ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව සහ ජතිවාදීන්ගේ විරෝධතා

msx8baYපවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 78දී සම්මත වූවකි. එය සම්මත වූදා සිට මේ දක්වාම ජනතා විරෝධයට පාත‍්‍ර වී ඇත. එය 19 වැනි වතාවක් සංශෝධනය කර ඇත. එහෙත් මෙම සංශෝධනයන් බොහොමයක් ජනතා අවශ්‍යතා මත හෝ ව්‍යවස්ථාවට එරෙහි ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් සත්භාවයෙන් යුතුව සිදුකර ඇති ඒවා නොවේ, විටින් විට කරනු ලැබූ එම සංශෝධනයන් පැවැති ආණ්ඩුවල පටු දේශපාලන අවශ්‍යතා මත හෝ ඔවුන්ට මුහුණ දීමට සිදු වූ කාලීන දේශපාලන අර්බුද හේතුකොට ගෙන සිදුකරන ලද ඒවා විය. විශේෂයෙන් 17 හා 19 හැරුණු විට අනෙකුත් සියලූම සංශෝධන 78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති ජාතිවාදී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය තව තවත් තහවුරු කරන ලද ඒවා විය.

78 ව්‍යවස්ථාව 77 නවලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා සම්බන්ධ වූ සංයුක්ත දේශපාලන වැඩපිළිවෙළකි. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට ඇති රාජ්‍ය මැදිහත්වීම දුර්වල කිරීම ඒ නිසා රාජ්‍ය සේවය කප්පාදුවට ලක් කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීම, ජනතා සුභසාධනය කප්පාදු කිරීම සහ කම්කරු අයිතිවාසිකම් ආහෝසි කිරීම, නවලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ගේ අරමුණ විය. ඒ නිසාම ඊට එරෙහිව පැන නඟින ජනතා විරෝධය පාලනය කිරීමට අවශ්‍ය ශක්තිමත් මධ්‍යගත ඒකාධිපති දේශපාලන බලයක් ගොඩනැඟීමේ පාලක පන්තියේ වුවමනාව 78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් මනාව ඉටු කරන ලදී.

මේ නිසා 78 ව්‍යස්ථාව මඟින් ජනාතවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වැදුනේ මරු පහරකි. එය මනාව පිළිබිඹු කරන ලද්දේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. නමුත් ඒ හා බැඳුනු සමානුපාතික මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දෙන ලදී. විධායක ජනාධිපති ධුරයට රිසිසේ තම බලය භාවිත කිරීමට පාර්ලිමේන්තුවෙන් එල්ල විය හැකි බාධා අවම කිරීම එහි මුඛ්‍ය අරමුණ විය හැකිය. නමුත් එහි සාධනීය ලක්ෂණයක් වූයේ විකල්ප දේශපාලන මත දරන්නන්ට පවා පාර්ලිමේන්තුව ඇතුළු අනෙකුත් රාජ්‍ය පාලන ආයතන නියෝජනය කිරීමට අවස්ථාව හිමි වී තිබීමයි. නමුත් සමානුපාතික මැතිවරණ ක‍්‍රමය සමඟ පසුව මනාප ඡුන්ද ක‍්‍රමයද ව්‍යවස්ථා සංශෝධනයක් සමඟ එක් කරන ලදී. සමානුපාතික මැතිවරණ ක‍්‍රමය සාධනීය ලක්ෂණයක් වුවද මනාප ඡුන්ද ක‍්‍රමය නිසා එය යටපත් කරමින් එම මැතිවරණ ක‍්‍රමය පිළිබඳ ජනතා විරෝධය ගොඩනැඟිනි. කෙසේ වෙතත් සමානුපාතික මැතිවරණ ක‍්‍රමය මනාප ඡුන්ද ක‍්‍රමයෙන් තොරව පවත්වාගෙන යාමට තරම් විනයක් හා ශික්ෂණයක් පාලක පක්ෂවලට නොවීය. මේ නිසා 78 ව්‍යවස්ථාවේ මැතිවරණ ක‍්‍රමය පාලක පන්තියේ මුඛ්‍ය දේශපාලන අරමුණුවලට එහා ගිය විකෘතියක් බවට පත්විය.

