න්‍යායාත්මක හා උපක‍්‍රමික ක‍්‍රියාකාරීත්වය ගැන වමට නැවත හිතන්න වෙනවා – ඩේවිඩ් හාවේ

David Harvey

ඩේවිඩ් හාවේ නිව්යෝර්ක් නාගරික විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා සහ භූ විද්‍යා මහාචාර්යවරයා ලෙස සේවය කරයි. මාක්ස්වාදී චින්තකයකු ලෙස ඔහු විසින් කැපී පෙනෙන අදහස් ප‍්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.  සමාජ ක‍්‍රියාකාරිකයකු වන AK Malabocas නමැති ජර්මන් සමාජ ක‍්‍රියාකාරික කණ්ඩායම ඔහු සමඟ කළ සංවාදයක පරිවර්තනයයි මේ.

  • පසුගිය 40 වසරක් තුළ ප‍්‍රාග්ධන සමුච්ඡකරණයේ ස්වරූපය ලෝක පරිමාණයෙන් වෙනසකට භාජනය වෙලා. මේ වෙනස්කම් ධනවාදයට එරෙහි අරගලයට බලපාන්නෙ කොහොමද?

මහේක්ෂ පර්යාවලෝකනයකදි එක් එක් නිෂ්පාදන ස්වරූපය ඊටම විශේෂිත ආකාරයේ ප‍්‍රතිරෝධයක් ජනනය කරනවා. ඒක හරියට කණ්ණාඩියක ඇතිවන එහිම පිළිබිඹුවක් වගෙයි. හැටේ හැත්තැවෙ දශකයෙදි ප‍්‍රාග්ධනය සංවිධානය කර තිබුණෙ නිල ස්ථරායනයක් සහිත දැවැන්ත කම්හල් සහිත ව්‍යවසායන් ලෙසයි. එහිදී ප‍්‍රතිරෝධය ගොඩනැඟුණේ ව්‍යවසායකත්වයට අනුරූපිව ගොඩනැඟූ වෘත්තීය සමිති ව්‍යුහයන්ගේ දේශපාලන යාන්ත‍්‍රණ හැටියටයි. වෙනත් විදියකින් කිව්වොත් ෆෝඞ් කර්මාන්ත ශාලාවල බිහිවුණේ ෆෝඞ් කර්මාන්තයට අනුරූපී වෘත්තීය සමිතිවාදී විරෝධතා ව්‍යුහයක්.

පසුගිය කාලය මුලූල්ලේ මෙම ව්‍යවසායකත්වයන් වෙනස්වීමත් සමඟ කාලය හා අවකාශය තුළ පූර්ව නිගමනයන් තුළ වූ තත්වයට වඩා නම්‍යශීලී බවක් ඇති කළා. විශේෂයෙන් ප‍්‍රමුඛ ධනපති රාජ්‍යයන්හි ප‍්‍රාග්ධනය විමධ්‍යගත ආකෘතියෙන් සංවිධානය වීම සිදු වුණා. පෙර පැවැති ආකාරයෙන් ස්ථරායනයක් සහිත ෆෝඞ්වාදී ප‍්‍රතිරෝධය ගොඩනැඟීමට වඩා ජාලකරණයක් හා විමධ්‍යගතකරණයක් සහිත විරෝධයක් ඇති වූ බව දක්නට ලැබුණා.

ඉතින් හාස්‍යජනක විධියට වාමාංශය නැවත සංවිධානය වුණෙත් ප‍්‍රාග්ධනය ප‍්‍රතිසංවිධානය වුණු ආකාරයට අනුරූපීවයි. වාමාංශය කියන්නෙ අප විවේචනය කරන ස්ථරායනයෙම කැඩපත් පිළිබිඹුවක් කියලා වටහාගත්තොත් විතරක් ඒ විවේචනයට ලක්කරන දේ සමඟ පවත්වාගෙන යන සම්බන්ධය බිඳ දමන්න පුළුවන්, ඒ කැඩපත බිඳ දමන්න අපට පුළුවන්.

  • දැවැන්ත කම්හල් සහිත ෆෝඞ්වාදී කර්මාන්ත යුගයෙදි ප්‍රතිරෝධය උපදවන ප‍්‍රධාන පරිසරය වුණේ කම්හල්. නමුත් දැන් ප‍්‍රාග්ධන ක‍්‍රියාදාමය කම්හල්වල සිට නාගරික කලාපවලට ගමන් කර තියෙන තත්වයකදි ඒ විරෝධය ගොඩනැෙඟන්නෙ කොහොමද?

පළමුවෙන්ම, කම්හල් ආකෘතිය අහෝසි වෙලා නෑ. බංග්ලාදේශය, චීනය වගේ රටවල තවමත් එවැනි කම්හල් දක්නට ලැබෙනවා. වැදගත් වෙන්නේ කේන්ද්‍රයේ නගරවල නිෂ්පාදන ආකෘති වෙනසකට ලක්වී තිබීමයි. නිදසුනක් හැටියට භාණ්ඩ බෙදාහැරීම් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයෙදි සේවකයන් විසින් දැවැන්ත වටිනාකම් උපදවනු ලබනවා.

