වැඩවර්ජන අත්හරින්න තරම් දෙයක් අගමැතිගෙ ප‍්‍රකාශයෙ තිබුණේ නැහැ – කේසර කෝට්ටේගොඩ, ලංකා බැංකු සේවක සංගමය

Kesara Kottegodaවත්මන් ආණ්ඩුව විසින් ගෙන ආ අයවැය යෝජනාවලට විරෝධය පළකරමින් පසුගිය 15 වැනිදා ප‍්‍රකාශයට පත් කර තිබුණු එක්දින වැඩවර්ජනය අවසාන මොහොතේ අත්හැර දමන්නට ඇතැම් වෘත්තිය සමිති තීරණය කළහ. එහෙත් ලංකා බැංකු සේවක සංගමයේ සේවකයෝ එම වර්ජනය ක‍්‍රියාවට නැඟූහ. මේ සංවාදය ලංකා බැංකු සේවක සංගමයේ කේසර කෝට්ටේගොඩ සමඟිනි.

  • අයවැය සම්බන්ධ විරෝධය දක්වන්න ලංකා බැංකු සේවක සංගමය තීරණය කළේ ඇයි?

අඩු කිරීම්, අඩු කිරීම් කියලා මාධ්‍යයෙන් අයවැය යෝජනාවලිය පිළිබඳ හැඟීමක් ඇති කරන කොට අපි බැලූවා මේව කරන්නෙ කොහොමද කියලා. අපි අයවැය ගැන විශ්ලේෂණාත්මක විග‍්‍රහයක් කළා. ඊට පස්සේ අපිට පැහැදිලි වුණා, මේ අයවැය පොඩි මිනිහගෙන් අරගෙන පොඩි මිනිහටම තමයි මේ සහන දීලා තියෙන්නේ. මේ බදු සහන තුළ අල, ලූණු, පරිප්පු, කට්ට කරවල, උම්බලකඩ වගේ දේවල්වලට යම් සහන ටිකක් දීලා තිබුණා. ඊට වඩා විශාල වශයෙන් රාජ්‍ය සේවකයටත් බැංකු සේවකයටත් විශාල කප්පාදුකිරීම් තියෙන අයවැයක් අපි දුටුවා. විධායක සභාව තීරණය කළා මේක වහාම නිවැරැුදි කිරීම සඳහා අපි කටයුතු කළයුතුයි කියලා. ඒ අරගලය ආරම්භ වුණේ අන්න ඒ විදියටයි.

  • මේ වැඩවර්ජනය කරන්න කලින් ආණ්ඩුවට විරෝධය දැක්වීමක් කළාද?

නොවැම්බර් 03 වැනිදා මේ තත්වය හඳුනගෙන ජනාධිපතිවරයටත් අගමැතිවරයාටත් මේ පිළිබඳව ලිඛිතව දැනුම් දුන්නා. මේ තත්වය නිවැරැුදි නොවුණොත් 15 වැනිදා සංකේත වැඩවර්ජනයකට යනවා කියලා බැංකු පාලකයන්ටත් ලිඛිතව දැනුම් දුන්නා. නමුත් ඔවුනුත් රජයට දැනුම්දීලා මේකට සාධනීය සාකච්ඡුාවක් ලබාදීමට සාර්ථක උත්සාහයක් කළේ නැහැ. ඒ නිසා තමයි අපිට වැඩවර්ජනයකට යන්න සිදුවුණේ.

  • අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඔබේ ලියුම්වලට ප‍්‍රතිචාරයක් දැක්වුවාද?

අපි යවපු ලියුම්වලට කවුරුවත් ප‍්‍රතිචාර දක්වලා නැහැ. මේ අරගලය තුළ ඒකාබද්ධ සටන් කි‍්‍රයාමාර්ග තෝරන්න තීන්දු කළා. ඒ එකාබද්ධව තෝරපු අරගලය නිසාම ඒ එකාබද්ධ ව්‍යුහයට ඇතැම් සාකච්ඡුා අගමැති විසින් ලබා දීලා තිබුණා.

  • එහිදි ඔබේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡුා වෙලා තිබුණද?

බැංකු සේවකයන්ගේ සමස්ත ඉල්ලීම් සාකච්ඡුා කරමු කියලා කිව්වත් ඒ වෙනුවෙන්
පසුගිය 12වැනිදා පවත්වපු නිශ්චිත සාකච්ඡුාවලදි පලායාමක් හා මඟහැරිමක් තමයි අගමැතිවරයාගෙන් හා මුදල් ඇමැතිගෙන් දක්නට ලැබුණෙ.

  • ඒ නිසාද වැඩවර්ජනය කරන්න තීරණය වුණේ?

අගමැතිගෙන් නිශ්චිත තීන්දුවක් නොමැතිවීම සහ ඉන්පසුව 13 වැනිදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප‍්‍රකාශයත් නිසා ඇතැම් කණ්ඩායම් අපිත් එක්ක වැඩවර්ජන තීන්දුව අත්හැරියා. අගමැතිවරයගේ ප‍්‍රකාශය තුළ වැඩවර්ජන තීන්දුව අත්හරින්න තරම් නිශ්චිත කරපු දෙයක් තිබුණේ නැහැ.

