වසර හතරකට පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයෙක්ලලිත්, කුගන් ගැන කට අරියි

mahindananda

(සිරස ටීවී චැනලයේ විකාශය වූ ‘සටන‘ සංවාද වැඩසටහනේදී මහින්දානන්ද අලුත්ගමගේ දැක්වූ ප්‍රතිචාර)

මං පොඞ්ඩක් අසරණයි මේකේ උත්තර දෙන්න – මහින්දානන්ද

ප‍්‍රශ්නය – තාජුඞීන් ඝාතනයේ සැකකරුවන් ඉන්නවා නම් වහාම ගන්න කියලා හඬ නඟන්න බැරි ඇයි?

අලූත්ගමගේ – තාජුඞීන් ඝාතනය පිළිබඳව අධිකරණය විසින් පවත්වලා, විභාග කෙරිලා යන ක‍්‍රමවේදයක් තිබෙනවා. සැක සහිතයි කියලා අපි නෙවෙයිනේ කතා කළේ. තාම තාජුඞීන් ඝාතනය පිළිබඳ පත්තරවල විවිධ නම් පළ වෙනවා.

ප‍්‍රශ්නය – ඔබලාට සැකයක් නෑ…?

අලූත්ගමගේ – අපි තාම දන්නේ නෑ. මං කියන්නේ තාජුඞීන් ඝාතනය යම් කෙනෙක් කරලා තිබෙනවා නම්, අධිකරණයෙන් ඔහු අත්අඩංගුවට ගන්න  ඕන. හිරේ දාන්න  ඕන. උපරිම දඬුවම් දෙන්න  ඕන. මම ඒක වගකීමකින් කියන්නේ.

ප‍්‍රශ්නය – ඉඹුල්ගොඩ….? (මෙහිදී ප්‍රශ්න කෙරුනේ ජානක හා සිසිත ශිෂ්‍යයන් අබිරහස් රිය අනතුරකින් මියයාම ගැනයි)

අලූත්ගමගේ – ඉඹුල්ගොඩ සිද්ධිය පිළිබඳවත් නෑ.

ප‍්‍රශ්නය – ලලිත්, කුගන්…?

අලූත්ගමගේ – ලලිත් කුගන් ඝාතනය පිළිබඳ යම් යම් තොරතුරු තිබෙනවා. හැබැයි අපි මේක මතක තියාගන්න  ඕන. එක්නැලිගොඩ ඝාතනය, රවිරාජ් ඝාතනය, පරරාජසිංහම් ඝාතනය…. මේ ඝාතන සියල්ල ගත්තම මට මෙතන කතාකරන්න බැරි යම් යම් දේවල් තියෙනවා. මමත් මහනුවර දිස්ත‍්‍රික්කෙන් ඡුන්දෙ ඉල්ලන්නෙ. සියලූ ජනකොටස්වලින් සංකලනය වෙච්ච ආසනයක් මහනුවර. මං පොඞ්ඩක් අසරණයි මේකේ උත්තර දෙන්න ගියාම. ගිය පාර ඒවා කතාකරන්න ගිහින් ඇණ ගත්තා. මේ සියල්ල පිටිපස්සේ, අපි හැමෝම අද මේ රටේ බොහොම නිදහසේ ජීවත් වෙනවා. ඒක අමතක කරන්න එපා. මම කියන්නේ නෑ, ඝාතන හරි කියලා. ඝාතන වැරදියි. දඬුවම් කරන්න. හැබැයි, මේක පිටුපස තව බොහෝ දේවල් තිබෙනවා.

 


 

lalith-kugan1

ලලිත් සහ කුගන් පැහැර ගෙන ගොස් වසර හතරක් ඉක්ම ගිය පසුව පැවැති ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු ඔවුන් සම්බන්ධ ඇතැම් තොරතුරු තමන් දන්නාබව ප‍්‍රකාශ කර තිබේ. ඔහු මහින්දානන්ද අලූත්ගමගේය. ජනවාරි මස 02 වැනිදා සිරස රූපවාහිනී නාළිකාවේ ‘සටන’ දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් ලලිත් සහ කුගන් ගැනත්, ප‍්‍රගීත් එක්නැලිගොඩ, රවිරාජ්, පරරාජසිංහම් ආදීන්ගේ ඝාතන පිළිබඳවද ඔහු ‘වැදගත්’ කරුණු කිහිපයක් හෙළිදරව් කළේය.

