ව්‍යවස්ථාව – පරණ නාඩගමේ අලුත් නිෂ්පාදනය

 

Ranil_Maithree

අලූත් අවුරුද්දේ අලූත්ම කතාව අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි. ඒ අනුව ජනවාරි 9 වැනිදා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් තෝරා පත් කර ගැනීමේ යෝජනාවක් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව සම්මත විය. තවමත් එම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් අප හමුවේ නැත. ඒ තබා එහි මූලික ලක්ෂණ හෝ පදනම් මොනවා දැයි අප දන්නේද නැත. තවමත් නව ව්‍යවස්ථාව හෝ වත්මන් ව්‍යවස්ථාවට සිදු කිරීමට යන සංශෝධනය පවතින්නේ හැංගි හැංගි වෙස් බඳින අවධියේය. හැංගි හැංගි වෙස් බැන්ඳාට නටන්න වෙන්නේ එළියේ නිසා තව ටික දවසකින් අපට ඒ පිළිබඳ මූලික රාමුව හෝ දැන ගැනීමට ලැබෙනු ඇත.

නමුත් ඊට පෙරම මහජන අදහස් විමසීම ආරම්භ කර ඇත. ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසකට පුරවැසි ප‍්‍රයත්නය’ නමින් තමන් හඳුන්වා ගත් පිරිසක් 12 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී පැවසුවේ නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීම ලබන 18 වැනිදායින් ආරම්භ කරන බවය. මෙම අවස්ථාවට එක් වෙමින් නව ව්‍යවස්ථාව සම්පාදනයට සම්බන්ධවූ බව සැලකෙන නීතිඥ ලාල් විජේනායක සඳහන් කළේ ජනවාරි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ඉසුරුපාය ගොඩනැඟිල්ලේදී කොළඹ දිස්ත‍්‍රික්කය අවට අයගෙන් මෙම මහජන අදහස් විමසීම සිදු කරන බවය. නමුත් එම අදහස් අවශ්‍ය කුමන ක්ෂේත‍්‍රවලදී දැයි විශේෂයෙන් සඳහන් නොකෙරිණි. නමුත් එහිදී ඡුන්ද ක‍්‍රමය, බලය බෙදා හැරීම සහ කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳව අදහස් ඉදිරිපත් විය. නව ව්‍යවස්ථාව පිළිබඳව ප‍්‍රශ්නය දිග හැරුණේ

නැවත ජනවාරි 12 වැනිදා පාර්ලිමේන්තුව රැුස්වූ අවස්ථාවේදීය. 9 වැනිදා විවාදයට අදාළ අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ නොදුන් නිසා එක් එක් දේශපාලන පක්ෂවල මතය දැන ගැනීමට ලැබුණේ 12 වැනිදාය.

පූර්විකාව ගැන විවාදය

12 වැනිදා පාර්ලිමේන්තුවේ වැඩිපුරම කතා කළේ අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ පූර්විකාව ගැනය. යෝජනාවේ 3 සහ 4 ෙඡ්ද හෙවත් එහි පූර්විකාව ඉවත් කළ යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්දවාදීන් සහ සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයන් වන දිනේෂ්, විමල්, ගම්මන්පිල ආදීන් බලවත් උද්ඝෝෂණයක් ගෙන ගියහ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසන්නේ ව්‍යවස්ථාවේ හරය අඩංගු වන්නේ පූර්විකාවේ නිසා එය ඉවත් කළහොත් යෝජනාවෙන් පළක් නැති බවය. මෙතරම් විවාදයට ලක්වූ පූර්විකාවේ 3 සහ 4 ෙඡ්ද මෙලෙසය.

”ඉහත කී ජනාධිපතිවරණයේදී ජනතාව ප‍්‍රකාශ කරන ලද අභිප‍්‍රාය බලගැන්වීමට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන්නා වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ, අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් සිය අභිලාෂය පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති හෙයින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන්නාවූද මනාප ඡුන්ද ක‍්‍රමය ඉවත් කර ජනතා නියෝජනය සාධාරණව පිළිබිඹු කරන්නාවූ මැතිවරණ ක‍්‍රමයක් සහතික කෙරෙන්නාවූද සියලූ පුරවැසියන්ගේ  ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ශක්තිමත් කරන්නාවූද ජාතික ප‍්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් සපයන්නාවූද ජාතික ප‍්‍රතිසන්ධානය ප‍්‍රවර්ධනය කරන්නාවූද නීතියේ ආධිපත්‍යයට ගරු කෙරෙන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්නාවූද ජනතාවගේ මූලික අයිතීන් හා නිදහස මඟින් මානව අභිමානය තහවුරු කරන්නාවූද වගකිව යුතු, වගවන්නාවූ ආණ්ඩු ක‍්‍රමයක් ප‍්‍රවර්ධනය කරන්නාවූද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාව මතුවී ඇති හෙයින්ද”

