පසමිතුරු කඳවුරු බලමුළු තර කරති – මැද පෙරදිග බලපොරය උග‍්‍රවේ

Nimr al-Nimr

Iranian demonstrators chant slogans during a protest denouncing the execution of Sheikh Nimr al-Nimr, a prominent opposition Shiite cleric in Saudi Arabia, seen in posters, in front of the Saudi Embassy, in Tehran, Sunday, Jan. 3, 2016. Saudi Arabia announced the execution of al-Nimr on Saturday along with 46 others. His execution drew condemnation from Shiites across the region. (AP Photo/Vahid Salemi)

 

පසුගිය ජනවාරි 02 වැනි දින සෞදි අරාබියෙහි රාජාණ්ඩුව ත‍්‍රස්තවාදයට ‍අදාළ චෝදනා යටතේ තම සිරකරුවන් 47 දෙනෙකු මරණයට පත් කිරීමත් සමඟ කලාපීය බල ප‍්‍රතිවිරෝධයන් වඩාත් බරපතළ ගැටුම්කාරී අන්තයනට තල්ලූ‍ වෙමින් පවතී. මරා දැමූවන් අතරට  නිම්ර් අල් නිම්ර් නම් සෞදි අරාබියෙහි ෂියා නිකායික පූජකවරයාද ඇතුළත්ය. ඉරානයෙහි පාලක පූජක ප‍්‍රභූව මුල පටන්ම පූජක අල් නිම්ර් මරා දැමීම සම්බන්ධ සෞදි අරාබි රාජාණ්ඩුවෙහි තීරණයට තදබල ලෙස එරෙහි විය. ඊට අනුව එය ‘දේශපාලන අභිලාෂයන්‘ යටතේ සිදුවන ඝාතනයකි. නමුත් සෞදි අරාබිය කියා සිටියේ එය හුදෙක්ම අධිකරණමය තීන්දුවක් බවය.

සෞදි රාජාණ්ඩුව දිගු කලෙක සිට තම රටෙහි ආගමික සුළුතරය (10-15%) වන ෂියා නිකායකයන්ට එරෙහිව දැඩි මර්දනයක් ගෙන යමින් සිටියි. විශේෂයෙන්ම වර්ෂ 1979 සිදු වූ ඉරානයෙහි ඉස්ලාමිය (ෂියා) විප්ලවයෙන් අනතුරුව එය තීව‍්‍ර‍ වී තිබේ. ෂියා උද්ඝෝණකයන් සිය ගණනින් මරා දමනු ලැබ ඇති අතර තවත් විශාල පිරිසක් තම ජිවිතාරක්ෂාව සඳහා රටෙන් පළාගොස් සිටිති. පූජක අල් නිම්ර්ද අදාළ කාල වකවානුව තුළ උසස් අධ්‍යාපනය සඳහා ඉරානයට සංක‍්‍රමණය විය. නැවත 1994දී සෞදි අරාබියට පැමිණ ඔහු රාජාණ්ඩුවෙහි ෂියා විරෝධි මර්දනයට එරෙහිව හඬ නැඟීය. අනතුරුව වර්ෂ 2012දී ඔහුව අත්අඩංගුවට පත් වූ අතර මරා දමන තුරු සිර ගත කරනු ලැබ සිටියේය.

