ලෝකය මාව පහුකරගෙන අවුරුදු දහයක් ගිහින්

 

Sivaraja-Jenivanජනාධිපති සමාව ලැබූ සිවරාජා ජෙනීවන්

”කොහොමද දැනෙන්නෙ…” මම ඇසුවෙමි.

”අපායෙ ඉඳලා දිව්‍ය ලෝකෙට ආවා වගේ…” දුරකතනය තුළින් ජෙනීවන්ගේ හඬ ඇසෙයි. ”මේක හීනයක්ද කියලාත් හිතෙනවා. ඒ හීනෙ බොඳ වෙයි කියලා බයයි. සතුටුයි. වචනවලින් කියන්න තේරෙන්නේ නෑ…” ඔහු දිගටම කියයි.

සිවරාජා ජෙනීවන් 2006.04.23 පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් ඔහුට මෛත‍්‍රීපාල සිරිසේන ඝාතනයට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා එල්ල කොට 2015.07.03 වැනිදා අවුරුදු 10ක සිර දඬුවමක් නියම කළේය. පසුගිය ජනවාරි 08 වැනිදා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබූ ඔහු යාපනය, අච්චුවේලිහි පිහිටි ඔහුගේ නිවසට ගියේය. මම දුරකතනයෙන් කතා කරන විට ඔහු හෙට කුමක් කරන්නේදැයි කල්පනා කරමින් සිටියේය.

”ඉපදුනේ කවද්ද?”

”1978 ඔක්තෝබර් 23 වැනිදා, යාපනේ ඉස්පිරිතාලෙ. ඒ වෙද්දි පදිංචි වෙලා හිටියේ යාපනේ ටවුන් එකෙන් කිලෝමීටර් 15ක් විතර දුර, අච්චුවේලිවල. තාත්තා මේල් නර්ස් කෙනෙක්. අම්මා ගෙදර වැඩ බලා ගත්තා. මට අවුරුදු පහක් වෙනකං විතරයි එහේ හිටියෙ. යුද්දෙ නිසා අපි යාපනය ටවුන් එකට ආවා. මල්ලි ඉපදුනේ එහේදි.”

ජෙනීවන් හොඳින් සිංහල කතා කරයි. ඒ සිරගත ජීවිතයේ ප‍්‍රතිඵලයකි.

”ඉස්කෝලෙ ගියේ…?”

”ඉස්කෝලෙ ගියේ යාපනයේ සෙන්ට‍්‍රල් කොලේජ් එකට.  ඕලෙවල් වෙනකං ඉගෙන ගත්තා. විභාගෙට හිටියෙ නෑ. පොඩි කාලෙ ඉඳලම බෝම්බ සද්දෙ මැද තමයි හිටියේ. බෝම්බ සද්දෙ ඇහෙන කොට ඉස්කෝලෙ යන්නෙ නෑ. ඉස්කෝලෙ හිටියොත් ගෙදර දුවනවා. හැම ගෙදරකම බංකර් තිබුණා. ඒ වෙලාවට බංකර්වල තමයි හැංගෙන්නේ. කොටුව පැත්තේ යුද්ධෙ තියෙන කොට අපි බඩුමූට්ටුත් අරගෙන නල්ලූර් පැත්තට යනවා. එහේ ඉස්කෝලවල, පල්ලිවල, ඥාතීන්ගේ ගෙවල්වල තමයි ඉන්නෙ. ඒක අපිට පුරුද්දට ගිහින් තිබුණා.”

ජෙනීවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුනේ 1994 වසරේදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16කි.

