අපහාසය

justice_and_the_power

එය මහා අපහාසයක් පිළිබඳ නඩුවක් විය. ඒ බව තෝල්කයා උසාවියට දැනුම් දුන් විට ඒ කොපමණ අපහාසයක් පිළිබඳවදැයි විනිශ්චයකාරතුමා විමසීය. වහා නැඟී සිටි පැමිණිල්ලේ නීතිඥවරයා ඒ මිලියන පන්සියයක අපහාසයක් බව ගරුගාම්භීරව ප‍්‍රකාශ කෙළේය.

මෙතරම් බරපතළ අපහාසයක් විඳි පැමිණිලිකරුවා දෙස උසාවියේ වූවෝ අනුකම්පාවෙන් යුතුව නෙත් හෙළුෑහ. ඇතැමුන් ගේ අවධානය යොමු වූයේ එතරම් බරපතළ අපහාසයක් කරන්නට සමත් වූ විත්තිකරුවා දෙසය. මේ නොසන්සුන්කම මධ්‍යයේ  අතුරු සිදුරු නැතිව පිරී සිටි සෙනඟ අතරේ වූ එක් තියුණු දෑසක අවධානය මිලියන පන්සියයක් වටිනා අපහාසය වෙත යොමු වී තිබිණි. ඒ දෑස් හිමිකරුවා වූයේ ඇප පිට නිදහස් කර සිට එදින නඩුවාරය සඳහා උසාවියට පැමිණ සිටි සොරෙකි.

අපහාසය සීල් තබා නඩු භාණ්ඩ ගබඩාවෙහි තබන ලෙස අණ කළ විනිශ්චයකාරතුමා නඩුව අවුරුද්දකට කල් තැබුවේය. එතුමා කොයි නඩුවට කෙළේත් ඒ ටිකමය. තෝල්කයා නම් හඬ ගැසූ විට පැමිණිළිකරුවෝත් විත්තිකරුවෝත් තම තමන්ට නියමිත කූඩුවලට පැමිණෙත්. එවිට විනිශ්චයකාරතුමා නඩු පිටපතෙහි දිනයක් සටහන් කර තෝල්කයාට දෙයි. තෝල්කයා එය බලා නඩුව අසවල් දවසේ කැඳවන්නේයැයි මහ හඬින් පැවසූ පසු පැමිණිළිකරුවෝත් විත්තිකරුවෝත් තම තමන් ගේ කූඩුවලින් බැස සෙනඟ අතරේ අතුරුදන් වෙති. ඔවුන් ගේ නීතිඥවරු ඔවුන් වෙනුවෙන් සිට ගැනීමේ ගාස්තුව ඉල්ලා සාක්කුවේ දමාගෙන හිඳ ගනිති. මෙසේ ඇදී ගිය උසාවිය දිවා ආහාරය සඳහා නිශ්ශබ්ද විය.

වෙහෙසට පත් වී සිටි විනිශ්චයකාරතුමා රිමාන්ඞ් සිරභාරයෙහි හුන් විත්තිකරුවකුගේ බිරිඳක නඩුකාර කාමරයට ගෙන්වා ගෙන රමණයෙහි යෙදී තම ආතතිය සමහන් කර ගත්තේය. අනතුරුව මඳක් සැතපී වෙහෙස නිවාගත් එතුමා ප.ව. 2.00ට පමණ විනිශ්චාසනාරූඪ වී යළි නඩු කල් දැමීම ඇරඹීය.

සොරා ඒ වන විට සිටියේ දැඩි නොඉවසිල්ලෙනි. උසාවිය අවසන් වනතුරුය. ? බෝවන තුරුය. ඔහු එදින රාත‍්‍රියේ නඩු භාණ්ඩ ගබඩාව බින්දේය. හෙතෙම මිලියන 500ක් වටිනා අපහාසය සොරා ගත්තේය.

පසුදා සූර්යා උදාවන විට අපහාසය හිස මත තබාගත් සොරා උසාවි වැයික්කියෙන් බොහෝ ඈතට ගමන් කර තිබිණි.

