‘ප‍්‍රතාපන විරෝධී සහ ප‍්‍රතිතෝලන පනත්’ ඇත්තටම මේ මොනවද?

 

wto_gatt

මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මෙලෙස පැවසුවා. එය අදාළ ලේඛනයේ 526 වැනි වගන්තිය ලෙස සටහන්ව තිබෙනවා.

”ගරු කථානායකතුමණි,   වෙළෙඳාම ප‍්‍රවර්ධනය කිරීමට කැපවන අතරම දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද හැඟීමෙන් යුක්තව කටයුතු කරන අතර පාරිභෝගිකයන් අසාධාරණ වෙළෙඳ ක‍්‍රියාකාරකම්වලින් හා තත්වයෙන් බාල භාණ්ඩ හා සේවාවලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳවද අවධානයෙන් කටයුතු කරනවා.  මේ හේතුව නිසා ප‍්‍රතාපන විරෝධී (Anti Dumping )  සහ ප‍්‍රතිතෝලන බදු (Countervelling) සඳහා අවශ්‍ය රෙගුලාසි පැනවීමේ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කරනවා.”

ප‍්‍රතාපනවිරෝධී සහ ප‍්‍රතිතෝලන බදු කියද්දී බොහෝ දෙනකුට තේරෙන්නේ නෑ. ඒ නිසා අයවැයට එරෙහිව දැක්වුණු මතවලදීත් මේ ගැන අවධානය යොමු වුණා මදි. නමුත් ප‍්‍රතාපනවිරෝධී සහ ප‍්‍රතිතෝලන බදු පිළිබඳ කාරණය ලංකාවේ ආර්ථිකයටත් අධිරාජ්‍යවාදී ආර්ථික බලපෑම් පිළිබඳ ක්ෂේත‍්‍රයේදීත් ඉතාම තීරණාත්මක නීති සහ බදු පද්ධතියක්. ඒ නිසා ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් හෝ කර ගත යුතුයි. ප‍්‍රතාපනවිරෝධී සහ ප‍්‍රතිතෝලන බදු පනත් පිළිබඳව අපට මුලින්ම අහන්න ලැබෙන්නේ 2005 ඔක්තෝබර් 10 වැනිදා

එවකට වෙළෙඳ, වාණිජ සහ පාරිභෝගික කටයුතු ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේ සභාගත කළ පනත් දෙකක් සමඟ. එම පනත් දෙක පදනම් වී තිබුණේ ගැට් සම්මුතියට අනුව. එය 2002දී රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකම සහිතව පිහිටුවනු ලැබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජනා කළ ප‍්‍රතාපනවිරෝධී සහ ප‍්‍රතිතෝලන පනත් සමඟ සම්බන්ධ බවට චෝදනා නැඟුනා. කෙසේ වෙතත් අවසානයේදී ජනතා විරෝධය නිසා මේ පනත් හකුලා ගත්තා. දැන් නැවත එන්නේ එලෙස ඉතිහාසයේ දෙවරක් ගෙන ඒමට උත්සාහ කර අසාර්ථකවූ හා ජනතා විරෝධයට පාත‍්‍රවූ පනතක්.

ප‍්‍රතාපනවිරෝධී සහ ප‍්‍රතිතෝලන බදු ලංකාවේ නිර්මාණයවූ සංකල්පයක් නෙවෙයි. එය ලෝක වෙළෙඳ සංවිධානයේ සැලසුම් සමඟ සම්බන්ධයි. ඒ නිසා මේ නීති වටහා ගැනීමේදී ලෝකය තුළ ඒ ගැන ඇතිවූ සංවාදයත් සැලකිල්ලට ගත යුතුයි. ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිවල තීරණාත්මක එකක් වූයේ 1948දී ඇති කරගන්නා ලද ‘ගැට්’ (GATT) යන කෙටි නමින් හඳුන්වනු ලබන ‘වෙළෙඳාම සහ තීරුබදු පිළිබඳ සාමාන්‍ය ගිවිසුම’ (General Agreement on Tariffs and Trade) මේ ගිවිසුමේ එකඟතාව වුණේ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා බාධාකාරී වන්නේ යැයි අර්ථ දක්වනු ලැබූ තීරු බදු ආදිය අහෝසි කර හෝ අඩුකර, එසේත් නැතිනම් වෙළෙඳ බාධාවන් ඉවත් කර ගෝලීය වෙළෙඳ සම්බන්ධතා වේගවත් කර වර්ධනය කිරීම. 1947 ඔක්තෝබර් 30 වැනිදා රටවල් 23ක් අත්සන් කර ආරම්භ වුණු මෙම ගිවිසුම 1948 ජනවාරි 01 දින සිට බලාත්මක වුණා. ක‍්‍රමයෙන් ලොව බොහෝ රටවල් ඒ තුළට උකහාගත් ගැට් ගිවිසුම 1994 අපේ‍්‍රල් 14 වැනිදා

