‘ජනවාරි 8 විප්ලවය’

සමරන්නට ඇත්තේ කුමක්ද?

january 8

2015 ජනවාරි 08 වැනිදා එතෙක් මෙරට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ පරදවා මෛත‍්‍රීපාල සිරිසේන 51.3%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ජනාධිපති ධුරයට පත්විය. එම ජයග‍්‍රහණයේ වර්ෂ පූර්ණ සැමරුම 2016 ජනවාරි 08 වැනිදා මෛත‍්‍රීපාල – රනිල් පාලනය විසින් පසුගියදා පවත්වන ලදී. මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා හා රනිල් වික‍්‍රමසිංහ මෙම ජයග‍්‍රහණය හැඳින්වූයේ ‘ජනවාරි 08 විප්ලවය’ ලෙසිනි. විප්ලවය යන්න සරල ලෙස අර්ථකථනය වන්නේ මහත් විපර්යාසයක් හෙවත් සම්පූර්ණයෙන් වෙනස්වීමක් ලෙසය. ඒ අර්ථයෙන් ගත් කල එසේ නම් සම්පූර්ණ පාලන තන්ත‍්‍රයේ හා ජනතාවගේ ජීවිතවල පූර්ණ පරිවර්තනයක් විය යුතුය. එය එසේම සිදුවී දැයි සොයා බැලිය යුතු අතර ඊට පෙර මෙම සැමරුම ගැන වචන කීපයක් කිව යුතුව ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ ජනපති සැමරුම්, යුද ජයග‍්‍රහණ සැමරුම්, මහා පරිමාණ ව්‍යාපෘති විවෘත කිරීම් ආදියේදී අතිවිශාල ධනස්කන්ධයන් වැයකර විශාල මානව සම්පත් යොදා ගනිමින් කල සැණකෙළි අපට මතක ඇත. මෛත‍්‍රීපාල ජනාධිපති සටනේදී යොදා ගත් සටන් පාඨයක් වූයේ මේ විශාල නාස්තිකාර වියදම්ය. එසේ වුවද මෛත‍්‍රීපාල – රනිල් පාලනයේ මේ ජනවාරි 08 විප්ලව සැමරුමද ඒ තරම්ම සරල එකක් නොවීය. ජනවාරි 08, 09 යන දෙදින පුරා පැතිර ගිය වැඩසටහන් ගණනාවකින් එය සමන්විත විය. ප‍්‍රධාන සැමරුම් උළෙල ජනවාරි 08 දින පස්වරු 2.00ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති අතර සවස 7.00ට කළුතර බෝධිය අසල ආගමික උත්සවයක් ජනපති සහභාගිත්වයෙන් පැවතිනි. ගාලූ මුවදොරදී බණ්ඩාරනායක පිළිරුව අභියස උත්සවයක් පැවැති අතර නාග විහාරයේදී සෝභිත හිමි ගුණ සැමරුමක් පැවැත්විණි. ජනවාරි 09 වැනිදා පෙ.ව. 10.30ට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතූ අතර පස්වරු 6.30ට නිදහස් චතුරශ‍්‍රයේදී සංස්කෘතික සංදර්ශනයක් පවත්වන ලදී. රාත‍්‍රියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ සර්ව රාත‍්‍රික පිරිත් පිංකමක් පැවැත්විණි. මෙයට අමතරව ජනපති මාධ්‍ය අංශය විසින් ‘ජනපති අභිමංසල වසරක සේයා සැමරුම’ නමින් දිනය පුරා ඡුායාරූප ප‍්‍රදර්ශනයක් ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඞ්හි පවත්වන ලදී. එල්.ටී.ටී.ඊ. සැකකරුවන් රැුසක් සැක මත හෝ බරපතළ චෝදනා මත සිරගතව සිටියදී ජනපතිවරයා ඝාතන කුමන්ත‍්‍රණයට පහසුකම් සැලසී යැයි වසර 09ක් සිරගතව සිටි සිවරාජා ජෙනීවන් යන සැකකරුට ප‍්‍රසිද්ධියේ සමාව දීමද සිදුවිය.