  • සමස්ත වැඩකරන ජනතාවට අදාළව අයවැය තුළ තිබුණ ගැටලූවලට සහනයක් අගමැතිවරයාගේ විශේෂ ප‍්‍රකාශය තුළ තියෙනවාද?

අපි මේ අරගලයට සම්බන්ධ වෙලා තියෙන්නේ කිසිදු බැංකු සේවකයන්ගේ වැටුප් දීමනාවක්, ආර්ථික දීමනාවක් නිසා නොවෙයි. අපි යොමුවෙලා තියෙන්නෙ බැංකු පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන්. බැංකු පද්ධතියේ අස්ථාවර තීන්දු තීරණ ඉවත් කරලීමේ ඉල්ලීම වෙනුවෙන්. ඒවගේම ගනුදෙනුකරුවා ආරක්ෂා කිරීමේ පදනම මත. ගනුදෙනු කරුවා ආසාධාරණ ලෙස රජයේ බදු මගින් සූරාකෑම වලක්වන්න කියලා. ඒ වගේම පොදු ජනතාවට තියෙන අනෙකුත් පොදු ප‍්‍රශ්න කෙරෙහි මැදිහත් වෙන්න තමයි මේ තීන්දුව ගත්තේ.

  • බැංකු පද්ධතියට එසේ පහරදීමක් පිළිබඳව කිවහැකි නිශ්චිත කාරණා මොනවාද?

බැංකුවල ආදායම් අඩුකරවන යෝජනා අයවැය තුළ තිබුණා. විශේෂයෙන්ම බැංකුවලින් ලීසිං ඉවත් කිරීම, පොලී උකස් කටයුතු සීමා කිරීම, ආනයන අපනයන කටයුතු වෙනත් බැංකුවකට පැවරීම, විදේශ මුදල් හුවමාරුව බැංකුවලින් ඉවත් කිරීම ව්‍යාපාර කටයුතු අඩාල කිරීම.

  • කුමන බැංකුවලටද මේ තත්වය බලපාන්නේ?

රාජ්‍ය සහ පුද්ගලික බැංකු සියල්ලටම බලපානවා. බැංකු පද්ධතිය පවතින්නේ ගනුදෙනුකරු සහ බැංකුව කියන ව්‍යුහයන් දෙකම එකට එකතු කරලා. ඊළඟට ගනුදෙනුකරුවාගෙන් ඉතාමත් අසාධාරණ බදු ක‍්‍රම යෝජනා කරලා තිබුණා. හර බදු, මුදල් ආපසු ලබා ගැනීමේදී ලක්ෂ 10ට වැඩි නම් 2%ක්  අයකරගන්න හරබදු පනවලා තිබුණා. ඒ කියන්නේ ලක්ෂ 10ට 20,000ක් ගන්නවා. ලක්ෂ 11 වැඩි වුණොත් 22,000ක් ගන්නවා. ලක්ෂ 100 වැඩිවුණොත් 3%ක බද්දක් ඒ කියන්නේ ලක්ෂ 100 ලක්ෂ 3ක බද්දක් ගන්නවා. බැංකුවල බදුකරණයක් තිබුණා. ඒ ක‍්‍රමය වෙනස් කරලා ආර්ථික සේවා බද්ද කියලා එකක් හඳුන්වලා දීලා තිබුණා. ඊට පසුව ‘මුල්‍ය සේවා වැට්’ කියන එක 11%ක් තියෙනවා එය 12.5 දක්වා වැඩි කළා. ජාතිය ගොඩනැංවීමේ බද්ද 2%තිබුණේ. දැන් 100%කින් වැඩිකළා. 4% දක්වා වැඩි කළා. ඉතින් බැංකු පද්ධතියේ ව්‍යාපාර අඩුකරලා, බදු වැඩිකරලා වියදම් වැඩිකළාම මොකද වෙන්නෙ? ගණුදෙනුකරුවෝ තැන්පතුකරුවෝ බැංකුවලින් ඉවත් කරලා බැංකු පද්ධතියේ ශක්තිමත් භාවය දුර්වල කරන්න පියවර අයවැය තුළ තිබෙනවා.

  • ඔබ හිතන විධියට ආණ්ඩුව ඇයි බැංකු පද්ධතියට මේ වගේ ප‍්‍රතිසංස්කරණ යෝජනා කළේ?