අවසන් සමුළුව වන විට රටවල් 123ක් සාමාජික කරගෙන සිටියා. පසුව ගැට් ගිවිසුම ඉක්මවමින් නවලිබරල් ධනවාදයේ දෙවැනි ඉනිමේ කොල්ලකාරී අරමුණු වෙනුවෙන් ලෝක වෙළෙඳ සංවිධානය (World Trade Organization – WTO) පිහිටුවීමට උරුගුවේහි පැවැත්වුණු ගැට් සමුළුවේදී එකඟතාවක් ඇති කරගනු ලැබුවා. ප‍්‍රතාපනවිරෝධී සහ ප‍්‍රතිතෝලන බදු පිළිබඳ සම්මුති හඳුන්වා දුන්නේ ලෝක වෙළෙඳ සංවිධානය විසින්. මේ වන විට ලංකාවට එන්නේ ඒ සම්මුතිය.

සාමාන්‍යයෙන් යම් රටක නිෂ්පාදනය කෙරෙන දෙයක්ම ඒ නිෂ්පාදනය ප‍්‍රමාණවත් නැති නිසා යම් කොටසක් ආනයනය කරන අවස්ථාවක් ඔස්සේ අපට මේ ප‍්‍රතාපනවිරෝධී සහ ප‍්‍රතිතෝලන බදු ගැන අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ලංකාවේ අර්තාපල් අල නිෂ්පාදනය කළත් එය ප‍්‍රමාණවත් නැති නිසා විදේශවලින් අල ආනයනය කරන්නත් ඉඩදී තිබෙනවා. මෙලෙස විදේශවලින් ආනයනය කරන අලවල මිල ලංකාවේ අල මිලට වඩා අඩුයි. සමහර විට ඒ මිල ලංකාවේ අල නිෂ්පාදන වියදමටත් වඩා අඩුයි. එවිට ලංකාවේ ආණ්ඩුව ආනයනික අල සඳහා තීරු බදු පනවා ඒ අලවල මිල සහ ලංකාවේ අලවල මිල සමාන මට්ටමකට ගෙනෙනවා. ඒ පියවර ගන්නේ ලංකාවේ අල නිෂ්පාදකයා ආරක්ෂා කර ගන්න. ලෝකයේ සෑම රටක්ම පාහේ විවධ භාණ්ඩ සඳහා එවැනි ප‍්‍රතාපන බදු පනවනවා. ගැට් සම්මුතිය සිය සම්මුතියේ පාර්ශ්වකරුවන්ට යම් යම් කොන්දේසි යටතේ එවැනි දේශීය නිෂ්පාදන රැුකගැනීමේ තීරු බදු සඳහා අනුමැතිය ලබා දී තිබුණා. නමුත් ලෝක වෙළෙඳ සංවිධානය මහා පරිමාණ නිෂ්පාදනයේ යෙදෙන අධිරාජ්‍යවාදී රටවල දැවැන්ත ඒකාධිකාර සමාගම්වලට ලෝක වෙළෙඳාමේ වැඩි බලයක් අත්පත් කර දීම සඳහාත් ඒ සමාගම්වල ලාභ රේට්ටු වැඩිකිරීම සඳහාත් මේ තීරු බදු සඳහා විවිධ බාධා පමුණුවන ගිවිසුම් හඳුන්වා දුන්නා.