ජනවාරි 08 විප්ලවයක් නම් එය මෛත‍්‍රී-රනිල් ප‍්‍රධාන පාලක තන්ත‍්‍රයට කළ වෙනස්කම් ගැන කථා කිරීමේදී මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා හෙළි කළ එම විප්ලවයට මුල් වූ කරුණු සලකා බැලිය යුතුය. මුලින්ම එම විප්වලයට උරදුන් අයට ජනපතිවරයා විසින් කෘතඥතාව පළ කරන ලදී. මහින්ද රාජපක්ෂ රෙජිමය තුළ පීඩාවට පත් රාජිත සේනාරත්න වැනි එම රජයෙන් වෙන්ව ආ දේශපාලකයන්ට, සහාය පළ කළ පුරවැසි බලය සංවිධානයට, හා අනෙකුත් සිවිල් සංවිධානවලට සමාජයේ විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන්ට, මහින්ද රාජපක්ෂ රජයට බැට දෙමින් මෛත‍්‍රීපාල ඇමැතිවරයා සමඟ එක පෙරමුණට ආ දේශපාලන පක්ෂවලට, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට ඔහු ස්තුතිය පළ කළේය. මහින්ද පාලනයෙන් බිඳී ඒමට මුල් වූ හේතු ජනාධිපතිවරයා විසින් දක්වන ලදී. ඔහුට අනුව පීඩාවට පත් රටවැසියන් ඔහුගෙන් අපේක්ෂා කළ කරුණු මෙසේය.

මුලික වශයෙන්ම ඒකාධිපති වියරුවට යට වූ රට තුළ නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම ප‍්‍රධාන කරුණයි. එසේම රට තුළ ඉහ වහා ගිය දූෂණය, වංචාව, අල්ලස හා නාස්තිය තුරන් කිරීම දෙවැන්නයි. එසේම රට තුළ යහපාලනයක් ගොඩනැඟීම හා ජනතාවට හිතවාදී යහපත් ආර්ථික කළමනාකරණයක් ගොඩනැඟීම තවත් කරුණකි. තවද ජාත්‍යන්තර මට්ටමින් පිරිහීමට ලක් වූ ලංකා රාජ්‍යය නැවත ගොඩනැඟීම හා ජාත්‍යන්තර

පිළිගැනීමට ලක්කිරීමද තවත් අපේක්ෂාවකි. උතුරේත් දකුණේත් ජනතාව සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත් වන සේ ජාතීන් අතර සාමය ඇති කිරීමද ප‍්‍රධාන අපේක්ෂාවක් ලෙස දක්වන ලදී.

ජනාධිපති මෛත‍්‍රීපාල කුමක් කිව්වද මේ බල පෙරළිය තුළ පාලක පක්ෂයේ සිදු වූ වෙනස්කම් අපට සලකා බැලිය හැකිය. පාලනයේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන අංග තුනම සිය ග‍්‍රහණයට ගනිමින් ඒකාධිපති පන්නයේ පාලනයක් ගෙන ගිය මහින්ද රාජපක්ෂ පරාජය කර පූර්ණ බලැති විධායක ජනාධිපති බලතල අත්කර ගැනීමට මේ අයට හැකි විය. බලය නැවත ආපසු උදුරා ගැනීමට මහින්ද රාජපක්ෂ කණ්ඩායම ගෙන යන සටනද බොහෝ දුරට සාර්ථකව අඩපණ කරමින් පවතී. මේ තත්වය තුළ බලවතුන් පිරිසකට පෞද්ගලික මට්ටමින් සිදු වූ  යම් යම් හානිද නිවැරදි කරන ලදී. සරත් ෆොන්සේකාට අහිමි වූ ජෙනරාල් තනතුර ෆීල්ඞ් මාර්ෂල් පදවිය දක්වා උසස් කොට අහිමිකර තිබූ අනෙක් වරප‍්‍රසාද ලබා දෙන ලදී. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට අහිමිකර තිබූ තනතුරු හා වරප‍්‍රසාදද තවත් අයට එසේ අහිමි වූ වරප‍්‍රසාදද නැවත ලබා දෙන ලදී. තවද රටේ අහිමි කර තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනමාධ්‍ය නිදහස, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ඇති කිරීම සඳහා යයි පවසමින් 19 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කරන ලදී. මේ යටතේ තවමත් අංග සම්පූර්ණ නොවූවද රාජ්‍ය සේවා, අධිකරණ, මැතිවරණ, පොලිස්, විගණන ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් පිහිටුවීමට ක‍්‍රියා කර ඇත.

