පැරිස් පරිසර සමුළුව සහ පෘථිවි වැසියන්ගේ අනාගතය

cope 21 parisදේශගුණ විපර්යාස හේතුවෙන් මිනිසා මෙන්ම සෙසු ගහකොළ හා සතා සිව්පාවුන් ඇතුළු සමස්ත පෘථිවිවාසීන්ට මුහුණදීමට සිදුවී ඇති වර්තමාන හා අනාගත අභියෝග පිළිබඳව පුළුල් කතිකාවක් ඇතිවී තිබේ. ඊට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිමත් ගෝලීය සම්මුතියක් ඇති කරගැනීම සඳහා වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කළ COP 21 පැරිස් සමුළුව (Conference of Parties 21) පසුගියදා නිමාවට පත් විය.

තමන් මුහුණදී සිටින වර්තමාන හා අනාගත අවිනිශ්චිතතාවට සැලකිය යුතු අස්වැසිල්ලක් ලබා දීමට මෙම සමුළුවේදී ලෝක නායකයන් එක් මතයකට පැමිණෙනු ඇතැයි ලොව පුරා ජනතාව අපේක්ෂා දල්වාගෙන සිටියද එවැනි අස්වැසිල්ලක් අත්විඳින්නට මෙම සමුළුව මඟින් අවස්ථාව නොලැබුණි. ඒ වෙනුවට සිදුවුණේ සිදුවන්නට යන මහා විනාශය, නොඑසේනම් සයවන මහා නෂ්ටවීම  තවත් කෙටි කලකට කල්දමා ගැනීමට අවශ්‍ය එකඟතාවක් පමණක් ලෝක නායකයන් විසින් ඇතිකර ගැනීම පමණි.

දේශගුණ විපර්යාස පිළිබඳව ලංකාවාසී අපද දැඩි ලෙස උනන්දු විය යුතුය. ලංකාව ඉක්මනින් වෙනස්වන සුළු කාලගුණ රටාවක් සහිත දිවයිනකි. ඒ නිසා දේශගුණ විපර්යාස නිසා ඇතිවන අහිතකර බලපෑම් මෙරට ආර්ථික හා සමාජීය ක‍්‍රියාකාරකම් ව්‍යාකූල කිරීමට හේතු වී තිබේ. පසුගිය දශක දෙක පුරාවටම දේශගුණ වෙනස්වීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවූ අධික වර්ෂාව නිසා බොහෝ විට ඇතිවූ නායයාම් මඟින් මිනිසුන්ට හා සංවර්ධන ක‍්‍රියාකාරකම්වලට සිදු වූ ආපදාවන් අති මහත්ය. දේශගුණ විපර්යාසයේ බලපෑම කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, වාණිජ්‍ය, කර්මාන්ත, සංචාරක, ප‍්‍රවාහන හා ජෛවවිවිධත්ව සංරක්ෂණ ආදී එකී මෙකී නොකී සියලූ අංශ කෙරෙහි විවිධ ඍජු හා වක‍්‍ර බලපෑම් එල්ල කරමින් තිබේ.

ලෝක බලවතුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් දැනටමත් පෘථිවියේ උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිගේ‍්‍රට් අංශක එකකින් (1oC) පමණ ඉහළ ගොස් හමාරය. මුහුදු ජල මට්ටම සෙන්ටිමීටර් 20කින් ඉහළ ගොස් හමාරය. මේ වන විට මිහිතලයේ වායුගෝලයට මුදාහැර ඇති කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය සැලකූ විට අප හෙට දිනයේ සිට වායුගෝලයට කාබන්ඩයොක්සයිඞ් මුදාහැරීම සම්පුර්ණයෙන් නවතා දැමුවද පෘථිවිය ස්ථාවර තත්වයට පත්වන විට වායුගෝලීය උෂ්ණත්වය තවත්  සෙන්ටිගේ‍්‍රඞ් අංශක දශම හයකින් (0.6oC) ඉහළ යනු ඇති බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. ඒ අනුව අප හෙට දිනයේ සිට වායුගෝලයට

කාබන්ඩයොක්සයිඞ් මුදාහැරීම සම්පූර්ණයෙන් නවතා දැමුවහොත් පෘථිවියේ උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිගේ‍්‍රඞ් අංශක එකයි දශම හයකින් (1.6oC) ඉහළ ගොස් පෘථීවි වායුගෝලය ස්ථාවර වනු ඇත. ඒ සඳහා ෆොසිල ඉන්ධන දහනය නතරකර දමා විකල්ප බලශක්ති ප‍්‍රභව වෙත නැඹුරුවීම කාලීන අවශ්‍යතාවකි.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම ස්ථාවරත්වය ඇතිකර ගැනීමට නම් 2030 වන විට ලෝකය සියයට සියයක් (100%) පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන තත්වයට පත්විය යුතු බවයි. එසේ නොකළ හොත් මේ සියවස අවසන් වන විට පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය  සෙන්ටිගේ‍්‍රඞ් අංශක පහත් හතත් අතර ප‍්‍රමාණයකින් (5-7oC) ඉහළයාම නොවැළැක්විය හැකි බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය  මණ්ඩලය තම පස්වන වාර්තාව මඟින් පෙන්වාදී ඇත.

