2016-මේ වසරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

අලූත් අවුරුද්දක් පටන්ගත්තා. පරණ අවුරුද්ද පටන්ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලොකු ඝෝෂාවක් එක්ක. ඒ අවුරුද්ද අවසන් වෙද්දී ඒ ඝෝෂාව ටික ටික නැති වෙලා ගියා. අලූත් අවුරුද්ද පටන් ගන්න යන්නෙත් ආපහු සැරයක් පරණ ආකාරයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඝෝෂාවක් එක්ක. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත්කිරීම ගැන ලොකු කතාවක් සමාජගත කරගෙන යනවා. ආණ්ඩුව කියන ආකාරයට 2016 අවුරුද්ද තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන අවුරුද්ද. පරණ අවුරුද්දේ කිව්වෙත් ඔය කතාවමයි. පරණ අවුරුද්දේ කතාව ටිකෙන් ටික දුර්වල වී නෑසී යන්න හේතුවත් අලූතෙන් කියන කතාවට අත්විය හැකි ඉරණමත් අලූත් අවුරුද්දේ ඇත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා අප කළ යුතු දේත් කතා කරන්න වෙනවා. අද කතාබහ ඒ ගැන.

මුලින්ම ගෙවී ගිය පරණ අවුරුද්ද වන 2016 අවුරුද්දේ අත්දැකීම්වලින් පටන් ගනිමු. මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් කිව්ව කතාවල ප‍්‍රමුඛස්ථානයේ තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාව. ඒකට හේතුව වුණේ පසුගිය ආණ්ඩුව තමන්ගේ පාලනය අතිශය ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ආකාරයකට පවත්වාගෙන යාම සහ ඒ ගැන විශාල ජනතා විරෝධයක් මතුවී තිබීම. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඇත්ත උවමනාවන් කොහොම වුණත් ඒ තිබුණු ජනතා අභිලාෂයන් ගසා කන්න මේ හැම දෙනාම තොරතෝංචියක් නැතිව කතා කළා. අපි ඒ දවස්වල කිව්වේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුඳී තිබෙන්නේ ආර්ථික ප‍්‍රතිපත්තිය මත බව. පවත්වාගෙන යන්නේ කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්තියක් නම් ඒකෙන් පීඩාවට පත්වන ජනතාව නැඟී සිටිනවා. එතකොට ආණ්ඩුව එක්කෝ ප‍්‍රතිපත්තිය වෙනස් කර ගන්න  ඕන. නැතිනම් ඒ ජනතාවට ගහන්න  ඕන. ඒ නිසා අලූත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ කොල්ලකාරී නවලිබරල් ප‍්‍රතිපත්තියනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන්නේ නැති බවත් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය විමසන ලෙසත් අපි ජනතාවට කිව්වා. ඒ ගැන කතුවැකි දෙක තුනක් ලිව්වා ඔබට මතක ඇති. අන්තිමට අවුරුද්දක් කල් බලලා ඉගෙන ගන්න ලැබුණේ එදා ඒ කිව්ව කතාව නිවැරදි බව විතරයි. මේ ආණ්ඩුව පදනම්වුණෙත් පසුගිය

ආණ්ඩුව පදනම්වුණු නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය මතමයි. ඒ නිසා ඒකට විරුද්ධවුණු ජනතාවට ගහන්න සිදුවුණා.

මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ 2015 පෙබරවාරි 16 වැනිදා දඹුල්ල, පැල්වෙහෙර රජයේ බීජ ගොවිපොළේ ඉඩම් පෞද්ගලික අංශයට විකුණා දැමීමට එරෙහිව උද්ඝෝෂණය කළ දඹුල්ල ගොවියන්ට. ඊට පස්සේ 2015 මාර්තු 30 වැනිදා අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරනවාට එරෙහිව කොල්ලූපිටියට පා ගමනින් ගිය ශිෂ්‍යයන්ට. ඒ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පෞද්ගලිකකරණය නිසා. අවුරුද්ද අවසන් වුණේ 2015 දෙසැම්බර් 27 වැනිදා කුණුකන්ද ඉවත් කරන ලෙස උද්ඝෝෂණය කළ මීතොටමුල්ල ජනතාවට මැරයන් ලවා පහර දීලා. මේ ප‍්‍රතිපත්තියට අනුවනම් කුණු ටිකවත් කළමනාකරණය කරන්න බෑ. කරන්නේ ඒක කොහේ හරි ගොඩගහන එකයි, ඒකෙන් ගසාකන එකයි. ඒක තමයි ප‍්‍රතිපත්තිය. එයට එරෙහි අයට ගහන එක ආණ්ඩුවේ නායකයන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ මත පදනම් වෙන්නේ නෑ. අපේ වගේ පසුගාමී රටක නවලිබරල් ධනවාදය ගෙනයන්න ශාන්තුවරයෙක් පත්වුණත් ශාන්තිවාදී තාපසයා පත්වුණත් එයාට ගහන්න වෙනවා, මර්දනය කරන්න වෙනවා.

