පල්ලෙකැලෙන් කළුතරට ගෙන ගිය තිරුමගල්ගේ කතාව

 

thiruනිවසෙන් සටනට…

සටනෙන් කූඩුවට..!

මිනිස් ජීවිතය කියන්නේ හැම තිස්සෙම දේවල් හඹාගොස් පෝෂණය කරගත යුතු දෙයක්. එය කවදාවත් කවුරුවත් අහඹු ලෙස ලබාගත්ත දෙයක් නෙමෙයි. මේ ලෝකේ හැමෝම ජීවිතය හොයනවා එක එක විදිහට. සමහරු රැුකියාවල් කරලා සමහරු පොත්, චිත‍්‍රපට, නාට්‍ය වගේ දේවල් කරලා. තවත් අය චිත‍්‍ර ඇඳලා, තවත් අය ත‍්‍රාසජනක දේ කරලා. තව සමහරු මොකුත් නොකර ඉඳලා. මේ විදිහට තවත් විවිධ දේ කරලා ජීවිතය හොයන මිනිස්සු අතරේ තමන්ට විතරක් නෙමෙයි අනුන්ටත් ජීවිතය හොයන්න මිනිස්සු සටන් කරනවා. ඒ ලෝකේ හැමදාමත් මිනිස්සු යමක් දිනාගත්තා නම් ඒ සටන් තුළින් විතරක් හින්දා.

කොහොම වුණත් ඉහත ඌණ පූරණය ගැන කෙනකුට වෙනස් අදහසක් එන්නත් පුළුවන්. ඒත් මම එහෙම ලීවේ ඇගේ ජීවිතයේ හොඳම කාලය ගෙවුණේ සටනක් තුළ නිසා. ඒ සටන ගැන විවිධ අය විවිධ විදිහට අර්ථකථනය කළත් ඇයට අනුව ඒ ඔවුන්ගේ ජීවිතය ලබා ගන්න කරපු සටනක්. ඒකේ හොඳ නරක බොහෝ තිබෙන්න පුළුවන්. සමහර ඒවා ඔබත් මාත් අප කාට වුවත් ඇස නොගැටුන ඒවා වෙන්න පුළුවන්. ඒ නිසා එහි හරි වැරැුද්ද තීරණය වෙන්නේ තව ගොඩක් දේවල් එක්ක. ඒ වගේම ඔවුන් මුහුණ දුන් අත්දැකීම් එක්ක. ඇය නමින් චිත‍්‍රසේනන් තිරුමගල්. මම ඇයව ඇමතුවේ තිරු කියලා. ඔබත් මමත් දන්න භාෂාවෙන් කිව්වොත් ඇය දේශපාලන රැුඳවියෙක්. විවිධ පුද්ගලයන්ට, විවිධ මාධ්‍යවලට එල්.ටී.ටී.ඊ. සැකකාරිනියක්. ඒත් මට ඇය ඉතාම දයාබර සොයුරියක්.

2013 එක්තරා දවසක ‘තිරු’ කියලා සිරකාරියක් ගැන පණිවුඩයක් ලැබුණේ හිතවතෙක් හරහා. ඒ වෙනකොට තිරු කොයි වගේද කියලවත් මම දැනගෙන හිටියේ නෑ. ආරංචිය ආවේ කෙනෙක් පල්ලෙකැලේ බන්ධනාගාරේ ඉන්න තමිල් සිරකාරියක් බලන්න යන්න කියලා. ඒ වෙනකොට එහෙම අත්දැකීමකට මුහුණදීලා නොතිබුණත් මම තිරු බලන්න ගියේ කුතුහලයත් එක්ක. 2013 අවුරුද්දේ අගෝස්තුවේ පල්ලේකැලෙදි පළමු වතාවට තිරුව බලන්න ලැබුණත් ඈ හිටියෙ මා එක්ක කතා කරන්න නොහැකි තරම් චකිතයකින්. ඒ නිසා අපේ හමුව විනාඩි 5කට විතර සීමා වුණා. ඒ වගේම එදා ඈට දෙන්න අරන් ගිය කිසි දෙයක් තිරුට දෙන්නත් බැරි වුණා.

කාලය ගතවුණා. එක දවසක් නුපුරුදු කටහඬකින් මට ලැබුණේ දුකරථන ඇමතුමක්. ”මම තිරුමගල්. මාව කළුතරට අරන් ගියා මිස්, මාව බලන්න එන්න” ඒ කෙටි දුරකතන පනිවිඩය අවසන් වන්නට පෙරාතුව ඇය මට කීව වචන කීපය. මට පුදුම හිතුණා. කොහොමද මගේ දුරකථන අංකය හොයාගත්තේ කියලා. ඊට දවස් දෙකකට පස්සේ මම කළුතර ගියා තිරු බලන්න. මගේ අංකය ලැබුණු විදිහත් එදා ඇය මට කීවා. එතැන් සිට තිරු එක්ක සම්බන්ධය අලූත් වුණා. ඉතාම කෙටියෙන් තිරුගේ ජීවිතේ සමහර තැන් මම අහුලා ගත්තා. ඒත් ඒ හොඳටම නෙමෙයි.

