මේ ඔබේ දරුවාගේ පාසලයි – ඔබම ගෙවන්න

 
children

ළඟකදී බලපු දකුණු ඉන්දියානු තමිල් චිත‍්‍රපටයක කතාවකින් මේ කතව පටන්ගන්න හිතුවා. ඒකෙ තිබුණේ ඉතාම අමාරුවෙන් තමන්ගේ දරුවට පාසලක් සොයාගන්න අම්මෙක් හා තාත්තෙක් ගැන. දරුවා පාසලට ඇතුළත් කරගන්න මේ අයට විශාල මුදලක් ගෙවන්න වෙනවා. දන්න කියන හැම තැනකින්ම ණයට ඉල්ලනවා. ළමයා පාසල් යන්නෙ හෙටයි කියලා කරන්න දෙයක් නැතිම තැන තාත්ත මුදල් හොයාගන්්නේ තමන්ගේ වකුගඩුවක් විකුණලා. චිත‍්‍රපටිය න්‍්සයසබා 2ග මේක අද අපිට ප‍්‍රබන්ධයක් වෙන්න පුළුවන්. එහෙත් මේ යන විධියට ගියොත් ඊටත් වඩා දරුණු යථාර්ථයකට අපිට මුහුණ දෙන්න වෙන එක නම් සිකුරුයි.

ලංකාවේ, ඉන්දියාවේ විතරක් නෙවෙයි. අද ලෝකයේ සෑම රටකම පාහේ විශාල වශයෙන් උද්ඝෝෂණ පැන නඟින මාතෘකාවක් වෙලා තියෙන්නේ අධ්‍යාපනය. යුරෝපය පුරා පසුගිය කාලය පුරාම දැවැන්ත මව්පිය, ගුරු, ශිෂ්‍ය උද්ඝෝෂණ රැුල්ලක්ම පැන නැඟුණා. මේ හැම තැනකම කතා වුණේ අධ්‍යාපනය සඳහා කෙරෙන මුදල් අය කිරීම්වල ඉහළ යාම. ශිෂ්‍ය ණය ගෙවා ගත නොහැකිව සිදු වන සිය දිවි නසා ගැනීම් ආදිය අද සුලබ සිදුවීම්. මේ නිසා ගාස්තු අඩු කරන්න කියන එක ප‍්‍රධාන ඉල්ලීම වූ ඒ හැම උද්ඝෝෂණයකම කියාපෑවේ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම.

පසුගිය සන්ධාන ආණ්ඩුවේ අවසාන කාලයේ ලංකාව තුළත් අධ්‍යාපනය විෂයේ මතුවුණේ මේ සාකච්ඡුාව. අධ්‍යාපනයට 6%ක් වෙන් කරනු, නිදහස් අධ්‍යපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගමු, ආදී සටන්පාඨ වරනැඟුණේ  ඕපපාතිකව නෙවෙයි. 2015 ජනවාරි 08 වැනිදා වෙනකොට මේ සටන්පාඨ තමයි මැතිවරණ වේදිකාවල ගිගුම් දුන්නේ.

නිදහස් අධ්‍යාපනය සුරකිනවා යැයි කියා බලය ගත් පාලකයෝ කළේ කුමක්ද?

පුදනකොටම කාපි යකා කියලා ඉස් ඉස්සෙල්ලාම ගෙනාවේ පාසල්වල මුදල් අයකිරීම සම්බන්ධ 5/2015 චක‍්‍රලේඛය. ‘පාසල්වල නීති විරෝධී මුදල් අය කිරීම් නතර කිරීම’ කියල මහ උජාරුවෙන් ගැසට් කළේ ‘පාසල්වල මුදල් එකතු කිරීම නීත්‍යානුකූල කිරීමේ චක‍්‍රලේඛය’.

අධ්‍යාපන ඇමැතිවරයා මහ කෙරුම්කාරයෙක් වගේ කිව්වේ දැන් ඉතින් විදුහල්පතිලට නටන්න බෑ. සල්ලි ගන්නවා නම් රිසිට් එකක් දෙන්න  ඕන කියලා. මව්පියන්ගේ ප‍්‍රශ්නෙ වුණේ පාසල්වල සිදු කෙරෙන අධික මුදල් අයකිරීම්. නවත්තන්න  ඕන වෙලා තිබුණේ මුදල් අයකිරීම. මීට අවුරුද්දකට විතර කලින් කළුතර ප‍්‍රදේශයේ ශිෂ්‍යාවකට පොල් හොරකම් කරන්න වුණේ පාසලින් රිසිට් එකක් ලැබුණේ නැහැ කියලා නෙවෙයි. වලපනේ ශිෂ්‍යාවක් තමන්ගේ අම්මගේ සාරියෙන් වහලේ එල්ලිලා සිය දිවි නසාගත්තේ පාසලෙන් රිසිට් එකක් ලැබුණේ නැහැ කියල නෙවෙයි. පාසලට ගෙවන්න මුදල් නැති නිසා.