දූෂණ හා වංචා සඳහා නව ආයතන පිහිටුවීම හා තිබෙන ආයතන බලාත්මක කිරීමද කරන ලදී. යහපාලනය සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ගද ගෙන ඇතැයි පවසති. ජනතාවගේ ජීවන තත්වය සරු කිරීම සඳහා භාණ්ඩ වර්ග 13ක මිල පහළ දැමීම හා අවම මිල නියම කිරීම්ද කළ බව ඔව්හු පෙන්වා දෙති.

අනෙක් අතට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා මේ රට සංවර්ධනය කරා ගෙන යන ඇති ඒකායන මාර්ගය ලෙස සමාජ වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමය නම් ක‍්‍රමයක් ප‍්‍රකාශයට පත්කර ඇත. මේ යටතේ මූලිකම අරමුණු නම් විදේශ

ප‍්‍රාග්ධනයට මෙරට තුළට බාධාවකින් තොරව ගලා ඒමට සියලූ පහසුකම් සැලසීමයි. මේ සඳහා ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග නම් පසුගිය නොවැම්බර් 20 අයවැය මඟින් ගෙන ඇති අතර වසර 10කින් කළ යුතු දැය එකම අයවැය ලේඛනයකින් ඉටු කොට සම්පූර්ණ පරිවර්තනයක් (ප‍්‍රාග්ධනයේ දැක්ම තුළ විප්ලවයක්)  සිදුකර ඇත.

ඊළඟට අප හමුවේ පැන නඟින ප‍්‍රශ්නය වන්නේ වර්තමාන පාලකයන් විප්ලවයක් ලෙස හඳුන්වන ජනවාරි 08 දින සිදු වූ බල පෙරළිය පොදු ජනතාවගේ ජීවිතවල වඩා හොඳ දිශාවට යොමු වූ විප්ලවයක්ද යන්නයි.

දේශපාලකයන්, අනුගාමිකයන් හා ඔවුන් මෙහෙය වූ සමහර අයත් පන්සල්, කෝවිල්, දේවස්ථාන හා වෙනත් පොදු ස්ථානවල සමරු පින්කම්, උත්සව ආදිය අතරින් පතර පැවැත්වූ බැව් පෙනේ. එය එසේ වුවත් බහුතරයක් පොදු ජනතාව වික්ෂිප්ත භාවයකින් ඒ කෙරේ කිසිදු සංවේදී බවකින් තොරව සිටිනු පෙනේ. එසේ නම් ඔවුන්ට එම ජනවාරි 08 විප්ලවයෙන් පසු දැනෙන වෙනස්කම කුමක්ද? මෙය තරමක් ගැඹුරින් තෝරා බේරා ගත යුතුව ඇත.