පසුගිය දශක කිහිපයෙදි සේවා ක්ෂේත‍්‍රය තුළත් විශාල වෙනස්කම් ඇති වුණා. 1970 දශකයෙදි අමෙරිකාවෙ විශාලම ශ‍්‍රම සංවිධානයක් ජනනය කළ ව්‍යවසායන් වුණේ ෆෝඞ්, ජෙනරල් මෝටර්ස් සහ යූඑස් ස්ටීල් වගේ ආයතන. ඒත් අද එම තත්වය උසුලන්නෙ මැක්ඩොනල්ඞ්, කේඑෆ්සී, වෝල්මාර්ට්. ඒ කාලෙ වැඩ කරන ජනතාවගෙ මධ්‍යස්ථානය වුණේ කම්හල. නමුත් අද වැඩකරන ජනයා වැඩි පුරම ඉන්නෙ සේවා ක්ෂේත‍්‍රයෙ. ඉතින් ඇයි අපි කියන්නෙ හැම්බර්ගර් හදන එකට වඩා කාර් හදන එක වැදගත් කියලා?

අවාසනාවට වගේ ක්ෂණික ආහාර සේවාවල ශ‍්‍රමිකයන් සංවිධානය ගැන වම එතරම් උනන්දු නෑ. සම්භාව්‍ය වැඩකරන පන්තියක් පිළිබඳ ඔවුන් සතු චිත‍්‍රයට සේවා ශ‍්‍රමිකයන් භාණ්ඩ ප‍්‍රවාහන ශ‍්‍රමිකයන්, ආපන ශාලා කම්කරුවන් හෝ සුපර් මාකට් කම්කරුවන් ගැලපෙන්නෙ නෑ.

නිර්ධනයන් අතුරුදන් වෙලා නෙවෙයි. වැඩකරන ජනතාවගෙ නියමු බලඇණිය හැටියට සාම්ප‍්‍රදායික ආකාරයට හඳුනාගත්ත නිර්ධනයන් වෙනුවට වෙනත් අංග ලක්ෂණ සහිත නිර්ධනයන් පිරිසක් බිහි වෙලා. මෙහිදී මැක්ඩොනල්ඞ් සේවකයන් තමයි 21 වැනි සියවසේ වානේ කම්කරුවන් වෙලා තියෙන්නෙ.

  • නව නිර්ධනයා ගැන කතාව එහෙම නම් දැන් ප‍්‍රතිරෝධය සංවිධානය කරන්නෙ කොහොමද?

වැඩබිමේදි සංවිධානය කරන එක දුෂ්කරයි. දැන් භාණ්ඩ ප‍්‍රවාහන කම්කරුවන් එක තැනක ඉන්නෙ නෑ හැමතැනම යනවා. ඒ නිසා මෙවැනි බලවේග වැඩබිමෙන් පිටත සංවිධානය කරන්න  ඕන. සමහරවිට ඔවුන් ජීවත්වන පරිසරය අනුව අසල්වාසි ඒකක හැටියට සංවිධානය කරන්න පුළුවන් වේවි.

මෙහිදී මට ග‍්‍රාම්ස්චි 1919දී කියපු කාරණයක් මතක් වෙනවා. ඔහු කිව්වෙ කම්කරුවන් වැඩකරන ස්ථානයෙදි වැඩබිම් කමිටුවල සංවිධානය කරන එක හොඳයි, නමුත් අසල්වැසි කමිටු හැටියටත් සංවිධානය කළ යුතුයි කියලා. එහිදී ඔහු කිව්වෙ වැඩබිම්වල සංවිධානයවන කම්කරුවන්ට තම සුවිශේෂී තත්වයන් ගැන අවබෝධයක් ඇති වෙනවා වගේම සමස්තයක් ලෙස නිර්ධනයන්ගෙ තත්වය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න එවැනි අසල්වාසි කමිටුවලදි හැකි වෙනවා කියලා.

එදා වැඩිබිම් සංවිධායකයන්ට වානේ කම්කරුවන් ගැන අවබෝධයක් තිබුණා. නමුත් සමස්තයක් හැටියට නිර්ධනයා ගැන වැටහීමක් ඔවුන්ට තිබුණෙ නෑ. අසල්වාසි කමිටුවලට ගෘහස්ත කම්කරුවන්, සනීපාරක්ෂක කම්කරුවන්, ප‍්‍රවාහන සේවා රියැදුරන් වගේ අය ඇතුළත් කරගන්න පුළුවන්. ග‍්‍රාම්ස්චි කවදාවත් කිව්වෙ නෑ ‘කොමියුනිස්ට් පක්ෂය විසින් අසල්වාසි සංවිධානවල මහ සමුළුවක් කැඳවිය යුතුයි’ කියලා.

වැඩබිම්වල සංවිධාන ගොඩනඟන්න නොහැකි වුණු නිසා අසල්වාසි සංවිධාන ගොඩනැඟූ යුරෝපීය කොමියුනිස්ට් පක්ෂවල විශේෂතාවයකුත් තිබෙනවා. 1960 දශකයෙදි ශක්තිමත් සංවිධාන ගොඩනැඟූ ස්පාඤ්ඥය ඒකට හොඳ උදාහරණයක්. මා දිගින් දිගටම අවධාරණය කළ ආකාරයට පන්තිය සංවිධානය කිරීමේ ආකෘතියක් හැටියට අසල්වැසි සංවිධාන ගොඩනැඟිය යුතුයි. ග‍්‍රාම්ස්චි එක අවස්ථාවක මේ ගැන ලිව්වා. ඒ ගැන අදහස ඉදිරියට ගෙන ගියේ නෑ.

