කුමාර් ගුණරත්නම් ධනපති මර්දනය වෙත පාවාදීමේ කතාව

RELEASE

කුමාර් ගුණරත්නම් අධිකරණය හමුවට ගෙන එන්නට නියමිත වූ ජනවාරි 8වැනිදා ගැන විවිධ ප‍්‍රචාර අසන්නට ලැබිණි. සිදුවන්නට නියමිත කුමක්දැයි පුරෝකතනය කරන්නේ නම් ඒ ඔහු තවදුරටත් සිරගතව තැබීමය. එසේත් නැතිනම් පිටුවහල් කිරීමය. නමුත් දේශපාලන වශයෙන් ඔහු හා සතුරු කණ්ඩායම් විවිධ කටකතා මතිමතාන්තර විසුරුවා හරින බවක් පෙනේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආණ්ඩුව සමග ඇතිකරගෙන තිබෙන එකගතාවක් මත  එදින ඔහු නිදහස් කරන බව සමහර ප‍්‍රචාරවලින් කියැවුණි.  එසේම ඔහු නිදහස්කර ගැනීමේ අරමුණින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල අලවනු ලැබූ විරෝධතා පෝස්ටර් ඉරා දැමීම හෝ වසා දැමීම දක්නට ලැබුණි. බණ්ඩාරවෙලදී එම පෝස්ටර් වසා දමනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රමුඛ සාමාජිකයන් විසිනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රට පුරා අලවන ලද ‘කුමාර් ගුණරත්නම් සිරගත කර මාස දෙකයි’ යනුවෙන් වූ පෝස්ටරය ඉරා දැමීම හෝ වසා දැමීම ඔවුන් විසින් දිගටම සිදුකර තිබිණි. එහෙත් වර්තමානයේ මෙන්ම අතීතයේද කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන පැවැත්ම වසා දමන්නට ගත් උත්සාහයන් බොහොමයක් ව්‍යර්ථ විය.

රුවන්වැල්ලේ සිය මවගේ නිවසේදී අත්අඩංගුවට පත්වන විටම කුමාර් කීවේ තමන් පේ‍්‍රමකුමාර් ගුණරත්නම් බවයි. එහෙත් පේ‍්‍රමකුමාර් ගුණරත්නම් කෙනෙකු අත්අඩංගුවට ගන්නට හේතුවක් පොලිසියට තිබුණේ නැත. මන්ද ගුණරත්නම් කෙනෙකු ආගමන විගමන නීතිය උල්ලංඝනය කළ බවට ගැටලූවක් නොතිබීමය. ඒ නිසා තමන් පේ‍්‍රමකුමාර් ගුණරත්නම් යැයි අත්අඩංගුවට පත් වූ තැනැත්තා කියූ විට අන්දමන්ද වූ කෑගල්ල පොලිසියේ නිලධාරින්ට  ඉහළ නිලධාරින්ගේ උපදෙස් පතන්නට සිදුවිය.

කොළඹ සිට කෑගල්ල පොලිසියට ෆැක්ස් මගින් එක්තරා ලියැවිල්ලක් එවන ලදී. එහි වූයේ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ නමැත්තා විසින් සිය  ඕස්ටේ‍්‍රලියානු පුරවැසිභාවය නොසලකා පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සමකි. ඒ අනුව, මේ කියන පේ‍්‍රමකුමාර් ගුණරත්නම් හා නොයෙල් මුදලිගේ යන නම් දෙකම යොදාගනිමින් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව අධිකරණයට ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කරන්නට කෑගල්ල පොලිස් නිලධාරීහු සමත් වූහ. එහි සටහන් වූයේ ‘විදේශ ගමන් බලපත‍්‍රයක් භාවිත කරන නොයෙල්මුදලිගේ නොහොත් කුමාර් ගුණරත්නම්’ වීසා නොමැතිව දිවයිනේ රැුඳී සිටීම පිළිබඳ විමර්ශනය සඳහා සැකකරු අත්අඩංගුවේ රඳවාගන්නට අවසර ඉල්ලීමකි.

