කලකදි වහලූ කලකදි රහලූ!

 

දැන් නැවතත් පාර්ලිමේන්තුව දෙසට සමාජ අවධානය යොමු වී තිබෙනවා. ඒ විධායක ජනාධිපති සතු බලතල පාර්ලිම්න්තුවට පවරන අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙන බවත් ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ පාර්ලිමේන්තුව විසින්ම බවත් ප‍්‍රකාශයට පත්වීම නිසා. හීනෙන් ඇහැරුනා වාගේ බොහෝ අය මේ දිනවල පාර්ලිමේන්තුවට වැඩි බලයක් පැවරීම හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්න විසඳාගැනීම ගැන බලාපොරොත්තුවක් තබාගෙන ඉන්නවා.

ඒ අතර මීට මාසයකට පෙර පාර්ලිමේන්තුව ගැන තිබූ අත්දැකීමත් අමතක නොකර කතා කළ යුතුයි. 2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් සමාජයෙන්, විශේෂයෙන් වැඩකරන ජනතාවගේ පැත්තෙන් විශාල විරෝධයක් පැන නැඟුනා. අයවැයට එරෙහිව උද්ඝෝෂණ, වර්ජන සහ අරගල හට ගැනුණා. නමුත් පාර්ලිමේන්තුව ඒ විරෝධයට ලක්වූ අයවැය තුනෙන් දෙකක බහුතර ඡුන්දයෙන් සම්මත කළා. ඒ විතරක් නෙවෙයි, එහි තුන්වන වර කියවීමේ ඡුන්ද විමසීමේදී දෙවන වර කියවීමේ ඡුන්ද විමසීමට වඩා එක ඡුන්දයක් වැඩිපුරත් ලැබුණා. ඒ සිදුවීම පාර්ලිමේන්තුව ජනතාවගේ නියෝජිතයන්ගෙන් සැබෑ ලෙසම සමන්විත වන්නේ නැති බවත් එය ජනතා අභිලාෂයන්ට පටහැනිව ක‍්‍රියා කරන බවත් තහවුරු කර ජනතාව තමන්ගේම අත්දැකීමෙන් අධ්‍යාපනයක් ලබා ගත්  අවස්ථාවක්. ඒ නැතත් පසුගිය කාලය පුරාම ජනතාවට එරෙහිවූ ක‍්‍රියාමාර්ගවලට, නීතිවලට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු අවස්ථා  ඕන තරම් තිබුණා.

ඒ වගේම පාර්ලිමේන්තුවත් ඇතුළු ඊනියා ජනතා නියෝජිත ආයතන අඩුම ගානේ මැතිවරණ ප‍්‍රතිඵලයවත් නියෝජනය කළේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේදී ඔහු විපක්ෂයේ සිටි මන්ත‍්‍රීවරුන් හැට ගණනක් ආණ්ඩු පක්ෂයේ වාඩි කර ගත්තා. වත්මන් පාර්ලිමේන්තුව ගත්තත් මැතිවරණ ප‍්‍රතිඵලයට හාත්පසින් වෙනස් සංයුතියක් එහි නියෝජනය වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවී හවුල් ආණ්ඩුවක් හැදීම නිසා. දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණත් විපක්ෂයේ වාඩි වී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා ආණ්ඩු පක්ෂය-විපක්ෂය පිළිබඳ සාම්ප‍්‍රදායික බෙදීම විහිළුවක් වෙලා. දැන් කාලයක් තිස්සේ සිදුවන මන්ත‍්‍රීවරුන්ගේ පිල් මාරුවෙන් දක්ෂිණාංශික දේශපාලනය මහා කර්මාන්තයක්, ව්‍යාපාරයක් බවත් එහි නියැලෙන්නන්ගේ අරමුණ ප‍්‍රතිපත්ති නොව ලාභය බවත් ඒ නිසා  ඕනෑම අවස්ථාවක ඔවුන් ප‍්‍රතිපත්ති සහ ඔවුන්ට ඡුන්දය දුන් ඡුන්ද දායකයාගේ අභිලාෂයන් අතහැර මුදල් කුට්ටි වැළඳ ගන්නා බවත් නිතිපතා ඔප්පු වෙමින් තිබෙනවා. මේ අත්දැකීම අමතක කර වියුක්තව ‘පාර්ලිමේන්තුව’ කියලා ජනතාව නියෝජනය වන අමුතුම දෙයක් හිතේ මවා ගත්තාට වැඩක් නෑ. දැන් පවතින ඇත්ත යථාර්ථය දෛනික අත්දැකීම් අපට පෙන්වා දුන් දේ.

රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව වගකීම භාර ගන්නේ මෙවැනි තත්වයක් තුළ. කලින් අත්දැකීම් හරහා ලැබුණු සියලූ අධ්‍යාපනය අමතක කරලා මේ අවස්ථාවේදී විතරක් පාර්ලිමේන්තුව ගැන සුපිරිසුදු, පරමාදර්ශී චිත‍්‍රයක් මවාගෙන අපේ ඉරණම තීරණය කිරීම භාර දෙන්න හොඳ තැන පාර්ලිමේන්තුව කියලා විශ්වාස කරන්නැයි මේ දිනවල දේශපාලඥයන් පමණක් නොවෙයි, මාධ්‍ය සහ සිවිල් සමාජයත් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථාව සකස් කිරීමේ මූලික රාමුව තීරණය කරන්නේ සංවිධානාත්මක ජනතා බලවේග නොවෙයිනම්, කම්කරු ව්‍යාපාරය – ගොවි ව්‍යාපාරය – ශිෂ්‍ය ව්‍යාපාරය නෙවෙයිනම්, එය තීරණය කරන්නේ පාර්ලිමේන්තුව නම් කිසිදු ප‍්‍රගතිශීලී දෙයක් සිදු නොවන බව ස්ථිරයි. ආර්ථික අයිතීන් පැත්තෙන්වත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන්වත්, ජාතික ප‍්‍රතිසන්ධානය පැත්තෙන්වත් කිසිදු ඉදිරි පියවරක් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ව්‍යවස්ථාව පිළිබඳ තීරණය කිරීමේ අයිතිය බහුතර ජනතාව අතට ගන්න පුළුවන් විදියේ විකල්ප වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා පීඩනය එල්ල කරන සංවිධානාත්මක ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව දෙස බලා සිටීමේ තේරුමක් නෑ. අප සටන් කළ යුත්තේ මහජන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වෙනුවෙන්. එය නොලැබෙන්නේනම් විකල්ප ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියක් සහ ජන සහභාගී පුළුල් සංවාදයක් අවශ්‍යයි. කලකදී වහ වූ පාර්ලිමේන්තුව දැන් රහයි කියලා මනෝ විකාරයක් මවාගත් සමාජයට, තැලෙන – පෑගෙන පන්තීන්ට ඉදිරි ගමනක් නෑ.

මෑත කාලීන ජීවන අත්දැකීම් මත පදනම්ව අපට කියන්නට ඉතිරි වී ඇත්තේ එකයි. ‘මහජන ව්‍යවස්ථා සම්පාදක සභාවක් පත් කරනු! – පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය කරන්නේ නැත.’