සිරකරුවෝද මනුෂ්‍යයෝය – දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

champa-somaratnaඇය වෛද්‍ය චම්පා සෝමරත්න. 80 දශකයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරිනියක ලෙස දේශපාලන අරගලයක නියැලූණ ඇය මර්දනයෙන් පසු යටපත් කළ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැඟීමේ කාර්යයටද උර දුන්නාය. තමන්ගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ මෙන්ම ජීවිත අත්දැකීම් ඇසුරින් සමාජ දේශපාලන ප‍්‍රශ්න දෙස බලන ඇය මේ වන විට  ඕස්ටේ‍්‍රලියාවේ වාසය කරන්නීය. සිරගතව සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පේ‍්‍රමකුමාර් ගුණරත්නම්ගේ බිරිය වන ඇය මේ වනවිට දරුවන් දෙදෙනකුගේ මවද වන්නීය. ජනරළපළ කිරීමට තෝරාගත් මේ ලිපිය ඈ විසින් ලියා තිබුණේ පසුගිය දෙසැම්බරයේදීය. 


 

 

ලෝකයේ අතිනිර්මල බුදුදහම ඇති රට ලෙස අපි පාරම්බාන්නෙමු. නමුත් තවදුරටත් අපට ඒ ලෙස ආඩම්බර විය හැකිද යන ප‍්‍රශ්නය මම ලංකා සමාජය හමුවේ මතුකිරීමට කැමැත්තෙමි.

අතුරුදන් කිරීමේ කෲර සංස්කෘතිය අපේ රටට හඳුන්වා දුන්නේ 1971 සිරිමාගේ පාලනය බව මගේ අදහසයි. 71ට පෙර විරුද්ධ දේශපාලන මත ඉවසන සමාජ සහ දේශපාලන රටාවක් යම් පමණකට තිබුණු බවක් පෙනෙන්නට තිබේ. චේ ගවේරා පන්නයේ විප්ලවවාදී ව්‍යාපාරවලින් ආශිර්වාදය ලද 60 දශකයේ ජනතාව පීඩනයට එරෙහිව සටන් මාර්ගවලට පිවිසෙන විට සිරිමාගෙ රජය ඉතා කෲරතර ලෙස එය මැඩපවත්වන ලදී. අත්අඩංගුවට ගැනීම, අතුරුදන් කිරීම, මරා ගංගාවල පා කිරීම හා පුළුස්සා දැමීමේ සංස්කෘතිය එදා ඇතිි කරන ලදී. ඉතා කනගාටුදායක කරුණක් වන්නේ එදා ගහලයාට කඩුව දුන්නේ පැරණි වම වීමයි. සමාජයක ශිෂ්ටත්වය පවතින්නේ මිනිසාගේ ජිවත්වීමේ අයිතිය තහවුරු කරන තරමටමය. දියුණු සමාජයකදී ඉතා දරුණු ගණයේ මිනීමරුවකුට වුවද තම අයිතිය ප‍්‍රකාශ කිරීමට නීතිය තුළ ඉඩ ලබා දෙන්නේ ජීවත්වීමට මිනිසාට ඇති අයිතියට ගරු කිරීමටය. 71දී රටක් ලෙස ඒ ශිෂ්ටත්වය විනාශ කරන ලද අතර අප ගෝත‍්‍රික ම්ලේච්ඡුත්වයට පහත වැටුණි.

1977 ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. නවලිබරල්වාදය හඳුන්වාදුන් ජේ.ආර්. මැතිවරණ සිතියම හකුළා දමා උගතුන්ට, බුද්ධිමතුන්ට, කම්කරුවන්ට පහරදෙමින්, විනිශ්චයකාරවරුන්ට හූ කියමින් ඇරඹූ යුගය අවසන් වූයේ බිහිසුණු ලෙසයි. ඒ අවසානය තුළ ක‍්‍රියාත්මක වූයේ 89 ධවල භීෂණය මුදා හැර අතුරුදන්කිරීමේ සංස්කෘතිය නීතියක් ලෙස සමාජගත කිරීමෙනි. භීතිය පාලන ක‍්‍රමයක් ලෙස සමාජගත කළ පේ‍්‍රමදාස මෙන්ම ගෝඨාභය එය ඒ ලෙසම යොදා ගත්තේය.