80 ගණන්වල බි‍්‍රතාන්‍යයෙදි ග‍්‍රාම්ස්චි යෝජනා කළ දේ ක‍්‍රියාවට නැඟුනා. නාගරික කම්කරුවන් වෘත්තීය කමිටු හැටියට විශාල ව්‍යුහයන් තුළ සංවිධානය කෙරුණා. නමුත් බි‍්‍රතාන්‍ය වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ මෙවැනි වෘත්තීය කමිටු අවතක්සේරුවට ලක් කෙරුණා. ඒ කමිටු වෘත්තීය සමිති ව්‍යාපාරයට වැඩ කළ හැකි ආකෘතියක් ලෙස සළකනු ලැබුවෙත් නෑ.

නමුත් ගතානුගතික වෘත්තීය සමිතිවලට වඩා සටන්කාමී ලෙස මෙවැනි වෘත්තීය කමිටු ක‍්‍රියාකාරි වුණා. මොකද සමස්ත වැඩකරන පන්තිය පිළිබඳ වැටහීමක් ඇති අය එවැනි වෘත්තීය කමිටු තුළ මූලය බවට පත් වුණා. වැඩකරන ජනයා පිළිබඳ පුළුල් අර්ථ දැක්වීමක සිටින තරමට එවැනි වෘත්තීය කමිටු හරහා වඩා රැුඩිකල් ක‍්‍රියමාර්ගවලට යාම සිදු වුණා. මෙය රැුඩිකල් පිරිසකගේ භූමියක් ලෙස පිළිගනු ලැබුවා මිස තමන්ටත් වලංගු ස්ථානයක් ලෙස සාම්ප‍්‍රදායික වෘත්තීය සමිතිවල අවධානයට ලක් කෙරුණේ නෑ.

මෙවැනි සංවිධාන ව්‍යුහයක වාසිය මොකක්ද? එයින් ශ‍්‍රමිකයන් ශ්‍රේණි වශයෙන් සංවිධාන කිරීමේදි ඇතිකරන බෙදුම් රේඛා නැති කරනවා. ඒ තුළ භූමියක් නැති කම්කරුවන් ඒකරාශි කරනවා. ඒ වගේම සමාජ පදනමක් සහිත හා වෘත්තීය ඒකක වශයෙන් පවතින සංවිධාන ආකෘතිවලට මෙය ඉතාමත් ගැලපෙනවා. අමෙරිකානු අරාජිකවාදී ලේඛකයකු හා නිදහස්වාදී සමාජවාදියකුවන මරේ බුක්චින් මේ සම්බන්ධව කරුණු දක්වා තිබෙනවා.

ආර්ථික අර්බුදය තුළ වාමාංශය ක‍්‍රියාකාරී නැත්නම්

දක්ෂිණාංශය තමයි ඊළඟ තේරීම

  • පසුගිය කාලයේ ග‍්‍රීසිය, ස්පාඤ්ඤය මෙන්ම වෝල් වීදිය අත්පත් කරගැනීම වැනි අත්දැකීම්වලදි විරෝධය ප‍්‍රාදේශිකකරණය කරන්නට දරන උත්සාහයක් තිබුණා. සාම්ප‍්‍රදායික වම අවධානය යොමු කළ මතවාද සම්බන්ධ මහා ප‍්‍රශ්නවලට වඩා එදිනෙදා ජිවිතයේ ප‍්‍රශ්න පිළිබඳ සංවිධානයවීමක් දක්නට ලැබුණා නේද?

එදිනෙදා ජීවිතයේ ප‍්‍රශ්න වටා සංවිධානය වීම මහා ප‍්‍රශ්නයක් නෙවෙයි කියලා ඇය ඔබ කියන්නෙ? ඒකත් ලොකු ප‍්‍රශ්නයක් තමයි. ලෝක ජනගහනයෙන් අඩක් ජීවත් වෙන්නෙ නාගරික පරිසරයක. ඒ ජනතාව දුෂ්කරතාවන් විඳින්නෙ එදිනෙදා ජීවිතයෙ මුහුණ දෙන තත්වයන් තුළ. මේ දුෂ්කරතා රඳා පවතින්නෙ වටිනාකම් උත්පාදක කලාපය තුළ විතරක් නෙවෙයි, වටිනාකම් භාවිත කරන කලාපය තුළත් ඒවා ගැබ්වී තියෙනවා.

මෙහි මා ඉදිරිපත් කරන න්‍යායික තර්කයක් තිබෙනවා. ප‍්‍රාග්ධනය කෘතියෙ පළවැනි වෙළුම හැමදෙනාම වගේ කියවනවා. නමුත් දෙවැනි වෙළුම කියවන්නෙ නෑ. පළවැනි වෙළුම වටිනාකම් ඉපදවීම පිළිබඳවයි. දෙවැනි වෙළුම වටිනාකම් භාවිතය ගැනයි. වටිනාකම් ඉපදවීමේ කොන්දේසි වගේම වටිනාකම් භාවිත කිරීමේ කොන්දේසිත් වැදගත් බව දෙවැනි වෙළුම කියවද්දි ඔබට තේරුම් ගන්න හැකි වේවි.