නමුත් බොහෝ දෙනෙක් මේ ප‍්‍රශ්නය අදත් සලකන්නේ නීති ප‍්‍රශ්නයක් විධියට. ඔවුන්ගේ මතය වී ඇත්තේ කීයක් ගියත් කමක් නෑ දරුවට උගන්නනවානම් යන්නය. ඒ නිසා කළ යුත්තේ ලබා ගන්නා මුදල් සඳහා නීතිමය රැුකවරණයක් සැදීමය.

  • නීතියක් තිබුණේ නැද්ද?

පාසල්වල මුදල් අය කිරීමට අදාළව නීතියක් තිබුණි. ඒ සඳහා පසුගිය ආණ්ඩුව විසින් නිකුත් කළ 20/2006 චක‍්‍රලේඛයක් විය. එහි සඳහන් වූයේ ‘පහසුකම් හා සේවා ගාස්තු හා පාසල් සංවර්ධන ගාස්තු හැරෙන්න කිසිදු අයකිරීමක් පාසල් තුළ සිදු කළ නොහැක’ යන්නය. ඒ නිසා සිදු කළ යුතුව තිබුණේ ක‍්‍රියාත්මක නොවූ එම නීතිය ක‍්‍රියාත්මක කිරීමය. නමුත් සිදුවූයේ නව නීති සකසා කලින් තිබූ නීතියට පිටින් කළ මුදල් අයකිරීම් සඳහා රිසිට් එකක් ලබාදී නීත්‍යානුකූල කිරීමය.

5/2015 චක‍්‍රලේඛය අනුව පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව පාසලේ විදුලි බිල, ජල බිල ආදිය සඳහාද මුදල් අය කළ හැකි ඉඩ කඩ සැකසීමය.

පසුගිය අවුරුද්ද අවසාන වාරයේ තෙල්දෙණිය ජාතික පාසලේ සිසුන්ට අවසන් වාර පරීක්ෂණයට පෙනී සිටීමේදී අධ්‍යාපන අමත්‍යාංශය විසින් අනුමත කරන ලද රු. 2,400ක මුදල ගෙවීම අනිවාර්යව තිබූ බව කියැවුණි.

  • මුදල් අය කිරීම් මොකටද?

මේ පිළිබඳ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පළවෙන වෙබ් පිටුවක (www.ft.lk) අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් කළ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් පළ කර තිබුණේය. ‘නිදහස් අධ්‍යාපනය අවසන් වී ඇත. අපි එය නියමානුකූල බවට පත්කරමු’ යනුවෙන් එහි මාතෘකා යොදා තිබුණි. මෙම සාකච්ඡුාවේදී අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ‘පාසල් තුළ මුදල් අය කිරීම’ සාධාරණිකකරණය කිරීමට හරි අපූරු තර්ක කිහිපයක් පෙළගස්වා තිබුණි. මේ වන විට පාසල් තුළ පරිඝණක යන්ත‍්‍ර ආදිය භාවිතය සිදු වන නිසාත් වැඩි විදුලි පරිභෝජනයක් පාසල් තුළ සිදු වන නිසාත් විදුලි පංකා, විදුලි බුබුලූ ආදියද වැඩි පුර භාවිත වන නිසාත් විවිධ ක‍්‍රීඩා උත්සව ආදිය සඳහා සහ වෙනත් උත්සව අවස්ථා සඳහාත් පිහිනුම් තටාක වැනි දේ නඩත්තු කිරීම සඳහාත් මෙකී වැඩි පිරිවැයක් දැරීමට ආණ්ඩුවට සිදුවී ඇති බව මෙහි සඳහන්ව තිබුණි. අධ්‍යාපන බලධාරීන් කියන්නේ එසේ කොළඹ දිස්ත‍්‍රික්කයේ පාසල්වලට පමණක් මිලියන 60ක මුදලක් වැය වන බවත් ඉන් මිලියන 15ක් ආණ්ඩුව ලබාදී ඇති බවත් ඒ අනුව එක් ශිෂ්‍යයකුට රුපියල් 13,000ක සහනයක් ඔවුන් ලබාදී ඇති බවත්ය.