පළමුව ඉහත කී පරිදි මේ රටේ දැවෙන ප‍්‍රශ්නය වූ දරිද්‍රතාව, ජීවත්වීමට ලැබෙන ආදායම් ප‍්‍රමාණවත් නොවීමට දුන් විසඳුම වූ භාණ්ඩ 13ක මිල අඩු කිරීම බලමු. මිනිසුන්ගේ ආහාර සඳහා වැය ඉතා ඉහළ අතර භාණ්ඩ 13ක පමණක් මිල අඩු කිරීම හාස්‍යයකි. ජනතාව ආහාර ද්‍රව්‍ය ලෙස විශාල භාණ්ඩ වර්ග ප‍්‍රමාණයක් භාවිත කරයි. අනෙක් අතට මිල අඩුවීම ඉතා අවම වූවකි. අනෙක් අතට කුකුලූ මස් වැනි දෑවල අවම මිල එතෙක් තිබුණු මිලම හෝ ඊට වඩා ඉහළ එකකි. එළවළු වැනි දැයෙහි මිල බොහෝ ඉහළ යන විට එය පාලනය කිරීමේ සැලසුම් නැති නිසා ආහාර සඳහා වැය ඉහළ යයි. වසර 11ක වාර්තාගත අවම මිලක් බොරතෙල් සඳහා ලෝක වෙළෙඳපොළේ තීරණය වීම නිසා රජය දැවැන්ත ලාභයක් ලැබෙන විටද ඞීසල්, පෙට‍්‍රල්, භූමිතෙල් සඳහා දැනෙන මිල අඩු කිරීමක් කළේ නැත. ගෑස් මිලද අඩු කළේ රු. 100කිනි.

අනෙක් අතට මිනිසුන්ගේ දෛනික ආහාර වේලේ මුල් තැනක් ගන්නා සහල් මිල දෛනිකව ඉහළ යයි. තිරිඟු පිටි මිල ඉහළ දමන රජය පාන් බනිස් මිල වැඩි නොකරන සේ එම නිෂ්පාදකයින්ට තර්ජනය කරයි. බොරතෙල් මිල ඉහළ ගොස් තිබියදී නියම කළ ඉතා අධික බස් ගාස්තු තවදුරටත් ඉහළින්ම පවතී. මේවා පොදු ජනතාවගේ දෛනික වියදම් ඉහළ යාමට බලපායි.

අනෙක් අතට ඇඟලූම්, අධ්‍යාපන, සෞඛ්‍ය, වියහියදම් ආදිය දෛනිකව ඉහළ යයි. මේ සියල්ලට වැය කළ යුත්තේ ලැබෙන වැටුප් සොච්චමිනි. ඉන්ධන මිල අධික කාලයේ ඉහළ දැමූ විදුලි වියදමද තවමත් ඉහළ යයි. සුඛෝපභෝගී දෙයක් නොවන දුරකථන, ජල වියදම් එසේම අධිකව  පවතී. ජාතිය ගොඩනැඟීමේ බද්ද, වැට් බදු සංශෝධන (දැනට තාවකාලිකව නවතා ඇති) නිසා සමස්ත භාණ්ඩ හා සේවා පද්ධතියේම මිල ඉහළ යාමේ ප‍්‍රවණතාවක් පවතී.

මේ අයුරින් බලන විට ජනතාවගේ ජීවන තත්වය වැටී සිටින ආගාධයෙන් දශමයක් හෝ ඉහළ දැමීමට මේ විප්ලවය බලපා නැත. ඒ වෙනුවට ඇත්තේ බදු ප‍්‍රතිසංස්කරණ නිසා  මිල තවත් ඉහළ යාමේ තර්ජනයයි. තාවකාලිකව වසං වී ඇති දුම් බද්ද ඉහළ දැමීම, වාහන ආදායම් බලපත‍්‍ර හා වාහන යෝග්‍යතා සහතික බද්ද ඉහළ යාම, විදේශ ගත වන්නන්ගේ ගුවන් තොටුපල, නියෝජිත ගාස්තු ඉහළ යාම ආදියද ඉතා ආසන්නයේ සාමාන්‍ය ජනතාවගේ හිස මත කඩා වැටීමට නියමිත හෙණ ගෙඩිය.

පහත් ජීවන මට්ටම වෙනස් වීමට එසේ පිළිසරණක් නොවූ විප්ලවය ජනතාවගේ සාමාජීය දේශපාලන තත්වයට කෙසේ බලපා ඇත්ද? රටේ ආර්ථික සාමාජයීය දේශපාලන තත්වයට කෙසේ බලපා ඇත්ද විමසා බලමු.

