පරණ ආණ්ඩුව කාලෙ මරාදැමූ 44කට අලූත් ආණ්ඩුව වන්දි දෙනවලූ! ඉතින් ඊට පස්සෙ…?

killed-jo

මහින්ද රාජපක්ෂ ජනාධිපති- වරයාගේ පාලන කාලය තුළ මරා දැමුණු ජනමාධ්‍යවේදීන් 44 දෙනකුට වන්දි ගෙවන්නට හවුල් ආණ්ඩුව සැරසෙන බව ප‍්‍රකාශ වී තිබේ. ඒ අනුව මරාදැමුණු මාධ්‍යවේදීන්ට වන්දි මුදලක් පිරිනමන්නට සැරසෙන්නේ කුමන පදනමකින්දැයි අසන්නට ජනමාධ්‍යවේදියකුට කුතුහලයක් ඇතිවීම සාධාරණය. ආණ්ඩුව නිශ්චිතව මෙසේ ජනමාධ්‍යවේදීන් 44 දෙනකු ගැන නම් කරන්නේ කෙසේදැයි පළමුව විමසිය යුතුව තිබේ. රාජපක්ෂ පාලනය යටතේ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය වෘත්තිකයන්ට හිමිවූ ඉරණම ගැන එවැනි සංඛ්‍යා රැුගත් වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර තිබිණි.

report2013 ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ‘මරණය සමග වසර නවයක්’ යන තේමාවෙන් 2004 මැයි සිට 2013 මැයි දක්වා ජනමාධ්‍ය මර්දනයේ අත්දැකීම් වාර්තාවක් එසේ විධිමත් ලෙස ප‍්‍රකාශයට පත් කළේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය’ (Media Movement for Democracy) විසිනි. ඊට අමතරව විදේශීය සංවිධාන පවා ලංකාවේ ජනමාධ්‍ය මර්දනය ගැන විවිධ විධිමත් කරුණු දැක්වීම් සිදුකර තිබිණි. 2013 වසරේදී ‘දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ’(Reporters Without Borders) සංවිධානයෙන් නිකුත් කළ වාර්තා අනුව, ජනමාධ්‍ය නිදහස අනුව ලංකාවට ලැබී තිබුණේ 163 වැනි ස්ථානයයි.

එක්සත් ජනපදයේ ‘ෆ‍්‍රීඩම් හවුස්’ (Freedom House) ආයතනයේ වාර්තා අනුව 2013 වන විට ලංකාව සිටියේ ජනමාධ්‍ය නිදහසක් නැති රටවල් අතරය. 2012 වසරට අදාළව ඔවුන්ගේ දර්ශකය අනුව ලංකාවට හිමිවූයේ 161 වැනි ස්ථානයයි. එම සංවිධානය විසින් 2013 වසර සඳහා සකස් කළ නිදහස පිළිබඳ දර්ශකයේ ලංකාව ස්ථානගත කර තිබුණේ ‘අර්ධ නිදහසක් සහිත රාජ්‍යයන්’ අතරටය. කුමන දර්ශකය නැතත්, රාජපක්ෂ පාලනය පැවැති පසුගිය දශකයක් පුරා ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් කි‍්‍රියාත්මක වීමේ අත්දැකීම්, සමාජයක් ලෙස අපට අමතක කළ නොහැකිය. ජනමාධ්‍යවේදීන්ට පහරදීම, පැහැරගෙන යාම, අත්අඩංගුවට ගැනීම, අතුරුදන් කිරීම සහ ඝාතනය කිරීම යනාදී වශයෙන් අනාරක්ෂිතභාවය විවිධ මුහුණුවරින් දක්නට තිබේ. ජනමාධ්‍ය ආයතන ද ප‍්‍රහාරයට ලක්වීම, ගිනි තබනු ලැබීම සහ බෝම්බ ප‍්‍රහාරයට ලක් වීම වැනි ඍජු ලෙස මර්දනයට හසුවීම දක්නට ලැබේ.

2005 වසරේ බලයට පත් වූ රාජපක්ෂ ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනය ගෙනගියේ ඉවක් බවක් නැතිවය. රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍යකරුවන්ට පහරදෙමින්, පැහැරගෙන යමින් හා මරා දමමින් මාධ්‍ය බියපත් කරන්නට තැත් කළ අතර බත්බැල ජනමාධ්‍යකරුවන් දිගටම ප‍්‍රශස්ති ගැයූහ. එක් පසෙකින් රාජපක්ෂලාගේ මර්දනය ඉවසමින් සිටි සැබෑ ජනමාධ්‍යකරුවන් තවත් පසෙකින් තමන්ගේම මාධ්‍ය සහචරයන්ගේ හොරිකඩකම්වල තිත්ත රස බැලූ බව අමතක කළ නොහැකිය. රටේ මර්දනය රජ කරන විට ඊට එරෙහිව සිය පෑන මෙහෙයවද්දී ජනමාධ්‍යකරුවන්ට සිදුවූයේ එකී ප‍්‍රහාරයේ හා පාවාදීමේ අමිහිරි බව විඳින්නට පමණක් නොවේ. තමන් වෘත්තිකයන් ලෙස යම් කැපවීමක් කරද්දී

