ආවොත් සලකන්නේ මෙහෙමයි කිව්වා නම් නෑවිත් ඉන්නවා – මාධ්‍යවේදී ශෂිකරන්

IMG_2209කලක්  ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි මාධ්‍යවේදී ශෂිකරන් පුන්‍යමූර්ති පසුගිය 20 වැනිදා නැවත දිවයිනට පැමිණියේය. ඒ පැමිණි විගසම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන විගමන බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළේය. එම නිලධාරීන් ඔහු දවසක් සිය අත්අඩංගුවේ රඳවා තබා ගෙන සිටි අතර ඊට පසුවදා එනම් 21 වැනිදා මීගමුව අධිකරණය වෙත යොමු කර ඇප මත නිදහස් කරනු ලැබීය. ඇප කොන්දේසි අනුව මඩකලපුවේ පදිංචි ශෂිදරන් සෑම මසකම අවසන් ඉරිදා කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට වාර්තා කළ යුතුය. ශෂිකරන් ලංකාවට පැමිණීමට පෙර ඒ බව දැනුම්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලිපියක්ද යොමු කළේය. එහෙත් ඔහුට සිදු වී තිබෙන්නේ අධිකරණ ක‍්‍රියාවලියකට මැදිවීමටය. මේ ශෂිකරන් සමඟ ජනරළ කළ කතාබහක ලිඛිත සටහනයි.

  • කවදද ලංකාවට ආවේ?

20 වැනිදා. උදේ 9.20ට විතර කටුනායකට ආවේ.

  • ආවට පස්සේ මොකද වුණේ?

ඉමිගේ‍්‍රෂන් එකෙන් කිව්වා පරීක්ෂණයක් කරන්න  ඕන කියලා. මම කිව්වා ප‍්‍රශ්නයක් නෑ, මොකක්ද ඉන්ක්වයරි එක කියලා. එයාලා මාව උඩ තිබුණු කාමරයකට එක්කර ගෙන ගියා.  එතනදි ඇයි ගියේ, කොහොමද ගියේ කියලා ප‍්‍රශ්න කළා. පැය හතරක් විතර ප‍්‍රශ්න කළා. ඊට පස්සේ එයාලා කිව්වා සී.අයි.ඞී. එකට දානවා කියලා.

  • ඊට පස්සේ?

ඊට පස්සේ සී.අයි.ඞී. එකේ කාර්යාලයට අරගෙන ගියා. එයාලා මගේ බෑග්, අරවා මේවා ඔක්කොම චෙක් කළා. පාන්දර තුන වෙනකං ප‍්‍රශ්න කළා.

  • කීයේ ඉඳලද?

එතනට යද්දි හවස හයට විතර වෙන්න ඇති. පැය දෙකක් විතර එක දිගටම ප‍්‍රශ්න කළා. ඊට පස්සේ පැය බාගයක් රෙස්ට් කරන්න කිව්වා. ඊට පස්සේ ආයෙත් ප‍්‍රශ්න කළා. ඔය විදියට පාන්දර තුන විතර වුණා වැඩ ඉවර වෙද්දි. ඊට පස්සේ කිව්වා උසාවියට දාලා නිදහස් කරන්නම් කියලා.

  • එදා හිටියේ කොහේද?

එතනම තමයි. පස්සෙන්දා උදේ නවය වෙද්දී මීගමුව උසාවියට එන්න කියලා ගෙදර අයට කියන්න කිව්වා. මට කිව්වා ටිකක් නිදා ගන්න කියලා.

  • උදේ ඇප දුන්නාද?

උදේ නවයට උසාවි ගෙනියනවා කියලා කිව්වට උදේ ගෙනිච්චේ නෑ. හවස එක හමාරට විතර තමයි ගියේ.

එච්චර වෙලා…?

වාහනයක් නෑ කියලා කිව්වා, අරගෙන යන්න. ඊට පස්සේ මගේ යාළුවෙකුට කතා කරලා කිව්වා. ඒ වාහනේ තමයි උසාවි ගියේ.

  • වාහනේට වියදම් කළේ එයාලද?

පිස්සුද? එයාලා දුන්නෙ නෑ.

  • උසාවියෙදි මොකද වුණේ?