මේ දිනවල කෑගල්ල බන්ධනාගාරයේ රිමාන්ඞ් භාරයේ පසුවන ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව වන්නේ වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමය. ලංකාවේ ඉපිද හැදී වැඩුණු මිනිසකුට ඇති චෝදනාව එයයි. ආගමන විගමන පනතේ ප‍්‍රකාරව එම චෝදනාව නගා ඇති නිසා නිසා ඔහුට ඇප දෙන්නට මහේස්ත‍්‍රාත්වරයකුට හැකියාවක් නැත.

කුමාර් ගුණරත්නම්ට, නොයෙල් මුදලිගේ නමක් පටබැඳුණේ ඇයි? ඔහු යම් ව්‍යාජ අරමුණක් වෙනුවෙන් සිය නම වෙනස් කළාද? මෙවැනි ප‍්‍රශ්න ගණනාවක් සමාජය හමුවට ආවේ ඔහු අත්අඩංගුවට ගත් දිනයේ නොව්. ඊට වසර හතරකට පෙරාතුව ඒ වෙනත් නම් භාවිත කළ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් ගැන සමාජය තුළ කතාබහක් ඇති විය. කුමාර් ගැන පෞද්ගලික තොරතුරු හෙළිදරව් වූයේ මෙරට ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය ඔස්සේය. ජනමාධ්‍ය වෙත කුමාර් පිළිබඳ පෞද්ගලික තොරතුරු ලැබෙන්නට ක‍්‍රම දෙකක් විය. එකක් ඔහු නියෝජනය කළ දේශපාලන පක්ෂය එනම් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන් ඒවා ජනමාධ්‍ය වෙත ලබාදිය යුතු විය. නැතිනම් කුමාර් විසින් ඒවා ජනමාධ්‍ය වෙත දිය යුතු විය. එම තොරතුරු ජනමාධ්‍ය වෙත මුදාහැරුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අර්බුදයට සමගාමීවය. ඒ නිසා කුමාර් විසින් වෙනත් නම් භාවිතා කිරීම සහ කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනය පිළිබඳ කරුණු නොදැන ඔහු පිළිබඳ විනිශ්චයක් දීම අපහසුය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ යෙදීම නිසා කුමාර් අත්අඩංගුවට පත් වූ අවස්ථා කිහිපයකි. පළමුවැනි අවස්ථාව ලෙස වාර්තාවන්නේ විශ්වවිද්‍යල ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයකු ලෙස 1986දී කෑගල්ල නගරයේදී කුමාර් පැහැරගැනීමට ලක්වීමය. එයද අද මෙන් එක්සත් ජාතික පක්ෂය බලය හැසිරවූ පාලන සමයකි. ඒ වනවිට 83 කළුජූලිය යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර වසර තුනක් ඉක්ම ගොස්ය. එම තහනම ඉවත්කරන ලෙස අධිකරණය හමුවේ කළ ඉල්ලීම් දේශපාලන බලයෙන් යටපත් කෙරිණි. 1988දී බන්ධනාගාරයෙන් මිදෙන්නට සමත් වූ කුමාර් මර්දනකාරී එක්සත් ජාතික පක්ෂය පෙරලා දැමීමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ වඩාත් සක‍්‍රිය විය. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහු 1989දී යළිත් වරක් අත්අඩංගුවට පත්වීමය. වඩාත් දැඩි භීෂණකාරිත්වයක් යටතේ වධකාගාරයක රඳවනු ලැබූ ඔහුගේ ජීවිතය අවදානමක තිබිණි.

