ඇඹිලිපිටිය මිනීපිටිය සහ පරාධීන පොලිසිය

 

embilipitiya-picketing

ඇඹිලිපිටියේ මිනීපිටිය ගැන මීට ඉහතදී අසන්නට ලැබුණේ 1988 භීෂණ සමයත් සමඟය. එනම් දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට පත්වූවන් රඳවා තබා වධදී මරා දැමීමේ කුප‍්‍රකට ‘සෙවන’ කඳවුර පිහිටි නගරය ලෙසයි. එවකට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 31ක් දෙනකු මරා සූරියකන්දේ අභිරහස් ලෙස මිහිදන් කෙරුමෙන්ද ඇඹිලිපිටිය මිනීපිටියක් ලෙස ගඳ නාමය තහවුරු විය. එසේ වරින්වර ලබාගත් අපකීර්තිමත් ඉතිහාසය අලූත් කරවන්නට මෙන් ඇඹිලිපිටිය නගර සීමාවේ ගෘහයක තරුණයෙක් පොලිස් පහරදීමකින් මිය ගියේය.

උක්ත සිදුවීම පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පුවත් වටිනාකම මිල කොට අවසන්ය. රූපවාහිනී තිර ඥාතීන්ගේ කබ කඳුළු විකුණා ලාභ බෙදාගෙන අවසන්ය. පත්තර ත‍්‍රාසය, භීතිය වපුරා සුව නින්දේය. පශ්චාත් විමර්ශන, උද්ඝෝෂණවල තත්වයද එලෙස දියාරු වී යාමට නියමිතය. කෙසේවෙතත් දරුවකුට පියෙක් බිරිඳකට සැමියෙක් නැති වී අවසන්ය. මහජනතාවද පොලිසියත් ආණ්ඩුවත් පතුරු ගසා අනතුරුව තම තමන්ගේ රාජකාරිවලට මුල්තැනය. ප‍්‍රශ්නය යටපත්ය. තත්වය එසේ වුවත් සිද්ධිය පිළිබඳව පසුවිපරමකට සැකෙවින් කරුණු ගෙනහැර පෑම සුදුසු වේ.

ඥාති නිවසක තිබූ සාදයකට තම බිරිඳ හා දරුවන් සමඟ සහභාගී වූ තරුණයා මදුවිත තොල ගාමින් ප‍්‍රීති වූ මොහොතක පොලිසිය කඩාවැදුණි. වාර්තාවල පළවුණු අන්දමට පොලිසිය ගෙහිමියාගෙන් අරක්කු ඉල්ලා ඇති අතර එය නොලැබුණු තැන පැමිණි පොලිස් නිලධාරීන් පිරිස තර්ජනය කර ඇත. රාත‍්‍රී සාදය නිසා අවට ගම්වාසින්ට හිරිහැරයක් සිදුවන බවට කතාව එන්නේ ඉන්පසුව බව කියැවේ. මත්පැන් නොලැබුණු තැන පොලිසිය විසින් නීතිය අකුරට ඉටු කරන්නට යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවූ බහින්බස්වීම දුර දිග ගියේය. ආයුධ සන්නද්ධ පොලිස් භටයන් විසින් අතිඅමානුෂික ලෙස නිවැසියාට, අමුත්තන්ට හා කාන්තාවන්ට පවා පහරදී තිබිණි. මෙලෙස හටගත් ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස 29 හැවිරිදි තරුණයාට මරණීය තුවාල සිදුවීමෙන් රොහල් ගත කළ ඔහු පසුව මිය ගියේය.

මෙසේ පොලිස් රාජකාරිය ඉටුකරන ආකාරය පිළිබඳව නීතිය හා සාමය රකින මහජන ආරක්ෂාව සපයන මූලික පොලිස් රාජකාරී පොතේ අඩංගු වන්නේ කුමන පිටුවේදැයි අසා දැනගත යුත්තේ පොලිසියෙන්මය. නිවසේ පැවැත්වෙන ප‍්‍රියසාදයක් අයුතු ජනරාශියකට ගැනෙන නීතිපොත කටුගෙට යැවිය යුතුය. සාදයක් හෝ රැුස්වීමක් තවත් පාර්ශ්වයකට හිරිහැරයක් වේ නම් ඊට අදාළ රාජකාරිය ඇත්තේ පොලිස් පොතේමය. එය කැළේ නීතියට ක‍්‍රියාත්මක කිරීමට යෑම පොලිසියේ දඩබ්බරකම දනවන්නකි.