දවසක් තිරු කියපු තොරතුරුවලට අනුව මම තිරුගේ අම්මා තාත්තා පදිංචිවෙලා උන්න මන්නාරමේ ගේ හොයාගෙන ගියා. මම උදෙන් පිටත් වුණාට ඔවුන්ගේ නිවසට ගොඩවැදුණෙ හැන්දෑවෙ 5.30ට විතර. නාඳුනන කෙනෙක් වුවත් මාව ආගන්තුක සත්කාරයෙන් පිළිගන්න ඔවුන් තීරණය කළා. ඔවුන්ගේ ලොකු දුව ගැන විස්තර කථා කරද්දි ඒ අම්මටයි තාත්තටයි දැනුන දරු සෙනෙහස ඔවුන්ගේ දෑස්වල ලියවෙන හැටි මම දැක්කා. ඒ වගේම කවදාවත් මාව දැකලා නැති ඔවුන් මටත් මා සමඟ ගිය හිතවතුන්ටත් ඉතාම රසවත්ව කෑම හදලා දුන්නා. තිරු, සිරගත කරලා ඉද්දි සිරගෙදරදී ඇයට ලැබුණු දියණිය ‘ජීවා’ සැබවින්ම සුන්දර ජීවයෙන් පිරුණු දැරියක්. සිංහල වචනයක්වත් කියන්න බැරි වුණත් මා ඔවුන්ගෙන්
Thirumagal-Letterසමුගන්නා වෙලාවෙ ඇගෙන් මම ඇහුවා ආයෙත් එනකොට ගේන්න කැමති දෙයක් කියන්න කියලා. එවිට ඇය කීවේ කිසිම දෙයක් එපා ඔබ එන්න කියලා විතරයි. අපිව බස්රථය දක්වා ඇරලවන්න ඔවුන් පාර දක්වාම අපිත් එක්ක ඇවිදගෙන ආවා. ඒ ආගන්තුක සත්කාරවල, ඒ පිළිගැනීම්වල, ඒ කඳුළුවල, සිංහල දෙමළ බේදයක් ලියැවිලා තිබුණේ නෑ. මට ඔවුන්ව මගේ වුණා වගේම ඔවුන්ට මා ඔවුන්ගේම හිතවත් කෙනෙක් බවට පත් වුණා.

මේ එළඹෙන්නේ 2016 අවුරුද්ද. තිරුව අත්අඩංගුවට ගෙන තිබුණේ 1996 සැප්තැම්බර් මාසේ අටවැනිදා. තිරුව රිමාන්ඞ් කළේ 1998 දෙසැම්බර් 12. අච්චු කරන්නේ 2013 ජුනි මාසේ 04. වැලිකඩින් ආරම්භ වුණ තිරුගේ ගමන දුම්බර, කළුතර තැන් දක්වා මාරු වුණා. 2014. පෙබරවාරි 03 වැනිදා කළුතරට රැුගෙන ගිය තිරු, තවම ඉන්නේ කළුතර. දැන් තිරුගේ සිරගත ජීවිතයට අවුරුදු 19ක්. ඒ තිරුගේ ජීවිතේ හොඳම කාලය. ඒ වගේම තිරුගේ දියණිය ජීවා, 2016 උසස් පෙළ ලියන්න සූදානම් වෙනවා. ජීවා කොයි වගේද කියලවත් තීරු දැකලා නෑ. මම යන හැම වෙලාවෙම පළමුව ඇහුවෙ ජීවාට කථා කරනවද කියලා.

යහපත් කල්ක‍්‍රියාව හේතුවෙන් නිවසට ගිහින් එන්න සිරකරුවන්ට අවස්ථාවක් දෙනු ලබනවා. බන්ධනාගාරයෙන් ලැබෙන ඒ නිවාඩුව තිරූට තවම ලැබුණේ නෑ. ඒ සඳහා ඔවුන් ඒ තොරතුරු ගත්තේ දැනට මාස ගණනාවකට කලින් වුවත් පසුගිය නත්තල් දින තිරු බලන්න ගිය වේලාවේ ඇය කීවේ තවමත් ඒ සම්බන්ධ පොලිස් වාර්තා ලැබී නැති බවයි. කෙසේ වුවත් මේ ගැන විමසීමක් කරන්න මා බන්ධනාගාර අධිකාරීවරයාට කථා කළ පසු දැන් ඒ වාර්තා ලැබී ඇති බවත් ඉතා ඉක්මනින් ඒ සඳහා මැදිහත් වන බවත් ඔහු පැවසුවා.

එහෙම වුණොත් තිරුට ගෙදර යන්න පුළුවන්. විභාගේ ලියන්න කලින් දුවව බලලා එන එක තමයි තිරුගේ ලොකුම පැතුම. ඒ ප‍්‍රාර්ථනය යහපාලනයෙන් විසඳෙයිද කියලා අපට කියන්න බැරි යහපාලනය අපි කාටත් විශේෂයෙන් සාමාන්‍ය ජනතාවට අයහපත් නිසා.

තිරුගේ මූණේ හිනාවක් ඇඳෙන දවසට තිරුට එයාගේම දුව තුරුල් කරගෙන සිප ගන්න ලැබෙන දවසට, ඇත්තටම තිරු නිදහස් වෙන දවසට තිරුගේ ජීවිතේ අපිට හමු නොවුණ බොහෝ තැන් හමුවේවි. අපිට දැන් නොරිදුණාට එදාට අපේ හිත හොඳටම රිදේවි. ඒ අපිට ඇත්තටම මිනිස්සු වෙනුවෙන් මොකුත් කරන්න බැරිවෙලා තියෙන හින්දා. ඒ නිසා දැන්වත් අපි පටන් ගනිමු.

හේමමාලි අබේරත්න