විපක්ෂයෙන් ඊට ලැබුණු සහයෝගය කුමක්දැයි ජනමාධ්‍යකරුවන් එදත් විමසූහ. එදා ජනමාධ්‍යකරුවන් මරාදැමූ පසු පවත්වන විරෝධතාවල මුහුණ පෙන්වන්නට හා විරෝධතාවය සිය දේශපාලන වේදිකාවක් කරගන්නට විපක්ෂයේ ඇතැම් දේශපාලකයෝ පොරකෑහ. වත්මන් හවුල් ආණ්ඩුවේ නායකයෝ ඒ අතර ඉදිරියෙන්ම වූහ. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ගැන සිංහනාද කරන්නට ලිප්ටන් වටරවුමට, කොටුව දුම්රියපළ ඉදිරියට පැමිණියේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය තඹයකට නොගෙන මරාදමන පැහැරගෙන යන වකවානුවකය. එහෙත් ජනමාධ්‍යකරුවන් හිරිහැරයට පත්කරන, පැහැරගෙන යන හා මරා දමන තත්වය වෙනස් කිරීමේ අරගලයකට පණපොවන්නට මොවුන්ට එදා නොහැකි විය. ජනමාධ්‍යකරුවන්ට තනිවම සිය අරගලය ඉදිරියට ගෙනයන්නට සිදු විය. වෙනකක් තබා තනිවීමේ ඉරණම වෙනස් කරන්නට ජනමාධ්‍ය සංවිධාන එක්වන විට ඇතැම් අවස්ථාවල එක්සත් ජාතික පක්ෂය තැත් කළේ ඒ ‘මාධ්‍ය සංවිධාන එකමුතුව’ සිය ප‍්‍රචාරක බළල් අතක් බවට පත්කරගන්නටය. ඒ නිසාම 2014 වසරේ රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරන්නට සූදානම් කළ ‘කළු ජනවාරිය’ විරෝධතාව හයිඞ් පිටියේ සංවිධානය කෙරුණු එජාපයේ රැුළියක අංගයක් බවට පත්කර ‘මාධ්‍ය සංවිධාන එකමුතුව’ අවසන් ගමන් ගියේය.

තමන් දරන මතයක් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කිරීම යනු අනතුර කැඳවා ගැනීමක් වන නිසා විදේශයන්හි ආරක්ෂාව පතා ගිය මාධ්‍යවේදීන්ට වසර ගණනාවකින් පසුව පවා මෙරටට ඒමට සුදුසු පරිසරයක් නිමැවී නැත. ආරක්ෂාව පතා නේපාලයට පලාගිය ශාන්ත විජේසූරිය මෙරටට පැමිණියේ නේපාලයේ ඇති වූ භූ කම්පනයේ පිහිටෙනි. එය ලංකාවේ ජනමාධ්‍යවේදියකු නැවත ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමක් නොවීය. එපමණක් නොව, රාජපක්ෂ පාලනය සමයේ සිය මවගේ සොහොන බලන්නට ලංකාවට පැමිණි ව.අයි.ස. ජයබාලන් කවියා මුහුණ දුන්නේ කෲර පිටුවහල් කිරීමකටය. නමුත් හවුල් පාලනය යටතේ ද තමන්ගේ කෘතියක් සිංහලයට නැගී දොරට වැඩි අවස්ථාවේ සිය උපන්රටට පා තබන්නට ජයබාලන් වැනි කීර්තිමත් කවියකුට අයිතියක් නැති බව පසුගියදා හෙළිදරව් විය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාලන කාලය තුළ ජනමාධ්‍ය වෘත්තිකයන් ඝාතනයට ලක් වූ අවස්ථා 44ක් පිළිබඳ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය’ සිය වාර්තාවේ දත්වා ඇත. එහිදී අනාවරණය කර ඇත්තේ ජනමාධ්‍යවේදීන් හා මුද්‍රණ සේවකයන් මෙන්ම පුවත්පත් බෙදාහරින්නන් 44ක් ඝාතනය වූ බවයි. ආණ්ඩුව දැන් ප‍්‍රමාදවී හෝ ඒ අය වෙනුවෙන් වන්දියක් පිරිනැමීම සාධනීය පියවරකි. ලසන්ත ඝාතනය හා එක්නැලිගොඩ අතුරුදන්කිරීම ගැන විශාල ප‍්‍රචාරයක් ගෙන යමින් සිදුකරන විමර්ශන අවසන් කරන්නේ කෙසේදැයි සහතිකයක් නැත. එවැනි සද්ද බද්ද කරන විමර්ශන රාජපක්ෂ පාලනයෙන්ද සිදු විය.