මෙම පූර්විකාවේ ප‍්‍රධාන වශයෙන් ව්‍යවස්ථාවේ අරමුණු හතරක් දක්වා තිබේ. ඒ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම, ජාතික ගැටලූවට ව්‍යවස්ථාමය විසඳුමක් සකස් කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ දියත් කිරීම යන අරමුණුය. රනිල් සිය යෝජනාවේ මේ අරමුණු ඉදිරිපත් කළත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක සහ මෛත‍්‍රීගේත් එකඟතාවය නැති නිසා එම පූර්විකාව ඉවත් කෙරිණි. දැන් මදය ඉවත් කර කටුව පමණක් ඇති නිසා යළිත් ව්‍යවස්ථා කථිකාව ඇත්තේ අඳුරේ අතපත ගාමිනි. නමුත් අපට නම් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට පාලක පන්තියට අවශ්‍ය වූයේ මන්දැයි පැහැදිලිය. ඒ නිසා එන්නට නියමිත නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලද අපට අනුමාන කළ හැකිය. මේ එළඹෙන්නේ ලංකාවේ නවලිබරල් ධනවාදයේ නව අදියරකි. වාමාංශිකයන් එය නවලිබරල් දෙවැනි ඉනිම ලෙස හඳුන්වන විට රනිල් මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළ හඳුන්වා දීමේ දේශනයේදී එය නම් කළේ ආර්ථික විවෘතකරණයේ තුන්වැනි පරම්පරාවේ ප‍්‍රතිසංස්කරණ ලෙසය. නම කුමක් වුවත් ලංකාවේ නවලිබරල් උපායමාර්ගය අලූත් පිම්මක් ගැනීමට සැරසෙන බව ස්ථිරය. එම උපායමාර්ගය සිය පළමු පියවර තැබූ 1977දී ඒ සඳහා අවශ්‍ය දේශපාලන බලය ගොනු කර පැනීමට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය විය. පාලක පන්තිය අත, විශේෂයෙන් තනි පුද්ගලයකු අත සුවිසල් බලයක් ඒකරාශී කෙරෙන විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන්නේ එහිදීය. දැන් එහි ඊළඟ පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා පාලක පන්තියට තව දුරටත් එම බලය වැඩි කර ගැනීමටත් පවතින විධායක ජනාධිපති ක‍්‍රමයට එල්ල වන ජනතා විරෝධය නිසා එයට සමාජ අනුමැතිය දිනා ගැනීම සඳහා මතුපිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සායම් ආලේප කිරීමටත් අවශ්‍ය වී තිබේ. නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට ප‍්‍රබල ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යව තිබෙන්නේ ඒ සඳහාය.

විවේචන සංවාදය

මේ අනුව ආණ්ඩුව සැරසෙන්නේ විධායක බලය ජනාධිපතිවරයා අත නොව අගමැතිවරයා අත ගොනුවන, එනම් තවදුරටත් තනි පුද්ගලයකු අත්තනෝමතික බලයක් හසුරුවන ක‍්‍රමයක් ස්ථාපිත කිරීමටය. එමෙන්ම සමානුපාතික නියෝජන ක‍්‍රමය තුළ අවම වශයෙන් හෝ පාර්ලිමේන්තුවේ අති බහුතර බලය එක් දේශපාලන පක්ෂයකට ලබා ගැනීම අපහසු නිසා (දැන් එම අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ සම්මුතිකාමී ආණ්ඩු ගොඩනැඟීමෙන් හෝ මහින්ද කළ ලෙසට විපක්ෂ මන්ත‍්‍රීවරුන් තොග පිටින් බිලීබා ගැනීමෙනි) නව මැතිවරණ ක‍්‍රමයක් හරහා පාර්ලිමේන්තුවේ තනි බලය තහවුරු කර ගැනීම සහ ද්වි පක්ෂ ක‍්‍රමය ස්ථාවර කර ගැනීමටය. තනි වචනයකින් කියන්නේනම් මේ නව ව්‍යවස්ථාවේ අරමුණ රාජ්‍ය බලය තව දුරටත් ශක්තිමත් කිරීම මිස පුරවැසියාගේ බලය ශක්තිමත් කිරීම නොවේ. නමුත් පාලක පන්තියට මෙය අමුඅමුවෙන්ම කිරීම පහසු නැත. එයට යම් ප‍්‍රගතිශීලී සැරසිලි ප‍්‍රමාණයක් නොතිබුණොත් සමාජ අනුමැතිය දිනා ගත නොහැකි අතර එවිට විශ්වාසය තැබීමට වන්නේ හුදු බලහත්කාරය මතය. ඒ නිසා මෙයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡුාව සහ ප‍්‍රතිසන්ධාන සාකච්ඡුාව අවශ්‍ය වේ. පසුගිය කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කළ බොහෝ දෙනෙක් මේ රස තවරා කවන්නට යන වස ගැන කතා කරන්නේ නැත. ඔවුන් සිතන්නේ පාලක පන්තියේ බලය තහවුරු කිරීමේ ව්‍යාපෘතියක් තුළ හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජාතික ගැටලූව පැත්තෙන් යම් හෝ ප‍්‍රගතිශීලී පියවරක් තැබිය හැකිවේනම් එය ජයග‍්‍රහණයක් බවය. එය යථාර්ථයක් දැයි අපට පසුව කතා කළ හැක.