මහින්දානන්ද අලූත්ගමගේ යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේ එම ආණ්ඩුවේ හිටපු ප‍්‍රබල ඇමැතිවරයෙකි. එපමණක්නොව ඔහු මේ වන විට විපක්ෂයේ සිටිමින් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට සහාය දක්වන්නෙකි. ලලිත් සහ කුගන් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් මෙන්ම සෙසු ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබෙන්නේ රාජපක්ෂ පාලනයටයි. ඒ නිසා එම කල්ලියේ ප‍්‍රබලයකු විසින් කරන ලද ප‍්‍රකාශයක් පහසුවෙන් බැහැර කළ හැකි නොවේ.

2011 දෙසැම්බර් මස 09 වැනිදා ප.ව. 4.00ට ආසන්න වේලාවක යාපනයේදී ලලිත් සහ කුගන් පැහැරගෙනයනු ලැබුවේ ආණ්ඩුවේ හමුදාවට සම්බන්ධ කල්ලියක් විසිනි. එම කල්ලිය සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ඔවුන් දෙදෙනා ගමන්ගනිමින් තිබූ යතුරුපැදිය හරස්කොට

ඔවුන් වෑන් රථයට දමාගෙන ගිය බව ප‍්‍රකට කරුණකි. එම සිද්ධිය ඇසින් දුටුවන් සිටින බව පැවසෙන නමුත් ඔවුන් කිසිවකුත් අධිකරණය හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් නොවන්නේ මරණයට ඇති බිය නිසා බව පැහැදිලිය.

ගෙවී ගිය දෙසැම්බරයට ඔවුන් දෙදෙනා පැහැරගෙන ගොස් වසර හතරක් සම්පූර්ණ විය. ඒ වසර හතර පුරාම හබයාස් කෝපුස් පෙත්සමක් විභාගයට ගැනෙමින් තිබේ. යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන විමර්ශනයේදී පොලිසිය පවසන්නේ පැහැරගැනීම සිදුකරන ලද්දේ කවුරුන් විසින්දැයි තවමත් අනාවරණය කර ගැනීමට හැකි වී නැති බවයි. තමන් සතුව ඔවුන් දෙදෙනාගේ ‘ඝාතනය’ පිළිබඳ තොරතුරු ඇති බව අලූත්ගමගේ හිටපු ඇමැතිවරයා පවසන්නේ එබඳු තත්වයක් යටතේය.

තොරතුරු නැතැයි පොලිසිය කරන ප‍්‍රකාශ පිළිගත හැකි ඒවා නොවේ. පැහැර ගැනීම සිදු කරන ලද්දේ කවුරුන්දැයි පොලිසිය දන්නා බවට කිසිදු සැකයක් නැත. කුගන්ට අයත්, ඔවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්වන මොහොතේ පදවමින් සිටි යතුරුපැදිය ඊට දින කිහිපයකට පසුව කෝපායි පොලිසියේ තිබී හමු විය. යතුරුපැදිය පොලිසියට පැමිණීම පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රකාශ පරස්පරවීමෙන්ම ඔවුන් යමක් සැඟවීමට උත්සාහ කරන බව පැහැදිලි වේ. පැහැර ගැනීම සිදු වූ අවස්ථාවේම සිද්ධිය ඇසින් දුටුවන් ග‍්‍රාම නිලධාරීවරයකු මඟින් ඒ බව පොලිසියට දැනුම්දුන් බව පැවසුනත් ඒ කිසිවකුත් සිය හඬ අවදි කිරීමට සූදානම් නැත.

රාජපක්ෂ ආණ්ඩුවේ සිටි වගකිවයුත්තකු ලලිත් සහ කුගන් පිළිබඳ තොරතුරු දන්නා බව ප‍්‍රකාශ කළ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයයි. කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පැවසුවේ, ලලිත් සහ කුගන් අතුරුදන්වී

නැති බවත් ඔවුන් දෙදෙනා සිටිනා බවත්ය.  කෙහෙළිය රඹුක්වැල්ලගේ එම අනාවරණයෙන් වසර හතරකට පසුව අලූත්ගමගේ ඇමැතිවරයා ඔවුන්ගේ ‘ඝාතනය’ ගැන යම් යම් තොරතුරු ඇති බව කියයි. මෙය ඉතා බරපතළ ප‍්‍රකාශයකි.

