චීන පාඩම

CINA_-_Shanghai_fall

පසුගිය වසරේ ජුනි 12 වැනිදා පටන් මේ දක්වා චීන කොටස් වෙළෙඳපොළ තුළ සිදු වූ කඩාවැටීම් ලෝක ආර්ථිකය තුළ පසුගිය කාලයේ පටන් ඇඟවෙමින් තිබූ අවිනිශ්චිත ස්වභාවය ශීඝ‍්‍රලෙස වර්ධනය කිරීමට සමත් වී තිබේ. බොහෝ ආර්ථික විශ්ලේෂකයන් ප‍්‍රකාශ කරන පරිදි ජුනි 12 වැනිදා ආරම්භ වී තිබෙන්නේ කාලයක සිට චීනයේ කොටස් වෙළෙඳපොළ තුළ නිරිමාණය වූ බුබුලක් පිපිරී යාමයි. 2015 ජූලි 8, 9 වන විට මාසයකට අඩු කාලයක් තුළ ෂැංහයි කොටස් වෙළෙඳපොළ සියයට 30කින් කඩාවැටී තිබුණි. මෙම කඩාවැටීම පාලනය කිරීම සඳහා චීන රජයේ මැදිහත් වීමෙන් ඩොලර් බිලියන 156ක පමණ කොටස් මිලදී ගැනීමට පියවර ගත් පසුවද යළිත් අගෝස්තු 24 වැනිදා ෂැංහයි කොටස් වෙළෙඳපොළ 2007 සිට දිනක් තුළ පෙන්වූ විශාලතම කඩා වැටීමක් වන සියයට 8.5ක කඩාවැටීමක් පෙන්විය. අගෝස්තු මාසය තුළම දෙවරක් චීන මුදල් ඒකකය වන යුවාන් ඒකකය ඩොලරයට සාපේක්ෂව පහත හෙළීමට එරට මධ්‍යම බැංකුවට බල කෙරුණි. මෙම වසර එළැඹී සතියක් ඉක්මීයාමට පෙර ජනවාරි 4 හා 7 දිනවල යළිත් සියයට 7ක කඩාවැටීමක් පෙන්නුම් කළ චීන කොටස් වෙළෙඳපොළෙහි එම දිනවලදී ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතක් තුළ නතර කිරීමට පවා එරට බලධාරීන්ට බල කෙරී තිබුණි.

චීන වෙළෙඳපොළ මත විශාල ලෙස යැපුණු බහුජාතික සමාගම් මෙම කඩාවැටීම්වලින් දැඩිලෙස පහර කෑ අතර, වාර්තා වන පරිදි සිය කොටස්වල වටිනාකම්වලින් ඩොලර් ටි‍්‍රලියන 4ක පමණ පාඩුවක් අත්විඳීමට සිදුවී තිබේ. චීනය සමඟ දැඩි වෙළෙඳ සම්බන්ධතා ඇති  ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය වැනි පළමු වැනි ලෝකයේ රටවල් තුළ ආර්ථිකයන්ද මෙම සිදුවීම් පෙළත් සමඟ දැඩි අසීරු අවධියකට පත්වීමට නියමිතය. නමුත් ඇතැම් විශ්ලේෂකයන් පෙන්වාදෙන පරිදි මෙම කොටස් වෙළෙඳපොළ කඩාවැටීම එතරම් බරපතළ කාරණයක් නොවේ. ඔවුන්ට අනුව චීන කොටස් වෙළෙඳපොළ එරට ආර්ථිකයට සාපේක්ෂව කුඩා ස්වරූපයක් උසුලයි. එරට ආර්ථිකයේ වටිනාකම රඳා පවතින්නේ ඉඩම් හා නිවාස වෙළෙඳපොළ තුළ වන අතර, එය මේ මොහොත වන විට ස්ථාවර ස්වභාවයක් උසුලයි. තවද මෑත කාලය තුළ චීනයේ ජාතික නිෂ්පාදන වටිනාකමේ වැඩි කොටසක් අත්පත් කර ගැනීමට කර්මාන්ත ක්ෂේත‍්‍රය අභිබවා සේවා ක්ෂේත‍්‍රයට හැකියාව ලැබී තිබේ. ඔවුන්ට අනුව මෙය එක්තරා ආකාරයකට මෑත ඉතිහාසය තුළ චීනයේ සිදු වූ නිවාස හා යටිතල පහසුකම්වල ශීඝ‍්‍ර සංවර්ධනය හා එම සංවර්ධනයට සාපේක්ෂව ආර්ථිකය ප‍්‍රසාරණය නොවීම හා බැඳී පවතී.

