ප‍්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට ඉන්දියාව මැදිහත් වේ

 

පසුගියදා පාකිස්තාන ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ ආණ්ඩුව මහත් උජාරුවෙන් වර්ණනා කළේ දෙරට අතර ගිවිසුම් ගණනාවක් අත්සන් තබා ඇති බවය. ඒ අතර ප‍්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුමක්ද ඇති බව දේශීය හා විදේශීය වශයෙන් ප‍්‍රසිද්ධ කෙරිණි.  රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමෙන් එවැනි ගිවිසුම් අත්සන් කිරීම බොහෝ විට දක්නට ලැබේ. එහෙත් නවාස් ෂරීෆ් පාකිස්තානු ජනාධිපතිවරයා සමඟ අත්සන් කරන ගිවිසුම් මොනවා වුවද ක‍්‍රියාකාරීත්වයේදී ඒ කිසිවක් ගිවිසුම් වන්නේ නැත. රාජ්‍යයන් දෙකක් අතර සිදු වන එකඟතා ගිවිසුමක් යනු හුදු කඩදාසියක් නොවේ. ඒ පසුපස ක‍්‍රියාදාමයක් ඇත. දෙපාර්ශ්වයේ අවශ්‍යතා සපුරාගන්නටත් දෙපාර්ශ්වයේ සීමා ආරක්ෂා කරගන්නටත් කොන්දේසි ගිවිසුමක අඩංගු වන්නේ සාකච්ඡුා වට ගණනාවක රාජ්‍යතාන්ත‍්‍රික සංවාද විවාද සහිත ක‍්‍රියාදාමයකට පසුවය. කෙසේ වෙතත් නවාස් ෂරීෆ් සමඟ ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීම ගැන ආණ්ඩුවේ පුරසාරම් දින දෙකකින් හකුලාගන්නට සිදු විය. එනම් ආණ්ඩුව කියූ දේ එසේම වන්නේ නැත. පාකිස්තාන ජනාධිපතිවරයා මෙහි පැමිණියේ හුදු සංචාරයකට නොවේ. කළාපීය බල දේශපාලනයේ අවශ්‍යතා නිරූපණය කරමින් ආණ්ඩුව මෙන්ම පාකිස්තාන ජනාධිපති පැවසුවේ ආණ්ඩුව හා අවි ගනුදෙනු ගිවිසුමක් අත්සන් නොකළ බවය. එනම් ගිවිසුමක් ප‍්‍රහාරක ගුවන්යානා ගෙන්වන ගනුදෙනුවකට අත්සන් නොකළ බවය.

එසේ වෙද්දී ආණ්ඩුවේ කිසිවකු හෝ ආණ්ඩුවේ ප‍්‍රකාශ හෝ දිගින් දිගටම ගුවන් යානා ගනුදෙනුව ප‍්‍රතික්ෂේප කරනු දක්නට ලැබුණා. ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිශ්චිතවම කියා සිටියේ පාකිස්තානයෙන් ගුවන්යානා මිලදී ගැනීමේ සූදානමක් නැති බවය. ඒ වෙනුවට ආරක්ෂාව සඳහා කලාපීය රටවල් සමඟ සහයෝගීතාව පැවැත්වීම වැදගත් බවය.

ප‍්‍රසිද්ධ කළ අදහස් පසුව වෙනස් කළ මේ බැලූබැල්මට දිස්වන හුරස්පරය තුළ නොකියවෙන කතාවක් ඇත. කලාපීය දේශපාලනය විවිධ බල පොර හා රාජ්‍යතාන්ත‍්‍රික මෙහෙයුම් හා ඔත්තු සේවා යොදාගෙන සිදුකරන කුමන්ත‍්‍රණ ආදියෙන් ගහණය. ගුවන් යානා ගනුදෙනුව පිළිබඳ කතාවද එසේමය. ලංකාවේ ගුවන් හමුදාවට ප‍්‍රහාරක යානා අවශ්‍ය බව ප‍්‍රකාශ වූයේ උතුරේ යුද මෙහෙයුම් පවතින කාලයේදීමය. එහිදී විවිධ රටවලින් තාවකාලික පදනමින් ප‍්‍රහාරක යානා සහාය ලැබිණි. නිදසුන් ලෙස ඉන්දියානු ගුවන් යානා උපයෝගී කරගෙන අවි ආයුධ රැුගත් යාත‍්‍රා ඉන්දියන් සාගරයේදීම විනාශ කරන්නට හෝ අඩපණ කරන්නට හැකි විය. 2009 යුද්ධය අවසන්වන විට ගුවන් හමුදාවට නවතම ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේ අරමුණ ප‍්‍රකාශ විය. යුද්ධය සඳහා අධික වියදමක් දරමින් සිටි ආණ්ඩුව තවදුරටත් ආරක්ෂක වැයශීර්ෂය පවත්වාගෙන යමින් විවිධ මිලදී ගැනීම් සිදු කර තිබිණි. චීනයෙන් ආනයනය කළ අවි ආයුධ සඳහා හිඟ මුදල් ගෙවීමටද සිදු විය.