89 ධවල භීෂණය දිග හැරෙන්නෙ මගේ ඇස් ඉදිරිපිටය. අතුරුදන්කිරීම කොයිතරම් දෛනික ක‍්‍රියාවක් වීද යත් එය කොතරම් සමාජ නීතිය බවට පත් වීද යත් ඊට එරෙහි වූ සමාජ බලවේග පවා අතුරුදන් විය. සරසවි ශිෂ්‍යයකු වීමම අතුරුදන්වීමට හේතුවක් විය. අත්අඩංගුවට පත්වූවෙක් බොහෝවිට අනන්‍යතාව තහවුරුවීමටත් පෙර දරුණු වධ බන්ධනවලින් මිය ගොස්ය. දේශපාලන අරගලය තුළ පැහැර ගැනීම, මරා දැමීම රජයේ යුතුකමක් තරමටම සමාජගත කරන ලදී. එය කොයි තරම් ප‍්‍රබලද ක‍්‍රියාදාමයක් වූයේද යත් මිනී පා නොවුණු දවසක් නැති තරම් විය. ටයර් සෑ හැම හන්දියකම තිබූ අතර බල්ලන් පවා මිනී මස් බුදින තත්වයට පත්විය. සුන්දර පේරාදෙණි සරසවියේ ගලහ පොකුණ ශිෂ්‍යයන්ගේ මළ මිනීවලින් මලක රටාවට සැරසීමට තරම් එම සංස්කෘතිය ප‍්‍රබල විය, ම්ලේච්ඡු විය.

11අතුරුදන් කරනු ලැබූවන් මරා දමනු ලැබුවන් කොතරම් ජනතා අවධානය දිනාගත්තත් කොතරම් සුන්දර අව්‍යාජ මිනිසුන් වුවත් එහි විශේෂයක් නොවිණි. අතුරුදන්කිරීමේ සංස්කෘතිය කොයිතරම් මුල් බැස තිබුණේද යත් අදටත් ඊට එරෙහි ප‍්‍රබල හඬක් සමාජයෙන් නොනැෙඟ්. හිසට පරාල ඇණ ගසා මරා දැමූ ත‍්‍රීමා විතාරණ එහි ගොදුරකි. හතුරාට පවා ගෞරව කළ රංජිදම් එහි ගොදුරකි. වසරේ වැඩිම ලකුණු ලබා වෛi  පීඨයට ගිය සැබෑ මානවවාදියා වෙනුර එහි ගොදුරකි. අතුරුදන්වූවන් වෙනුවෙන් දිවා ? එස්.බී.ලා, ආරිය බුලේගොඩලා, සුනිලා අබේසේකරලා එක්ක වැඩ කරද්දී අතුරුදන් වූ බන්දුලලා, ගැමුණු යසස්ලා, රිචඞ් ද සොයිසලා එහි ගොදුරුය. විජේවීර අත්අඩංගුවට ගෙන මරා දමනු ලැබුවේ ප‍්‍රසිද්ධියේ රූපවාහිනියෙන් පෙන්වීමෙනුත් අනතුරුවය. සමාජයක් ලෙස අප අදටත් නිහඬය. ඒ අතුරුදන්කිරීම ඒ තරම් සමාජය තුළ තහවුරු වී ඇති නිසාය. ‘අපරාධකාරයා පවා වරද ඔප්පු වන තුරු නිවැරැුදි මිනිසකු ලෙස සැලකිය යුතුය’ යන ශිෂ්ටත්වය අපෙන් ගිලිහී ගොස් ඇති නිසාය. අප ආගම් ලේබලය නලලෙ කෙටූවද ඇතුළතින් මේ මස් වැදි සංස්කෘතියේ ගිලී ඇති හෙයිනි.