ප‍්‍රතාපනවිරෝධී සහ ප‍්‍රතිතෝලන පනත් එන්නේ ඒ අනුව. අලූත් සම්මුතියට එකඟ වන රටක් යම් නිෂ්පාදනයක් සඳහා එවැනි ආරක්ෂක තීරු බදු පනවනවා නම් එය හිතුමතයට කරන්න බෑ. මුලින්ම එවැනි තීරු බද්දක් අවශ්‍ය බවත් එසේ නොමැතිව තම නිෂ්පාදකයා විනාශ වන බවත් ලෝක වෙළෙඳ සංවිධානයේ ප‍්‍රමිතීන්වලට අනුව ඔප්පු කර පෙන්වන්න  ඕන. ඒ වගේම ලෝක වෙළෙඳ සංවිධානය හඳුන්වාදී ඇති සූත‍්‍රයකට අනුව පැනවිය යුතු බදු ප‍්‍රතිශතය තීරණය කළ යුතුයි.  ඒ ප‍්‍රමිතීන් සහ බදු ගණනය කරන සූත‍්‍ර නිර්මාණය කර ඇත්තේ බලවත් රටවලට වාසිදායක වන අයුරින් සහ ලංකාව වැනි පරිධියේ රටවලට අවාසිදායක අයුරින් බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ නිසා ලොව බොහෝ රටවල් ලෝක වෙළෙඳ සංවිධානයේ සම්මුතිවලට අනුව තම රටේ නීති සකස් කරන්නේ නෑ. නමුත් වත්මන් ආණ්ඩුව ලංකාවේ නීති මේ අධිරාජ්‍යවාදී කොල්ලකාරී සම්මුතිවලට ගැලපෙන ලෙස වෙනස් කරන්න තීරණය කර තිබෙනවා.

මේ නව නීතියේ ප‍්‍රශ්නය කුමක්ද? දැන් ලංකාවේ රජයට අවශ්‍ය  ඕනෑම මොහොතක යම් ආනයනික නිෂ්පාදනයක් සඳහා බදු පනවන්න හැකියාව තිබෙනවා. ඒ සඳහා කාගේවත් අවසරයක් අවශ්‍ය නෑ. නමුත් මේ නීති සම්මත කළ පසුව විදේශීය නිෂ්පාදන සඳහා තීරුබදු පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ පාලනයට ලක් වෙනවා. ලංකාවේ තීරණය කරන ඇතැම් බදු සම්මුතියට පටහැනියි කියලා අවලංගු කරන්න ඔවුන්ට නීතිමය බලයක් ලැබෙනවා. ඉන් පසුව අල ගොවියන් හෝ ළුෑණු ගොවියන් හෝ වෙනත් නිෂ්පාදකයන් තමන්ගේ නිෂ්පාදනවල ආරක්ෂාවට පියවර ගන්න කියලා උද්ඝෝෂණය කළොත් ආණ්ඩුව කියයි, ඒවා කරන්න බෑ, කළොත් ජාත්‍යන්තරය ඒවා තහනම් කරයි කියලා.

මේකෙන් වෙන්නේ ලෝකයේ විවිධ රටවල සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය විනාශ වෙලා ලෝක වෙළෙඳපොළ ඒකාධිකාරය දැවැන්ත බහුජාතික සමාගම් කිහිපයකට හිමි වීම. මේ සම්මුති නීති බවට පත් නොකර ජාත්‍යන්තර වෙළෙඳාම කරන්න බෑ කියලයි ආණ්ඩුව කියන්නේ. ඒත් ලංකාව මේ සම්මුතියට 1994දීම එකඟ වුණා. ඒත් ඒක නීතියක් ලෙස සම්මත නොකර අවුරුදු 21ක්ම ජාත්‍යන්තර වෙළෙඳාම් කටයුතු බාධාවකින් තොරව සිදු කළා.

මෙතරම් කඩිමුඩියේ මේවා පනත් ලෙස සම්මත කරන්න අවශ්‍ය වෙන්නේ අධිරාජ්‍යවාදීන්ට දුන් දේශපාලන පොරොන්දු ඉටු කරන්න මිස වෙන දේකට නෙවෙයි. කොහොම වුණත් මේ අණ පනත් හරහා සිදු වෙන්නේ ලංකාවේ ආර්ථිකය තවතවත් අධිරාජ්‍යවාදී ග‍්‍රහණයට ගොදුරු වීම. ඒ නිසා මේ තත්වයට එරෙහි ජනතා අරගලයක් අවශ්‍යයි. ‘ප‍්‍රතාපන විරෝධී’, ‘ප‍්‍රතිතෝලන’ වැනි වචන නොතේරුණත් ඒ හරහා සිදුවන විනාශය තේරුම් නොගත්තොත් ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතු වන බව වැඩිකල් නොයා ඔප්පු වෙයි.

මනෝජ් ප‍්‍රසන්න