පූජක අල් නිම්ර් ඝාතනයත් සමඟම ඉරානයෙහි ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනි කියා සිටියේ ඊට වගකිව යුත්තන් ‘දෙවියන්ගේ දඬුවමට‘ ලක් වනු ඇති බවයි. ඉරාන ආණ්ඩුවද රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් අදාළ ඝාතනයට විරෝධය පළ කර සිටියේය.  සිද්ධියට සමාන්තරව ඉරානයෙහි සහ ඉරාකයෙහි සැළකිය යුතු මට්ටමින් මහජන උද්ඝෝෂණද පැනනැඟිනි. ඇතැම් උද්ඝෝෂක කණ්ඩායම් පසුගිය ඉරිදා ටෙහෙරාන්හි සෞදි තානාපති කාර්යාලයට සහ පළාත්බද නගරයක් වන මෂාඞ්හි කොන්සියුලර් කාර්යාලයට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරද එල්ල කළහ. ඉරාකයෙහි සුන්නි දේවස්ථාන දෙකක්ද ප‍්‍රහාරකයන්ගේ ඉලක්කයට ලක්විනි. ඊට අමතරව ඉස්කන්දරියා ප‍්‍රදේශයේදී සුන්නි පූජකවරයෙක් ඝාතනය කර ඇති බවටද වාර්තා වී තිබේ. සෞදි අරාබියද ඉරානය සමඟ වන තානාපති සහ ගුවන් මෙන්ම වෙළෙඳ සබඳතා කපා දමමින්  ඊට වහාම ප‍්‍රතිචාර දැක්වීය‍. එමඟින් අදාළ අර්බුදය වඩාත් සංකීර්ණ තලයකට ගමන් කරමින් තිබේ.

කැපී පෙනෙන කාරණය වනුයේ, පැන නැඟී ඇති අර්බුදය ඉස්ලාම් ආගමෙහි නිකායික අර්බුදයක් ලෙස චිත‍්‍රනය කරලීමට අධිපති මාධ්‍යයන් දරන උත්සාහයයි. මින් වසර 1400කට පමණ පෙර එනම් 7 වැනි ශත වර්ෂයේදී ඉස්ලාමය තුළ ෂියා සහ සුන්නි නිකායන් පැනනැඟිනි. සෞදි අරාබිය සහ ඉරානය අක්ෂයන් වටා රැුළි ගැන්වෙමින් පවතිනුයේ ඊට අදාළ ප‍්‍රතිවිරෝධයන් බව ඔවුහු අඟවති. මෙය ඇති තතු බරපතළ ලෙස වසන් කිරීමකි. අර්බුදයෙහි ඇත්ත පදනම දේශපාලනිකය. සැබවින්ම 70 දශකය හෝ ඉන් පෙර කාලවකවානුව ගත් විට සුන්නි-ෂියා නිකායික ගැටුම් කිසිසේත්ම මැද පෙරදිග දේශපාලනයෙහි ප‍්‍රමුඛ හෝ සැළකිය යුතු මාතෘකාවක් නොවීය. දෙපිරිස භේදයකින් තොරව පොදු වාසභූමින් බෙදා හදා ගත්තා පමණක් නොව ඒකාබද්ධ සංස්කෘතික සහ දේශපාලන ක‍්‍රියාකාරම්වලද නිරත වූහ. ඉරාකය ඊට දිය හැකි ප‍්‍රමුඛ නිදසුනකි. නමුත් වර්ෂ 1979 ඉරාන විප්ලවයෙහි ජයග‍්‍රහණය සහ එහි එක්සත් ජනපද විරෝධී අභිලාෂ පැහැදිලි වූ සැනින් ආගමික ආතතීන් ඇවිළවීම ප‍්‍රමුඛ උපාය මාර්ගයක් ලෙස ඉදිරියට ගැණිනි. ඊට අදාළ මූලික පියවර වූයේ එක්සත් ජනපදයෙහි මැදිහත් වීමෙන් සෞදි අරාබිය කේන්ද්‍රය‍ කරගත් සුන්නි බල කේන්ද්‍රයක් නිර්මාණය කිරීමය. සෞදි අරාබියෙහි කලාපීය බල අභිලාෂයන්ද මෙහිදී ඊට කදිමට පෑහිනි. ඉරාන-ඉරාක යුද්ධය එය පැහැදිලි කරනු පිණිස ගත හැකි තරමක් පැරණි නිදසුනකි. එහිදී එක්සත් ජනපදය මෙන්ම සෞදි අරාබිය ඉරානයට එරෙහිව සදාම්ගේ යුද බලය ශක්තිමත් කරවනු පිණිස මැදිහත් විය.