දින දෙකක් පමණ කාලයක් තුළදී තුවාල ලැබූ තරුණයා මිය යෑමත් සමඟ මාධ්‍ය මඟින් ලද තොරතුරු මත දැනුවත් වී සිටි රට පුරා මහජනතාව දැඩි අප‍්‍රසාදයකින් මෙහි චෝදනාව පොලිසිය වෙතට දිගු කිරීමට පසුබට නොවූහ. පුවත සැල වූ වහාම ඇඹිලිපිටිය නගරයේ සහ තදාසන්න වැසියන් කඩිගුලක් සේ තරුණයාගේ නිවස අසලත් පොලිසිය අසලත් නගර මධ්‍යයේත් කතාබහ කළේ තරුණයාගේ මරණය ගැනය. දැන් කුමක් කරමුද යන වග ගැනය. කඩිනමින් සංවිධානය වූ වෙළෙඳ සංගම්, ත‍්‍රීරෝද රථ සංගම්, ගොවි සංවිධාන, සිවිල් සංවිධාන හා එකින් එක ඈඳුනු මිනිසුන් රොත්තකින් නගරය අතුරු සිදුරු නැතිව පිරී යන්නට ගතවූයේ පැයකටත් අඩු කාලයකි. නගරය පුරා කළු කොඩි එසවුණි. වෙළඳසැල් වසා දැමුණි. මාර්ග අවහිර කෙරිනි. තැන තැන ටයර් පුළුස්සා දැමුණි. රතිඤ්ඤා දල්වමින් විරෝධතා පෙළපාළියට සැරසුනු පිරිස් නගරයේ සියලූ මං මාවත්වල පෙළපාලියෙන් ගොස් සිය විරෝධතාව පළ කළේය.

තත්වය තව තවත් උග‍්‍ර වෙද්දී අවට උප නගරවල සහ ගම්වල ජනතාවද නගරයට ප‍්‍රවිෂ්ඨ විය. අන්තිමේ නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල අඛණ්ඩ විරෝධතාවක් දක්වා වාඩිලාගත් ඔවුන් එක හඬින් කෑ ගසා සිටියේ ¥ෂිත පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගෙන දඬුවම් කරන ලෙසටය. කෝපාවිෂ්ඨ වූ ජනතාව ඇස ගැටෙන මානයේ හෝ පොලිස් නිලධාරියෙක් නගරය තුළ දක්නට නොලැබිණි. පොලිසිය පොලිසියටම කොටු කර තත්වය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය කැඳවන්නට බලධාරීන්ට සිදුවිය. තත්වය ඉන් නොනැවතුණි. විරෝධතාකරුවන්ගේ ඒකායන ඉල්ලීම වූයේ සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසටය.

මෘත දේහය පිළිබඳ අවසාන කටයුතු අවසන් වන තෙක්ම නගරයේ ආරක්ෂාවට ක‍්‍රියා කළේ විශේෂ කාර්ය බලකායයි. කුළු පොලූ රැුගත් භටයන් ගිනි අවි කඳුළු ගෑස් සූදානම් කොටගත් සන්නද්ධ රථ කියාපෑවේ පුංචි යුද්ධයකි. පොලිසියේ සාමාන්‍ය රාජකාරී මේ වන විටද නිසි පරිදි ආරම්භ කොට නැත. ඒ තරම්ම ඔවුන් අකර්මන්‍ය කිරීමට විරෝධතාකරුවෝ සමත් වූහ. දැන් එළැඹ ඇත්තේ පරීක්ෂණ කටයුතු පිළිබඳ විමසා බැලීමයි. සිද්ධිය වූ ස්ථානයේ අවසන් කටයුතු තෙක්ම වැලි ඇටයක්වත් නොවෙනස්ව පවත්වාගෙන යාමට ප‍්‍රදේශවාසීන් සමත් වුවත් එම ස්ථානයේ පරීක්ෂණ හෝ විභාග කිරීමක් පිළිබඳව නිවැරදි තොරතුරු වාර්තා නොවේ. ස්ථානය දුටු පමණින්ම  ඕනෑම අයකුට හැඟී යන්නේ පොලිසියේ සාහසිකකම් හා අවිනීතිය පිළිබඳ චිත‍්‍රයකි. අධිකරණ නියෝග මත තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණත් තව තවත් බුර බුරා නැෙඟන විරෝධතා ඇඹිලිපිටිය නගරයේ දැක ගත හැකිය.