ප‍්‍රාග්ධනය නිෂ්පාදනයේ වගේම භාවිතය අතර ඒකත්වයක පවතින්නක් බව වටහාගැනීම අත්‍යවශ්‍ය බව මාක්ස් අවධාරණය කළා. වටිනාකම් උපදවන්නෙ කොතැනද සහ වටිනාකම් හිමිකරගැනීම වෙනස් දේවල්. නිදසුනක් හැටියට චීනයෙදි දැවැන්ත වටිනාකම් උපදවනු ලබනවා. නමුත් ඒ වටිනාකම් එක්සත් ජනපදයෙදි හිමිකරගනු ලබන්නෙ වෝල්මාට් හෝ ඇපල් ආයතන විසින්. ඇත්තවශයෙන්ම වටිනාකම් හිමිකර ගන්නෙ වැඩකරන ජනතාව වැඩි මිලක් ගෙවා ඒවා පරිභෝජනය කිරීම නිසයි.

  • ප‍්‍රාග්ධනය විසින් නිෂ්පාදන මට්ටමේදි වැඩි වැටුප් දෙනු ලබාවි. එහෙත් වැඩකරන ජනතාව විසින් ගෙවල් කුලී, දුරකථන බිල්, ක්‍රෙඩිට් කාඞ් ගාස්තු වැනි මාර්ගවලින් ඒ වැටුප් වටිනාකමට එහා යන ගෙවීමක් කරන්න වෙනවා. වැඩකරන ජනතාව වඩා යහපත් වැටුපක් හා රැුකියා තත්වයක් වෙනුවෙන් සටන් කරනවා වගේම වටිනාකම් හිමිකරගැනීම වෙනුවෙන් කරන අරගලය – නිදසුනක් හැටියට තමන්ට ගැලපෙන නිවසක් හිමිකරගැනීමට කරන අරගලයත් – එක සේ වැදගත්. ඉහළ වැටුපක් ගත්තත් නිවාස කුළියට එයින් වැඩි වියදමක් වෙන් කරන්න වෙනවා නම් එයින් වැඩක් වෙනවද?

ධනපතියන් වැඩකරන ජනතාව සමඟ පැවැත්වූ සම්බන්ධතාවලදි දැනගෙන ඉන්න දෙයක් තමයි, තමන් වැටුප් ලෙස ගෙවන දෙයට වඩා වැඩි දෙයක් ඔවුන් හරහා උපයාගන්න පුළුවන් බව. 1960, 70 දශකවල පරිභෝජනය අතින් කම්කරුවන් බලවත් මට්ටමට ආවම ප‍්‍රාග්ධනය වැඩි අවධානයක් ගත්තෙ තමන් වැය කළ වටිනාකම් නැවත පරිභෝජනය හරහා නැවත හිමිකරගැනීමටයි.

ඉතින් හිමිකරගැනීමේ කලාපය තුළ අරගලය මාක්ස්ගෙ කාලයෙ තරම් බලවත් නැහැ. අනෙක් අතට ප‍්‍රාග්ධනයෙ දෙවැනි වෙළුම කියවන්න අවධානයක් නැතිකම සාම්ප‍්‍රදායික වමේ ප‍්‍රශ්නයක්. ඉතින් ඔබ අහනවා මෙහි මහා ප‍්‍රශ්නය මොකක්ද කියලා. ඉතින් මේක තමයි මහා ප‍්‍රශ්නය. ප‍්‍රාග්ධනය බිහිවීමත් නිෂ්පාදනය හා පරිභෝජනය අතර සබඳතාවත්. මේ දෙක තුළ ඇති ප‍්‍රතිවිරෝධතාත්මක ඒකත්වය වටහා නොගත්තොත් සමස්ත චිත‍්‍රය ඔබට දකින්න බැරි වෙනවා. පන්ති අරගලය මේ සියල්ල තුළ සටහන් වී තිබෙනවා. නමුත් මට තේරුම් ගන්න බැරි, ඇයි මාක්ස්වාදීන් බොහෝදෙනෙක් මෙහි වැදගත්කම ගැන අවධානයක් යොමු නොකරන්නෙ කියන එක.

ප‍්‍රශ්නය වෙන්නෙ 2015දී අපි මාක්ස් තේරුම් ගන්නෙ කොහොමද කියන එකයි. මාක්ස්ගෙ කාලෙදි නාගරිකකරණය සාපේක්ෂව ගැටලූවලින් තොරයි. වැඩකරන ජනතාවගෙ පැත්තෙන් පරිභෝජනයක් නොතිබුණු තරම්. ඉතින් මාක්ස්ට කතා කරන්න සිදු වුණේ වැඩකරන ජනයාට හිමි වූ අඩු වැටුප ගැනයි. ඔවුන්ට එයින් යැපෙන්න පුළුවන්කමක් තිබුණා. ප‍්‍රාග්ධනයට තමන්ගෙ පාඩුවෙ අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරන්න හැකියාවක් තිබුණා.

  • නමුත් දැන් අපි ඉන්නෙ ලෝක ආර්ථිකයෙ 30%ක් පමණ පංගුකාරීත්වයක් පරිභෝජනයට හිමිව ඇති ලෝකයක. ඉතින් ඇයි අපි කියන්නෙ පරිභෝජනය වැදගත් නෑ කියලා. ප‍්‍රාග්ධනයෙ පළවැනි වෙළුමට සීමා වෙලා නිෂ්පාදනය ගැන කතා කරනවා, ඒත් පරිභෝජනය අපට අදාළ නැද්ද?