මීට අදාළ තවත් වැදගත් සාධකයන් තිබේ. ඒ ඇෆ්ගනිස්ථානයයි. සමාන්තර කාලවකවානුව තුළ එහි බලය දැරූ සෝවියට් හිතවාදී ආණ්ඩුව පෙරළා දැමීම සඳහා එක්සත් ජනපද උපායමාර්ගය වූයේ තලිබාන් ඇතුළු සුන්නි මූලධර්මවාදී කණ්ඩායම් සටනට කැඳවීම සහ ඔවුන්ව දිගින් දිගටම නඩත්තු කරලීමය. අවසානයේදී ඔවුහු

ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගත් අතර ජනාධිපති නජිබුල්ලාව එරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය තුළදීම එල්ලා මරා දමනු ලැබීය. අවසානයේදී ඉරාකය, ලිබියාව මෙන්ම සිරියාව ආදී රාජ්‍යයන්හි පාලනය දැරූ ජාතිකවාදී අරාබි බාත් (පුනරුද) ප‍්‍රභූ තන්ත‍්‍රයන්ට තීරණාත්මක ප‍්‍රහාරයක් එල්ල කොට මැද පෙරදිග තෙල් සම්පත අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපදය ඉහත කී උපායමාර්ගය නැවතත් ඉදිරියට දැමීය. විශේෂයෙන්ම සදාම්ගෙන් පසුව ඉරානයට වාසිදායක ලෙස ඉරාකයෙහි දේශපාලන බල තුලනය සැකසෙමින් පැවතිනි. එය බිඳ හෙළනු පිණිස එක්සත් ජනපදය සහ සෞදි අරාබිය තෝරා ගත් විකල්පය වූයේ එරට තුළ සුන්නි මූලධර්මවාදී කණ්ඩායම් ශක්තිමත් කරලීමය. ලිබියාව සහ සිරියාවටද එය එළෙසින්ම අදාළය. අල් කයිඩාව මෙන්ම සිරියාවේදී අසාද්ට එරෙහිව සටන් වදින ඉස්ලාමික රාජ්‍ය සංවිධානය ඇතුළු මූලධමර්වාදී සංවිධානයන්හි වර්ධනය සඳහා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය සැළකිය යුතු වැඩ කොටසක් කරමින් සිටින බව අද වන විට පැහැදිලිව  අනාවරණය වී තිබේ. ඊශ‍්‍රායලය සහ තුර්කිය එහි අනෙක් කැපී පෙනෙන හවුල්කරුවන්ය.

ඉරානය සමඟ අත්සන් කෙරුණු න්‍යෂ්ටික අවි ගිවිසුමද පැනනැඟී ඇති අර්බුදයට බලපා ඇති තවත් ප‍්‍රබල සාධකයකි. සෞදි අරාබිය මෙන්ම ඊශ‍්‍රායලය ඊට එරෙහිව දැඩිව පෙනීසිටිති. ඔවුනට අනුව අදාළ ගිවිසුම මඟින් ඉරානයට කලාපය තුළ දේශපාලන මෙන්ම ආර්ථික බලවතෙක් ලෙස හිස එසවීමට  ඉඩකඩ සැලසී ඇති බවයි. එමතුද නොව ගිවිසුම වලංගු වන ඉදිරි වසර 15ක කාල සීමාවෙන් අනතුරුව ඉරානය තම න්‍යෂ්ටික බලයද වර්ධනය කරගනු ඇති බව දෙරටෙහි තක්සේරුවයි. අනෙක් අතින් ගත් විට ඉරාකය ඉරානයට සමීප වෙමින් සිටියි. එමතුද නොව ඉරානයෙහි පිටුබලය ලබන යේමන හවුති කැරලිකරුවන් පරාජය කිරීමට තවමත් සෞදි අරාබියට සහ එහි මිත‍්‍ර පාර්ශ්වයන්ට හැකිව නොමැත. ඇත්ත වශයෙන්ම ඉහත කී සියල්ල ඔවුන් ලද බලවත් පරාජයන්ය. එබැවින් ඉරානය කලාපය තුළ හුදෙකලා කළ හැකි ක‍්‍රියාමාර්ගයකට යාම සෞදි අරාබියෙහි ක්ෂණික අවශ්‍යතාව වී තිබේ. පූජක අල් නිම්ර් ඝාතනය ඒ සඳහා ඔවුන් ලබා ගත්  ආරම්භක සහ උපාය මාර්ගික ප‍්‍රවේශයයි. පළමු වටයේදි එය යම් පමණකින් සාර්ථකය. දැනටමත් කුවේටය සහ බහරේනය මෙන්ම ජිබූටි යන රාජ්‍යයන් සෞදි අරාබියට සහය පළ කරමින් ඉරානය සමඟ වන තම තානාපති සබඳතා කපා හැර තිබේ. ඒ අතරම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයද ඉරානයෙහි සෞදි අරාබි තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය තදබල ලෙස හෙළා දැක ඇත.