දූෂණ වංචා මහා පරිමාණ මූල්‍ය වංචාවලට විරුද්ධ වීම මේ විප්ලවයේදී ජනපති ධුරයට යාමට මෛත‍්‍රීට මහ මෙහෙයක් කළේය. බිලියන ගානක් මුදල් වංචා කර විදේශ බැංකුවල සඟවා ඇතැයි පවසන ලදී. නමුත් එම මුදල් සොයා රට තුළට ගෙනවුත් ජනතාව පිට පැටවෙන අධික බදු බර කිසියම් හෝ දුරකට ලිහිල් කළේද? නැත. වංචනිකයන්ට ද`ඩුවම් දුන්නේද නැත. ඒ වෙනුවට විප්ලවයෙන් දින ගණනාවකට පසු රුපියල් කෝටි 2500ට වැඩි මහ බැංකු බැඳුම්කර වංචාව සිදු විය. මහ බැංකු අධිපතිට ඉවත් වන ලෙස කළ දැනුම් දීමද නොසලකා හැර මිතුරු පරීක්ෂණ මණ්ඩලයක් මඟින් ඔහු නිදහස් කළේය.

ඥාති සංග‍්‍රහ හා පවුල් සමාගම් නැති යහපාලනයක් ගැන කථා කර අවසාන වන්නටත් පෙර ජනාධිපතිගේ සහෝදරයා ටෙලිකොම් ආයතනයේ සභාපති විය. වරාය ඇමැතිගේ සහෝදරයකු වරාය අධිකාරියේ සභාපති විය. තවත් බලවතුන්ට මෙබඳු චෝදනා ඇත. අධිකරණ මැතිවරණ පොලිස් ආදි ස්වාධීන කොමිෂන් පත් කර කෙටි කලකින් අසාධාරණ ලෙස යටපත් කළ අපරාධ චෝදනා සඳහා ඍජුව කටයුතු කළ ඇතැම් විනිසුරුවරුන්ට ස්ථාන මාරු ලැබිණි. පසුව සමහරක් තීරණ වෙනස් කළ අතර සේවා අවශ්‍යතා හේතු ලෙස දැක්විණි. මහා ධවල අපරාධ පිළිබඳ පරීක්ෂණ සමහරක් අක‍්‍රීය වේ. සමහරක් ඉදිරියට ගෙන යාමට විවිධ සාධක පැන නඟී. මාතලේ සමූහ මිනීවල පිළිබඳ පරීක්ෂණය, වසීම් තාජුඞීන් ඝාතනය නිදසුන් වෙයි.

අත්තනෝමතික මහින්ද රාජපක්ෂ සමයේ මහ දවල් මිනීමැරූ දේශපාලකයින්ට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ හරින්නේ යයි ද නීතිය අවනීතිය වී ඇතැයිද චෝදනා තිබුණි. එවැනි චෝදනා නැඟූ දේශපාලකයන්ම මේ පාලනය යටතේ තම රැුකවලූන් ලවා මිනිසුන් පැහැර ගනිති. එම දේශපාලකයින් විනාඩි ගණනින් ඇප ලබන විට පැවැති භීෂණය හමුවේ දිවි බේරා ගැනීමට වෙනත් නමකින් විදේශ ගත වූ කුමාර් ගුණරත්නම් මාස ගණන් රිමාන්ඞ් භාරයේ සිටී. ප‍්‍රසිද්ධයේ එක් එල්.ටී.ටී.ඊ. සැකකරුවකුට සමාව ලැබෙන විට සැකය මත අත්අඩංගුවට ගත් සිය ගණනක් වසර ගණන් සිරගතව සිටී. මිනිසුන්ට දැනෙන්නේ මේ දෙය පමණක් නොවේද?

උපාලි සෙනෙවිරත්න