ගිය අවුරුද්දේ මුල වෙනකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සටන්පාඨය තිබුණේ ලිබරල් මතධාරීන්, වෘත්තිකයන් ඇතුළු ඊනියා සිවිල් සමාජය අතේ. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථ දැක්වූවේ ‘තම තම නැණ පමණින්’, තමන්ගේ සීමාවට අනුව. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කිව්වේ විරුද්ධ අදහස් දරන සිවිල් ක‍්‍රියාකාරීන්ට රාජ්‍ය මාධ්‍යවලට ඇවිත්  ඕන දෙයක් කියන්න තියෙන නිදහසටයි ව්‍යවස්ථාවේ වගන්ති ලිබරල් මූලධර්මවලට ගැලපෙන ආකාරයට වෙනස් කරන එකටයි. ගෙවුණු අවුරුද්ද තුළ ඔවුන්ට ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණා. දැන් ඔවුන් නිතරම තමන්ගේ මත දක්වමින් මාධ්‍යවල ඉන්නවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා වචන වෙනස් කිරීමේ වැඩෙත් බාගයක් සම්පූර්ණ වුණා. ආණ්ඩුව කියන්නේ 2016 අවුරුද්දේ ව්‍යවස්ථාවේම වචන වෙනස් කරලා ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්නම් කියලා. 2015 අවසානය වෙද්දී අලූත් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහිමය නිසා කට අරින්න බැරිව සිටි මේ සිවිලූන්ට 2016 අවුරුද්දේ සිට නැවත වේදිකාව සකස් කර දෙන එක තමයි මේ ව්‍යාපෘතියේ අරමුණ. ඒකෙන් වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාකච්ඡුාව ජනතාවගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ සිට ව්‍යවස්ථා හරඹයකට විතැන් වීම. ව්‍යවස්ථා සංශෝධනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේදී වැදගත්. ඒත් ව්‍යවස්ථාවල පොත්වල මොනවා ලියවුණත් ඒවා ක‍්‍රියාවේ යොදවන්නේ මිනිස්සු සහ විශේෂයෙන් දේශපාලන කණ්ඩායම්. ඒවාට පන්තිමය අරමුණු තිබෙනවා. ඒ නිසා පොතේ තියෙන එක නෙවෙයි වෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථාවේ මොන වෙනස්කම් වුණත් බලයේ ඉන්නේ මේ කොල්ලකාරී, වරප‍්‍රසාදලාභී පන්තියමනම් ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පාරට බහින්න වෙනවා. 2015දී පාරට බැස්සා වගේ 2016දීත් පාරට බහින්න වෙනවා.

අලූත් අවුරුද්ද කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය ඊනියා සිවිල් සමාජයේ සඳලූතලයෙන් පීඩිත ජනතාවගේ අතට මාරුවෙන අවුරුද්ද. ඔය කියන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ පාලකයන්ට දෙන්නත් බෑ, දෙන්නෙත් නෑ, දුන්නත් ඒක මායාවක් විතරයි. ජනතාවගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තියෙන්නේ වෙනත් මට්ටමක බව 2015 අවුරුද්ද ඔප්පු කළා. ඒ නිසා 2016 අවුරුද්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය කරන්නේ කම්කරුවන්, ගොවියන් ඇතුළු වැඩකරන ජනතාවත් අනෙකුත් පීඩිත බලවේගයනුත්. කලින් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයට සහය දුන් බලවේග අතර සිටින තනතුරු-වාසි-මුදල් වෙනුවෙන් ඒක කිව්ව  අය හැර අවංකව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අය කළ යුත්තේ ඒ ජනතා අරගලයට එක්වීම සහ මේ ව්‍යවස්ථා ඇස්බැන්දුම හෙළිදරව් කිරීම.