දේශපාලනයේ අන්ධ බින්දුව

ranil and maithree

ආණ්ඩුවට වසරක් ගෙවී තිබේ. ඒ නිමිත්තෙන් ආණ්ඩුව විවිධාකාරයේ පදවිප‍්‍රාප්ති සැමරුම් උත්සව සංවිධානය කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ සහ පේ‍්‍රමදාසගේ දේශපාලන සම්ප‍්‍රදායම අනුයමිනි. මෛත‍්‍රී පදවි ප‍්‍රාප්ති සැමරුම් හරහා යළිත් වරක් දෙවැනි මහින්ද කෙනෙකු බිහිවීමේ ලක්ෂණ පෙන්වා දෙමින් සිටී. ඒ එක් කතාවකි. තවත් කතාවක් ඇත. ජනවාරි 8 වැනිදා රටේ පොදු ජනතාවටද සමරන්නට දෙයක් තිබේ. මෛත‍්‍රීලා, රනිල්ලා සමරන්නේ ජයග‍්‍රහණයකි. පොදු ජනතාවට සමරන්නට ඇත්තේ ජයග‍්‍රහණයක් නොව පරාජයකි. ඊටත් වඩා සමරන්නට ඇත්තේ ඉතාම බලගතු දේශපාලන පාඩමකි. අප ඒ පාඩම පිළිබඳව පසුගිය

සතියේද ලිව්වෙමු. ඒ නිසා පුනරුච්ඡුාරණය කිරීම අවශ්‍ය නැත. නමුත් ලිවිය යුතු තවත් පැත්තක් ඇත. ඒ මේ ආණ්ඩුවත් එහි කසකරුවන්, පාවාඩ එලන්නන්, බෙර ගසන්නන් සහ පන්දම් අල්ලන්නන් දෙවැනි අවුරුද්ද තුළ කරන්නට සැරසෙන්නේ කුමක්ද යන්නය. ඒ සඳහා ආණ්ඩුව තුළ සහ එයට පරිබාහිරව ප‍්‍රතිවිරෝධතා හැසිරෙන ආකාරය සාකච්ඡුා කළ යුතුය.

  • ඇතුළ සහ පිටත

මේ ආණ්ඩුවට ආර්ථික මූලෝපායක් තිබේ. එය නවලිබරල් ධනවාදයම බව පැහැදිලි කරන්නට අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැත. මෙවර අයවැයත් ආණ්ඩුවේ මාධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළත් කියවීම සෑහේ. එබැවින් ඒ ගැන කතා කිරීමටද මේ පිටුවේ ඉඩ නාස්ති කළ යුතු නැත. ඒ ආර්ථික මූලෝපායට ගැලපෙන දේශපාලන රූපයක් තිබේ. කතා කළ යුත්තේ ඒ ගැනය. ඒ දේශපාලන රූපය මේ ආණ්ඩුවේ නායකයන් ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට පෙර පැවසූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රූපය නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයද යහපාලනයද ලිබරල් ඉදිරිගාමීත්වයද

ලෞකිකත්වවාදයද ලංකාව වැනි පසුගාමී රටක් තුළ නවලිබරල් ධනවාදී  ප‍්‍රතිසංස්කරණ සිදු කරන ගමන් යථාර්ථයක් කළ නොහැකි බව ඔප්පු කිරීම මේ ආණ්ඩුවේ පළමු වසර තුළ කළ වැදගත්ම කාර්යයි. එනිසා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී-යහපාලන ආණ්ඩුව’ පිළිබඳ සංකල්පය විහිළුවක් බවට පත්වී තිබේ. පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා පොරොන්දුවූ හරය තුළ අන්තර්ගතව තිබූ කිසිවක් මේ වන විට ආණ්ඩුව තුළ නැත. දැන් ඇත්තේ අලියා ගිල්ල දිවුල් ගෙඩිය වැනි පිටින් පෙනුම ඇතත් ඇතුළේ කිසිවක් නැති හිස් කෝම්බයකි. ජනවාරි 8 වැනිදා මැතිවරණය තුළ ජනතාව අපේක්ෂා කළ වටිනාකම් සියල්ල පාවාදී ආණ්ඩුව දෙවැනි මහින්දට අඳිමින් සිටී.