78 ව්‍යවස්ථාව ඊට පෙර ලංකාවේ පැවැති සියලූම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සේම තමිල් මුස්ලිම්  ජනතාවගේ දේශපාලන අයිතීන් හා සංස්කෘතිකමය අවශ්‍යතාවන් බරපතළ ලෙස උල්ලංඝනය කරන්නක් විය. එය ලංකාව ඒකීය රාජ්‍යක් ලෙස අත්තනෝමතික අයුරින් මධ්‍යගත කිරීමට දරන ලද ප‍්‍රයත්නයේ සිට ව්‍යවස්ථාවේ අනෙකුත් වගන්ති තුළින්ද ඒවා විiාමාන වේ. භාෂා ප‍්‍රතිපත්තියේදී එය සිංහල රාජ්‍ය භාෂාව ලෙස හඳුන්වන අතර දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේය යනුවෙන් තමිල් ජනතාව දෙවැනි තැනලා සැලැකීමේ ජාතිවාදී ප‍්‍රතිපත්තිය නීතිගත කර ඇත. ව්‍යවස්ථාවේ එසේ සඳහන් කර ඇති අයුරින්ම ප‍්‍රායෝගික භාවිතාවේදී ඊටත් වඩා පරපතළ ලෙස කි‍්‍රයාත්මක වෙන බව මෙම ප‍්‍රශ්නය දෙස සාධාරණව බලන  ඕනෑම කෙනකුට පෙනීයයි. ඊළඟට බොද්ධාගමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් ප‍්‍රමුඛතාව ලබාදී ඇත. මේ නිසා අනෙකුත් ආගම් ඇදහීමේ අයිතිය සහ සංස්කෘතික නිදහස එමඟින් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇත. ව්‍යවස්ථාවට පසුව එක් කරන ලද තවත් බරපතළ සංශෝධනයක් වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ඇතුළු අනෙකුත් රාජ්‍ය පාලන ආයතනවල නියෝජිතයන්ගෙන් ඒකීය රාජ්‍යක් පිළිගන්නා බවට වූ දිවුරුමක් ලබා ගැනීමයි. මෙම සංශෝධනයත් සමඟ විකල්ප රාජ්‍යයක් වෙනුවෙන් දේශපාලන මත දැරීමත් එවැනි අරගලයක නිරතවීමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවත තුළ කෙසේවත් කළ නොහැකි විය. ඒ නිසා 77 මැතිවරණයෙන් විපක්ෂය බවට පත්වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පළවා හරින ලදී. මේ සියලූ කරුණුවලින් පෙනීයන්නේ 78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම ජාතිවාදී ස්ථාවරයක සිට සකස් කර ඇති බවයි.

දැන් ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත. පවතින පාර්ලිමේතුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත් කිරීමත් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීමත් එම කමිටුව මඟින් යෝජනා හා ජනතා අදහස් ලබා ගැනීමත් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යස්ථාවක් සකස් කොට එය ජනමත විචාරණයකට යොමු  කිරීමත් ඊට ඇතුළත්ය. මෙය බැලූ බැල්මට ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනතාවාදී යෝජනාවකි. නමුත් එහි දේශපාලන සත්භාවය පිළිබඳ බරපතළ සැකසංකා මතු කරයි. මීට පෙර සෑම අවස්ථාවකදීම මෙවැනි යෝජනා කතා සාප්පුවක් බවට පත්විය. රටේ අනෙකුත් ආර්ථික හා සමාජීය ගැටලූ යටපත් කිරීම සඳහා එය යොදා ගන්නා ලදී. එමෙන්ම ජාතිවාදීන්ගේ දේශපාලන ක්ෂේම භූමියක් බවට පත් කර ගන්නේ මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයි. මෙම අතීත අත්දැකීම දැනට පුනරුච්චාරණය වීමට පටන්ගෙන තිබීම මඟින් එම සැකය තහවුරු කරයි.

‘විමානය යකාගේ තරමටයි’ කියන කියමනක් ඇත. දැනටමත් ආණ්ඩුව නවලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ගේ තුන්වැනි අදියර කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව වූ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. පසුගියදා සම්මත වූ 2016 අයවැය තුළින්ද එය තහවුරු විය. එම නවලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට ගැලපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් ආණ්ඩුව විසින්ම යෝජනා කිරීම තේරුම් ගත හැක.  එනිසා යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය නොහැක. ජනතා අයිතීන් උල්ලංඝනය කරන  ආර්ථිකයකට ජනාතවගේ ප‍්‍රජතාන්ති‍්‍රක අයිතීන් රකින රාජ්‍ය පාලනයක් ලබාදිය නොහැක. නමුත් ඒ වෙනුවෙන්   ජනතාව කරන අරගලය නතර කළ යුතු නැත. විශේෂයෙන්ම පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති ප‍්‍රජාත‍්‍රන්ත‍්‍ර විරෝධීත්වයත් ජාතිවාදී  ස්වරූපයනුත් අවම කර ගැනීම සඳහා හෝ අරගල කිරීමට මෙම දේශපාලන අවස්ථාව යොදාගත යුතුය. ඒනිසා  නව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සැකසීමේදී රට තුළ සියලූම ජාතිවාදී උද්ඝෝෂණයන්ට එරෙහිවීමත් සිංහල, තමිල් හා මුස්ලිම්  ජනතාවගේ සම අයිතිය ආරක්ෂා වන ආණ්ඩුක‍්‍රමයක් වෙනුවෙන් හඬ නැඟිය යුතුය. කෙසේ වෙතත් යෝජිත නව ව්‍යවස්ථා සම්පාදනය විප්ලවීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් විය නොහැක. ඒ නිසා ඒ වෙනුවෙන් පීඩිත ජනතාවගේ ආර්ථි්ක ඉල්ලීම් දේශපාලන වශයෙන් හිලව් කිරීමද බරපතළ වරද්දා ගැනීමක් විය හැක. කෙසේ වෙතත් ඉතා වැදගත් වන්නේ මෙම කරුණු දෙක පිළිබඳව වඩා නිවැරදි ලෙස ජනතාව දැනුවත් කිරීමයි.

චන්ද්‍රසිරි ලන්දගේ