එහෙත් අහම්බයකින් ලැබුණු අවස්ථාවක් ප‍්‍රයෝජනයට ගෙන ඔහුට නැවත වරක් ගහලයන් වෙතින් පළා යන්නට හැකි විය. එසේ පළා ගිය ඔහු සිය දේශපාලනයෙන් පළාගියේ නැත. ඔහු කළේ තමන් විශ්වාස කළ දේශපාලන ක‍්‍රියකාරිත්වයේ යෙදීමය. 1989 මර්දනයෙන් පසුව අවසන් කළා යැයි එක්සත් ජාතික පක්ෂ නායකයන් වහසි බස් දෙඩූ නමුත් 1992 වනවිට ජවිපෙ නැවත ගොඩ නගන්නට ජිවිත බේරාගත් සුළු පිරිසක් කටයුතු කළහ. කුමාර් ඒ සුළු පිරිස අතර වඩාත් ක‍්‍රියාකාරී අයකු විය. 1994 ‘ජාතිය ගලවාගැනීමේ පෙරමුණ’ යටතේ පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීම දක්වා සක‍්‍රියවූ මේ පිරිස අතර යම් යම් මතභේද නිසා ජවිපෙ නායකත්වය සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා, නන්දන ගුණතිලක සහ තවත් කිහිපදෙනෙක් කේන්ද්‍ර කරගත් දේශපාලන මණ්ඩලයක් අතට පත් වූයේ 1995දී තංගල්ලේ පැවැති සමුළුවෙන් පසුවය. ඔහු පිළිබඳ පළමුවැනි පාවාදීම සිදුකර තිබුණේ එසේ පත්ව කාලයක් එකට වැඩ කළ නමුත් 2006 ජවිපෙන් ඉවත්ව ගිය දේශපාලන මණ්ඩල සභිකයකු විසිනි.

w2006දී නන්දන ගුණතිලක ජවිපෙන් ඉවත්වීමත් සමඟ කිසිදු හේතුවක් නැතිව සතිඅන්ත පුවත්පත්වල කුමාර් ගුණරත්නම් පිළිබඳ පෞද්ගලික තොරතුරු සහිත අවලාද ප‍්‍රචාරය වන්නට විය. නන්දන ගුණතිලක භීෂණ සමයෙන් පසු ජවිපෙ නැවත ගොඩනැගීමට ඔහු හා එක් වූ සීමිත පිරිස අතර සිටියෙකි. ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් වී ජවිපෙ පිළිබඳ කළ වැමෑරීම් අතර කුමාර්ගේ තොරතුරුද තිබිණි. ඒ වනවිට සති අන්ත පුවත්පත්වල ලිපි ලියමින් නන්දන ජවිපෙ දේශපාලනයේ හෙළි නොවූ කරුණු දක්වමින් ප‍්‍රහාර මාලාවක් දියත් කළේය. ඉන්පසුව විමල් වීරවංශ ඇතුළු තවත් පිරිසක් ජවිපෙන් ඉවත්ව මහින්දගේ ආණ්ඩුවට එක්ව ඇමැතිකමක්ද ලබාගත්තේය. වීරවංශ විසින්ද පුවත්පත් ලිපි යොදාගෙන ජවිපෙ තොරතුරු ප‍්‍රසිද්ධ කළේය. තම දේශපාලන මතය වෙනුවෙන් සටන්කාමී ලෙස පෙනී සිටි ඔහු පළිගැනීමට ලක් වෙමින් තිබිණ.