එහෙත් එයින් ලැබෙන ප‍්‍රචාරක වාසිය ගෙන වගකීමෙන් නිදහස්වීමට වත්මන් පාලකයන්ට නොහැකිය. රාජපක්ෂ පාලනයේදී ජනමාධ්‍යවේදීන් ප‍්‍රහාරයට ලක් වූ අවස්ථා 20ක්, පැහැරගෙන ගිය අවස්ථා 05 ක් පිළිබඳවද සටහන් විය. මීට අමතරව ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍ය ආයතනවලට පහර දීමේ අවස්ථා ගණනාවක් වාර්තා විය. නිශ්චිතව අවස්ථා අටක දී ජනමාධ්‍ය ආයතනවලට එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධ නිසි පරීක්ෂණ සිදු කර වාර්තා ඉදිරිපත් කර නැත. මෙයින් ‘සිරස’ ප‍්‍රවෘත්ති අංශයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ එය සිදු කළේ කවුරුන්ද යන වග නිශ්චිතවම හඳුනා ගනු ලැබිණි. මර්වින් සිල්වා ඇමැතිවරයා ජාතික රුපවාහිනී සංස්ථාවට අනිසි ලෙස කඩාවැදීම තවත් සාක්ෂි සහිත සිදුවීමකි. එහෙත් එම සිදුවීමෙන් පසුව ඇතැම් රුපවාහිනී මාධ්‍යවේදීන්ට පහර දීම හා තියුණු ආයුධවලින් තුවාල කිරීම සහ මරණ තර්ජන කිරීමක් සිදු විය.

ඊට අමතරව විවිධ ජනමාධ්‍ය ආයතන පසුගිය රාජපක්ෂ පාලන කාලයේ නිමක් නැති හිරිහැරයන්ට ලක්වී තිබේ. නීතිය හා යුක්තිය ඉටු කරන්නට නොහැකිවන තාක් වත්මන් ආණ්ඩුවට වුවද එම සිදුවීම් සම්බන්ධ වගකීමෙන් පලා යා නොහැකි බව අවධාරණය කරමු. ජනමාධ්‍ය ආයතනවලට හා මාධ්‍ය වෘත්තිකයන්ට එරෙහිව සිදු කළ අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන පවත්වා ඒ සියලූ අපරාධකාරී ක‍්‍රියාවන් පිළිබඳ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන එන බවට මැතිවරණ වේදිකාවල මොරදුන්නේ වත්මන් හවුල් ආණ්ඩුවේ නායකයන්ය. එහෙත්, ජනමාධ්‍යවේදීන්ට පහර දීමේ සිට ඝාතනය කිරීම දක්වා අපරාධ සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන්නට මේ දක්වා ආණ්ඩුව හෝ අදාළ අංශ කටයුතු කර නැත. එවැනි සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන බව විවිධ අවස්ථාවල දී බලධාරීන් විසින් ප‍්‍රකාශ කළත් ඒ සම්බන්ධව චූදිතයන් අත්අඩංගුවට ගත් බවක්, හෝඩුවාවක් සොයාගත් බවක් හෝ නඩු පැවරූ බවක් මෙතෙක් වාර්තා වී නැත.

මෙම පැවැති මර්දනය වෙනස් කළ යුත්තේ කටින් බතල හිටවන ආකාරයෙන් නොවේ. පොරොන්දු වූ ආකාරයට රටේ මූලික නීතිය ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය (Freedom of Expression) නිසි පරිදි පවත්වාගෙන යාමටත් ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය(Right to Know) ආරක්ෂා කර දීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. මැතිවරණවල දී ජනමාධ්‍ය නිදහස රකින බවට පවසන ජනාධිපති, අගමැති හා ජනමාධ්‍ය ඇමැති ප‍්‍රමුඛ ආණ්ඩුවේ වෙනත් නායකයනුත් මේ දක්වා ඒ වෙනුවෙන් ප‍්‍රායෝගික තලයේ ක‍්‍රියාකාරීත්වයක් දක්වා නැති බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව ඇත.

Sathhanda CID

මෙම පසුබිම තුළ තවදුරටත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සතු විශේෂ අංගයක් ලෙස ජනමාධ්‍ය නිදහස අවදානමක තිබේ. තමන් විසින් මහන්සියෙන් සොයා ගත් තොරතුරු වාර්තා කිරීම නිසා ජනමාධ්‍යවේදීන්ට කරුණු දක්වන්නට පොලිසි ගානේ යන්නට සිදුව තිබේ. පසුගිය 10වැනිදා ‘සත්හඩ’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා එවැනි අත්දැකීමකට මුහුණ දුන්නේය. ජනමාධ්‍ය ආරක්ෂා කිරීමේ පිළිවෙත ක‍්‍රියාකාරීත්වයක් බවට පත් කිරීමට නම් අවම වශයෙන් රාජපක්ෂ පාලනයෙන් හිරිහැරයට පත් ජනමාධ්‍යවේදීන් සම්බන්ධව හා ප‍්‍රහාරයට ලක් වූ ජනමාධ්‍ය ආයතන පිළිබඳව නීතිය හා යුක්තිය ඉටු කළ යුතුව තිබේ. අනෙක් අතට මේ වනවිටත් විවිධ ආකාරයට ජනමාධ්‍යවේදීන්ට සිදු වන හිරිහැර පිළිබඳ සලකාබලන විට ජනමාධ්‍ය නිදහස ගැන ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරන බවක් නොපෙනේ.

චන්දන සිරිමල්වත්ත