නාගරිකකරණය විසින් අපව යම් කිසි පරිභෝජන රටාවකට පොලඹවනවා. උදාහරණයකට ඔබට මොකක් හරි වාහනයක් පාවිච්චි කරන්න වෙනවා. නාගරිකකරණය සිදුවන ආකෘතියෙන් ඔබේ ජීවන විලාසය තීරණය වෙනවා. මාක්ස්ගෙ කාලයෙ ජීවත්වන කෙනකුට එහෙම නිශ්චිතතාවක් තිබුණෙ නෑ. අපේ කාලයෙදි ඒක අනිවාර්යක් වෙලා. අපට සිදු වෙනවා ඒ වෙනස්කම් තුළ පන්ති අරගලයෙ ගතිකත්වය හොයාගන්න.

  • එවැනි වෙනස්වීමක් තුළ, නිශ්චිත ලෙසම උපක‍්‍රම සහ ආකෘති සීරුමාරුකරමින් සංවිධානය කිරීමට වමට සිදු වෙනවා. සංවිධානයවීමේ අරමුණත් වෙනස් වෙනවද?

අරාජිකවාදී සහ ස්වයංපාලන සම්ප‍්‍රදායන් තුළින් පැනනැඟුණු කණ්ඩායම් විසින් මෑතකාලීන සමාජ ව්‍යාපාරවල තම මුද්‍රාව තබනු ලැබුවා. ඒ වගේම ඔවුන් සාම්ප‍්‍රදායික මාක්ස්වාදීන්ට වඩා එදිනෙදා ජීවිතයෙ දේශපාලනය තුළ ඇලී ගැලී සිටිනවා.

මම අරාජිකවාදීන්ට පක්ෂපාතීව කල්පනා කරනවා. පරිභෝජනයට අදාළ දේශපාලනය සහ පරිභෝජනවාදය පිළිබඳ විවේචනය පැත්තෙන් ඔවුන් වඩා හොඳ තැනක ඉන්නවා. වෙනස් හා නව මූලධර්ම මත දෛනික ජීවිතය ප‍්‍රතිසංවිධානය කිරීම ඔවුන්ගෙ ඉලක්ක අතර තියෙනවා. අද කාලයේ බොහෝ දේශපාලන ක‍්‍රියාකාරීත්වයන් ඉලක්ක කළ යුතු තීරණාත්මක ලක්ෂ්‍යයක් වෙන්නෙත් එයයි. නමුත් මේක මහා ප‍්‍රශ්නයක් නෙවෙයි කියද්දි මම ඔබ එක්ක එකඟ නෑ.

  • දකුණු යුරෝපයේ උදාහරණ විශේෂයෙන් ග‍්‍රීසියෙ සහයෝගීතා සංවිධාන ජාලය, ස්පාඤ්ඥයේ සහ තුර්කියේ ස්වයං සංවිධාන සැලකිල්ලට ගත යුතුයි. මේ කාලයේදි දෛනික ජීවිතයේ ප‍්‍රශ්න සහ මූලික අවශ්‍යතා මත සමාජ ව්‍යාපාර ගොඩනැඟීමේදි මේවා අතිශය තීරණාත්මකයි. ඔබ හිතනවද මෙහි අපේක්ෂා කළ හැකි යමක් තිබෙනවා කියලා?

මම හිතනවා යමක් අපේක්ෂා කළ හැකියි කියලා. නමුත් එහිම වූ පැහැදිලි සීමාවන් තිබෙනවා. ඒක මට ප‍්‍රශ්නයක්. ඒ කියන්නෙ සමහර අවස්ථාවලදි බලය අතට ගන්න ඇති පසුබට වීමයි. බුක්චින් එයාගෙ කෘතියෙ සඳහන් කරනවා අරාජිකවාදී්න්ගෙ ප‍්‍රශ්නය, බලය පිළිබඳ සුවිශේෂීත්වය ප‍්‍රතික්ෂේප කිරීම හා එය ලබාගන්න ඇති නොහැකියාව කියලා. බුක්චින්ගෙ විවේචන එතරම් දුරට යන්නෙ නෑ. නමුත් රැුඩිකල් වෙනස්කම් කිරීමට යොදාගත හැකි සහායක් රජයට දියහැකිි බව අරාජිකවාදීන් පිළිගන්නෙ නෑ.

රජය සතුරා ලෙස, 100%ක්ම සතුරා හැටියට සලකන ප‍්‍රවණතාවක් තියෙනවා. ජනතාවට පාලනය කරන්න බැරි මර්දනකාරී රාජ්‍යයන්හිදී තත්වය ඒක තමයි. ධනපති රාජ්‍යයට එරෙහිව සටන් කළ යුතුයි කියන එක ගැන විවාදයක් නෑ. නමුත් රාජ්‍ය බලය පාලනය කරන්නෙ නැතිව, එය අත්පත් කරගන්නෙ නැතිව බෑ. 1936දී සිදු වුණු දේ 1937 බාසිලෝනාවෙ සහ ස්පාඤ්ඤය පුරා සිදු වූ දේ ගැන බලමු. රාජ්‍ය බලය ගන්න හැකියාවක් තිබුණු අවස්ථාවෙ එය නොගත් විප්ලවවාදීන් කළේ ඒ බලය නැවතත් ධනපතියන් අතට පත්වන්නට ඉඩ දුන්නා. සිදු වුණේ මොකක්ද? රාජ්‍ය ඉක්මනින් නැවත සංවිධානය වී විරෝධතා ව්‍යාපාරය කුඩුපට්ටම් කර දැමුවා.