මේකට ප‍්‍රධාන හේතුවක් තියෙනවා. බැංකු පද්ධතියට විදේශ ආයෝජකයෝ විශේෂයෙන්ම ලංකාවේ මුල්‍ය වෙළඳපොළ විදේශ ආයෝජකයන්ට අවශ්‍ය විදියට ප‍්‍රතිසංස්කරණය කරන්න මේ ගොල්ලන්ගේ යෝජනාවල තියෙනවා. දැන් බැංකු එකාබද්ධ කිරීම කියලා හදන්නේ බැලන්ස් ෂීට් කීපයක් එකතුකරලා විශාල බැලන්ස් ෂීට් එකක් හදන එකයි. ඒක පෙන්වා විදේශ ආයෝජකයෝ ගෙන්වා ගැනීම තමයි අරමුණ. ඉතිරි රාජ්‍ය බැංකුවල ලාභය අවම කළාම පෞද්ගලිකකරණයට ඒ කියන්නෙ කොටස් වෙළෙඳපොළට දැමීමේ හැකියාව ලැබෙනවා. මේගොල්ලො ‘තමසෙක්’ ආකෘතියක් ලංකාවේ කරනවා කියලා කියන්නේ. ලංකාවේ රාජ්‍ය අංශයේ සියලූම ව්‍යවසායන් ඒ හරහා කොටස් වෙළඳපොළ තුළ විකිණීමට පෞද්ගලිකකරණයට ප‍්‍රයත්න දැරීමක්.

  • ඔබ පසුගිය 15වැනිදා කළ එක් දින වර්ජනයට සහයෝගය දුන් අනෙක් සමිති මොනවාද?

වර්ජන කි‍්‍රයාමාර්ගය අහෝසිකරන කොට ඒ අහොසි කිරීමේ රැුස්වීමට සිටිය බොහෝ සමිති එක්වරම වර්ජනය නතර කරනවා කියා තීන්දුවක් ගත්තා. නමුත් ඇතැම් සමිති අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න තීන්දු කළා. ඔවුන් වර්ජනයට සම්බන්ධ නොවුණත් ඉදිරියේදී පුළුවන් උපරිමයෙන් දායක වෙමින් වර්ජන කි‍්‍රයා මාර්ගය ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා කියලා අපි වෙත වාර්තා කළා. ඒ සමිති වශයෙන් ගත්තොත් තැපැල් ක්ෂේත‍්‍රයේ සමිති, දුම්රිය සේවක සමිති, සෞඛ්‍ය සමිතිවල කැමැත්ත දැනටමත් අපට ලබා දීලා තියෙනවා.

  • වර්ජනයෙන් පස්සේ බැංකු ක්ෂේත‍්‍රයේ තත්වය කොහොමද?

අපේ සමාජිකයකන් 30,000ක් රාජ්‍ය බැංකු 8ක් පෞද්ගලික බැංකු 12ක් මේ වර්ජනයට සම්බන්ධ වුණා. වර්ජනය ඉතාමත් සාර්ථකයි. වර්ජනය කි‍්‍රයාත්මක වුණ දිනේ බැංකු පද්ධතිය සහමුලින්ම අඩාල වුණා. මේ සම්බන්ධව බැංකු පාලකයෝ අධිකරණ වාරණයක් අරන් බියවද්දන්න හැදුවා. වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට ගියොත් විනය වරදක් විදියට සලකලා කටයුතු කරනවා කිව්වා. වැටුප් රහිත නිවාඩු ලකුණු කරනවා කියලා තර්ජනය කළා. එක් දිනක වැටුප කපනවා කියලත් තර්ජනය කළා. මේ සියලූම තර්ජනයන් නොසලකා තමයි අපි වර්ජනය සාර්ථක කරන්න බැංකු සේවක සංගමයේ 30,000ක් මේ වර්ජනයට සම්බන්ධ වුණා. අපි විරෝධතා උද්ඝෝෂණයක් කළා. ඒ උද්ඝෝෂණයට තමයි මෑත ඉතිහාසයේ ආපු අති විශාලම සෙනඟක් එකතු වුණේ. මේ විරෝධතාවයට උතුර නැගෙනහිර ඇතුළුව ලංකාවේ සිව්දෙසින් බැංකු සේවකයෝ පැමිණියා.

  • අධිකරණ නියෝග භාර දෙන්න නම් කරලා තියෙන්නේ කාටද?

දැන් මේ වනවිට ලංකා බැංකු සේවක සංගමයට අධිකරණ නියෝගයක් භාරදිලා නැහැ. නමුත් මාධ්‍ය මඟින් දිගින් දිගටම ප‍්‍රචාරය කළා අධිකරණ නියෝගයක් දිලා තියෙනවා කියලා.
වෙනත් බැංකු සේවක සංගම් ඔබට සහයෝගය ලබා දුන්නද?
බැංකු සේවක සංගම් ගත්තම ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය, සමස්ත ලංකා සේවක සංගමය, ජාතික සේවක සංගම් නිළධාරි සංගම් කියන වෘත්තිය සමිති තමයි ප‍්‍රධාන වශයෙන් තියෙන්නේ. මේ සංගම්වල ඇතැම් ව්‍යුහයන් අපිට නිහඬ සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ඇතැම් වෘත්තීය සමිතිත් නිහඬ සහයෝගයක් ලබාදුන්නා. ආණ්ඩුවට පක්ෂ ජාතික සේවක සංගමය මේ අරගලය කඩා කප්පල් කිරීමේ වැඩපිළිවෙළක තමයි දිගින් දිගටම කි‍්‍රයාත්මක වුණේ. කොහොම වුණත් අපේ එක් දින වර්ජනය ඉතාමත් සාර්ථක වුණා.

සංවාද සටහන – චන්දන සිරිමල්වත්ත