පොලිසිය විසින් සිය අත්තනෝමතිකත්වය යොදාගත් පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව මෙය විය නොහැකිය. ඉතිහාසය පුරාවටම පොලිසිය පිළිබඳව කළු පැල්ලම් එමටය. ඒ අතරින් මෑතක රතුපස්වල සිද්ධිය, බඳගිරිය සිද්ධිය, තුන්නාන සිද්ධිය උදාහරණ කිහිපයකි. හෙට දින තවත් කොහේ හෝ කොදෙව්වක මෙවැනි පන්නයේ සිද්ධීන් ඇති නොවෙතැයි කීමට හැක්කේ කා හටද? හුදෙක් මේ දෙස හුදකලා ඇසින් බලනු විනා සමස්ත ක‍්‍රමයේ ගැටලූ පිළිබඳ විරෝධතාවක් සටහන් නොවේ.

හුදෙක් මහජනතාව තුළ පොලිසිය පිළිබඳ ඇත්තේ එතරම් හොඳ ප‍්‍රතිරූපයක් නොවේ. මහජන සේවයක් වෙනුවට මහජන පීඩාකාරී ආයතනයක් දක්වා පල්ලම් බැස ඇති මෙවැනි සංස්ථාවන් තුළ යුක්තිය හා සාධාරණත්වය පැතීම අමනකමකි.

රාජපක්ෂ පාලනය තුළ පුද්ගල ප‍්‍රතිරූපකයන්ගේ අවශ්‍යතා මත හෝ සිය පැසිස්ට්වාදී ප‍්‍රතිපත්ති මත මිනිසුන් අතුරුදන් කළ, පැහැරගත්, පොලිසිය ඉන් මුදවා සුඛිත මුදිත කිරීමට පාරම් බෑ යහපාලන ආණ්ඩුව සිය ස්වාධීන කොමිෂන් සභා සක‍්‍රීය කිරීම හරහා නව දේශපාලන සංස්කෘතියක් හා නිලධාරී සංස්කෘතියක් බිහි කිරීමට ගත් ප‍්‍රයත්නයන් පොලිසියට ගිය පුද්ගලයකුට වරෙන්, කාපිය, බීපිය යන අමිහිරි තෙපුල් පරයා එන්න, කන්න, බොන්න වැනි ප‍්‍රිය තෙපුල්වලට පමණක් සීමාවී ඇති බව පෙනේ. එහෙත් ඉන් බාහිරට වූ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා යාවත්කාලීන කරමින් චූදිතයකු රක්ෂිත බන්ධනාගාර ගතකොට තැබිය හැකි දින ගණන පිළිබඳව සහ ඉන් මහජනතාවට සිදුවන අගතිය පිළිබඳව සැලකිල්ලට ගත් කල පොලිසිය ස්වාධීන කිරීමකින් ප‍්‍රශ්නය නොවිසඳෙන බවට සාක්ෂි දරයි.

හුදෙක් සමාජ සාධාරණය ක‍්‍රියාත්මක කරවන ඊනියා ලිබරල් ප‍්‍රතිසංස්කරණ තුළ පොලිසිය හෝ පොලිස්  කක්කුස්සියක්වත් ප‍්‍රතිසංවිධානය නොවන බැව් නම් කිව හැක. කෙසේ වෙතත් හුදු සමාජ විරෝධතා ජනප‍්‍රිය අර්ථයෙන් මුදුන්පත්වීමට නොදී නිසි සමාජ සාධාරණත්වය වෙනුවෙන් කලමනාකරණය කර ගැනීමට රටේ ප‍්‍රගතිශීලීන් සමත් නොවන තෙක් ලිබරල් සංකල්ප තව තවත් පෝෂණය වනු ඇත. තවද අවස්ථාවාදී දේශපාලන සූත්තරකරුවන්ට මෙවැනි මරණ ඉල්ලමක් වනු ඇත. බහුතර ජනතාවගේ සක‍්‍රීය මැදිහත්වීම හෙට දවසේ යහපත් ලොවක් වෙනුවෙන් වූ අරගලයක යෙදීම යුතුකමක් සහ වගකීමක් වන්නේය. ඇඹිලිපිටිය සිදුවීමේදී ඇති වූ මෙම අත්දැකීම පසක් කර දෙන්නේ එයයි.

සජිත් චින්තක