බල ව්‍යුහයන්ට අභියෝග කරද්දි කිසිම දෙයක්

තනිවම ප‍්‍රමාණවත් නෑ!

  • 1930 දශකයෙ ස්පාඤ්ඤ රජය සම්බන්ධව ඒ කාරණාව ඇත්ත වෙන්න ඇති. නමුත් අද පවතින නවලිබරල්වාදී රජය සහ සුබසාධන රාජ්‍යයේ පසුබෑම සලකාබලන විට රජය පරාජය කර අත්පත් කරගෙන තියෙන්නෙ මොනවද? අත්පත්කරගත යුත්තෙ මොනවද?

පළමුවෙන්ම, යටිතල පහසුකම් ගොඩනැඟීම සම්බන්ධයෙන් වාමාංශිකයන් එතරම් හොඳ පිළිතුරක් ලබාදී නෑ. නිදසුනක් හැටියට වාමාංශය බෘක්ලින් පාලම හදන්නෙ කොහොමද?  ඕනැම නගරයක් පදනම් වෙන්නෙ දැවැන්ත යටිතල පහසුකම් මතයි. ජල සම්පාදනය, විදුලිය වගේ මහා නගරයකට තවතවත් යටිතල පහසුකම් අවශ්‍යයි. මේ අවශ්‍යතාව තේරුම් ගන්න පසුබටවීමක් වම තුළ තියෙනවා. ඒ නිසා වෙනස් ආකෘතියක සංවිධාන ක‍්‍රමයක් අවශ්‍ය වෙනවා.

රාජ්‍ය යාන්ත‍්‍රණයෙ අංශ තියෙනවා. ඒක නවලිබරල් රාජ්‍යයටත් එහෙමමයි. ඒවා අතිශයින් වැදගත්. උදාහරණයක් වශයෙන් රෝග පාලනය ගනිමු. ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වන එබෝලා වගේ වසංගතයකට මුහුණ දෙන්නෙ කොහොමද? අපට බෑ ඒක අරාජිකවාදී විදියට ෘෂශ සංවිධාන හරහා කරන්න. රාජ්‍ය හා සමාන ආකෘතියෙ යටිතල පහසුකම් අවශ්‍ය වන අවස්ථා  ඕනෑ තරම් තිබෙනවා. මිහිතලය උණුසුම්වීම වගේ ප‍්‍රශ්නයකට මුහුණදීමට විමධ්‍යගත වූ අරගල සහ ක‍්‍රියාකාරීත්වයන්ගෙන් පමණක් බෑ.

නිතරම සිහිපත් කරන නිදර්ශනයක් තියෙනවා. මොන දුබලතා තිබුණත්  ඕසෝන් ස්තරයට හානිකර ක්ලෝරොෆ්ලෝරොකාබන් ශීතකරනවලට භාවිත කිරීම නැවතීමට මොන්ටි‍්‍රයෙල් සම්මුතිය ක‍්‍රියාත්මක වුණා. එය සාර්ථක ලෙස බලාත්මක කෙරුණේ 1990 දශකයෙදි. නමුත් ඒ සම්මුතිය පවත්වාගෙන යාමට නියෝජිත සභා දේශපාලනයෙන් බැහැර යාන්ත‍්‍රණයක් අවශ්‍ය වුණා.

  • අරාජිකවාදී දැක්මක් තුළින් කතා කරන විට ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ජාතික සීමාවන් අභිබවා යනවා. බිම් මට්ටමෙන් බිහිවී ලෝක පරිමාණ තීන්දු ගැනීමේ තත්වයට වර්ධනය කළ සහසන්ධිය සංවිධාන ජාලයකින් විතැන් කරන්න පුළුවන් නේද?

යම් මට්ටමකට එය කළ හැකි වේවි. නමුත් අප දැන සිටිය යුතුයි හැමවිටම යම් ආකාරයක ස්ථරායනයක් තිබෙනවා. හැමවෙලාවෙම වගවීම සහ තීරණ ආපසු හැරවීමේ අයිතිය වගේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සමහර අවස්ථාවල සංකීර්ණ සබඳතා තිබේවි. උදාහරණයක් හැටියට ගෝලීය උණුසුම වගේ ප‍්‍රශ්නයකදි සමස්තයක් ලෙස ලෝක පරිමාණයේ ස්ථාවරයන් තිබෙනවා. ඒ වගේම යම් ප‍්‍රදේශයක බිම් මට්ටමේ කණ්ඩායමකටත් ස්ථාවරයක් තිබෙන්න පුළුවන්. ඒ අය කියන්න පුළුවන් ‘අපි මොකටද ඒ අය කියන දේ අහන්නෙ?’ කියලා.

  • යම් ආකාරයක අධිකාරීත්වයක් අවශ්‍ය බව ඔබ පිළිගන්නවා?