king maithree            මුලින්ම අපි මේ ව්‍යවස්ථාවට විවේචන එල්ලකරන්නන්ගේ ප‍්‍රවේශය බලමු. මහින්දවාදීන් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතිවාදී කොටස් උත්සාහ කරන්නේ විරෝධය ජාතිවාදී දේශපාලන සීමාවක කොටු කිරීමටය. ඔවුන්ගේ විවේචනය පදනම් වන්නේ නව ව්‍යවස්ථාව තුළ ‘ඒකීය භාවය’ සහ ‘බුද්ධාගමට ප‍්‍රමුඛතාව’ පිළිබඳ වගන්ති අහෝසි වීම මතය. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටේ ඒකීය භාවය හා බුද්ධාගමට හිමි තැන කිසිදු අයුරකින් සංශෝධනයට ශ‍්‍රීලනිපය ඉඩ නොතබන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා 11 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවැසීය. එහිදී කාලයකට පසු හඬ අවදි කළ සුසිල් පේ‍්‍රමජයන්ත පැවසුවේ ව්‍යවස්ථාවේ ඒකීය භාවය සුරකින බවය. ඒ අනුව ඔවුන් සංවාදය හදන්නට යන්නේ ජාතිවාදී වේදිකාවක් මතය. මෙයට ප‍්‍රතිචාර දක්වමින් ආණ්ඩුවද පවසන්නේ තමන් ඒකීයභාවය සහ බුද්ධාගමේ ප‍්‍රමුඛතාවයට අදාළ වගන්ති කිසිසේත් ඉවත් නොකරන බවය. ඒ අනුව මතුපිට සැරසිලි ලෙස එල්ලීමට නියමිතව තිබූ ජාතික හා ආගමික සමානාත්මතාවය, ජාතික පීඩනයක් ඇති බව පිළිගැනීම, අනාගාමික රාජ්‍යය වැනි ඉතාම සරල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ පවා සිදු නොවනු ඇත. අවසානයේදී ඉතිරි වනු ඇත්තේ අත්තනෝමතික බලය ඒකරාශී කිරීම පමණි. ජනතා විමුක්ති පෙරමුණ මේ තීරණාත්මක සංවාදය පිළිබඳව කිසිවක් නොකියා හුදු තාක්ෂණික විරෝධයක් ඉදිරිපත් කරයි. ඔවුන් කියන්නේ මේ ව්‍යවස්ථා සම්පාදන යෝජනාව ගෙන ආවේ ස්ථාවර නියෝගවලට පටහැනිව බවය. එම යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය (පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමටද ව්‍යවස්ථා සංශෝධනයටද පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නේ ඒ වගන්තියෙනි.) යටතේ නොව 12 වැනි පරිච්ෙඡ්දය (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ව්‍යවස්ථාදායකය සතු බලය පිළිබඳ වගන්තිය) අනුව බවය. මේ තාක්ෂණික විවේචනය තුළ ඔවුන් ව්‍යවස්ථාවට අදාළ දේශපාලන විවේචනය මුළුමනින්ම සඟවයි.