මගේ පාස්පෝට් එක අවුරුදු පහකට කැන්සල් කළා. හැම මාසෙකම අන්තිම ඉරිදා කටුනායක සී.අයි.ඞී. එකට ඇවිත් අත්සන් කරන්න කිව්වා. නඩුව නැවත කැඳවන්නේ ජූලි 20.

  • දැන් කොහෙද ඉන්නේ?

මඩකලපුවේ. – එහේ ඉඳලා මාසෙකට සැරයක් කටුනායක එන්න  ඕන….

  • එන්න පැය කීයක් විතර යනවද?

පැය අටක් විතර යනවා. මම නිදහස් වෙලා ගියේ 21 වෙනිදා. මේ මාසෙ අන්තිම ඉරිදාත් ඒ කියන්නේ 31 වැනිදාත් එන්න  ඕන.

  • ඇයි ලංකාවෙන් ගියේ?

මෙහේ ඉන්න බැරි තත්වයක් තිබුණේ. ජීවිත තර්ජන එල්ල වුණා. ඒ නිසා කොහේ හරි රටින් පිට ටික දවසක් ඉඳලා එන්නයි  ඕන වුණේ.

  • මාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා කොච්චර කල්ද?

2006 විතර ඉඳලා මම මාධ්‍ය එක්ක වැඩ කරනවා. තවත් ආයතන කිහිපයක් එක්කත් වැඩ කළා. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එක්ක වැඩ කළා. රන් එෆ්.එම්., සුඩර්ඔලි, ටැමිල්වින්ඞ් වගේ මාධ්‍ය ගොඩක් එක්ක මම වැඩ කළා. ඒ අතර තමයි තර්ජන එල්ල වුණේ.

  • ගියේ කොහොමද?

බෝට්ටුවෙන්. එයාර්පෝට් එකට ඇවිත් නීත්‍යනුකූළව යන්න විදියක් තිබුණෙ නෑ. ඒ නිසා බෝට්ටුවෙන් ගියේ.

  • පොලිසියට පැමිණිලි කළේ නැද්ද?

නැහැ. පොලිසියට පැමිණිලි කළා නම් තත්වය තවත් දරුණු වෙයි කියලා හිතුනා. ඒ නිසා පැමිණිලි කළේ නෑ.

  • ඕස්ටේ‍්‍රලියාවේදී මොකද කළේ?

ඕස්ටේ‍්‍රලියාවේ එස්.වී.එස්. ටැමිල් රේඩියෝවේ වැඩ කළා. අපේ අයගේ ප‍්‍රශ්න මාධ්‍යවලට ලිව්වා. මම එහේ ඉඳගෙන ලංකාවේ පත්තරවලටත් ලිව්වා.

  • ආයෙත් ලංකාවට එන්න හිතුනේ ඇයි?

මේ අපේ රටනේ. මම ගියේ හැමදාටම ඉන්න නෙවෙයි. ටික දවසක් ඉඳලා එන්න. මගේ හැමෝම ඉන්නේ මෙහේ. මම එන්න ටික දවසකට කලින්  ඕස්ටේ‍්‍රලියාවෙන් අවුරුදු පහක් ඉන්න වීසා ලැබුණා. ඒත් මම ඒවා අතහැරලා ආවා. මට ලංකාවට එන්න  ඕන නිසා.

  • ඔබ එන්න කලින් ජනාධිපතිතුමාට දැනුම් දුන්නා නේද?

ඔව්. මම එන්න කලින් දැනුම් දුන්නා. අපට ලංකාවට ආවාට පස්සේ මෙහෙම තත්වයකට මුහුණ දෙන්න වෙනවා කියලා දන්නවා නම් එන්නේ නෑ. එහෙම නම් එහෙට වෙලා ඉන්න තිබුණා. ජනාධිපතිතුමා ජනවාරි මාසේ කිව්වා, අපට නැවත ලංකාවට එන්න කියලා. ඒ නිසා තමයි ආවේ. එහෙම නම් ඒ වෙලාවේ කියන්න තිබුණා, ආවොත් මෙහෙම තමයි සලකන්නේ කියලා. මම වගේ කෙනෙකුටත් මෙහෙම නම් කරන්නේ සාමාන්‍ය කෙනෙකුට මොනවගේ තත්වයකට මුහුණ දෙන්න වෙයිද? ඒ නිසා මම කියන්නේ මේ ප‍්‍රශ්නය ඉක්මනට විසඳලා දෙන්න කියලා.

සංවාද සටහන ජනක තුෂාර