මේ වන විට වාර ගණනාවක් වරෙන්තු නිකුත් කර තිබියදීත් කෙහෙළිය රඹුක්වැල්ල යාපනය අධිකරණය හමුවේ පෙනීසිට තමන් දන්නා තොරතුරු හෙළිකරන්නේ නැත. ඒ එහි චෝදනාව රාජපක්ෂලාට එල්ල වන නිසාද? අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහෙස්ත‍්‍රාත්වරයා මධ්‍යම පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇතත් කෙහෙළිය රඹුක්වැල්ල තවමත් නිදැල්ලේය. ඔහු අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ඇයි?

මහින්දානන්ද අලූත්ගමගේ යම් යම් තොරතුරු දන්නේ නම් ඒවා අනාවරණය නොකර සිටීම ගැටලූසහගතය. යමෙකු එසේ තොරතුරු සඟවන්නේ අන් හේතුවක් නිසා නොව එම තොතුරු මඟින් අනාවරණය වන පුද්ගලයන් ආරක්ෂා කිරීමටය.

2012 අපේ‍්‍රල් මාසයේදී කුමාර් ගුණරත්නම් පැහැර ගැනීම තමන්ගේ අනුදැනුම ඇතිව ආණ්ඩුවේ හමුදාව විසින් සිදුකරන ලද බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකදී පිළිගත්තේය. ඊට පෙර සියලූ වගකිවයුත්තන් ප‍්‍රකාශ කළේ ඊට රජයේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. එහෙත් පැහැරගැනීම

සිදු කළ කණ්ඩායමට එම ‘මෙහෙයුම’ වෙනුවෙන් ත්‍යාග ලබාදීමද සිදුව තිබේ. මින් ගම්‍යවන්නේ මෙම ඝාතක කල්ලි නිර්මාණය කරන ලද්දේ හමුදා සාමාජිකයන්ගෙන්ම බවයි.

ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින්නේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසකි. ත‍්‍රිකුණාමලයේ පාසල් සිසුන් පිරිසක් පැහැරගෙන යන ලද්දේ ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රහසිගතව පවත්වාගෙන ගිය ‘ගෝඨා කෑම්ප්’ නමින් හඳුන්වන ලද වධකාගාරයකට යැයි බරපතළ සැකයක් මතුව තිබේ. එමෙන්ම, තවත් බොහෝ පිරිසක් ඒ තුළ වධ බන්ධනයට ලක්කොට ඝාතනය කර ඇති බවටද සැක ඉපිද ඇත. මේ සියලූ කරුණු අනුව පැහැදිලි වන්නේ ලලිත් සහ කුගන් දෙදෙනාත් පැහැර ගෙන යන්නට ඇත්තේ ගෝඨා කල්ලිය විසින් විය හැකි බව නොවේද?

මහින්දානන්ද අලූත්ගමගේ අපූරු කතාවක් කියයි. ”මේ ඝාතන සියල්ල ගත්තම මට මෙතන කතා කරන්න බැරි යම් යම් දේවල් තියෙනවා.” යැයි ඔහු කියයි. එමෙන්ම, ”මම කියන්නේ නෑ ඝාතන හරියි කියලා. දඬුවම් කරන්න. හැබැයි මේ පිටුපස තව බොහෝ දේවල් තිබෙනවා.” යැයිද කියයි.

මෙම ප‍්‍රකාශය ඉතා බරපතළය. ඔහු කියන්නේ ඔහුට ‘යම් යම් දේ’ හෙළිකළ නොහැකි බවයි. එමෙන්ම ඝාතන නිවැරදි නොවන බව තමන් පිළිනොගන්නා නමුත් එම ඝාතන පිටුපස ‘බොහෝ දේවල්’ තිබෙනබවද ඔහු කියයි. එමඟින් ඔහු උත්සාහ කරන්නේ එකී ඝාතන සාධාරණිකකරණය කිරීමට නොවේද?

ඕනෑම යුද්ධයකට ඊට අදාළ සදාචාරයක් තිබේ. එය උල්ලංඝනය කරන අවස්ථාවලදී සිදු වන්නේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි. අලූත්ගමගේ නොකියා කියන්නේ එවැනි අපරාධ සිදුව තිබෙන බව නොවේද?

අලූත්ගමගේට රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට සිට හෙළිකළ නොහැකි දේ අධිකරණය හමුවේ හෙළිකළ හැකි බවට සැකයක් නැත. ආණ්ඩුවේ හමුදාව විසින් පැහැරගෙන ගිය ලලිත්ට සහ කුගන්ට සිදු වූයේ කුමක්ද? දැන් ඔහු කළ යුත්තේ තමන් දන්නා එම තොරතුරු අනාවරණය කිරීමයි.

ජනක තුෂාර