දේශගුණ විපර්යාස හේතුවෙන් පෘථිවි උෂ්ණත්වය ඉහළයාම නිසා ධ‍්‍රැව අයිස් හා ග්ලැසියර් දියවීමෙන් මුහුදේ ජලමට්ටම ඉහළ යාමෙන් බරපතළ ලෙස ජීවිත අවදානමකට ලක්ව සිටින්නේ ලොව පුරා පැතිරී ඇති කුඩා දුපත් රාජ්‍යයන්ය. ඒ සඳහා අපට ඇති ආසන්නතම උදාහරණය මාලදිවයිනයි. ලොව අනකුත් රටවල ජනතාවට දේශගුණ විපර්යාසවලට මුහුණදෙමින් තවත් යම්කිසි කලක් ජීවත් වීමට භූමියක් හිමිව තිබුණත් මෙම කුඩා දුපත් රාජ්‍යයන්ට එම සහනයවත් හිමිව නැති බැවින් එම දූපත්වාසීන් වැඩි ජීවිත අවදානමකට ලක්ව තිබේ. එම දුපත් රාජ්‍ය ආරක්ෂාකර ගැනීමට නම් වායුගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙන්ටිගේ‍්‍රඞ් අංශක එකයි දශම පහ (1.5oC) සීමාවේ පවත්වා ගත යුතුය. එසේම වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක දෙක (2oC) සීමාවේ වත් පවත්වා ගැනීමට අප අපොහොසත් වුණහොත් පොළොව මතුපිට ඇති මීතේන් වැනි වායු වර්ග ගිනිගැනීම ආරම්භ වේ.

එය මිනිසාට පාලනය කළ නොහැකි බරපතළ ව්‍යසනයන් ඇතිකරනු ඇති බවත්  විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම සියලූ විපත්වලින් පෘථිවිවාසීන් ගලවාගැනීම සඳහා අවශ්‍ය ගෝලීය එකඟතාවයක් අත්කර ගැනීම පැරිස් දේශගුණ විපර්යාස සමුළුවට සහභාගීවූ ලෝක නායකයන්ට ලැබී තිබූ අභියෝගයයි. නමුත් එම අභියෝගය ජයගැනීමට පැරිස් සමුළුවට සහභාගීවූ ලෝක නායකයන්ට නොහැකි විය. ඒ වෙනුවට සිදුවුණේ විපත තවත් වසර පනහකින් පමණ කල්දමා ගැනීම පමණකි. නමුත් පැරිස් සමුළුවේදී සිදුවූ එක් සුවිශේෂී සිදුවීමක් වන්නේ රටවල් 150ක රාජ්‍ය නායකයන් විසින් ගෝලීය උණුසුම ඉහළයාම පාලනය කිරීම සඳහා සම්මුතියකට එළඹීමයි.

2011 දක්වා දත්ත පදනම් කරගනිමින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව වායුගෝලීය උෂ්ණත්වය අංශක 2 සීමාවේ පවත්වා ගැනීමට නම් මුළුමහත් ලෝක වාසීන්ටම වායුගෝලයට මුදාහැරීමට අවසර ඇත්තේ කාබන් ගිගා ටොන් 1000ක් පමණි. නමුත් අප මේ වන විට එම ප‍්‍රමාණයෙන් ගිගා ටොන් 150ක් වායුගෝලයට මුදාහැර අවසන්ය. කාබන් විමෝචනය සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට හා තම රටවල බලශක්ති නිෂ්පාදනය පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව වෙත පැවරීමට කැපීපෙනෙන උත්සාහයක් දැරීමට රටවල් අපොහොසත්වී තිබේ. මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මකවන ගල් අඟුරු හා ඛනිජතෙල් බලාගාර මෙන්ම මහා මාර්ග පුරා නිරන්තරයෙන් ඇදී යන රථවාහන මඟින් පිටකරන අධික කාබන් ප‍්‍රමාණයට ඉතිරි කාබන් ගිගා ටොන් 850 සම්පුර්ණ කිරීමටද වැඩි මහන්සියක් දැරීමට අවශ්‍ය නොවනු ඇත.

විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් දේශගුණ විපර්යාස අවම කිරීම (Mitigation) හා ඊට අනුහුරුවීම (Adaptation) සඳහා දේශීය වශයෙන් මුලපිරීම්ද ඇත්තේ ඉතාමත් අඩු මට්ටමකය. ලංකාවේ තත්වයද ඊට වැඩි වෙනසක් නැත. කෙසේ වෙතත් දේශගුණ විපර්යාස පිටුදැකීම හා ඊට අනුහුරුවීම සඳහා මිනිසා විසින් අද දවසේ ගනු ලබන ක‍්‍රියාමාර්ග සමස්ත පෘථිවිවාසීන්ගේ ඉදිරි පැවැත්ම තීරණය කරනු ඇති බව අප අවධාරණය කරගත යුතුය.


කියෝතෝ සම්මුතිය (Kyoto Protocol) අසාර්ථක වූයේ ඇයි?

දේශගුණ විපර්යාස පිළිබඳව ප‍්‍රථමයෙන්ම ලෝකයේ කතාබහ ඇතිවන්නේ 1988 වසරේ පමණ සිටය. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC – Intergovernmental Panel on Climate Change) ආරම්භ වන්නේ එම වසරේය. නිශ්චිතවම වර්තමාන හා අනාගත පරම්පරාවට දේශගුණ විපර්යාස තර්ජන හමුවේ ජීවත් වීමට සිදු වන බව පැහැදිලිය. ලෝකය පුරා විසිරී සිටින ජනතාව මුහුදු මට්ටම ඉහළයාම, සුළි සුළං, නියඟ, ගංවතුර සහ නායයාම් වැනි විවිධ වූ දේශගුණික බලපෑම්වලට මුහුණපාමින් සිටිති.
දේශගුණ විපර්යාස ඇතිවීමට හේතුවී ඇති හරිතාගාර වායු විමෝචනය ලොව පුරා විවිධ රටවල් විවිධ පරිමාණයෙන් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් මහාපරිමාණයෙන් හා සංවර්ධනයවෙමින් පවතින රටවල් සාපේක්ෂව අඩු වශයෙන් හරිතාගාර වායු විමෝචනය සිදුකරයි. නමුත් දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම් එල්ලවීමේදී එම රටවලට මෙන්ම වෙනත් රටවලටද බරපතළ වශයෙන් පීඩා එල්ල වේ. හරිතාගාර වායු විමෝචනය අවම වශයෙන් සිදුකරන රටවලට සහනයක් ලැබෙන්නේද නැත. දේශගුණ විපර්යාසවලට එරෙහිව සිදුකරන සටන ගෝලීය මට්ටමෙන් සිදුවිය යුත්තේ එබැවිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (United Nations Framework convention on Climate Change – UNFCCC) 1994 වසරේදී ඇතිකරගන්නේ ඒ සඳහාය. ඒ සඳහා එක්සත් ජාතීන්ට අයත් රටවල් 198ක් විවිධ ස්ථානවලදී එක් රැුස්වී දේශගුණ විපර්යාස වලට මුහුණදීම පිළිබඳව මේ දක්වා විවිධ සාකච්ඡුා පවත්වා ඇත. පසුගියදා පැවැත්වුණේ එහි 21 වැනි සැසිවාරයයි. මින් පෙර පැවැති සමුළු අතරින් යම්කිසි සාධනීය ජයග‍්‍රහණයක් අත්කරගෙන ඇත්තේ 1997 වසරේ කියෝතෝ සමුළුවේදී පමණි. ඒ ‘කියෝතෝ සම්මුතිය’ (Kyoto Protocol) ඇතිකර ගැනීමය.
දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමේ සහ ඒවා අවම කරගැනීමේ යෝජනා ලෙස හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ලෝක බලවතුන් කියෝතෝ සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට සහය දුන්නේ නැත. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ සියළු රටවල් තම සංවර්ධනයේ පදනම බවට පත්කරගෙන ඇත්තේ ෆොසිල ඉන්ධන වීමයි. දේශගුණ විපර්යාස සිදුවීම නවතා දැමීමට නම් අප හරිතාගාර වායු විමෝචනය නවත්වා දැමිය යුතුයි. නමුත් එමගින් තම රටවල් මේ වන විට අත්කරගෙන ඇති ඊනියා සංවර්ධනය අහිමිවනු ඇතැයි ලෝක බලවතුන් බියට පත්වීම නිසා ඔවුහු ෆොසිල ඉන්ධන භාවිතයෙන් අත්මිදීමට මැළිවෙති.

 

සුපුන් ළහිරු ප‍්‍රකාශ්