”එල්.ටී.ටී.ඊ. එක විතරයි අපි දැකලා තිබුණේ. පරිපාලන වැඩ කළේ එයාලා. නිවාඩුවට ගිය වෙලාවක මගේ යාළුවගෙ ගෙදරට හමුදාවෙන් බෝම්බ දානවා දැක්කා. බෝම්බ වැටුණේ යාළුවාගෙ ගෙදර කුස්සියට. එයාගෙ අම්මා මැරුණා. මට මතක විදියට 93 අවුරුද්දෙ විතර වෙන්න ඇති. අපි පල්ලියෙ හිටියෙ. සුපර්සොනික් යානයකින් බෝම්බ දැම්මා. ගොඩක් අය මැරුණා. පොඩි දරුවොත් මැරුණා. ඒවා තමයි දැක්කේ. ඇහුවෙත් ඒවා. සිංහල මිනිස්සු නරකයි, සිංහල මිනිස්සු දෙමළ අය මරනවා කියලා තමයි අපි අහලා තිබුණේ. සිංහල අයටත් කියන්න ඇත්තේ දෙමළ අය නරකයි, දෙමළ අය සිංහල අය මරනවා කියලා වෙන්න ඇති.”

අවුරුදු 16දී එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වීම පිළිබඳව ඔහු එලෙස අතීතය ස්මරණය කළේය.

”ඒක තමයි තිබිච්ච වාතාවරණය. හිටපු ජනාධිපතිතුමාත් කිව්වා, එයාත් යාපනේ ඉපදුනා නම් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්න වෙනවා කියලා.”

”ඊට පස්සෙ…?”

”තාත්තා නර්ස් කෙනෙක් නිසා මටත් බෙහෙත් ගැන දැනුමක් තිබුණා. මම වැඩ කළේ ඒ අංශයේ. එයාලාත් මට පුහුණුවක් දුන්නා. සාමාන්‍යයෙන් බෙහෙත් කරන්න පුළුවන්.”

1999දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වන ඔහු නැවතත් ඊට සම්බන්ධ වී ඇත්තේ සටන් විරාමය අවසන් වූ පසුවයි.

”මම 2002 වෙනකල් සිංහල අය දැකලා තිබුණේ නෑ.  සිංහල කෙනෙක් මුලින්ම දැක්කේ 2002දී. සටන් විරාමෙ කාලෙ වව්නියාවට ආපු වෙලාවේ.”

”දැන් යුද්ධෙ ඉවර වෙලා. ප‍්‍රශ්නෙ විසඳිලා කියලා හිතෙනවාද?”

”තාම ප‍්‍රශ්න විසඳිලා නෑ. රජය කියලා තියෙනවා විසඳනවා කියලා. අපි දේශපාලන හිරකරුවන් බවට පත්වුණේ අපේ වරදකින් නෙවෙයි. අපි නෙවෙයි වගකියන්න  ඕන. අපි උපදින්නත් කලින් හිටපු දේශපාලන නායකයන් තමයි මේකට වගකියන්න  ඕන. ඒ අය සංහිඳියාව ඇති කළේ නෑ. දෙමළ වේවා, සිංහල වේවා එයාලා ජාතිවාදයෙන් තොරව, හරියට බලලා, විවෘතව කතා කරලා වැඩ කළා නම් අපට මෙහෙම ප‍්‍රශ්නයක් එන්නේ නෑ. දේශපාලන නායකයන් එක එක වෙලාවට එක එක දේවල් කරනවා. ඒ අය සැරෙන් සැරේ ප‍්‍රතිපත්ති මාරු කරනවා. එයාලා පස්සේ යන අය තමයි අනාථ වෙන්නේ. දේශපාලකයන් පස්සේ ගියොත් රට විනාසයි.”

”අත්අඩංගුවට පත් වුණේ කොහොමද?”

Blast_Boralesgamuwa

එවකට ඇමැති මෛත්‍රිපාල සිරිසේන ඝාතනයට උත්සාහ කළ අවස්ථාව

”මම මඩකලපුවේ ඉඳලා වව්නියාවට බස් එකේ යද්දී පොළොන්නරුවෙදි තමයි ගත්තේ. සමහර මාධ්‍යවල දාලා තිබුණා මම බෝම්බ එක්ක ගත්තා කියලා. ඒක බොරු. මම හිස් අතින් හිටියේ.”

