ජෙනීවන් – මෛත‍්‍රීගේ බිත්ති සැරසිල්ලක් වුණාද?

 

Jeneewanජෙනීවන් නිදහස් කළ යුතුය යන්න පිළිබඳ කිසිදු දෙගෙඩියාවක් නැත. ඒ සඳහා භාවිත කළ හැකි නෛතික ප‍්‍රතිපාදනය ජනාධිපති සමාව හෝ වෙනත් එකක් නම් ඒ කවරක් හෝ ඒ සඳහා භාවිත කිරීමේ කිසිදු වරදක් නැත. එහෙත්, ඔහු සිය පදවි ප‍්‍රාප්ති සංවත්සරයේ බිත්ති සැරසිල්ලක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද?

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජෙනීවන් නිදහස් කළේ, ‘‘මම මාව මරන්න ආව මිනිහටත් මෛත‍්‍රී කරන ජාතියේ පොරක්’’ යැයි කීමටය. ජනාධිපතිවරයකුගෙන් රට බලාපොරොත්තු වන්නේ එවැන්නක් නොවේ. ඊට වඩා වගකීම් සහගත, ප‍්‍රතිපත්තියක් මත ගන්නා තීන්දු තීරණය. මහින්ද රාජපක්ෂ පරාජය කොට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති බවට පත් කිරීමට ඡුන්දය දුන් ජනතාවගේ අපේක්ෂාව වූයේද එය බවට සැකයක් නැත.

ජෙනීවන් පැමිණියේ මෛත‍්‍රීපාල සිරිසේන ඝාතනයට නොවන බව ඔහුගේ නඩුවේ ඉතිහාසය දෙස බැලූ විට කෙනෙකුට හැඟී යා හැකිය. එක් වෙබ් අඩවියක් විසින් පළ කරන ලද ලිපියක දැක්වුණේ, ජෙනීවන්ට එම චෝදනාව පැටවූයේ මෛත‍්‍රීගේද අනුදැනුම ඇතිව බවයි. ඉන් පසුව ඔහු වෙඩි නොවදින වාහනයක් සහ විශේෂ ආරක්ෂාවක් ඉල්ලා තිබූ බවද එම ලිපියේ සඳහන්ව තිබිණි. එය සත්‍යයදැයි අප දන්නේ නැත. ඇතැම් විට සත්‍යයයෙන් තොර වන්නටද හැකිය.

ඒ කෙසේ වුවත් 2006 වසරේ අපේ‍්‍රල් 23 වැනිදා පොළොන්නරුවේදී අත්අඩංගුවට ගන්නා ලද ජෙනීවන් රවටා 2008 වසරේ අගෝස්තු 15 හෝ ඊට ආසන්න දිනකදී ඊනියා පාපෝච්ඡුාරණයකට අත්සන් ගන්නා තුරු ඔහු සිටියේ නිදහස්වීමට නියමිතවය. ඔහු අත්අඩංගුවට පත් වූයේ මඩකලපුවේ සිට වව්නියාව බලා යමින් සිටියදීය.

මාස දහයක පමණ කාලයක් කිසිදු නඩු පැවරීමකින් හෝ පරීක්ෂණයකින් තොරව බූස්ස කඳවුරේ අතහැර දමා සිටි ජෙනීවන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැුගෙන යන අවස්ථාවේදීත් ඔහුට කියා තිබෙන්නේ කිසිදු චෝදනාවක් නැති නිසා රැුඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව නිදහස් විය හැකි බවයි. ඒ බලාපොරොත්තුවෙන් ගිය ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදු වන්නේ සිංහලෙන් ලියන ලද කටඋත්තරයකට අත්සන් තැබීමටයි. එහි ලියා තිබෙන්නේ, තමන් මෛත‍්‍රීපාල සිරිසේන ඝාතනයට පැමිණි බව යැයි ඔහු දැන ගන්නේ අධිකරණයේ නඩු විභාගය ආරම්භ වීමත් සමඟය.

මෙම සිදුවීම සිදු වන විට මෛත‍්‍රීපාල සිරිසේන කෘෂිකර්ම ඇමැතිවරයා විය. 2013 වසරේදී රජයේ නීතිඥයා සිය දේශනය ඉදිරිපත් කරමින් ඉල්ලා තිබෙන්නේ, ජෙනීවන්ට විරුද්ධව වෙනත් කිසිදු සාක්ෂියක් නැති නිසාත් ඔහුට විරුද්ධව ඇති එකම සාක්ෂිය පාපෝච්ඡුාරණය පමණක් වන නිසාත් අවම දඬුවමක් දෙන ලෙසයි. ජෙනීවන්ට උපරිම දඬුවමක් ලබාදීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ මෛත‍්‍රීපාල ජනාධිපති ධුරයට පත් වූ පසුවයි. ඒ අනුව 2015.07.03 වැනිදා ඔහුට වසර දහයක සිර දඬුවමක් නියම කරනු ලැබීය.

