නීතිවලින් වෙස් බැන්දට නටන්නෙ එළියේ

1979 වසරේ පනවන ලද මර්දන පනතක් වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මානුෂික මුහුණුවරක් දෙන්නට ආණ්ඩුවේ සූදානමක් ප‍්‍රකාශ වී ඇත. 1979 සිට විවිධ අවස්ථාවල ජනතා නැගිටිම් මර්දනය කිරිමටත් පුද්ගලයන් අසාධාරණ ලෙස දින නියමයකින් තොරව සිරගත කර තැබීමටත් බලය ලබාදුන් මෙම පනත පවත්වාගෙන යාමට නොහැකි ලෙස ආණ්ඩුවට විරෝධයක් දේශීය වශයෙන් එල්ල වී ඇත.

එසේම එක්සත් ජාතිීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ ඇති කරගත් එකඟතා අනුවද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන යාමට නොහැකි හිරවීමක් ආණ්ඩුවට උදා වී ඇත. ඒ නිසාම මර්දන නීති එලෙසම පවත්වාගෙන යමින් එය අහෝසි කළ බව කියන්නට ක‍්‍රමයක් දැන් හවුල් ආණ්ඩුව තෝරාගෙන ඇත. ඒ අනුව, ‘දේශපේ‍්‍රමී පනත’ නමින් නව නීතියක් හඳුන්වා දෙන්නට ආණ්ඩුව සැලැසුම් සකස් කරමින් තිබේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට දේශපේ‍්‍රමී නාමයෙන් මර්දනය ක‍්‍රියාත්මක කරනවා යනු රාජපක්ෂ පාලනයේම දිගුවක් බව අමුතුවෙන් කිවයුතු නැත. රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ට විරුද්ධ විවිධ පුද්ගලයන් පැහැරගෙන යාම ආවරණය කෙරුණේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. එම පනතේ විධිවිධාන ඒ අයුරින්ම ක‍්‍රියාවට නැංවීමට නොහැකි තත්වයක් පවතින බව ආණ්ඩුව කල්පනා කරන බව පෙනේ. ඒ නිසාම නව තත්වයන් ආවරණය කරමින් වඩා පුළුල් දේශපාලන බලපැවැත්මක් සහිත මර්දනකාරී නීතියක් සම්මත කරගන්නට හවුල් ආණ්ඩුවට උවමනාවී තිබෙනවා.

එහෙත් එය අමුවට නොකර යහපත් පෙනුමකින් කරන්න හවුල් ආණ්ඩුවේ සැලසුම් සකස් වෙමින් තිබෙන බව ඇත්තය. එවැනි මානුෂික පෙනුමක් ඇතිකරගන්නට අමෙරිකා එක්සත් ජනපදයේ ‘දේශපේ‍්‍රමි පනත‘ ආදර්ශයට ගන්නට ආණ්ඩුව සැරසේ. එක්සත් ජනපදය එම පනතට USA PATRIOT Act යන නම තබා තිබුණේ, “Uniting and Strengthening America by Providing Appropriate Tools Required to Intercept and Obstruct Terrorism Act of 2001”, යන්න කෙටියෙන් දැක්වීමටයි. 2001 සැප්තැම්බර් 11 එක්සත් ජනපදයට එල්ල වූ අල් ඛයිඩා ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් දේශපේ‍්‍රමී පනත අනුමත කරමින් අත්සන් කළේ එම වසරේම ඔක්තෝබර් 26 වැනිදා. මෙම පනත කොතරම් මර්දනකාරීද යන්න කවුරුත් දනී. බ‍්‍රැඞ්ලි මැනින්, එඞ්වඞ් ස්නෝඩන්, මෙන්ම ජූලියන් අසාන්ජ්, වැනිවුන් හෙළිදරව් කළ තොරතුරු අනුව, ජංගම දුරකථන සංවාද, ඊමේල් පණිවිඩ, අන්තර්ජාල පරිහරණය වැනි තොරතුරු මෙන්ම ස්වයංක‍්‍රීය මුදල් ගනුදෙනු යන්ත‍්‍රවලින් ලබාගත් දත්ත මගින්ද පුද්ගලයන් දඩයම් කිරීම සිදුවුණා. එක්සත් ජනපදයේ පමණක් නොව, එක්සත් ජනපදය සමඟ සබඳතා පවත්වන පුද්ගලයන්ගේ තොරතුරු රහසිගගතව සෙවීමටද එය යොදාගත් බව පසුව හෙළිදරව් වුණා.

ලංකාවේදී ‘දේශපේ‍්‍රමී’ යන අදහස පාවිච්චි කළේ මර්දනකාරී තත්වය යටපත් කිරීමට මෙන්ම බල දේශපාලනය ද වෙනුවෙන්. ඒ නිසා පසුගිය රාජපක්ෂ පාලනයේ මර්දනකාරිත්වය පවත්වාගෙන යාමට අරඅඳින හවුල් ආණ්ඩුවට ඒක ‘දේශපේ‍්‍රමී’ නීතියකින්ම පාට කරගන්න ඕන වෙලා. ඒ වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව කාලෙ සම්මත කරන්න උත්සාහ ගත්ත මර්දන නීති වගේම ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් වැනි නවතම ක‍්‍රම ගෙන එන්නට ආණ්ඩුව සූදානම්.

මේ අතර පසුගිය 11 වැනිදා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ඉදිරිපත් කරන ලද නීති සංශෝධන දෙකක් ගැන සමාජ අවධානය ලක් කළ යුතුයි. එම සංශෝධනවල අරමුණ ලෙස ප‍්‍රකාශ වුණේ වෛරී අදහස් ප‍්‍රකාශ කරනවුන්ට ද`ඩුවම් පැමිණවිය හැකි නීති සම්මත කිරීම බවයි. අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සංශෝධන මගින් මෙම නීති හඳුන්වා දෙන බව කියනු ලැබේ. මේ පනත ගැන මුලින්ම විරෝධතා ඉදිරිපත් කළවුන් අතර සිටින්නේ බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර වගේ අයයි. ඔවුන් විසින් ආගමික වශයෙන් ගැටුම් අවුලූවාලීමේ සිදුවීම්වලදී රාජපක්ෂ ආණ්ඩුව විරුද්ධවාදීන්ට ගෙන ආ මර්දනය බොදුබල සේනාවට යෙදවුණේ නෑ. මර්දන පනතක් ලෙස අප ඉහත කී ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ පවා පාවිච්චි කළේ නිදහස් අදහස් පාවිච්චි කරමින් රාජපක්ෂ ආණ්ඩුවේ ජනතා විරෝධී පිළිවෙත විවේචනය කළ මාධ්‍යවේදීන්, සිවිල් ක‍්‍රියාකාරින් හා දේශපාලන පක්ෂවල සාමාජිකයන් මර්දන කරන්නයි.

ඒ නිසා දැන් හවුල් ආණ්ඩුව විසින් ගෙන එන නීති වෙනස්කම්වල පෙනුමට රැුවටෙනවට වඩා එහි ඇත්ත අරමුණ සොයාබලමින් එහි මර්දනකාරී අරමුණු හෙළිදරව් කළ යුතුයි. එම මර්දනයේ මානුෂික වෙස් මුහුණ ගැලවිය යුතුයි.