නෑ, යම් ආකාරයක අධිකාරිමය ව්‍යුහයන් තියේවි. මම සහභාගි වුණු කිසිම අරාජිකවාදී රැුස්වීමක් රහසිගතව ක‍්‍රියාත්මකවන බල ව්‍යුහයක් නොතිබුණු එකක් වුණේ නෑ. හැමදෙයක්ම තිරස්ව ක‍්‍රියාත්මක වෙනවා කියන ෆැන්ටසියක් තියෙනවා. නමුත් මම එතැන ඉඳන් කල්පනා කරනවා, ‘දෙයියනේ, මෙතන ස්තරායනයක් තියෙනවා, ඒත් ඒක රහසිගතයි’

  • මෑතකාලීනව මධ්‍යධරණීය අවට පැනනැඟුණ අරගල සලකා බලන විට වැඩි අවධානයක් ඇති වුණේ දේශීය අරගල වෙත නේද? සමාජ පරිවර්තනයකට තැබිය හැකි මීළග පියවර මොකක්ද?

ඇතැම් අවස්ථාවලදි සමාජ වෙනස්කම් බලාත්මක කිරීම සඳහා පුළුල් වශයෙන් මැදිහත්වන සංවිධාන ගොඩනඟන්න වෙනවා. නිදසුනක් හැටියට ස්පාඤ්ඤයේ පොඩෙමොස් වගේ සංවිධානයකට ඒක කරන්න පුළුවන්ද? පසුගිය අවුරුද්දෙ ආර්ථික අර්බුදය වැනි කැළඹිලි තුළ වාමාංශයට ක‍්‍රියාකාරීත්වයකට එන්න වෙනවා. වම ඒක භාරගන්නෙ නැත්නම් දක්ෂිණාංශය තමයි ඊළඟ තේරීම. මම මේක කියන්නත් අකමැතියි. අද පවතින ගතිකත්වය තුළ මා හිතනවා වාමාංශය වඩා ප‍්‍රායෝගික විය යුතු බව.

  • වඩා ප‍්‍රායෝගික වෙන්නෙ මොන ආකාරයෙන්ද?

සයිරිසා එක විප්ලවවාදී පක්ෂයක් නොවුණත් ඇයි මම ඒකට සහයෝගය දුන්නෙ? එයින් වඩා වෙනස් යමක් සිදු කරන්න හැකියාව තියෙන අවකාශයක් විවර කෙරුණා. ඒ නිසා ඒක මට වඩාත් ප‍්‍රගතිශීලී දෙයක්.

ඒක හරියට මාක්ස් කිව්ව වගේ- නිදහසට පළමුවැනි පියවර වැඩකරන දිනය සීමා කිරීම. පටු ඉල්ලීම් පවා වඩා විප්ලවකාරී ප‍්‍රතිපල ගෙන එන අවකාශයක් විවර කරනවා. විප්ලවකාරී ප‍්‍රථිපලයක් ඇති නොකළත් නවලිබරල් කප්පාදුව දක්වා ආපස්සට නොයන සම්මුතියක් ගැන කල්පනා කළ යුතුයි. ඒ වගේම නව සංවිධාන ආකෘතිවලට අවකාශය විවර කරගත යුතුුයි.

නිදර්ශනයක් හැටියට පොඩෙමෝස් අපේක්ෂා කළා ප‍්‍රජාත්නත‍්‍රවාදී සහසන්ධීයභාවයක සංවිධාන ආකෘතියකට යන්න. ස්පාඤ්ඥය පුරා නියෝජිත සමුලූ ආකාරයකින් තමයි පොඩෙමොස් බිහි වුණේ. ඒ නිසා ඔවුන් නියෝජිත සංවිධාන ආකෘතිය සමඟ සමීපයි. නමුත් ප‍්‍රශ්නය වෙන්නෙ පාර්ලිමේන්තුවට පැමිණෙන ශක්තිමත් පක්ෂයක් බවට පත්වෙද්දි ඔවුන් ඒ නියෝජිත සමුළු ආකෘතිය ස්ථාවර ආකාරයකට ඒකාබද්ධ කරන්නෙ කොහොමද කියන එකයි.

බලය රඳවාගන්නෙ කොහොමද කියන එක දක්වා මේක ආපස්සට යනවා. මොකද එහෙම නොවුණොත් ධනපතියන් සහ ව්‍යවසායකත්ව ප‍්‍රාග්ධනය විසින් ඒ බලය නැවත අත්පත් කරගන්න කටයුතු කරනවා.

  • සුබසාධන රාජ්‍යයේ පසුබැසීමත් සමඟ එහි අඩුව පුරවන්න ඉදිරියට ආව සහයෝගිතා ජාලයන් මේ වන විට වක‍්‍ර ලෙස නවලිබරල් ධනවාදයේ සහකරුවකුව තිබෙනවා නේද? මේකත් අර්බුදයක් නේද?