2008 ලෝක ආර්ථික අර්බුදය හමුවේ චීන රජය විශාල මූල්‍ය උත්තේජනයක් හා ලාභ ණය පහසුකම් සැපයීම මඟින් සිය ඉහළ ආර්ථික වර්ධන වේගය නොවෙනස්ව පවත්වා ගැනීමට සමත් විය. ඒ හරහා ආයෝජනයන් සිදු වූයේ ඉහත කී විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට වන අතර, මෙම කෘත‍්‍රිම සංවර්ධනය මඟින් පෙරළා එම ක්ෂේත‍්‍රයෙහි සැබෑ වටිනාකම් ඉක්මවා ව්‍යාජ වටිනාකම් සමඟ ලාභ ලැබිය හැකි සූදු පිටියකට මඟපෑදීය. චීන කොටස් වෙළෙඳපොළ තුළ පසුව දක්නට ලැබුණේද මෙම තත්වයේම දිගුවකි.  ලෝක ආර්ථිකය ඉක්මනින් යථා තත්වයට පැමිණේ යැයි උපකල්පනය කරමින් ගත් මෙම උපාය මාර්ගය, ලෝක ආර්ථිකයේ නව අර්බුදත් සමඟම අර්බුදයට යෑමට පටන්ගෙන තිබේ. එරට කොටස් වෙළෙඳපොළ කඩාවැටුණේ වර්ධනය වන ලෝක ආර්ථිකයට අවශ්‍ය යටිතල පහසුකම්වලට සිදු කළ ආයෝජනවලින් ප‍්‍රයෝජන ලබාගත නොහැකි තත්වයක් තුළය. විශ්ලේෂකයන් පෙන්වාදෙන පරිදි 2009 සිට මෙලෙස සිදු කර ඇති අධි ආයෝජනවල වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 6කි. චීන ආර්ථිකය සැබෑ ලෙසම කඩා වැටෙනුයේ මෙම ඉඩම් හා යටිතල පහසුකම් සඳහා කළ ආයෝජනවල වටිනාකම් වෙළෙඳපොළ තුළ අත්පත් කර ගත නොහැකි තත්වයක් තුළය. එවැනි අවදානමක ස්වරූපයද දැන් දැන් මතුවෙමින් පවතී.

මෙවැනි තත්වයක් තුළ චීනය නිෂ්පාදන අපනයන ආර්ථිකයක සිට දේශීය සේවා සැපයුම් ආර්ථිකයකට සීරුමාරු වීමට උත්සාහ දරමින් සිටී. එහෙත් මෙම උත්සාහයද ප‍්‍රතිවිරෝධතා ගණනාවකට මඟපාදමින් සිටී. දේශීය පරිභෝජනය වැඩිවීම සඳහා චීනය තුළ ජීවත්වන ජනතාවන්ට වැඩි මිලදී ගැනීමේ හැකියාවක් තිබිය යුතුවේ. මෙය යථාර්ථයක් වනුයේ සමස්තයක් ලෙස ඔවුන්ගේ වැටුප් වැඩිවීමක් හරහා පමණක් වන අතර, යම් හෝ එවැනි තත්වයක් ලාභ ශ‍්‍රමය මත වෙළෙඳපොළක් නිර්මාණය කර ගත් චීනය වැනි රටක ගෝලීය වෙළෙඳපොළ තුළ ඇති තරගකාරීත්වය අඩාල කරයි. තවද විශාල රාජ්‍ය ව්‍යවසායන් ප‍්‍රමාණයක් වසා දැමීමට හෝ ප‍්‍රතිව්‍යුහගත කිරීම වැනි වෙළෙඳපොළ හිත කර සංශෝධන ක‍්‍රියාත්මක කිරීමට චීන රජයට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල වෙමින් තිබේ. මෙයද රැුකියා විරහිතභාවය ඉහළ යාමට හා දේශීය පරිභෝජනය පහළ දැමීමට මඟ පාදයි.

මෙම වත්මන් හා අනාගත අර්බුද හමුවේ චීන ජනතාවගේ නොසන්සුන් බව දිනපතා වර්ධනය වෙමින් පවතී. වාර්තාවලට අනුව 2014 වසරේදී 1379 වූ විරෝධතා හා වැඩවර්ජන සංඛ්‍යාව, 2015දී 2774 දක්වා දෙගුණයකින් පමණ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. චීන වැඩකරන ජනතාවට තම ජීවනෝපායමාර්ගවල ඇති අවිනිශ්චිතභාවය හමුවේ මෙම ක‍්‍රියාවන්ට යොමුවන විට, චීන රජය මේවාට පිලිතුරු සැපයීමට ඇති නොහැකියාව වසා ගැනීමට මර්දනය කැඳවීම අනිවාර්ය වේ. දැනටත් චීන රජය එවැනි ක‍්‍රියා උත්සන්න කර ඇති බවට උදාහරණ ඇති අතර, චීන රජයේ අත්තනෝමතික පාලන ස්වරූපය හමුවේ එවැනි දැඩි මර්දන ක‍්‍රියාමාර්ගවලට එළැඹීමට නොපැකිළෙනු ඇත.