කුමාර් ඉලක්ක කරගත් මර්දනයක් එල්ල විය හැකි බව නිගමනය කළ ජවිපෙ දේශපාලන මණ්ඩලය ඔහු වහාම රටින් පිටවිය යුතු බවට යෝජනා කළේ ඒ අවස්ථාවේදීය. එහෙත් කුමාර් විදේශගත වීමට ගුවන්තොටුපළ වෙත යාමේදී පවා අවදානමක් ඇති බව නිරීක්ෂණය කළ ජවිපෙ ඔහු වෙනත් නමක් භාවිත කරමින් ගමන් බලපත‍්‍රයක් ලබාගතයුතු බවට නිර්දේශ කරන ලදී. කුමාර් 2007දී  ඕස්ටේ‍්‍රලියාවට ගොසින් නොයෙල් මුදලිගේ ලෙසින් එරට පුරවැසිභාවය ලබාගත්තේ ඒ අනුවය. කුමාර් එවකට භාවිත කළ විදේශ ගමන් බලපත‍්‍රයේ තොරතුරු පවා හෙළිදරව් කර තිබුණු නිසා විදේශ ගතවීමට නොයෙල් මුදලිගේ නමින් සකස් කළ ගමන් බලපත‍්‍රයක් තිබිණි. ඒ බව දැනගෙන සිටියේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සගයන් පමණකි.

2011 සැප්තැම්බර් 4වැනිදා මෙරටට පැමිණි කුමාර් මුලින්ම කතා කළේ විශ්වාසවන්ත සගයකුටය. ඔහුගේ අනුදැනුම පිට මීළඟ මධ්‍යමකාරක සභාවාරයකට වාඩි වන්නට ඔහුට හැකි විය. ඔහු මෙරටට පැමිණීම එහි නායක මණ්ඩලයේ ඇතැමුන්ට මහත් හිසරදයක් විය. සිය දේශපාලන මතය වෙනුුවෙන් ප‍්‍රබල ලෙස පෙනී සිටින කුමාර් බොහෝ දෙනාගේ සිහින ලෝකවලට නපුරු සිහිනයක් විය.

කුමාර්ට ඊළඟ සතියේ සිදු වූයේ විශාල අවදානමකට මුහුණ දීමටය. ඔහු නොයෙල් මුදලිගේ නමින් ලංකාවට පැමිණ සිටින බව හෙළිදරව් කරමින්, එම ගමන් බලපත‍්‍රයේ තොරතුරු හා ඡුායාරුපය සහිත ලිපියක් සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක පළ විය.  නිසැකවම ඒ පාවාදීම කළේ එකට දේශපාලන අරගලයේ යෙදුන සගයකු විසින් බව වටහා ගත් කුමාර් මීළඟ මධ්‍යම කමිටුවාරයට සහභාගි නොවීමට තීන්දු කළේ ආරක්ෂාව පිළිබඳ අවදානම නිසාය. එම මධ්‍යම කමිටුවාරය ජවිපෙ ඉදිරිපෙළ සාමාජිකයන් ඇතුළු විශාල කණ්ඩායමක් බෙදී වෙන්වීමේ තීරණාත්මක අවස්ථාව විය. ඒ වනවිට කුමාර් දඩයම් කිරිමට තරම් ප‍්‍රමාණවත් තොරතුරු ආරක්ෂක අංශ වෙත තිබිණි. ජවිපෙ ඛණ්ඩනයේදී තොරතුරු ප‍්‍රමාණයක් හෙළිදරව් වී තිබිණි.

ඒ නිසා ආණ්ඩුව විසින් දඩයම් කරන්නට පෙර සිටම ඔහු දඩයම් කරවාලීමේ උවමනාවක් කුමාර්ගේ පැරණි දේශපාලන සගයන්ට තිබිණි. අද වනවිටත් කෑගල්ල බන්ධනාගාරයේ සිරගතකර සිටින කුමාර් ගැන ආණ්ඩුව විසින් කිසිදු තීරණයක් ගෙන නැතිව නොවේ. තීරණය පැහැදිළිය. එනම්, තම පාලනයට ඇඟිල්ල දිගු කරමින් නිදහසේ දේශපාලන කටයුතු කරන්නට ඔහුට ඉඩ දෙනවාට වඩා පිටුවහල් කර කතාව අවසන් කිරීම ආණ්ඩුවේ අරමුණ බවය.

විශේෂ ලියුම්කරුවකු විසිනි