සංවිධානය වීමේ ක‍්‍රම දෙකක් තිබුණා. එකක් රාජ්‍ය නොවන සංවිධාන ආකාරයෙන්. නමුත් ඒ බොහොමයක් බාහිර අරමුදල් මත පවතින්නෙ. බිම්මට්ටමේ පදනමක් නැති මොවුන් අරමුදල් සපයන්නන්ගෙ න්‍යාය පත‍්‍ර අනුව හැසිරෙන්නෙ. ඒ න්‍යායපත‍්‍රවල අරමුණු ගැන ප‍්‍රශ්න කිරීමක් සිදුවෙන්නෙ නෑ. ඒ න්‍යායපත‍්‍ර රැුඩිකල් ඒවා නෙවෙයි. මෙහිදී අප දකින්නෙ සුබසාධක රාජ්‍ය පෞද්ගලිකකරණය වීමක්.

මේවා මට පෙනෙන විධියට බිම්මට්ටමේ සංවිධානවලට වඩා දේශපාලන වශයෙන් බොහෝ වෙනස්. එවැනි බිම්මට්ටමේ නියෝජනයක් තිබෙන විට මොකද වෙන්නෙ? ‘රජය අපි ගැන කිසිම දෙයක් බලන්නෙ නෑ. ඉතින් අපි අපි ගැනම බලාගන්න  ඕන.’ අන්න ඒක මට නම් යහපත් වෙනසක් කරන්න සමත් දේශපාලන මට්ටමක්.

  • නමුත් විවිධ උදව් කරන්න ඉදිරිපත් වන සංවිධාන පවා ඒ හිඩැස පිරවීමෙන් වළක්වාලන්නෙ කොහොමද?

ඒ සඳහා අධිරාජ්‍ය විරෝධී න්‍යායපත‍්‍රයක් අවශ්‍ය වෙනවා. එහෙම වුණාම සංවිධානය වැඩ කරන ආකාරයෙන් දුෂ්කරතාවලින් ගොඩඑන්න ඔවුන්ට උදව් කරනවා විතරක් නොවේ, දේශපාලනයකුත් තිබෙන බවටත් ජනතාවට වැටහීමක් එනවා. සමස්ත ක‍්‍රමයම වෙනස් කරන්න දේශපාලන වශයෙන් සංවිධානාත්මකව කටයුතු කරන බවක් ඔවුන් දැනගත යුතුයි. මේ කියන්නෙ පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. මේක විමධ්‍යගත ආකාරයෙන් වැඩකරන සංවිධානයකදි සාර්ථක කරන්න අමාරුයි. එහෙම වෙලාවට එක්කෙනෙක් එක විධියකට වැඩ කරනවා. තව කෙනෙක් වෙනස් විධියකට වැඩ කරනවා. පොදු දේශපාලන වැඩපිළිවෙළකට අවශ්‍ය ඒකමිතිය නැති වෙනවා.

මේක ඔබ ඇසුව පළවැනි ප‍්‍රශ්නයට සම්බන්ධයි. දේශපාලන අරමුණු පිළිබඳ එකිනෙකා අතර සමායෝජනයක් නෑ. එහි අනතුර තමයි ඔබ ජනතාවට සුබසාධන මට්ටමෙන් උදව්කළත් එහි දේශපාලන ජයග‍්‍රහණයක් නැතිව යනවා. නිදසුනක් හැටියට ‘සැන්ඩි අත්පත්කරගමු’ ව්‍යාපාරය විසින් ජනයාට තමන්ගෙ නිවාසවලට නැවත යාමට බොහෝ උපකාර කළා. නමුත් ඔවුන් ඇත්තටම කළේ යම් අවස්ථාවකදි රතු කුරුස සංවිධානය හෝ රජයේ ආපදා සහන ඒකක විසින් කළ යුතු දේමයි.

  • ඉතිහාසයේ අවසානය පහුකරලා ඉවරයි. ධනවාදයට එරෙහි අරගල තුළ පවතින සත්‍ය තත්වයන් හා නිදසුන් ගත්තම ‘දිනාගැනීම’ තවමත් වලංගු ලෙස පවතින තේරීමක්ද?

ඇත්ත වශයෙන්ම. තවදුරටත් කියනවා නම් ග‍්‍රීසියෙදි කම්හල් අත්පත් කර ගැනුණා. නිෂ්පාදන දාම හරහා සහයෝගීතා ආර්ථිකයක් බිහි කරනු ලැබුවා. ස්පාඤ්ඤයෙදි රැුඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවලින් සහ වෙනත් බොහෝ තැන්වලදි අපූරු දේ සිදු වෙනවා. මේ සියලූ පැනනැඟීම් තුළ වඩාත් පුළුල් දේශපාලන අවධානයක් අවශ්‍ය බවට වැටහීමක් ඇති වෙමින් තිබෙනවා.

මාක්ස්වාදී වාමාංශය මේ කාරණාවෙදි තරමක් නොසලකා කටයුතු කරන බවක් පෙනෙනවා. නමුත් ඔවුන් වැරදියි කියලා මම හිතනවා. ඒ අතරම පවතින මූලධාර්මික බල ව්‍යුහයන්ට අභියෝග කරන්න තරම් මේ කිසිම දෙයක් තනිවම ප‍්‍රමාණවත් කියලා මම හිතන්නෙ නෑ. අපි මේ කතා කරන්නෙ වෙන දෙයක් ගැන නෙවෙයි, රජය ගැන. ඒ නිසා වාමාංශයට තමන්ගෙ උපක‍්‍රමික හා න්‍යායික යාන්ත‍්‍රණයන් ගැන නැවත හිතා බලන්න සිදු වෙනවා.