 

ඔහු නඩුව පිළිබඳව ඊට වඩා කතා කිරීමට සූදානම් නැත. එහෙත් ඔහු පොදුවේ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන අධිකරණ ක‍්‍රියාවලිය ගැන අදහස් දැක්වීය.

”නොදන්න භාෂාවකින් එයාලාම ටයිප් කරන ලියුමකින් අපේ ජීවිත තීරණය කරන එක වැරදියි. කෙටි කාලයකින් තීරණයක්, විසඳුමක් දෙනවා නම් තව කමක් නෑ. අඩුම තරමේ අපි දන්න භාෂාවෙන් නම් ඒත් කමක් නෑ. එක්කෙනෙක් ඉන්නවා, එයා අත්අඩංගුවට අරන් තියෙන්නේ අවුරුදු 17දී. දැන් එයාට අවුරුදු 40යි. ලොකු මිනිස්සුන්ට නම් මේ කිසිම ප‍්‍රශ්නයක් නෑ. එයාලා නිදහස් වෙලා යනවා. පුංචි මිනිහට විතරයි ඔක්කොම.”

ඔහු පවසන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසිදු නායකයකු දැන් සිරගතව නැති බවයි.

”සැලසුම් කරපු, ක‍්‍රියාත්මක කරපු කවුරුවත් නෑ. අහිංසක අය විතරයි දැන් ඇතුළෙ ඉන්නේ. එයාලා එළියට ගියොත් ආයිමත් එල්.ටී.ටී.ඊ.යක් හදනවා කියලා සමහරු කියනවා. මම සියයට දාහක් විශ්වාසෙන් කියනවා එහෙම වෙන්නේ නෑ කියලා. එහෙම හිතන කවුරුවත් ඇතුළෙ නෑ.”

මම ඔහුගේ පවුලේ අය ගැන විස්තර ඇසුවෙමි.

”අයියා එල්.ටී.ටී.ඊ. එකට බැඳෙයි කියලා බයට අම්මලා එයා රට යැව්වා. දැන් ඉන්නෙ ප‍්‍රංශෙ. මල්ලිත් පස්සේ රට යැව්වා, ප‍්‍රශ්න ආපු නිසා.”

”මොකද කරන්න හිතාගෙන ඉන්නෙ?”

ජෙනීවන් මඳ වේලාවක් නිහඬව සිටියේය.

”මම අවුරුදු දහයක් හිරේ හිටියේ. ලෝකෙ මාව පහු කරලා අවුරුදු දහයක් ඉස්සරහට ගිහින්. මම අවුරුදු දහයකින් පහු වෙලා. ඒ ගැප් එක අල්ලන්න  ඕන. ඒකට සූදානම් වෙන්න  ඕන.”

යළිත් ඔහු නිහඬය. කුමක් කරන්නේදැයි සිතනවා විය යුතුය.

”මට බෙහෙත් ගැන ටිකක් දැනුමක් තියෙනවා. ඒ නිසා ෆාමසියක වැඩ කරන්න බලන්න  ඕන. නැත්තං වෘත්තීය පුහුණුවක් ලබන්න  ඕන. මොනවා හරි කරන්න  ඕන…”

අවිවාහකයකු වන ජෙනීවන්ගේ වයස දැන් අවුරුදු 37කි. ඔහුගේ පියා විශ‍්‍රාමිකය. අවසාන වශයෙන් කුමක් හෝ කීමට තිබේදැයි මම ඇසුවෙමි.

”ජනාධිපතිතුමා ගත්තු තීරණය ගැන ගොඩක් සතුටුයි. මාව නිදහස් කළ නිසා අනිත් අයත් බලාගෙන ඉන්නවා එයාලාත් නිදහස් කරයි කියලා. නිදහස ලැබෙයි කියලා හැමෝටම විශ්වාසයක් තියෙනවා.”

සංවාද සටහන – ජනක තුෂාර