප‍්‍රධාන වේ. මෙම කරුණු තුන සම්බන්ධයෙන් නම් ආණ්ඩුවේ ස්ථාවරයේ කිසිදු වෙනසක් අගමැතිගේ විශේෂ ප‍්‍රකාශය තුළ අඩංගු නැත. ඊ.ටී.එෆ් ඊ.ප.ීඑෆ් අරමුදල් සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේ පවසයි.

”මෙම අරමුදල් 100%ක්ම සුරක්ෂිත කරනවා. සේවක සේවිකාවන්ගේ මුදල් කොල්ලකෑමට හෝ පිල්ලි ගැසීමට මින් මතු කිසිවෙකුටත් ඉඩ නොලැබෙන අයුරින් නව කළමනාකරණ ක‍්‍රමවේදයක් සැකසීම අපගේ බලාපොරොත්තුවයි. මෙම ක‍්‍රමවේදය ගැන අප වෘත්තිය සමිති සමඟ සාකච්ඡුා කරමින් සිටින්නේත් අවසන් තීරණයකට එන්නේත් ඔවුන්ගේ එකඟතාවය ඇතිවයි.”

මෙහිදී අගමැතිවරයා අවධාරණය කරන්නේ ඊ.ටී.එෆ් ඊ.පී.එෆ් අරමුදල් ඒකාබද්ධ කිරීම සහ මහබැංකුවෙන් ඉවත් කිරීම සිදු නොකරන නමුත් නව කළමණාකරණයක් ඊට හඳුන්වාදෙන බවයි. ඇත්ත වශයෙන්ම මෙමගින් එම අරමුදල් වල පාලනය මහබැංකු පාලනයෙන් ඉවත් වන බව ඒ අනුව පැහැදිළිය. රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන්ද අගමැතිවරයා මෙසේ පවසයි.

”මේ නිසයි අරමුදල් සහිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදයක් පිළිබඳව අප මේ අයවැයෙන් යෝජනා කළේ. අප වෙහෙසෙන්නේ අරමුදල් රහිත ක‍්‍රමවේදයක් වෙනුවට අරමුදල් සහිත ක‍්‍රමයක් හඳුන්වා දෙන්නටයි. (මබමෙබාැා* වෙනුවට මෙබාැා ක‍්‍රමයක්. මෙවැනි ක‍්‍රමවේදයක් මඟින් රාජ්‍යසේවයට බැඳුණු දිනයේ පටන්ම ඒ ඒ සේවකයා වෙනුවෙන් අරමුදල් ගොඩනැංවෙනවා. අප බලාපොරොත්තුවෙන් සිටියේ මේ නව ක‍්‍රමවේදය පිළිබඳව ලබන ජනවාරියේ වෘත්තිය සමිති සමඟ ගැඹුරින් සාකච්ඡුා කරන්නයි.”

මේ අනුව පැහැදිළි වන්නේ පවතින ‘පූර්ණ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය’ අහෝසි කර ‘දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්’ හඳුන්වාදීමට යන බවයි. ඒ නිසා අගමැතිවරයාගේ විශේෂ ප‍්‍රකාශය තුළින් පවතින විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අහෝසි කිරීමේ තීරණය ඉල්ලා අස්කරගෙන නැත. නමුත් ඒ පිළිබඳව තීරණ ගැනීම සඳහා ලබන ජනවාරිය දක්වා වෘත්තිය සමිති වලට කල් ලබා දී ඇත. වාහන සම්බන්ධයෙන් වූ දුම් ගාස්තු සහ ආදායම් බලපත‍්‍ර ගාස්තු සම්බන්දයෙන්ද තාවකාලික සහනයක් පමණක් ලබා දී ඇත. ඒ නිසා අන්තර් කාලීන බදු පහත දැමීමක් යෝජනා කර ඇත. කම්කරු නීති ලිහිල් කිරීම පිළිබඳව නම් අගමැතිවරයා කිසිවක් සිය විශේෂ ප‍්‍රකාශය තුළ සඳහන් කර නැත. එය එලෙසම බලපැවැත්වෙනු ඇතැයි අපට නිගමනය කළහැක.

මේ අනුව අපට පැහැදිළි වන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුවී නැති බවයි. අගමැතිවරයාගේ විශේෂ ප‍්‍රකාශය ඇවිලී යන වැඩවර්ජන රැුල්ල පාලනය කරගැනීමේ අරමුණින් සිදු කර ඇති බවක් මේ අනුව පෙනී යයි.

මෙම ලිපියේ ප‍්‍රස්තුතය එක්දින වැඩ වර්ජනය අත් හැර දැමීම අරගලය පාවාදීමක්ද යන්නයි. ඒ පිළිබඳ අවසන් නිගමනයක් දීමට තවමත් කල් මදිය. පියවරක් පසුපසට ගෙන ශක්තිමත්ව සටනට මුහුණ දීමට වෘත්තිය සමිති වලට හැකිය. අයවැය සම්මත වීමෙන් පසුවද ඒ සඳහා අවකාශ ඇත. ඒ අනුව වැඩවර්ජනය අත් හැරීම අරගලය දිය කර හැරීමක්ද යන්න වෘත්තිය සමිති විසින් ඉදිරියේ ගනු ලබන තීන්දු තීරණ හා බැඳී පවතී. එය වෘත්තිය සමිති නායකත්වයේ දේශපාලන ක‍්‍රියාමාර්ග තුළින් ඉදිරියේදී බලාගතහැකි වනු ඇත.

චන්ද්‍රසිරි ලන්දගේ