පොලිසිය ලැජ්ජ වෙන්න ඕන

Nuwan_Bopage

නීතිඥ නුවන් බෝපගේ, පහරකෑමට පසු….

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ පසුගිය ඉරිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. හදිසියේම නින්දෙන් ඇහැරුණු පොලිසිය ජනවාරි 06 වැනිදා පමණ සිට ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කුරුමානම් ඇල්ලීය. ඒ පුද්ගලයකු පැහැර ගෙන යාමට හා ඔහුට තර්ජනය කිරීමට චෝදනා එල්ල වූ මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට ඇඟිලි අතරින් පැන යාමට ඉඩ දුන් තත්වයක් යටතේය. ශ‍්‍රී ලංකා පොලිසියේ ක‍්‍රියාකලාපය එසේය.

දෙසැම්බර් 27 වැනිදා මීතොටමුල්ල කුණු කන්දට පිවිසෙන මාර්ගය අසල ගම්වාසීන් අට්ටාලයක් ඉදි කර අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ, කුණු කන්ද ඉවත් කරන බවට පොරොන්දු දී පැමිණි ආණ්ඩුව එය තවත් අක්කර තුන හමාරකින් පුළුල් කිරීමට කැබිනට් පත‍්‍රිකා සම්මත කළ නිසාය. එදින රාත‍්‍රී එම ස්ථානයට කඩා වැදුණු කොළොන්නාව නගරාධිපති ඇතුළු බීමත් මැරයෝ උපවාසකරුවන්ට පහර දී බරපතළ තුවාල සිදු කළහ. උපවාසයේ නිරත වී සිටි කාන්තාවන්ටද මේ ම්ලේච්ඡුයෝ පහර දුන්හ.

එම පහරදීම සම්බන්ධයෙන් පොලිසිය වෙතද සැකයේ ඇඟිල්ල දිගු විය. ඒ, පහරදීමට පැයකට කලින් එම ස්ථානයේ ආරක්ෂාවට කියා යොදවා සිටි පනහකට ආසන්න  පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමත් පහරදීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් කොළොන්නාවේ නගරධිපතිවරයා සමඟ එම ස්ථානයේ සාකච්ඡුා කරමින් සිටීමත් නිසාය.

නුවන් බෝපගේ, කීර්තිරත්න පෙරේරා ඇතුළු පහරකෑමට ලක් වූවන් රෝහල්ගත වී පැය හතරකට පමණ පසුව මැරයන් දෙදෙනකු හදිසියේම රෝහලට පැමිණියේ පොලිසියේ උපදෙස් පිට වන්නට ඇත.

ඉන් පසුව ඔවුන් විසින් පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබූ අතර එහි දක්වා තිබුණේ, ‘තමන්ට පහර දුන් අය’ නොහඳුනන නමුත් දුටුවොත් හඳුනා ගත හැකි බවයි. මෙයද පොලිසියේ කූඨ උපදෙස් මත සටහන් කරන්නට ඇතැයි මීතොටමුල්ල ජනතාව සැක කරයි. දුටුවොත් හඳුනා ගත හැකි ලෙස පැමිණිල්ලක් සටහන් කළ පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් තබන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුය. ඒ නිසා ඒ ආකාරයෙන් පැමිණිල්ල සටහන් කිරීම මඟින් මීතොටමුල්ලේ ජනතා ක‍්‍රියාකාරීන් දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබිය හැකිය.

Keerthirathna.png

පහරකෑමට ලක්වූ කීර්තිරත්න

එම අවශ්‍යතාවම පොලිසිය අධිකරණයටද ඉදිරිපත් කළේය. ඒ, කීර්තිරත්න පෙරේරා සහ නුවන් බෝපගේ අධිකරණයට ඉදිරිපත් කර, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් තබන තුරු ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධානගාර ගත කරන ලෙස ඉල්ලා සිටිමි. මැරයන් මේ දෙදෙනා දුටුවොත් හඳුනා ගත හැකි බව කීම මුසාවකි. ඔවුන් දෙදෙනාගේ ඡුායාරූප පුවත්පත්වල පළ වූ අතර රූපවාහිනී ප‍්‍රවෘත්තිවලද විකාශය විය. ඒ නිසා මූණට මූණ බලා හඳුනා ගැනීමේ අවශ්‍යතාවක් නැත.

කෙසේ වෙතත්, අධිකරණය පැවසුවේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව එදිනම පවත්වන ලෙසයි. ඒ නිසා එදිනම නුවන් බෝපගේට සහ කීර්තිරත්න පෙරේරා ඇප මත නිදහස් කෙරිණි.

මේ සම්බන්ධයෙන් ‘ජනරළ’ වෙත අදහස් දක්වමින් නීතිඥ නුවන් බෝපගේ පැවසුවේ, පොලිසිය නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බවයි. යම් කිසිවකු පැමිණිල්ලක් කළ පමණින් මෙලෙස අත්අඩංගුවට ගත නොහැකි බවත් මූලික විමර්ශනයක් පැවැත්විය යුතු බවත් ඔහු පැවසුවේය. ඒ නිසා මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ අධිකරණ ක‍්‍රියාමාර්ග වෙත  යාමට ඔවුහු සූදානමින් සිටිති. ”උපවාසය තිබුණු තැනට ඇවිල්ලා කොළොන්නාව නගරාධිපති ඇතුළු පිරිස අපට ගැහුවේ. අන්තිමට අපිවත් අත්අඩංගුවට ගත්තා. ඒක හරියට ගෙදරට ඇවිත් ගහලා ගියාට පස්සේ පොලිසිය ඇවිත් ගෙදර අයිතිකාරයා රිමාන්ඞ් කරනවා වගේ” යැයි නුවන් බෝපගේ පැවසීය.

ජේ.ටී. ගමගේ