චීනයේ මෙම එළැඹෙමින් පවතින අර්බුදය ගෝලීය සන්දර්භයක තබා සලකා බැලූවිට එය ධනවාදී ආර්ථික ක‍්‍රමයේ තවත් එක් අර්බුදයක් ලෙස පෙනී යයි. ධනවාදය එහි ආරම්භයේ සිටම විවිධ ආකෘති හරහා පෙළඹුණේ නිෂ්පාදනය, සේවා, මූල්‍ය වැනි බහුවිධ ක්ෂේත‍්‍ර තුළ ලාභ ඉපැයීම පිණිස වැඩකරන ජනතාව සංවිධානය කිරීමටය. මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රධාන ලක්ෂණයක් වූයේ නිෂ්පාදනයේ සමාජීය ස්වරූපයත් එම නිෂ්පාදන අත්පත් කරගැනීමේ පෞද්ගලික ස්වරූපයත් අතර ඇති පරස්පර විරෝධී ස්වභාවයයි. එනම්, සමාජයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නිෂ්පාදනයේ නිරතවන වැඩකරන පොදු මහ ජනතාවට එම නිෂ්පාදනයේ ප‍්‍රතිඵලවල අයිතිය හිමි නොවීමයි. මෙම නිෂ්පාදන ක‍්‍රියාවලිය වැඩබිම් තුළ ඉතා සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වුවද එහි නිෂ්පාදන යළි ප‍්‍රාග්ධනය

බවට පරිවර්තනය කරන ක‍්‍රියාවලිය වන ගෝලීය වෙළෙඳපොළ ක‍්‍රියාවලිය දැඩි අරාජික ස්වරූපයක් දරයි. මෙම අරාජිකත්වය පෝෂණය කරන්නේ ධනවාදයේ ලාභ ලැබීම පිණිස ඇති තරගකාරීත්වය විසින්ය. එම අරාජිකත්වය මඟින් ලෝක ආර්ථික අවපාත අනිවාර්යක් බවට පත් කර තිබේ. ලෝකය පුරා ඇති නැති පරතරය වැඩිවීමත් වැඩි වැඩියෙන් ජනතා කොටස් වැටුප් ශ‍්‍රමිකයන් හෝ තම ශ‍්‍රමය පමණක් විකුණා ජීවත් වන තත්වයට ඇදදමා තිබෙන්නේ එම අරාජිකත්වයයි. ගෝලීය පරිමාණයෙන් ගත් විට මෙය එකම ක‍්‍රියාවලියක් තුළ එක් අන්තයක ධනයත් අනෙක් අන්තයේ දරිද්‍රතාවත්

රැුස්කරයි. වත්මන් තත්වය, මෙම ක‍්‍රියාවලියේ තාර්කික අවසානයට දැන් චීනය ලෝකයේ බොහෝ අනෙක් රටවලට පසුව හෝ අවතීර්ණ වෙමින් සිටින බවට ලැබෙන ඉඟියකි. සරලව කියන්නේ නම් මේ මොහොතේ අර්බුදය යනු නිෂ්පාදනයේ ප‍්‍රසාරණයට සාපේක්ෂව වෙළෙඳපොළ ප‍්‍රසාරණය නොවීමයි.

මෙහි ඛේදවාචකය වන්නේ වෙළෙඳපොළ ප‍්‍රසාරණය නොවන්නේ සියලූ ජනයාගේ අවශ්‍යතා තෘප්ත වී ඇති නිසා නොව, අරාජික වෙළෙඳපොළ තුළ තවදුරටත් නිෂ්පාදන මාධ්‍යය හා නිෂ්පාදන, ප‍්‍රාග්ධනය

බවට පරිවර්තනය කිරීමට ඇති නොහැකියාව නිසාවෙනි. අපි දැන සිටිය යුතු දේ නම්, ධනවාදය තුළ නිෂ්පාදන මාධ්‍යයන් සක‍්‍රීය වන්නේ ඒවා ප‍්‍රාග්ධනය බවට පරිවර්තනය වන්නේ නම් පමණක් බව වීමයි. එනම් සූරාකෑම තවදුරටත් ක‍්‍රියාත්මකවූ විට පමණක් බවයි. ඒත් ධනවාදය තුළ සූරාකෑම නොමැති විට ඇත්තේ අන්කිසිවක් නොව විරැුකියාවයි. මේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාව නිසා නිෂ්පාදන මාධ්‍යය, යැපීම් මාධ්‍යය, අවශ්‍ය ශ‍්‍රමය යන සියල්ල එක් අතකින්  ඕනෑවටත් වඩා තිබෙන තත්වයක් තුළ එය අනෙක් අතින් උග‍්‍ර දරිද්‍රතාවක් නිර්මාණය කිරීමට දායකවී තිබේ.

මෙම උදාහරණ යළි යළිත් ලොවපුරා වැඩකරන ජනතාවට කියනුයේ ජනතාවගේ අවශ්‍යතා හා බලාපොරොත්තු ඉටු කිරීමට ධනවාදයට ඇති නොහැකියාවයි. නිෂ්පාදනයේ ඵලවල අයිතිය එහි සැබෑ උරුමක්කාරයන් වන සමාජය සතුවන තෙක් මෙවැනි අර්බුද මහා ව්‍යසනයන් කැඳවමින් යළි යළිත් ඒමට නියමිතය.

තිමන්ත උලුවිසිහේවගේ