ප‍්‍රතිවිරෝධතා සඳහා අවකාශයක් නිර්මාණය වන්නේ මේ තත්වය තුළය. ඊට අමතරව මේ ආණ්ඩුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් තවත් ඉතුරු බිතුරු ගණනාවකත් හවුලකි. ඒ නිසාම ආණ්ඬුව තුළ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන වෙනස්කම්ද ප‍්‍රතිවිරෝධතා ලෙස ප‍්‍රකාශයට පත්වේ. විපක්ෂය ලෙස පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණද ආණ්ඩුවේම හවුල්කරුවන් නිසා මේ ප‍්‍රතිවිරෝධතා ප‍්‍රකාශයට පත්වන්නේ අතිශය සංකීර්ණ ආකාරයකටය. එක පැත්තකින් ආණ්ඩුව තුළම ප‍්‍රතිවිරෝධතා ගණනාවක් ඇත. එම ප‍්‍රතිවිරෝධතාවල දිගුවක් ආණ්ඩුවෙන් පිටතද නිරූපණය වේ. මීට අමතරව වර්ධනය වන ආණ්ඩු විරෝධය ගසාකෑම සඳහා තවත් දක්ෂිණාංශික ප‍්‍රවනතාවයක් ජාතිවාදය පදනම් කරගත් දේශපාලනයක් වෙනුවෙන් පිටපොට ගසමින් සිටී. මේවා එකිනෙක හා ප‍්‍රතිවිරෝධී බව බැලූබැල්මට පෙනී ගියද මේවා හරයෙන් ප‍්‍රතිවිරෝධී නැත. මේ සියලූ පෙරමුණු එකිනෙක හා අන්තර් සම්බන්ධිතය. ඒවා එකිනෙක මත පෝෂණය වේ. මේ කිසිදු පෙරමුණකට ධනවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් නැත. සියලූ දෙනාම භූ දේශපාලන වේදිකාවේ අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිවිරෝධතා සමග’ සම්බන්ධය. එනයින් මේ සියලූ පෙරමුණු ප‍්‍රතිගාමීය. ඒවා ජනතා විරෝධීය.

ප‍්‍රශ්නය සහ අභියෝගය ඇත්තේ එතැනය. මේ ප‍්‍රතිගාමී පෙරමුණුවලට ජනතා අභිලාෂයන් සඳහා වන පෙලඹුමත් එය පාවා දෙන ආණ්ඩුවට එරෙහි විරෝධයත් ගසාකෑමට ඉඩනොදී වාමාංශික දේශපාලනය ඉදිරියට ගන්නේ කෙසේද? විමුක්තිකාමී දේශපාලනයක් සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය වනුයේ පසුගිය ජනවාරි 8 වැනිදා වන විට සක‍්‍රියව තිබූ පුපුරන සුළු, ගිනිගන්නා සුළු සමාජමය මූලද්‍රව්‍ය වර්ධනය කරමින් ඒවා කළමනාකරණය කිරීමය. එහෙත් ඒ වෙනුවට පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ න්‍යායපත‍්‍රයක් ඉදිරියට ගෙනවිත් ඒ සියල්ල නිවා දමා ජනතාව මැතිවරණ උගුලක සිර කිරීමේ ව්‍යාපෘතියක් දියත් වෙමින් තිබේ. අභියෝගය වන්නේ එය හෙළිදරව් කිරීම සහ පරාජය කිරීමය.