සිහි බුද්ධියක් ඇති  ඕන කෙනෙක් දන්නවා ලංකාවේ ඔය කියන ආකාරයේ පිහිනුම් තටාක ආදිය තියෙන්නේ පාසල් කීයකද කියලා. අනෙක ආණ්ඩුවමනේ කියන්නේ නව තාක්ෂණය ලබාදීම සිය පරම යුතුකම කියලා. අධ්‍යාපනයට මුදල් වැඩියෙන් වෙන් කරන්නත් හේතු විධියට කිව්වේ. වයි ෆයි දෙන්නයි අරකටයි මේකටයි කියලනේ. ඉතින් දැන් මොකක්ද මේ කියන්නේ. මේ අයගේ බොරුව හෙළිවන උදාහරණ කිහිපයක් පසුගියදා ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානය විසින් මාධ්‍ය වෙත යොමු කර තිබූ නිවේදනයක සඳහන් වුණා. ලංකාවේ පාසල්වල මෙවර නව පාසල් වාරයේදී සිදු වූ මුදල් එකතුකිරීම් එහි දක්වා තිබුණා.

පාසල්වල මෙවර නව පාසල් වාරයේදී සිදු වූ මුදල් එකතුකිරීම්

  • වලස්මුල්ල ලූම්බිණි විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පුටු සෙට් මිලදී ගැනීමට යැයි කියමින් රු. 13,000ක මුදලක් රැගෙන එන ලෙස දන්වා තිබුණා.
  • දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලයේ හය ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී සෑම සිසුවෙකුගෙන්ම රු. 7,500 බැගින් එකතු කොට තිබුණේ පාසලේ ආපන ශාලාව සැකසීමට කියමින්.
  • මාවනැල්ල බදුරියා මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් බඳවා ගැනීමේදී. රු. 1000, රු. 25,000, රු. 15,000 ආදී වශයෙන් අය කරගෙන තිබුණේ පාසලේ බැංකු ගිණුමකට.
  • බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලයේ සිසුන්ගෙන් පළමු වසරට ඇතුළත්වීමේදී රු. 10,000ක්ද සංග‍්‍රහ සඳහා කියමින් රු. 1000ද නිල ඇඳුම් සඳහා කියමින් රු. 600ක්ද එකතු කර තිබුණා.

ලංකාව පුරා මෙවැනි උදාහරණ  ඕනෑ තරම් වාර්තා වී තිබුණා. මෙහිදී ඇසීමට ඇත්තේ මෙකී පාසල්වලත් මේ මුදල් අය කරගෙන ඇත්තේ පිහිනුම් තටාක ආදිය නඩත්තුවටද යනුවෙනි.

මේ නිසා ඉතා පැහැදිලිව ආණ්ඩුව විසින් පාසල් අධ්‍යාපනය මුදල් මත තීරණය වන වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා. මෙහිදී මතු වන උභතෝකෝටිකය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා කියන ආණ්ඩුව මෙලෙස සිසුන්ගෙන් මුදල් අය කරන්නේ ඇයි යන්නයි. ඉනුත් නොනැවතී පසුගිය අයවැයෙන් යෝජනා කර තිබුණේ පාසල් සතු ඉඩම් ආදිය පෞද්ගලික අංශය හා එක්ව මුදල් ඉපැයීම සඳහා භාවිත කරන ලෙසටයි. නිල ඇඳුම් වංචා නවත්වන්න කළේ වවුචර් ලබා දීම. එහිදීද ආණ්ඩුවේ ප‍්‍රධානම අරමුණ වී තිබුණේ මුදල් ඉතිරි කිරීම.

නමුත් මව්පියන්ට සිදුවී ඇත්තේ දිගින් දිගටම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවීමටය. මේ වන විට මේ ඔබේ දරුවාගේ පාසලයි යන උද්‍යෝග පාඨයට ආණ්ඩුව විසින් තවත් කොටසක් එකතු කර ඇත. එම උද්‍යෝග පාඨය යහපාලන බලධාරීන් අලූතින් වරනගා ඇත. ඒ මෙසේය.

‘මේ ඔබේ දරුවාගේ පාසලයි. ඔබම ගෙවන්න. මතක්කරලා රිසිට් එකක් ගන්න.’ යනුවෙනි.

නිශාන්ත බණ්ඩාර