මෙරට ගුවන් හමුදාව භාවිත කරමින් තිබෙන ප‍්‍රහාරක යානා යල් පැන ගිය ඒවාය. ඒවා වෙනුවට නව ප‍්‍රහාරක යානා මිලයට ගැනීමේ අවධානය යුද සමය තුළම ආරක්ෂක ආමාත්‍යාංශයෙන් ප‍්‍රකාශ විය. වරින්වර ප‍්‍රහාරක යානා යාන්ත‍්‍රික දෝෂවලට ගොදුරු විය. පැරණි යානා කිහිපයක් අනතුරට ලක්වීමෙන් ගුවන් භටයන් හා නියමුවන් මිය ගිය අවස්ථා තිබිණි.

ඒ අනුව, චීනයෙන් නව ගුවන්යානා මිලයට ගැනීමේ අරමුණක් රාජපක්ෂ ආණ්ඩුවට තිබිණි. කෙසේ වෙතත් එය සපුරාගන්න කාලයක් ලැබුණේ නැත. අවි ආයුධ මිලයට ගැනීමෙන් කොමිස් ගැහිල්ලට නම් දරාපු රාජපක්ෂ ආණ්ඩුවේ සහචරයන් දුර්මුඛ කරමින් 2015 ජනවාරි 8 වැනිදා රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යවන්නට ජනතාව තීරණයක් ගත්හ.

එයින් පස්සෙ රනිල්-මෛත‍්‍රි හවුල් පාලනයක් බලයට පත් කෙරුණේ වංචා, දූෂණ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුතු හෙළා දකිිමිනි. 2015 වසර පුරාම මෙම නව පාලනයේ අවශ්‍යතාව සටහන් කරමින් විවිධ කේවට්ටයන් පුරසාරම් දෙඩුවේ දැන් ඉතින් රාජ්‍ය පාලන ක‍්‍රියාදාමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව, විනිවිද පෙනෙනසුලූ ගනුදෙනු සහ නීතියේ ආධිපත්‍ය සහතික කෙරෙන බවය. ජනතාවට නිදහසේ ජීවත්වන්නට අවශ්‍ය පරිසරයක් ඇති කරන බවට සහතික කෙරිණි. චීනයට පක්ෂපාති විදේශ පිළිවෙත සමබර කරන බව කියැවිණි. එහෙත් ඇත්ත වශයෙන්ම එවැනි වෙනසක් දක්නට ලැබුණේ නැත. විදේශ පිළිවෙත මාරු වූයේ චීනයෙන් එක්සත් ජනපදය දෙසටය. කෙසේ වෙතත් පාකිස්තාන ප‍්‍රහාරක අවි ගනුදෙනුවක් කල්තියා සැලසුම් කර තිබුණු අතර අපේක්ෂිත වූයේ චීන පාකිස්තාන ව්‍යාපෘතියක් ලෙස පාකිස්තානයේ නිෂ්පාදිත ‘ජේඑෆ් 17’ ගුවන් යානා 12ක් මිලයට ගැනීමේ ගිවිසුමකට යාමටය. මෙම ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේ තීරණයට ඉන්දියාවෙන් විවිධ බාධා එල්ල විය. වරක් ඉන්දියානු රජයෙන් කෙරුනු යෝජනාවක් වූයේ එරට නිෂ්පාදිත ‘තේජාස්’ ප‍්‍රහාරක ගුවන් යානා අසල්වැසි ලංකාවේ ගුවන් හමුදාවටද මිලයට ගත හැකි බවය.