  • මැතිවරණ කැලැන්ඩරය

අලූත් අවුරුද්දක ආරම්භය නිසා සාමාන්‍ය ජනතාව නිවෙස්වල එල්ලා ගැනීම සඳහා දින දර්ශන ගැන උනන්දු වන මේ සමයේ ආණ්ඩුවේ දේශපාලනය නියෝජනය කරන සියලූ පාර්ශ්වයන්ද දින දර්ශනයක් පිළිබඳව උනන්දු වේ. ඒ මැතිවරණ දින දර්ශනයයි. පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දුන් පොරොන්දු මෙන්ම ඒ පොරොන්දු කඩකිරීමද ඒ අපේක්ෂාවන් යථාර්ථයක් කර ගැනීම සඳහා වර්ධනය කළ යුතු දේශපාලන මාර්ගයද

අමතක කළ හැකි හොඳම උපක‍්‍රමය මුළුමහත් සමාජයම මැතිවරණ මනෝභාවයක ගිල්වා ඒ උගුලේම තව තවත් සිර කිරීමයි. ආණ්ඩුව පියවර තබමින් සිටින්නේ ඒ දෙසටය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිළිබඳ ප‍්‍රචාරක මෙහෙයුමක් දියත් කර ඇත්තේද එය සමාජයේ ප‍්‍රමුඛ සාකච්ඡුාව බවට පත් කිරීමට දැවැන්ත ශ‍්‍රමයක් සහ ධනයක් වැය කරන්නේද ඒ නිසාය. එහි මීළඟ පියවර වන්නේ පසුගිය වසර තුළ අපේක්ෂා භංගත්වයට පත් බලවේග, විශේෂයෙන් අයවැයෙහි තිබූ ප‍්‍රතිගාමී යෝජනා නිසා අමනාප වූ ජනතාව වෙනත් සිහිනයක ගිල්වා, පසුගිය ජනාධිපතිවරණ සමයේ තිබූ දේශපාලනය යළි සක‍්‍රීය කරවා, ඒ හරහා පළාත් පාලන මැතිවරණයේ අවදානම අවම කර ගැනීමය.