මේ අතර තම කාර්යාලයේ ජනෙල් කවුළුව අසල සිට ගත් ඒ රටේ අගමැතිතුමා රට සංවර්ධනය කිරීමට විදේශ විනිමය සොයන්නේ කෙසේදැයි දහ අතේ කල්පනා කරමින් සිටියේය. මෙසේ බර කල්පනාවක නිමග්නව සිටි එතුමා, විශාල අපහාසයක් හිස මත තබාගෙන ආයාසයෙන් ගමන් කරන සොරා දුටුවේය. ඒ දුටු ඇසිල්ලෙහි එතුමාගේ සිතේ ක්ෂණික විදුලි කෙටීමක් බඳු දීප්තිමත් අදහසක් පහළවිය…. අපහාසය නොමැති රටකට මේ අපහාසය අපනයනය කර විදේශ විනිමය ඉපයිය නොහැකිද…? එසේ සිතූ එතුමා සොරා කාර්යාලයට කැඳවා අපහාසය මිලට ගත්තේය. ඉනික්බිති එය අපහාස නොමැති රටක වෙළෙඳ ප‍්‍රර්ශනයකට යැවීමට  කටයුතු කරන ලද්දේය.

ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි ශූර ව්‍යාපාරිකයෙක්, මේ අමුතු දෙය දැක එය මිලට ගෙන රට පුරා මං සන්ධිවල ප‍්‍රදර්ශනය කරමින් මුදල් උපයන්නට විය. ධාතු ප‍්‍රදර්ශන පෝලිම් පරයන පෝලිම් සැදී එරට ජනයා අපහාසය නැරඹීමට පැමිණෙන්නට වූයෙන් ව්‍යාපාරිකයාගේ මඩිය පිරී ඉතිරී යන්නට වූයේය.

මේ අතර ඒ දෙස ඇස ගසා ගෙන සිටි වෙනත් ව්‍යාපාරිකයකු  විය. ප‍්‍රදර්ශනය දවසින් දවස සාර්ථක වන බව දුටු හෙතෙම ”මම මූ පරයා  ගරමි”යි අදිටන් කර ගත්තේ, අපහාසය ආනයනය කළ රටේ අගමැතිතුමාගේ නොම්මරය සොයා දැන ගෙන, එතුමා අමතා මිලියන නොව, බිලියන 500ක අපහාසයක් ඇනවුම් කෙළේය.

ඇනවුම පිළිබඳ ඇමතුම ලද අගමැතිතුමා අමන්දානන්දයට පත් විය. මෙය රටේ වාර්ෂික අයවැය හිඟයෙන් භාගයක් පියවාගත හැකි වෙළෙඳාමක් බව පෙනී ගියෙන් එතුමාට මහත් සැහැල්ලූවක් දැනුනි. එහෙත් සැණෙකින් එතුමාගේ පස්වනක් ප‍්‍රීතිය අතුරුදන් වූයේ මේ සා විශාල අපහාසයක් සපයා ගත හැකිදැයි විචිකිච්චාවක් හටගත් බැවිනි.

තම බුද්ධි අංශ හරහා සොරා සොයා ගෙන්වා ගත් අගමැතිතුමා ඔහුට බත බුලතින් සංග‍්‍රහ කොට, සුදුසු අසුනක හිඳුවා එකත්පස්ව සිට, බිලියන 500ක අපහාසයක් සොයා දිය හැකිදැයි ආයාචනාත්මක ස්වරූපයෙන් විමසා සිටියේය.

බලාපොරොත්තු නොවූ පරිදි, සොරා කිසිදු පැකිලීමකින් තොරව ඇනවුම සපයා දීමට භාර ගන්නා ලද අතර අත්තිකාරම් මුදලක්ද රැුගෙන පිටත්ව ගියේය.

දින කිහිපයකට පසු එක් උදෑසනක උසාවිය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි. උසාවියේ වැඩ ඇරඹී සුළු වේලාවක් ගතවත්ම ටී 56න් සන්නද්ධ වූ පාතාල කල්ලියක් මෙහෙයවූ සොරා උසාවිය වැටලීය. පැහැරගත් බුල්ඩෝසර් කිහිපයක් හා කන්ටේනර් ප‍්‍රවාහන රථ කිහිපයක්ද ඔවුන් රැුගෙන විත් තිබිණි. අහසට වෙඩි තබා නඩු සඳහා පැමිණ සිටි ජනයා පන්නා දැමූ පාතාලයෝ විනිශ්චයකාරතුමාගේත් නීතීඥවරුන්ගේත් උසාවි කාර්ය මණ්ඩලයේත් අත් පා බැඳ විනිසුරු අසුන අසල ගාල් කළහ. අනතුරුව මුළු උසාවියම බුල්ඩෝසර් යන්ත‍්‍ර යොදා උගුලූවා කන්ටේනර් ප‍්‍රවාහන රථයට පටවන ලදී. ඉන්පසු ඊට ගොඩවූ හොරා රියදුරු අසුන  අසල හිඳගෙන රියදුරුගේ හිසට පිස්තෝලයක්  එල්ල කර රථය අගමැති කාර්යාලයට පදවන ලෙස අණ කෙළේය.

චන්ද්‍රසේන බදුගම