ජෙනීවන්ගෙන් පාපෝච්ඡුාරණයකට අත්සන් ගැනීමට පෙර ඔහුගේ නීතිඥයාත් නීතිපති දෙපාර්තමේන්තුවත් ඔහු බූස්ස කඳවුරේ සිටියදී එහි පැමිණි මානව හිමිකම් නිලධාරීන් සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිතයනුත් දැනුම් දී තිබෙන්නේ ඔහුට නිදහස් වී ගෙදර යා හැකි බවයි. ඒ නිසා මෛත‍්‍රීපාල සිරිසේන ඝාතනයට ඔහු පැමිණි බවට වන චෝදනාව සැක සහිත එකක් වීම වැළැක්විය නොහැකිය. එපමණක් නොව, ඔහුගෙන් පාපෝච්ඡාරණය ගත් බවට නම සඳහන් සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ යාපනය අධිකරණය මඟ හැරීමද ගැටලූ සහගතය.

අපටත් මෛත‍්‍රීපාල මරන්න ආ බවට චෝදනා තිබුණා නම් කොතරම් අගනේදැයි ජෙනීවන් නිදහස් කළ පසුව දේශපාලන සිරකරුවන් අතරින් කිහිප දෙනෙකුට හෝ සිතුනේ නම් එය අරුමයක් නොවේ.

එහෙත් අප නැවතත් කියන්නේ ජෙනීවන් නිදහස් කළ යුතුව තිබූ බවයි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු දේශපාලන සිරකරුවකු නිසාය. යුද්ධයක් යනු දේශපාලන ක‍්‍රියාමාර්ගයකි. මිනිස් ඉතිහාසය සමන්විත වී තිබෙන්නේ පීඩාවට පත් වූ මිනිසුන් විසින් පාලකයන්ට එරෙහිව කළ යුද්ධවලිනි. ගැසූ කැරලිවලිනි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අරමුණු, ඔවුන්ගේ කි‍්‍රයාමාර්ග ආදී දහසකුත් එකක් ප‍්‍රශ්න තිබිය හැකිය. එහෙත් එය දේශපාලන ක‍්‍රියාමාර්ගයකි.

ඔවුන් එම තත්වයට පත්වීමට හේතුව ඔවුන්ගේ හිතුවක්කාරකමක් නොව, ලංකාවේ ඉතිහාසය විසින් නිර්මාණය කොට ඔවුන් මත පටවන ලද ප‍්‍රශ්නයකි. ඔවුන් දේශපාලන සිරකරුවන් වන්නේ ඒ නිසාය.

1971 අරගලයට සම්බන්ධ වූවන්ටද 77දී නිදහස හිමි විය. 87-90 වකවානුවේ විවිධ ක‍්‍රියාමාර්ගවලට සම්බන්ධ වූවෝ අදත් සමාජය තුළ හොඳින් ජීවත් වෙති. ඇතැමෙක් දේශපාලනය කරති. ඇතැමෙක් දේශපාලනය නොකරති. ලෝකයේ සෙසු රටවල්වල ගත්තද දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන්නේ සුවිශේෂී ක‍්‍රියාපටිපාටියකි. ඔවුන් කිසිලෙසකින්වත් අපරාධකරුවන් ලෙස නාමකරණය කෙරෙන්නේ නැත.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ, ‘මම මාව මරන්න ආපු මිනිහටත් සමාව දෙන ජාතියේ මිනිහෙක්’ යැයි පම්පෝරි ගැසීම නොව, රටක්, සමාජයක්, ඉතිහාසයක් වගකිව යුතු ප‍්‍රශ්නයකට තනිවම විඳවන දේශපාලන සිරකරුවන් සියලූ දෙනා නිදහස් කිරීමයි. එසේ වූයේ නම් එය ඔහුගේ පදවි ප‍්‍රාප්තියේ බිත්ති සැරසිල්ලක් බවට පත් වන්නේ නැත. ඒ වෙනුවට එය දූරදර්ශී දේශපාලන ක‍්‍රියාමාර්ගයක් වනු ඇත. යහපාලනය නම් එයයි. මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේද එවැනි ප‍්‍රතිපත්තිමය තීරණය.

අතිගරු ජනාධිපති උතුමාණන් වූ ජේ.ආර්. ජයවර්ධන පාතාල ප‍්‍රබලයකු වූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක් දී සිරගෙදරින් එළියට ගත්තේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එවැනිම වැඩක් කළේය. ඒ, ද්විත්ව ඝාතනයකට වරදකාරිය වූ ඇමැති බිරිඳකට ජනාධිපති සමාව පිරිනැමීමයි. ප‍්‍රතිපත්තියකින් තොරව, තමන්ගේ රූපය පුම්බා ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේන ගන්නා උත්සාහයද සමාන වනු ඇත්තේ ඊටයි. ඔහු ජේ.ආර්.ගේ හා මහින්දගේ අමනෝඥ තීරණවලින් වෙනස් වන තීරණයක් ගන්නේ නම් එම තීරණය සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හැර අනෙකක් නොවේ.

ජනවාරි 15 වැනිදාට තෛපොංගල් උත්සවය යෙදී තිබිණි. තමන්ගේ ඥාතීන් තමන් නැති සොවින් අවුරුදු සමරන්නේ නැතිව සිටියදී තමන්ට හිරගෙදර තුළ තෛපොංගල් සැමරිය නොහැකි බව දේශපාලන සිරකරුවෝ කියති. මෙම සටහන ලියන්නේ 13 වැනිදාය. 15 වැනිදා ඔබ මෙය කියවනු ඇත. ඒ වන විට සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් වී සිටිය යුතු යැයි ඔවුන්, ඔවුන්ගේ ඥාතීන් සමඟ එක්ව අපද බලාපොරොත්තු සහගත වෙමු.

ජනක තුෂාර