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියට සම්බන්ධ කොටස් උත්සාහ කරන්නේ ආණ්ඩුවට එරෙහි සියලූ අතෘප්තීන් සහ විරෝධයන් තමන්ගේ මිම්මට කපාගෙන පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පිම්මක් ගැනීමටය. මේ ආණ්ඩුවට එරෙහි බරපතළ ජනතා විරෝධයන් සියල්ලම පාහේ මතුවී ඇත්තේ ආණ්ඩුවේ නවලිබරල් ප‍්‍රතිපත්තියට සහ එහි අනු කොටසක් වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලන භාවිතාවට එරෙහිවය. මේ ඊනියා ඒකාබද්ධ විපක්ෂයට ඒ ගැන කතා කළ නොහැකිය. ඒ ඔවුන්ද එම ප‍්‍රතිපත්තියම පිළිගෙන එම ,මාර්ගයේම යන නිසාය. ඒ නිසා මේ අය සියලූ විරෝධයන් ස්ථානගත කරන්නේ ජාතිවාදී දේශපාලන පදනමක් මතය. නිදසුනක් ලෙස ව්‍යවස්ථාව ගැන මේ අයට තිබෙන ප‍්‍රශ්නය ඒකීය වචනය සහ බුද්ධාගමට ප‍්‍රමුඛතාවය ලබා දීම පිළිබඳ වගන්තිය ඉවත්වේද යන ප‍්‍රශ්නයයි. අයවැය තුළ තිබූ වැඩකරන ජනතාවට සතුරු යෝජනා ගැන අඩුවෙන්ම කතා කළ මේ අය වැඩිපුර කතා කළේ ‘ජාතික ආර්ථිකය’ දුර්වල වීම සහ ‘දේශීය ධනපතියාගේ දුක්ගැනවිලි’ ගැනය. මේ අතර ආණ්ඩුවද ඒ දේශපාලනයට ප‍්‍රතිපක්ෂ දේශපාලනයක් හරහා නොව ඒ දේශපාලනයම වැළඳගෙන ඒ බලවේග තමන්ට දිනා ගැනීම හරහා එය පරාජය කිරීමේ උත්සාහයක සිටී. මෙහි අනිවාර්ය ප‍්‍රතිපලය වන්නේ ජාතිවාදයත් ආගම්වාදයත් ඇවිලවීම සඳහා එකිනෙකා පරයන තරගයක් ඇතිවීමයි. එහි ප‍්‍රතිපලය ජාතිවාදය වඩවඩාත් පෝෂණය වීමයි. එන්රික් ඉග්ලෙසියාස්ගේ ප‍්‍රසංගයේ තරුණියන් විනෝද වූ ආකාරය ගැන මෛත‍්‍රී ඉදිරිපත් කළ අදහස මේ මනෝභාවය පිනවීම පිළිබඳ එක සංඥාවකි. අනෙක මෛත‍්‍රී ඉන්දියාවේ හින්දු පුවත්පතට පසුගිය සතියේ ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවයි. එහිදී ඔහු පවසා ඇත්තේ ලංකාවේ දේශපාලන සිරකරුවන් නැති අතර ඇත්තේ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම්වල නිරත වූවන් පමණක් බවය. එනිසා කිසිවකුට පොදු සමාවක් ලබා නොදෙන බවය. ඔවුන් ජාතිවාදී සහ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම්වල නිරත වූවානම් එසේ වූවේ මෙතෙක් පැවැති ආණ්ඩුවලින් ඔවුන්ගේ අභිලාෂයන් ඉටු නොවූ නිසාය. ඔවුන් ජාතික පීඩනයට ගොදුරු වූ නිසාය. ඔවුන් දැක්වූ ප‍්‍රතිචාරය නිවැරදි නොවේ යැයි සිතන අයකු පවා කළ යුත්තේ එය බැ?රුම්ව ගෙන ඒ ප‍්‍රශ්නය තුළ දේශපාලනය කිරීමය. නමුත් දැන් ප‍්‍රශ්නය ගැන බැලෙන්නේම මැතිවරණයේ ඡුන්ද ගොඩවල් දිනා ගැනීමේ දෘෂ්ටි කෝණයෙනි. එය සමාජයට අහිතකරය. එහෙත් ඔවුන්ට වැදගත් මැතිවරණයේ ප‍්‍රතිපලයයි. එනිසා සිතන්නේ නිවැරදි දේ ගැන නොව වැඩි පිරිසක් සිටින මතය ගැනය.