එහෙත් ඇත්ත වශයෙන්ම ඉන්දියානු ‘තේජාස්’ ප‍්‍රහාරක යානා නිෂ්පාදනය තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතින්නකි. පාකිස්තානයේ නිෂ්පාදිත යානා වසර දසක ගණනාවක් වර්ධනය වූ චීන යුද අවි තාක්ෂණයෙන් බිහිවන්නකි. එම ගුවන් යානා පළමුවරට පර්යේෂණ මට්ටමෙන් ගුවන් ගත කෙරුණේ 2004 වසරේදීය. එහෙත් ඉන්දීය ගුවන් යානා පර්යේෂණ මට්ටමෙන් ගුවනට නැංවුණේ පසුගිය ජනවාරි මසදීය. ඒ අනුව චීන-පාකිස්තාන හවුල් නිෂ්පාදනයක් ලෙස ‘ජේඑෆ් 17’ යානා වසර 11කින් ඉදිරියෙන් ඇති බව බැලූ බැල්මට පෙනේ. අනෙක් අතට 2015 පළමුවරට ඉන්දීය ගුවන් හමුදාව විසින් ගුවන් ගත කළ ‘තේජාස්’ ප‍්‍රහාරක යානායේ තාක්ෂණික දුබලතා රැුසක් හඳුනා ගැණිනි. ඒ නිසාම දියුණු කළ තත්වයන් යටතේ එය ඇත්ත වශයෙන් ගුවන් ගත කරන්නට අපේක්ෂා කරන්නේ 2016 මාර්තු මසදී බව ඉන්දීය සමාගම පවසා ඇත.

ඒ අනුව, ඉන්දීය ප‍්‍රහාරක ගුවන් යානා මිලදී ගන්නා ලෙස යෝජනාවක් ලංකාවට ගිල්ලවීමට අයිතියක් ඉන්දියාවට නැත. එහෙත් තවමත් පර්යේෂණ මට්ටමේ ඇති ප‍්‍රහාරක යානාවක් මිලදී ගන්නට වුවද ලංකාවේ පාලකයන් තීරණය කරන්නට ඉඩ තිබේ. එසේම ලංකාවේ ධනපති හමුදාවට අවි මිලදී ගැනීමේ පාරිශුද්ධතාවක් අතීතයේද නොතිබුණු පසුබිමක ඉදිරියේ එය වෙනස් වේ යැයි සිතිය නොහැකිය. රාජපක්ෂ පාලනය සමයේ යුක්රේන අවි මිලදී ගැනීම්වල සිට අවස්ථා කිහිපයකදී අවි මිලදී ගැනීමේ සත්‍ය තත්වය අනාවරණය විය. කෙසේ වෙතත් මෙම අවි මිලදී ගැනීම් සිදුවන්නේ විශාල කොමිස් හා වෙනත් විවිධ සාධක යටතේ බව රහසක් නොවේ. අනෙක් අතට ‘ලංකාවේ යුද්ධයක් නැති නිසා ප‍්‍රහාරක යානා මිලදී ගන්නට අවශ්‍ය නැත. අවශ්‍ය නම් ඉන්දියානු අවි මිලයට ගන්න’ වැනි ප‍්‍රකාශ ඉන්දියානු රජයෙන් සිදු කර ඇත. ලංකාවේ පාලකයන් නිවට නියාළුව ඒ සියල්ල අසා සිටී. පාලකයන් අවි මිලයට ගන්නේ මෙරට ජනතාවගේ ධනයෙන් බව කල්පනා කළ විට මෙවැනි තත්වයන් ජනතාවට හෙළිකිරීම අවශ්‍ය වී ඇත. කෙසේ වෙතත් නුදුරේදී අවි ගනුදෙනුව සිදුවන්නේ පාකිස්තානය සමඟද ඉන්දියාව සමඟද නැතිනම් වෙනත් රටක් සමඟද යන්න තීරණය වනු ඇත. දැන් සිදුව ඇත්තේ චීන-පාකිස්තාන අවි මිලදී ගැනීමේ ක‍්‍රියාදාමය අවසන් කරන ලෙස ඉන්දීය-එක්සත් ජනපද අක්ෂය විසින් මෛත‍්‍රි-රනිල් හවුල් පාලනයට බල කිරීමකි.

චන්දන සිරිමල්වත්ත