තවත් අය නව ව්‍යවස්ථාවට පක්ෂ වන්නේ එමඟින් ජාතිවාදය පරාජය කළ හැකිය යන විශ්වාසයෙනි. එක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාධරයකු මේ ලියුම්කරු සමඟ පැවසුවේ රනිල් හෝ මෛත‍්‍රී ජාතික ගැටලූව විසඳනු ඇති බවට තමන්ට විශ්වාසයක් නැති වුවත් අවම වශයෙන් ජාතික පීඩනය අඩු කරන ප‍්‍රතිසංස්කරණ ව්‍යවස්ථාවට ඇතුළු කරගත හැකි බවය. එය එසේනම් එය යහපත් බවට සැකයක් නැත. එහෙත් අවම වශයෙන් එවැනි විශ්වාසයක්වත් තබා ගත හැකිද? කෙටියෙන්ම කියන්නේනම් ජාතික ප‍්‍රශ්නය භයානක ලෙස ඔඩුදුවා ඇත. ‘සිංහලේ’ වැනි ව්‍යාපෘති ජනප‍්‍රිය වීම, සිංහල සහ මුස්ලිම් ජාතිවාදයන් අතර තරගය විල්පත්තුව වැනි පරිසර වේදිකාවල සිට සංස්කෘතික වේදිකා හා දේශපාලන වේදිකා දක්වා පැතිරීම, දෙමළ සමාජයේ ලිබරල් නායකත්වය අභියෝගයට ලක් කරමින් රැුඩිකල් ජාතිවාදී කොටස් හිස එසවීම ආදී මෑතකාලීන පුවත් සියල්ල පෙන්වන්නේ එයයි. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ක්ෂේත‍්‍රය සුළු සුළු පැලැස්තරවලින් කෙලින් කළ නොහැකි ලෙසට අසාධ්‍ය තත්වයට පත්ව කුණුවී ඇත. මේ ගැටලූ දෙකම විසඳිය හැක්කේ සමාජමය අයිතීන්ගෙන් පිටමං කරනු ලැබූ, ආන්තීකරණයවූ, නිර්ධන පන්තිය ඇතුළු සමාජයේ පහළ ස්තර අතර පුළුල් දේශපාලන සංවාදයක් ඇති කිරීම, ඔවුන් වෙතට දේශපාලන අධ්‍යාපනය ගෙන යාම හා ඔවුන් සංවිධානය කර ශක්තිමත් කිරීම තුළ මිස පාර්ලිමේන්තුව තුළ පෙන්වන සර්කස් සෙල්ලම් තුළින් නොවේ. ජාතික ප‍්‍රශ්නයට අදාළ සරල ප‍්‍රතිසංස්කරණයක් පවා නිර්ධන පන්තිය ප‍්‍රමුඛ කොටස්වල අනුමැතියකින් තොරව හුදු අපේක්ෂාවක් පමණක් වනු ඇත. එය රනිල්ගේ හෝ වෙනත් කවර නියෝජිතයකු හෝ කරන මුඛරි කතාවලින් සාර්ථක කරගත නොහැකිය. එය සිවිල් බුද්ධිමතුන්ගේ කූට උපක‍්‍රමවලින් සාර්ථක වන්නේද නැත. අනෙක නවලිබරල් ධනවාදය සමඟ එකට යන තාක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය විසඳෙන්නේ නැති අතර ජාතික ප‍්‍රතිසංධානය සිදුවන්නේද නැත. නවලිබරල් ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වන බලවේග සමීප වීමට වැඩි ඉඩක් ඇත්තේ ජාතිවාදී අගතීන්ටය.

එනිසා අවශ්‍යව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජාතික ප‍්‍රතිසන්ධානය පමණක් නොව ආර්ථික යුක්තිය සහ අධිරාජ්‍යවාදී වියගසෙන් විමුක්තිය ලැබීම සඳහා ගොඩනැෙඟන පුළුල් ජනතා බලවේගයකි. අවම සරල ප‍්‍රතිසංස්කරණයක් සඳහා හෝ පාර්ලිමේන්තු ව්‍යවස්ථා  සම්පාදක මණ්ඩලවලට තීරණාත්මක ලෙස බලපෑම් කළ හැක්කේද පීඩනයක් එල්ල කළ හැක්කේද එවැනි ජනතා බලවේගයකටය. එනිසා පාර්ලිමේන්තුව තුළ ව්‍යාජ විවේචන සහ ව්‍යාජ මත ගැටුම් ජවනිකා සහිත පරණ නාඩගම දෙස බලා සිටිනවා වෙනුවට වාමාංශිකයන්, ප‍්‍රගතිශීලීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් කළ යුත්තේ පීඩිත ජනතා බලවේග බලමුළු ගැන්වීමයි. ඒවා සක‍්‍රීය කිරීමයි. ඒවාට අධ්‍යාපනය ලබා දීමයි. ඒවා අරගල බිමට ගෙන ඒමයි.