  • අන්ධ බින්දු දේශපාලනය

ආණ්ඩුවේ දේශපාලනය විපක්ෂයේ සිට කරන ජනතා විමුක්ති පෙරමුණ ජනවාරි 8 වැනිදා විරෝධතාවයක් සහ රැුස්වීමක් කැඳවා තිබේ. මේ ලියුම්කරුට හමුවූ එම පක්ෂයේ ක‍්‍රියාකාරිකයකු පැවසූවේ මේ ආණ්ඩුවට සහය දුන් බලවේග ආණ්ඩුව ගැන අතෘප්තියට පත්වී සිටින අතර ඒ අතෘප්තියේ නියෝජිතයන් බවට පත්වුවහොත් මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ ඡුන්ද ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි බවය. ඒ වෙනුවෙන් ඒ අතෘප්තිය සහ විරෝධය ගසාකෑම සඳහා ඔවුන් ක‍්‍රියාමාර්ග තෝරමින් සිටී. එයද අවසානයේ කරන්නේ සමාජමය අභිලාෂයන් සහ ඒ මත පදනම් වූ දේශපාලනය යටපත් කර මැතිවරණ උගුලක් කරා සමාජය දැක්කීමයි. එය වැරදි වන්නේ මන්ද? එක පැත්තකින් විමුක්තිකාමී දේශපාලනයක් කරන අය නම් කළ යුත්තේ ජනතාවගේ දේශපාලන අපේක්ෂාවන් පිළිබඳව පෙනී සිටීම සහ මැදිහත් වීමයි. එමෙන්ම එම බලවේග ඉදිරිපත් කරන අභිලාෂයන්ගේ හරය මුළුමනින්ම නිවැරදි නොවන අතර  ඒවායේ අභ්‍යන්තර හරය එලෙසම භාර ගත නොහැක. ඒවා පොදු සමාජ අභිලාෂයන් සමඟද පන්ති දේශපාලනය සමඟද පොදු පදනමකට ගෙන ඒමයි. ඒ සඳහා එම බලවේග සමඟ අරගලයක් තිබේ. හුදු මැතිවරණ වාසි-අවාසි පමණක් සලකමින් කරන දේශපාලනයකදී සමාජ බලවේගවල සැබෑ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම සිදු නොවන අතර එම බලවේග සමඟ කරන අඛණ්ඩ සංවාදයක් සහ අරගලයක් හරහා ඒවායේ දේශපාලන මට්ටම වර්ධනය කිරීමක්ද සිදුවන්නේ නැත. එය අතිශය ප‍්‍රතිගාමීය. පන්ති බලවේග තුළ මේ ආණ්ඩුව යටතේ වසරක අත්දැකීම් ඔස්සේ වැඩෙන දේශපාලනයේ රිද්මය කඩා ඒ පන්ති න්‍යායපත‍්‍රය වෙනුවට මැතිවරණ කැලැන්ඩරයට එය එල්ලීම අතිශය ප‍්‍රතිගාමීය. ජනතා විමුක්ති පෙරමුණ ඊනියා විරෝධතා හරහා කරන්නේ ඒ ප‍්‍රතිගාමී දේශපාලනයයි.

සමාජයේ පැත්තෙන් ගත් කළ මැතිවරණ දින දර්ශනය ඇසේ අන්ධ බින්දුව වැනිය. අපේ ඇසේ දෘෂ්ටි විතානයේ බහුතර ෙසෙල ආලෝකයට සංවේදී වන අතර එසේ සංවේදී නොවන ස්නායු ෙසෙල සහිත කුඩා කලාපයක් ඇසේ ඇත. අපට සාමාන්‍ය අත්දැකීමට නොවැටහුනාට  ඕනෑම වස්තුවක ඒ කොටස අපට පෙනෙන්නේ නැත. පන්ති බලවේග සටන් කරන මොහොතක ඒ සටන හා සම්බන්ධව නොව, මෙලෙස බලවේග අන්දන ආකාරයෙන් ඔබ්බන මැතිවරණ සැලසුම් යනු පන්ති දේශපාලනයේ අන්ධ බින්දුවයි. ඒ මොහොතේදී පන්තියට අනෙක් ක්ෂේත‍්‍රවලදී පෙනෙන දේශපාලනය නොපෙනී යයි. මෙවර පළාත් පාලන මැතිවරණය වැනි වේදිකාවක මේ වන විට නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව අරගල කරමින් සිටින බලවේගවලට භූමිකාවක් නැත. සිදුවිය හැක්කේ ඔවුන් දේශපාලන වේදිකාවෙන් ඉවත් වී මාධ්‍ය හරහා වාත්තු කරන මැතිවරණ සංදර්ශන දේශපාලනයකට සමාජය ගොදුරු වීමයි. අප අන්ධ බින්දුවේ ස්ථානගත වී සිටින මොහොත තුළ පාලක පන්තිය සිය සැලැස්ම තවත් දුර ගෙනයනු ඇත. දේශපාලනයේ අන්ධ බින්දුවට නොව දේශපාලනයේ පෙනෙන ක්ෂේත‍්‍රයට, සවිඥානික ක්ෂේත‍්‍රයට වැඩකරන ජනතාව කැඳවීම විමුක්ති දේශපාලනයේ පළමු පියවර බවට විවාදයක් නෑ. ඒ සඳහා මේ දෙතුන්ගොල්ලන්ගේම දේශපාලනයේ ප‍්‍රතිගාමීත්වය හෙළිදරව් කළ යුතුයි.