තිලංගගේ ජයග‍්‍රහණය පිටුපස රහස කුමක්ද?

thilanga

කි‍්‍රකට් නිලවරණය අවසන් වූයේ තිලංග සුමතිපාලගේ පාර්ශ්වයට කි‍්‍රකට් මුල්පුටු සියල්ල දිනා දෙමිනි. රාජපක්ෂ යුගයේ සිටම කි‍්‍රකට් අතුරු පාලක මණ්ඩලයේ බලය දරාගෙන සිටි නිශාන්ත රණතුංග ප‍්‍රමුඛ රණතුංග පාර්ශ්වය පරාජයට පත්විය.

රණතුංග පාර්ශ්වය තුළ උප සභාපතිකමකට තරග වැදුණු අර්ජුන රණතුංග නිලවරණයෙන් පසුව පැවසූයේ කි‍්‍රකට් මාෆියාව විසින් තමන් පරාජය කළ බවයි. හැම ඡුන්දයකින්ම කොහෙන් ඉල්ලූවත් දිනූ තමාට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ උපසභාපතිකමවත් ජයග‍්‍රහණය කරගත නොහැකි වූයේ මේ මාෆියාව නිසා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සුමති සමූහ ව්‍යාපාරයේ තිලංග සමඟ ලංකාවේ මුල්පෙළ ධනපතියකු වන ජයන්ත ධර්මදාසද එක් විය. ඔහු උපසභාපති විය. මතිවානන් ලේකම් විය. ෂම්මි ද සිල්වා, රවීන් වික‍්‍රමරත්න, මොහාන්  ද සිල්වා වැනි කි‍්‍රකට් ආයතනයේ පසුගිය කාලයේ විවිධ තනතුරු දැරූ අය නැවතත් මුල් පුටුවලට පත්විය. පාලක මණ්ඩලයේ අනුකමිටුවලට සාමාජිකයන් තෝරද්දී රණතුංග පාර්ශ්වය ඉවත්ව ගොස් තිබුණි. තිලංග පාර්ශ්වය නිතරගයෙන් සියලූ අනුකමිටුවලට පත්විය. කී‍්‍රඩා ඇමැතිවරයා නිලවරණයෙන් පසුව ප‍්‍රකාශ කළේ සාධාරණ නිලවරණයක් පැවති බවත් ඇතැම් අය තමාටද බලපෑම් කළ බවත් ජනාධිපතිවරයා තමාට කිසිදු බලපැමක් නොකළ බවත්ය.

නිලවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී අර්ජුන කිහිපවිටක්ම නිලවරණය භාර නිලධාරීන් පක්ෂග‍්‍රාහී බව කියමින් විවේචනය කළේය. රණතුංගලා නිලවරණය තමන්ට අවාසිදායක බව දැන එය තාවකාලිකව අත්හිටුවා නැවත අතුරු පාලක මණ්ඩලයක් පත් කරන මෙන් ජනාධිපතිගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපතිවරයා ඊට එකඟ නොවී ඔවුන්ට බැන වැදී ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. මූල්‍ය ශක්තියෙන් සුමතිපාලලා පොහොසත් බව සත්‍ය වුවත් වර්තමානයේ රණතුංගලාද ඊට නොදෙවැනිය.

මූල්‍ය ශක්තියට අමතරව වැඩියෙන් දේශපාලන ශක්තිය ලැබූ පාර්ශ්වය ජයගෙන තිබේ. එම දේශපාලන ශක්තිය වෙනකක් නොව විධායක ජනාධිපතිවරයාගේ ආශීර්වාදයයි. ජනාධිපතිවරණයෙන් පසු මුලින්ම ශි‍්‍ර.ල.නි.ප.යෙන් මෛතී‍්‍ර වෙත ආ පිරිස අතර තිලංග ප‍්‍රබලතම චරිතයක් විය. ජනාධිපතිවරයා සමඟ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ඔහු ප‍්‍රබල භූමිකාවක් රඟදැක්වීය. ඒ නිසා ඡුන්දයෙන් පැරදුනත් තිලංගව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට මෛතී‍්‍ර කටයුතු කළේය. එතැනින් නොනැවතී ඔහුට නියෝජ්‍ය කතානායක ධුරය ලබාදුන්නේ මෛතී‍්‍රගේ බලව්‍යාපෘතියේ ඔහු ප‍්‍රබලම චරිතයක් වූ බැවිනි. දැන් කි‍්‍රකට් මුල් පුටුවත් ඔහුට හිමිකරදී තිබේ. සැබවින්ම කි‍්‍රකට් නිලවරණය තුළ ජයගෙන ඇත්තේ විධායක ජනාධිපතිමය.

කි‍්‍රකට් පිටුපස වන අවලස්සන බලතරගය කවුරු දිනුවත් අපට පැවසීමට ඇත්තේ අලූත් බෝතලයේ ඇත්තේ පරණ වයින් බවය. ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව මඩගොහොරුවක් කිරීමට පසුගිය දශක දෙක තුළ වගකිව යුතු ප‍්‍රබලම චරිත කිහිපයක් නැවතත් මහ පුටුවට පැමිණ ඇත.

සොහාන් ප‍්‍රනාන්දු