ඒ අතරම අර්බුදය සමනය වන ක‍්‍රියාමාර්ගයන්ට එළඹෙන ලෙස එක්සත් ජනපදයද රාජ්‍යයන් දෙකටම යෝජනා කර තිබේ. නමුත් ඇත්ත තත්වය නම් වොෂින්ටනය තිරයෙන් පිටුපස සිට සෞදි අරාබියෙහි රාජාණ්ඩුව මෙහෙයවමින් සිටින බවයි.

සෞදි අරාබිය මැදපෙරදිග කලාපයෙහි ම්ලේච්ඡතම පාලන තන්ත‍්‍රය බව අවිවාදිතය. කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු සිය ගණනාවක් එරට පාලන තන්ත‍්‍රය විවේචනය කිරීමේ චෝදනාව මත මරා දමා සහ සිරගත කරනු ලැබ සිටිති. තවද අදහස් පළකිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අහුරා තිබේ. සෞදි අරාබිය යනු මරණ දඬුවම පැමිණවීම ඉතා ඉහළ ප‍්‍රතිශතයකින් සිදුවන සහ එය ඉතා රුදුරු ලෙස ක‍්‍රියාවට නංවන රාජ්‍යයක්ද වෙයි. පසුගිය වසරේදී පමණක් සියයකට අධික සංඛ්‍යාවක් එරට තුළදි හිස සිඳ හෝ ගල් ගසා මරා දමනු ලැබ තිබේ. අතපය කපා දැමීම් ආදී දඬුවම්ද දෛනික ජීවිතයේ අංගයන්ය. කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතීන් නොමැත. සෞදි අරාබියේ සේවය කරන මිලියන 6 ඉක්මවන විදේශික කම්කරුවන්ද වහල් අර්ධ වහල් කොන්දේසීන්ට යටත්ව සිටිති. එමතුද නොව, එය පසුගිය මාර්තුවේ සිට යාබද යේමනයට ප‍්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් දහස් ගණනින් මරා දමමින්ද සිටියි. නමුත් බටහිර ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට‘ ඒ සම්බන්ධව කිසිදු ගැටලූවක් නොමැත. මන්ද යත් එය ඛනිජ තෙල් සම්පතෙන් ආඪ්‍යය. කලාපය තුළ ඔවුන්ගේ අභිලාෂයන් ඍජුවම නියෝජනය කරනුයේද සෞදි රාජාණ්ඩුවයි. එපමණක්ද නොව, ගැටුමට මැදිව සිටින ඉරානය, ඉරාකය සහ සිරියාව ආදී රාජ්‍යයන්හි පාලක ප‍්‍රභූ තන්ත‍්‍රයන්ටද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමඟ කවර හෝ සම්බන්ධයක් නොමැති බව සඳහන් කළ යුතුය. සියල්ලන්ටම ඇත්තේ අර්බුදයෙහි ගිලෙමින්  පවතින තම පැවැත්ම සහ ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ අභිලාෂය පමණි. ඊට අදාළ ප‍්‍රධාන උපායමාර්ගය වනුයේ තම බල අවශ්‍යතා අනුව ජනවර්ග සහ ආගමික කණ්ඩායම් අතර ආතතීන් සහ ගැටුම් වර්ධනය කරවීමය. සැබවින්ම එය අද්‍යතන පාලක පන්තීන් සතු නිල ප‍්‍රතිපත්තියයි.

ගාමිණී හෙට්ටිපතිරගේ