90 දශකයෙන් පසු මෙම ම්ලේච්ඡුත්වය උතුර කරා ගමන් අරඹන ලදී. දකුණේදී හමුදාව සිංහල සමාජය වෙත මුදා හළ තිරස්චීන ම්ලේච්ඡුත්වය ගැන සිතන විට ඒ ගැන මැන ගන්නට හැකිය. උතුරට මුහුණදීමට සිදු වූ දෙය සිතා ගැනීමට පවා නොහැකි තරමේ ම්ලේච්ඡුත්වයකැයි මට සිතේ. ත‍්‍රස්තවාදී ප‍්‍රහාර භාවිත කළ අරගලය තුළ දකුණට එය සාධාරණිකකරණය කිරීම ඉතා පහසු විය. භූමියෙන් වෙන් කරන ලද පොදු සමාජයෙන් වෙන් කර අසරණ කරන ලද, එහෙත් දණින් වැටුණද මරණය පමණක් අතින් ගත් තමිල් ජනතාවගේ විලාපය අපට කිරිබත් කන මගුලක් වීමේ කෲරත්වය මාද ඇතුළුව දකුණේ සමාජය අදටත් නොදැකීම 71 සිට සමාජය තුළ මුල් බැස ගත් අතුරුදන් කිරීමේ සංස්කෘතියේ ප‍්‍රතිඵලයක්යැයි මට සිතේ. අත්අඩංගුවට ගෙන මරා දැමූ ප‍්‍රභාකරන්ගේ අසරණ වූ දරුවා මෙන්ම ලිංගික

අතවරයන්ට ලක්කර කර මරා දැමු ඉසිපි‍්‍රයා එහි නිශ්චිත ගොදුරු බවට පත් විය. එමෙන්ම ෂෙල් වෙඩි පහරින් සමූල ඝාතනය කළ තමිල් ජනයාගේ ජිවත්වීමේ අයිතිය අපට අදාළ නොවිණි. ගලා ගිය රුධිරය තමිල්වීම නිසා අප ප‍්‍රීතිඝෝෂා නඟමින් උදම් ඇනුවෙමු. පේ‍්‍රමදාසගෙ සිට උතුරේ තමිල් ජනයා දක්වා මිනිසුන් ඝාතනය වන විට ‘අනේ සාදු’ කියමින් රතිඤ්ඤා දමමින් කිරිබත් කන සංස්කෘතිය විදහාදක්වන්නේ සමාජයක් ලෙස අප පත්වී ඇති පරිහානිය නොවේද?

ඉතාම වේදනාත්මක කරුණ වන්නේ මෙවර ගහලයාට කඩුව දෙන චරිතය නිරූපණය කළේ ‘නව වම’ කියා ගන්නා ජවිපෙ වීමයි. අපද කොටස්කරුවන් වූ ජවිපෙ ජාතිවාදි මඩ ගොහොරුවේ ගිලූණේ විප්ලවවාදියකු කිසිදින ජාතිවාදියකු විය නොහැකිය යන අදහස පමණක් නොව තමන්ද අතුරුදන් සංස්කෘතියේ ගොදුරක් වූවා යන සරල සත්‍ය පවා මඟ හරිමිනි.

සමාජය තුළ අතුරුදන්කිරීම කොයිතරම් සාමාන්‍යකරණය වී ඇත්ද යත් උතුරේ ජන සංහාරයෙන් පසුත් එය පවතින රාජ්‍ය  යන්ත‍්‍රයට සේවය කරමින් තවම පැවැතීම තුළ පෙනේ. ‘කුඩුකාරයන්‘ පසුපස හඹා යන විට සමාජය අනුමත කරන තත්වය දක්වා මෙම කෲර සංස්කෘතිය මුල් බැස ඇත. එක්නැලිගොඩ පැහැරගෙන මරාදමන ලද බව හෙළිදරව් වූ විට ඔහු කොටි හිතවාදියෙකි. යුද්ධයෙන් පසුව ලලිත්, කුගන් සිට වෙනත් සමාජ ක‍්‍රියාධරයන් පැහැර ගන්නා විට සමාජය නිර්වින්දනය වී ඇති සේ බලා සිටියි.

සිරකරුවන්ගේ ප‍්‍රශ්නය අප අබිමුවට පැමිණෙන්නේ මේ විකෘති වූ සමාජ සනදර්භය තුළය. සිරගෙය තුළට ගොස් සිරකරුවන් ඝාතනය කරන නාටකය අපි වැලිකඩදී නැරඹුවෙමු. ඔවුන් මිනීමරුවන්, කුඩුකාරයන් හෝ ලිංගික අපරාධකරුවන් විය හැක. ඔවුන් සමහරවිට නිවැරැදි පුද්ගලයන් පවා විය හැක. අප අමතක කරවන කාරණය වන්නෙ ඔවුන්ද මනුෂ්‍යයන් බවත් ඔවුනට පවතින නීති රාමුව තුළ පවා ජීවත්වීමට අයිතියක් ඇති බවත්ය.

දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය ඉතා ඛේදජනක වන්නේ ඔවුන් තමිල් අරගලයේදී විවිධ අවස්ථාවල හඳුනා ගැණුනු දේශපාලන සිරකරුවන්වීම නිසාය. සුපුරුදු පරිදි තමිල් ජනයාගේ ප‍්‍රශ්නය දකුණට අදාළ නැත. අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දකුණේ පීඩිතයාට ඇති අයිතිය උතුරෙ පීඩිතයාටද ඇති බව පිළිගැනීමට බැරි කුහකත්වයකින් අපි පෙළෙන්නෙමු. උතුරේ සිදු වූ අරගලය පිළිබඳ බරපතළ විවේචන මටද තිබේ.

එහෙත් දෙමළා දෙමළෙක් වීම නිසාම වන පීඩනයක් තිබූ බවත් ඔවුන් අරගලය වෙත තල්ලූවීමට එය බලපා ඇති බවත් අප වටහා ගත යුතුය. ඔවුන් තවමත් සිරගතකර ඇත්තේ මෙ පීඩනයට එරෙහිව නැඟී සිටි නිසාය. කරුණාට, කේ.පී.ට තිබුණු විශේෂ වරප‍්‍රසාද දුප්පත් දෙමළාට නොලැබෙන්නේ ඔවුන් නිර්ධන පාංතිකයන් වූ නිසාද? වසර ගණනකට පසුත් වධබන්ධන තුළ රඳවා සිටින ඔවුන්ගේ මානුෂික අයිතීන් පිළිගත යුතු අතර නැවත සමාජගතවීමට මෙන්ම දේශපාලනයේ යෙදීමටද ඔවුනට ඇති අයිතිය තහවුරු කිරීමට කාලය පැමිණ ඇත. සියලූම දේශපාලන සිරකරුවන් කොන්දෙසි විරහිතව නිදහස් කළ යුතුය.

මට සිතෙන විදියට බුදුන් අග‍්‍රගණයේ විප්ලවවාදියෙකි. සාමාන්‍ය ජනතාව පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොසලකන යුගයක දුක් විඳින ජනතාව හා එකට සිටගත් මිනිසා ඔහුය. මිනිස් ජීවිත පමණක් නොව සතා සීපාවා පවා මරා දැමීමට එරෙහි වූ මානවවාදියා ඔහුය. විඥ්ඥානවාදය මුල් බැස ගත් යුගයක හිරු සඳු, ගස්, ගල් වන්දනාවෙන් ඉවත් වී මානව දයාව බෙදාදීම ආගම කරගත් අවිහිංසාවාදියාය, ඔහු. ඔහුගේ අනුගාමිකයන් යැයි කියා ගනිමින් අද අසල ගම් හතක කිරිසප්පයෙක්ටවත් නිදන්නට බැරි ලෙස ආගම බෙදා හරිනු ලබයි. එහෙත් සතා සීපාවාගේ නින්දට පවා බාධා නොවෙන සේ තණ කොළයකට හෝ හානි නොවන ගල් මතින් ඇවිදිමින් බණ භාවනා කළ පරිසරවේදියා ඔහුය. ස්ත‍්‍රියට, අඩුකුලයේ හෙළා තිබුණු ජනයාට කිසිම අයිතියක් නැති යුගයක ඔවුන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි සමානාත්මවාදියාය, ඔහු. ඉතින් බුදදහම ගැන පාරම්බාන අතරම මියගිය ඥාතියා උදෙසා පහනක් පත්තු කළ දෙමළාගේ ලේ ඉල්ලන බෞද්ධයා බුදුන්ටත් අපහාසයකි.එලෙසම විප්ලවවාදියා යනු ආයුධ අතට ගෙන මිනී මරන්නකු ලෙස පින්තාරු කළ යුගයක මම නැවතත් කියමි. බුදුන් විප්ලවවාදියෙකි. ඒ සමකාලීන ඉන්දියාවේ පැවැති සමාජ පසුගාමීත්වයට අභියෝග කර එය වෙනස් කිරීමට නොනවතින අරගලයක් කළ නිසාය. අද දවසේ විප්ලවවාදියාගේ කාර්යභාරයත් එයම නොවන්නේද?

චම්පා සෝමරත්න